දේශපාලනයේ නොමියන චරිත
රාජ්‍ය පෙරළි කුමන්ත්‍රණ කතා මෙන්ම රාජ්‍ය නායක ඝාතන කතා යළිත් පැතිර යමින් පවතින මේ වකවානුවේ මෑත අතීතයේ සිදුවූ එවැනි සිද්ධීන් ගැන දන්නා උදවියට එක්වරම සිහියට නැගෙන්නේ 1962 අසාර්ථක රාජ්‍ය පෙරළි පොලිස් මිල්ටරි කුමන්ත්‍රණයයි. එතැනදී නිතැතින්ම මතක් වන්නේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක නම් වූ අර්බුදකාරී මතභේදකාරී අභියෝගාත්මක ශක්තිමත් විශේෂිත දේශපාලන චරිතයයි.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හිසට ඉහළින් කාක්කෙක්වත් පියාඹා යාම නොඉවසූ හේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාහිර බලපෑම්වලින් මුදවා ගැනීමට දැඩි කැපවීමකින් ක්‍රියා කළේය.
සුදු අධිරාජ්‍යවාදීන්ට රජ මෙහෙවරේ යෙදුණු වලව් පැලැන්තියේ මුල් පෙළේ සිටි බණ්ඩාරනායක පරපුරේ කෝටුවේ රජ කෙනෙකු වූ පීලික්ස් රෙජිනෝල්ඞ් ඩයස් බණ්ඩරනායකගේ පුත්‍ර ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක දේශපාලනයට අවතීර්ණ වූයේ අහම්බෙනි.
අගමැති බණ්ඩාරනායක ඝාතනයෙන් පසු නන්නත්තාර වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යළි ජීවය ලබාදීම පිණිස එහි නායකත්වයට පත්වූවේ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනියයි. එතුමියගේ දකුණු අත ලෙස ඔහු හොරගොල්ල වලව්ව හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස 1960 මාර්තු මැතිවරණයේදී ෆීලික්ස් ආර්. ඩයස් නමින් දොම්පේ ආසනය දිනා පාර්ලිමේන්තුවට පැමිණියේය. 1960 ජුලි මහ මැතිවරණයේදී යළිත් දොම්පේ ආසනය දිනා ගත්තේ සිය නම අගට බණ්ඩාරනායක පෙළපත් නාමයද යොදා ගනිමිනි.
1960 ජූලි මාසයේ හා හා පුරා කියා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය යටතේ පිහිටවනු ලැබූ රජයේ මුදල් ඇමැති පදවියට පත් වූ ෆීලික්ස් එතැන් සිට පැවැති දේශපාලන බිමේ මහ පෙරළිකාරයෙක් විය. ඇමති මණ්ඩලයේ සිටි තරුණ උගතෙකු වූ හේ සෙසු ජ්‍යෙෂ්ඨයින්ට අභියෝගයක් වූවා සේම ආදරයට පාත්‍ර වූ අයෙක් ද වූහ. කෙසේ වුව මුදල් ඇමැති ලෙස 1960 අවුරුද්දේ ඉදිරිපත් කළ ඇතැම් අය වැය යෝජනා ප්‍රතික්ෂේප වීම නිසා තණ කොළ සිටුවීමටවත් යළි පාර්ලිමේන්තුවට නොඑන බව පැවසූ හේ මැතිනියගේ සහ පක්ෂ නායකයන්ගේ බලවත් ඉල්ලීම මත 1964 සභාග රජයේ ආහාර කෘෂිකර්ම සහ ධීවර ඇමැති පදවියට පත්විය.
1962 දිනක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (පසුව පොලිස්පති) ස්ටැන්ලි සේනානායක මහතා කාර්යාලයේ සිට දිවා හෝජනය සඳහා නිවසට පැමිණි අවස්ථාවේ ඔහුගේ අමුතු හැසිරීම ගැන සැකකළ බිරිඳ ඊට හේතු විමසුවාය. ඇය බොහෝ සේ ඇවිටිලි කිරීමෙන් වෙහෙසට පත් සේනානායක මහතා “අද රාත්‍රී මැතිනියගේ ආණ්ඩුව පෙරළා දැමීමට කුමන්ත්‍රණයක් සිදු වෙනවා” යනුවෙන් පැවසුවේය.
විමතියටත් භීතියටත් පත් සේනානායක මැතිනිය වහාම ඒ බව සිය පියාණන් වූ පී. ද ඇස්. කුලරත්න මහතාට දන්වා සිටියාය. අධ්‍යාපනඥයකු ජාති හිතෛෂියෙකු සහ පළපුරුදු දේශපාලනඥයකු වූ කුලරත්න මහතා වහාම සිය දියණිය සමග අගමැතිනිය හමුවී සිද්ධිය දන්වා සිටියේය. ආරංචිය ලැබුණු සැණින් මැතිනිය ක්‍රියාත්මක වූවාය. ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයින් වන මෛත්‍රීපාල සේනානායක, ටී. බී. ඉලංගරත්න, සී. පී. ද සිල්වා, පී. බී. ජී. කලුගල්ල වැනි ඇමැතිවරුන්ට ද විශේෂයෙන් ලංකා සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සහ කොල්වින් ආර් ද සිල්වා ද, ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පීටර් කේනමන් මහතාද කුමන්ත්‍රණ කතාව ගැන දැනුවත් කළ මැතිනිය ඒ අතරවාරයේ සිය “අග සව්” ෆීලික්ස් වහාම අරලියගහ මන්දිරයට කැඳවන ලෙස සිය ලේකම්වරුන්ට නියෝග කළාය. ගතවූයේ මිනිත්තු කිහිපයකි. ෆීලික්ස් සුපුරුදු කලබලකාරී ගමනින් පොලිස් හමුදා නිලධාරින් කිහිප දෙනෙක් සමග අරලියගහ මන්දිරයට පැමිණියේය. අගමැතිණිය කට අරින්නට පෙර හඬ නැගුණේ “මම සියල්ල දන්නවා” යනුවෙන් පවසා දැන් අපි ක්‍රියාත්මක වෙමුයි ඔහු වටා සිටි නිලධාරීන්ට පැවසීය.
රාජ්‍ය පෙරළි කුමන්ත්‍රණය මැඩපැවැත්වීමට ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගැනීමේ බලය අගමැතිනිය පීලික්ස්ට පැවරුවාය. ඔහු මුලින්ම කළේ අගමැතිණිය සහ ඇමතිවරුන්ට ආරක්ෂාව සැලසීමය. ඊළඟට රටේ සියලු පොලිස් ස්ථානවලට කුමන්ත්‍රණය ගැන හදිසි දැනුම් දීමක් කළේය.
අරලියගහ මන්දිරයේ ඉස්තෝප්පුවේ ආරක්ෂක කාර්යාලයක් පිහිටුවිනි. තොරතුරු ලැබී පැය දහසයක් තුළ රාජ්‍ය පෙරළි කුමන්ත්‍රණයකට සැක කළ සියලු නිලධාරීන් අත්අඩංගුවට ගැනිණි. ඒ අය අතර දිසාපති ඩග්ලස් ලියනගේ, නියෝජ්‍ය පොලිස්පති සිඞ්නි ද සොයිසා, ඇෆ්. ඊ. ද සේරම් සහ ජෝන් පුල්ලේ වැනි මිලිටරි පොලිස් සහ රාජ්‍ය පරිපාලන නිලධාරීන් 17 දෙනෙක් වූහ. ඒ සියලු දෙනා අරලියගහ මන්දිරයට ගෙනා පීලික්ස් දින දෙකක් තිස්සේ ප්‍රශ්න කොට ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කළේය. කුමන්ත්‍රණ සැලසුමේ නිර්මාතෘවරයා වූයේ නියෝජ්‍ය පොලිස්පති සිඞ්නි ද සොයිසා මහතාය. ඔහු කීර්තිමත් දේශපාලනඥයකු වූ ශ්‍රීමත් ප්‍රැන්සිස් ද සොයිසාගේ පුතෙකු විය. ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසූ පීලික්ස් ශේෂ්ඨාධිකරණ (කොටුවේ රජ්ජුරුවෝ) විනිශ්චයකාරයෙකුගේ පුතා විය.
දහසක් බාහිර කරදර බාධක බලපෑම් පැවතියද පීලික්ස් සැකකරුවන්ට විරුද්ධව නඩු පැවරූ අතර සියලු දෙනා දීර්ඝ නඩු විභාගයකින් පසු රාජ්‍ය පෙරළි කුමන්ත්‍රණයට වැරදිකරුවෝ වූහ. 1965 මැතිණියගේ රජය පරදා යූ.එන්.පී. ආණ්ඩුව බලයට පත්විය. නඩුවේ විත්තිකරුවෝ එංගලන්තයේ ප්‍රිවී කවුන්සලයට ඇපෑලක් ඉදිරිපත් කළහ. නඩු විභාගයේදී රජය වෙනුවෙන් නීතිඥයෙකු එංගලන්තයට යැවීමට යූ.එන්.පී. රජය ක්‍රියා නොකළේය. වරදකරුවෝ සියල්ල නිදහස් වූහ.
ඒ අතර ෆීලික්ස්ට විරුද්ධවාදීන් නොයෙක් අවලාද කීහ. නීතිය පිළිබඳව හසල දැනුමක් තිබූ ෆීලික්ස් ඒ කිසිවකින් සැලුනේ නැත. 1970 දී යළිත් දොම්පේ ආසනය දිනාගත් ඔහු මැතිණියගේ රජයේ රාජ්‍ය පරිපාලන පළාත් හා ස්වදේශ කටයුතු සහ අධිකරණ ඇමැති පදවි දැරුවේය. පෙරකදෝරු අද්වකාත් පදවි අහෝස් කොට ඒ සියලු දෙනා පොදුවේ නීතිවේදීන් බවට පත් කළේ ඔහුය. 1971 ජවිපෙ අප්‍රේල් කැරැල්ල මැඩ පැවැත්වීමට බණ්ඩාරනායක මැතිණියට ශක්තිය ලබා දුන්නේද ඔහුය.
1977 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වීමට ඔහුගේ ක්‍රියා කලාපය හේතු වූ බවට පාක්ෂිකයෝම වෝදනා කළහ. අන්තිම කාලයේ විරුද්ධවාදීන් ඔහුට පීලික්ස් ඩයස් බණ්ඩාරනායක වෙනුවට පුලිෂ් ඩයස් බණ්ඩාරනායක යැයි කීහ. 1977 බලයට පත් ආණ්ඩුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේද පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ ප්‍රජා අයිතීන් අහෝසි කළේය.
කෙසේ වුවද දූෂණයට එරෙහි අවංක පිරිසිදු දේශපාලනඥයකු බව ඔහු ගැන දන්නා විරුද්ධවාදීහූ පවා අදත් පිළිගනිති. 1977 න් පසු නිවීහැනහිල්ලේ සිටි ෆීලික්ස් අසනීපව කොල්ලුපිටියේ සිය මහනුග වලව්වේදී අභාවප්‍රාප්ත විය.
ඉතිහාසයේ සිදු වූ දේ යළි යළිත් සිදවුණ බවට විශ්වාසයක් තිබේ. අද සිදුවන්නේ ද ඒ ටිකමය.
උපාලි රූපසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි