හාල් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ දැමීමට එවක ආණ්ඩුවට අවශ්‍යව තිබිණ. ඒ ලෝක ආර්ථිකයේ කඩා වැටීමට මුහුණදීම සඳහා යැයි පැවසෙයි. එවැන්නකින් වමේ පක්ෂ යටතේ සංවිධානව සිටි කම්කරු පංතිය හා බහුතර පොදු ජනතාව අතර නොසන්සුන් බවක් ඇතිවෙන බව ද ආණ්ඩුව නොදැන සිටියා නොවේ. ධනපතියන්ට බදු සහනදෙමින්, ඔවුන්ගේ සුඛෝපභෝගි ජීවන රටාවට ගැළපෙන සේ ආර්ථිකය හැසිරවීමට එසේ කරන ලදැයි වමේ නායකයෝ වේදිකා දෙදරවමින් පැවසූහ. තුරඟ තරඟ සඳහා විදේශ විනිමය වැයකර අශ්වයින් ගෙන්වීම එක් නිදසුනක් සේ සැලකූහ. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදින්ට පවා ණය, ආධාර මුදල් ලබා දීමට හැකියාව තිබූ රටක් කළු සුද්දන් හා සෙල්ලක්කාර දේශපාලුවන් විසින් විනාශය කරා ගෙනයන බවට කෑමොර දුන්හ.
නමුත් එ.ජා.ප ආණ්ඩුව පියවරක් හෝ ආපසු ගැනීමට සූදානම් වූයේ නැත. මේ නිසා එවන් ආර්ථික යෝජනා ගෙන ඒමට පෙර මුට්ටිය දමා බැලීමක් සිදුවිය. එලෙස මුට්ටිය දමා ජනතාවගේ ප්‍රතිචාරය බැලුවේ ආහාර ඇමතිව සිටි සර් ඔලිවර් ගුණතිලක මහතාය. ඒ 1953 ජුලි 07 දින සිදු කළ මාධ්‍ය සාකච්ඡාවේදීය. ආණ්ඩුවේ හොරණෑවයි නම් දැරූ දිනමිණ පුවත්පත ජුලි 08 දින මාධ්‍ය සාකච්ඡාව වාර්තාකර තිබුණේ මෙලෙසිනි.
20 වැනිදා සිට හාල් සත 70 යි. කම්කරුවන්ට සේරු දෙකයි. මෙරට හාල්මිල හුඟක් අඩුවේවි”
ආහාර ඇමති සර් ඔලිවර් ගුණතිලක පුවත්පත් සාකච්ඡාවක දී පැවසීය. ඇමතිවරයා කළ විස්තරයෙන් පෙනෙන හැටියට ලබන 20 වැනිදා සිට නිකුත් කරන හාල් කොටස් ප්‍රමාණය මෙසේය. කම්කරු පොතකට හාල් සේරු 02 යි. සාමාන්‍ය පොතකට හාල්සේරු 1 1/4 යි. ළමා පොතකට හාල් සේරු 01 යි. ළදරු පොතකට 3/4 යි.
ජූලි 09 වැනි දින දිනමිණ ප්‍රධාන සිරස්තලය වූයේ “මාස කිහිපයකට පසුවවත් හාල් කොටස දෙගුණ කරන අදහසක් නැහැ” ලෙසිනි “සහල් කොටස් ප්‍රමාණය වැඩි කළායින් පසු තවදුරටත් වැඩි කිරීමක් ගැන සලකා නොබලන බව ආහාර අමාත්‍යංශයේ ස්ථිර ලේකම් කේ. අල්වා පිල්ලේ මහතා පවසයි.
ආණ්ඩුව මුට්ටිය දමා බැලීම දෙබරයකට ගල් ගැසීමක් බදු විය. ආණ්ඩු විරෝධීන් පමණක් නොව ආණ්ඩුවට හිතවාදී පළාත් පාලන ආයතන පවා ඇවිස්සුණි. මෙම කාල සීමාවේ දී කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 02, 03 හෝ 2.50 ක් පමණ විය. ජූලි 10 දින දිනමිණ පුවත් පතේ ප්‍රධාන සිරස් තලය වූයේ “හාල් මිල වැඩි කරනවාට කොළඹ නගර සභාව විරුද්ධ වෙයි” යනුවෙනි.
“හාල් සඳහා දෙනු ලබන උපකාර මුදල කැපීමට රජය කළ තීරණයට විරෝධය දැක්වීමක් වශයෙන් ඊයේ රැස් වූ කොළඹ නගර සභිකවරු එදිනට නියමිත වැඩ ගැන සාකච්ඡා නොකර විසිර ගියහ. විසිර යාමේ යෝජනාව ඉදිරිපත් කළේ දොස්තර කුමාරන් රත්නම් මහතාය. ස්ථිර කළේ එම්. එස්. අබුබකර් මහතාය යෝජනාවට 15 පක්සය, 08 දෙනෙකු යෝජනාවට මධ්‍යස්ථය යෝජනාවට විරුද්ධ සභිකයෝ නොවූහ.
ජා-ඇල, කළුතර, මාතර, රත්නපුර, අවිස්සාවේල්ල, කෑගල්ල පළාත් පාලන ආයතන හාල් ආධාර නැවැත්වීම හෙළා දකින යෝජනා ඒක ඡන්දයෙන් සම්මත කරගත් බව දිනමිණ වාර්තා කර ඇත.
ජුලි 15 වැනි දින පැවති පාර්ලිමේන්තු රැස්වීම ජූලි 16 දින පුවත් පත වාර්තා කළේ මෙලෙසිනි.
“මුදල් ඇමතිවරයා දැන් රටට නොගැළපෙන කෙනෙක් බවට විස්තර කළ විල්මට් ඒ පෙරේරා මහතා ඇමතිවරුන්ටත් උපදේශකවරුන්ටත් ඉල්ලා අස්වෙන ලෙස දැන්වීය. සී. ඒ. ඇස්. මරික්කාර් (කඩුගන්නාව) අපේ පඩි ඔක්කොම හරි ගෙන අඩු මිලට හාල් දෙන්න.
හෙන්රි අබේවික්‍රම මහතා - එක පාරටම සත 25 හාල් සේරුව 75 කිරීම මහජනයාට විඳිය නොහැකි බරක්. මැති ඇමතිවරුන්ගේ පඩි අඩුකරන්නට තිබුණා. සංචාරක වියදම් අඩු කරන්නට තිබුණා. ආසන පැරදුණ අය තානාපතිවරුන් වශයෙන් යැවීම නවත්වන්න තිබුණා. සෝමවීර චන්ද්‍රසිරි මහතා මේ ආණ්ඩුවට පුළුවනි ජනතාවගේ හාල් සේරුව සත 25කින් සත 70ට යවන්න. පසුව ඡන්දයක් ළං වෙනකොට මිල අඩුකර අපි මිල අඩු කළා ලෙසට උප්පරවැට්ටි කතා කියන්න.
එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ඇන්. ඇම්. පෙරේරා, පීටර් කේනමන්, රොබට් ගුණවර්ධන, විජයානන්ද දහනායක එම පාර්ලිමේන්තු රැස්වීමේ දී මිල වැඩි කිරීම් පිළිබඳව අදහස් දැක්වූහ.
ජූලි 21 දිනමිණ පළමු පිටුව සිරස්තලය.
“හාල්මිල වැඩි කිරීමට විරුද්ධව කළුකොඩි, රැස්වීම් හා වැඩ නැවැත්වීම්”
හාල් මිල වැඩි කිරීමට විරෝධය දක්වා වරායේ කම්කරුවන් 7000ක් අද පැය 3ක් වැඩ නවත්වනු ඇත.
කොස්ගොඩ පළාතේ ස්ථාන කිහිපයක එල්ලා තිබුණ කළු කොඩිවල “බත් කා ඉවරයි” යනුවෙන් ලියා තිබුණි. රත්ගම, බණ්ඩාරගම යන පළාත්වල මිනිස්සු කූපන් හාල් නොගන්නා බව කියා පෑහ.
හාල් මිල වැඩි කිරීම නිසා තමන්ගේ හාල් පොත් බාරගන්න යැයි කියමින් පින්නදුවේ ගැහැනු, පිරිමි විශාල සංඛ්‍යාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. දහනායක මහතාගේ නිවසට පෙරහැරින් පැමිණියහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. දහනායක මහතා විපක්ෂ නායක බණ්ඩාරනායක මහතාට යොමුකරන ලද ලිපියක් ජූලි 23 දිනමිණ පළකර තිබිණි.
“හාල් මිල ප්‍රශ්නය උඩ අපි ඉල්ලා අස්වෙමු”
මා ප්‍රිය බණ්ඩා ඔබ විසින් කැඳවනු ලබන විරුද්ධ පක්ෂයේ විශේෂ රැස්වීමක දී අය - වැය විවාදය අවසන් වූ විට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් 27 දෙනාම ඉල්ලා අස්විය යුතුය යන යෝජනාවක් මම ඉදිරිපත් කරමි. මා එවැනි යෝජනාවක් ඉදිරිපත් කරන්නේ හාල් මිල ඉහළ නංවා තිබීමත් ආණ්ඩුවේ වෙනත් අකටයුතු ක්‍රියාත් නිසාය.
ආණ්ඩුවට විරෝධය පෑමේ ඉහළම අවස්ථාව වූයේ ජූලි 23 බ්‍රහස්පතින්දා දින ගෝල්පේස්හි පැවැත් වූ ජනතා රැලියයි. වමේ පක්ෂ නායකයන් විසින් කැඳවූ මෙම රැලියේ මුලසුන හෙබවූයේ විපක්ෂ නායක බණ්ඩාරනායක මහතා විසිනි. පනස් දහසක් පමණ සහභාගි වූ මෙම රැලියට වරාය කම්කරුවෝ සටන් පාඨ කියමින් පෙළපාළියකින් පැමිණියහ. හයිඞ්පාර්ක් සිට සම සමාජ පාක්ෂිකයන් පැමිණ ඇත්තේ ද පෙළපාළියකිනි. එක දිනක හර්තාල් යෝජනාව මෙම රැලියේ දී අනුමත කර ගන්නා ලදි.
නමුත් එ.ජා.ප ආණ්ඩුව කිසිදු විරෝධයකට සවන් දුන්නේ නැත.
හර්තාලය 1953 අගෝස්තු 12 වැනි දින පැවැත්වීමට නියම කර ගන්නා ලදි. එක් දිනකි. වර්ජන විරෝධතා, රැස්වීම් මිස හර්තාල් අත්දැකීමක් ජනතාවට තබා කම්කරු පංතියටවත් නොතිබුණි. මෙම නවමු අත්දැකීම විඳ ගැනීමේ පෙළඹීමක් එකඟ වන්නන්ට මෙන්ම නොවන්නන් තුළ ද විය. මේ නිසා රතු නායකයෝ ජනතාව දැනුම්වත් කිරීමට සම්මන්ත්‍රණ සාකච්ඡා රැස්වීම් පවත්වමින් කමිටු පිහිට වූහ. වල්පොල රාහුල හිමි ප්‍රමුඛ විද්‍යාලංකාර පිරිවෙනේ හිමිවරුද, උඩකැන්දවල, සරණංකර දරමිටිපල රතනසාර හිමිවරුද ආණ්ඩු විරෝධය කුළු ගැන් වූහ. සිය ධර්ම දේශනාවලින් පවා ජනතා ප්‍රශ්න කතා කළ බව ද සඳහන්ය. හර්තාලය සම්ප්‍රදායික උද්ඝෝෂණයක් නොවීය. එය දැවැන්ත සටනකි.
හර්තාලය පිළිබඳව රට ගිනියම් වෙමින් තිබිය දී විදේශගතව සිටි පොලිස්පති සර් රිචඞ් අළුවිහාරේ ආණ්ඩුව විසින් ආපසු කැඳවන ලදි. අගෝස්තු 01 දින “ලංකාදීප” පුවත්පත “පොලිසිය සාමය රකී” සිරස්තලය යටතේ පොලිස්පතිගේ ප්‍රකාශයක් පළ කර තිබුණි.
“අය - වැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු ලංකාවේ නොසන්සුන් බවක් ඇතිවී යැයි මට ආරංචියි. මගෙන් රටට සිදුවිය යුතු සේවය ඉටු කිරීම සඳහා හදිසියේම ලංකාවට පැමිණීමට මම තීරණය කර ගතිමියි” ප්‍රවෘත්ති පත්‍ර නිවේදනයක් නිකුත් කළ පොලිස් නායක රිචඞ් අළුවිහාරේ මහතා සඳහන් කරයි.
“නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලීසිය තදින්ම ඉටා ගෙන සිටි. ගාලු මුවදොර පැවැත්වූ රැස්වීමකට පසු මහජන කිපීමක් ඇතිවී යැයි මම ඉතාමත් කනගාටු වූයෙමි. රාජ්‍යයේ දේපොළවලට කිසිදු තේරුමක් නැතිව අලාභ හානිකර තිබේ. පෞද්ගලික දේපළවලට ද අලාභ හානි සිදුවී ඇත. මෙවැනි මැරකම්වලට වග කිවයුතු අය හෙළා දැකීමට මම නොරිසියෙමි.
අවදානම් අවස්ථාවක් එළඹුණොත් එදාට” මැයෙන් කොළඹ පොලිස් සුපිරිටන්ඩන්ට් සී. සී. දිසානායක මහතාගේ ප්‍රකාශයක් අගෝස්තු 03 දින ලංකාදීපයේ පළවිය. සී. සී. දිසානායක තමන් යටතේ නියුක්ත හැම පංතියකම පොලිස් නිලධාරින් වෙත නිවේදනයක් නිකුත් කරමින් කිසියම් කලබල අවස්ථාවක් එළඹුණහොත් මහජන ආරක්ෂාව සැලසීමට පොලීසිය විධි විධාන යොදාගෙන යන බව සඳහන් කරයි.
බස් මගීන්ගේ හා බස්රථ සමාගම්වලට ආරක්ෂාව සැලසීමේ විධි විධාන පොලිස් වැඩ පිළිවෙළට අයත්ය.
එදිනම ‘ලංකාදීප” ආරක්ෂක අංශයේ ඡායාරූපයක් පළ කරමින් කිසියම් අවදානමක් ඇති වුවහොත් ක්‍රියාවේ යොදන වැඩ පිළිවෙළ අත්හදා බැලීම පෙරේදා (01) උදේ පැවති වෙලේ යකඩ තොප්පි පැලඳ ආයුධ සන්නද්ධ වූ පොලිස් පිරිස හා යුද හමුදාව නගරයේ ප්‍රධාන ස්ථාන මුර කිරීමේ යෙදුණාහ ලෙසට වාර්තා කළේය. ආරක්ෂක අංශ හර්තාලයට මුහුණ දීමට සූදානම් වූයේ එලෙසින් බව මාධ්‍ය පවසයි.
හර්තාලය පිළිබඳව ගම් කාර්ය සභා හා නගර සභාවල ද සාකච්ඡා කළහ. ලංකා සම සමාජ පක්ෂය හා වමට බර පළාත් පාලන සභාවල හර්තාලයට පක්ෂපාතිවද, ආණ්ඩු පක්ෂයට බලය හිමි බොහෝ ආයතන හර්තාලය ප්‍රතික්ෂේප කරමින්ද සාකච්ඡා සිදු වූහ. එවන් වාර්තා දෙකක් 03 හා 04 දිනවල ලංකාදීපය පළ කළේ මෙලෙසිනි.
“ඉල්ලා අස්වී නැවත එනු - සහල් ප්‍රශ්නය උඩ වර්තමාන ආණ්ඩුව ඉල්ලා අස්වී නැවතත් මහජන ඡන්දයකට මුහුණ දිය යුතු යැයි අඹතලේ පහළ ගම්කාර්ය සභා රැස්වීමේ දී සභාපති කේ. ඊ. පෙරේරා ආණ්ඩුවට අභියෝග කළේය. හාල්මිල වැඩි කිරීමට විරුද්ධව සේදවත්ත, කොටුවිල අඹතලෙන් පහළ පළාත්වල කළු කොඩි සමග තණකොළ හා පඹයින් ද එල්ලා තිබුණි.
“වැඩ නැවැත්වීම්වලට සහභාගි වීමෙන් ඔබට අඩු මිලට හාල් නොලැබේ. එයින් ඔබ රටට අවශ්‍ය සේවයත් අවුල්කර දමන අතර මහජනයා ‘ගේ අසතුටට පවා පාත්‍ර වන්නේ යැයි වැලිගම නගර සභාවේ සේවකයන් අමතා කතා කළ නගර සභාපති ඒ. පී. දළුවත්ත මහතා ප්‍රකාශ කළේය.
හර්තාලය සම්බන්ධව පැවති එම කම්කරු සාකච්ඡාවේ දී වැඩි දුරටත් කතාකළ දළුවත්ත මහතා, බාහිර අය පැමිණ 12 දින ඔවුන්ව වැඩ නතර කිරීමට පොළඹවා සිටියහොත් එසේ කරන්නේදැයි විමසූකල කම්කරුවෝ වර්ජනවලට සහභාගි නොවන බව ප්‍රකාශ කළහ.
03 වැනි දින “එජාප සාමාජික කම තහනම්” ලංකාදීප ප්‍රවෘත්තියෙන් කියැවුණේ “ආණ්ඩුවේ හාල්මිල වැඩි කිරීමේ ප්‍රතිපත්තිය විවේචනය කිරීම නිසා ගාල්ල එ.ජා.ප සාමාජිකයෙකු වූ ඒ.ඩී.එම්. වීරතුංග මහතාගේ පක්ෂ සාමාජිකත්වය ශාඛා සභාපති ඩබ්ලිව්. ඩී. ඇස්. අබේගුණවර්ධන මහතා විසින් තහනම් කරන ලදි” යන්නයි.
අතුරුගිරිය ගම්කාර්ය සභා රැස්වීමේදී හර්තාලයට සහය දැක්වීම සඳහා එදින කාර්යාලය වසා දැමීමටත්, බදාදා පැවැත්වෙන හෝමාගම පොළ වැනි සියලුම මහජන සේවාවන් නවතා දැමීමට තීරණය කළ බවත් 06 දින ලංකාදීපය වාර්තා කළේය. එදින අතුරුගිරිය ප්‍රදේශයේ කළු කොඩි එසැවීමටත් තීරණය ගෙන තිබේ.
වතු කම්කරුවෝ වැඩ නතර නොකරති. ඒ වෙනුවට විරෝධතා රැස්වීම්” (06 දින ලංකාදීප)
සාමාජිකයන් 225,000 ක් සිටින ලංකා වතු කම්කරු සමිතිය අගෝස්තු 12 දිනට නියම කරගත් වැඩ නැවැත්වීමට සහභාගි නොවනු ඇත. මෙම තීරණයට එළැඹුණේ සමිතියේ සභාපති තැන්පත් එස්. තොන්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (4) නාවලපිටියේ පැවති සමිතියේ කාරක සභා රැස්වීමකදීය.
දුර්වල වෘත්තිය සමිති කර අරිත් දී තම වෘත්තිය සමිතිය වැඩ නැවැත්වීමට සහභාගිවීම සුදුසු නැතැයි පැය හතරක් තිස්සේ පවත්වන ලද සාකච්ජාවේ දී දෙනෙකු විසින් කියා සිටින්නට යෙදුණ බව සංගමයේ ප්‍රකාශකයෙකු ලංකාදීප වාර්තාකරු සමග කීය.
පළාත් පාලන කොමිසමේ ලේකම් එම්. ෆොන්සේකා මහතා විසින් ස්වකීය සේවකයන් විසින් වැඩ නැවැත්වීමට සහභාගිවීම සම්බන්ධයෙන් ඔවුන්ට අවවාද කරන මෙන් පළාත් පාලන ආයතනවලට දැනුම් දී තිබේ. පළාත් පාලන ආයතනවලට අයත් කිසිවෙකු වැඩ නැවැත්වීමට සහභාගි වූවහොත් විනය කඩ කිරීම යටතේ සේවයෙන් පහ කරනු ලැබේ. පළාත් පාලන ලේකම්ගේ ප්‍රකාශය - 06 දින ලංකාදීප.
අගමැති ඩඞ්ලි සේනානායක මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් 06 දින ලංකාදීප මෙසේ උපුටා දක්වයි.
හාල් ආධාර නැවැත්වීමේ වැඩි බර දුප්පතාට නොවේ. එය හොර කඩකාරයන්ට විරුද්ධව ගත් පියවරකි. ආහාර ආධාර නතර කිරීම බරපතළය. මේ නිසා ඇතිවුණ බරෙන් ප්‍රධාන කොටස ඉසිලීමට සිදුව තිබෙන්නේ දුප්පතාට නොව කඩ කාරයින්ටය. ඒ නිසා කළු කොඩි දැම්මේ ඔවුන් රජයේ ලිපිකරුවන් හර්තාලයට සහභාගි නොවීමට තීරණය කළ හෙයින් සමිතියේ පාලක මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානම් බවට ප්‍රචාරයක් පත්තර හරහා ප්‍රචාරය විය. (ලංකාදීපයේ නොවේ)
මෝටර් ට්රාන්සිට් බස් සමාගමේ හිමිකරුවන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ලියෝ ප්‍රනාන්දු සේවකයින් ඉදිරිපිට කඳුළු සැලූ පුවතක් අගෝස්තු 10 දින ලංකාදීපයේ සඳහන් විය. හර්තාලයට සහභාගිවීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෝටර් ට්රාන්සිටි බස් සමාගමේ සේවකයෝ රැස් වූහ. ලංකාදීපය වාර්තා කර තිබුණේ මෙලෙසිනි.
එම සාකච්ඡාවට පැමිණි ලියෝ ප්‍රනාන්දු මහතා කතා කරමින් කෑමට ආහාර මදිනම් මගේ බත් පතින් කොටසක් ගන්න.
තමුන්නාන්සේලාට දුක් විඳීමට මම ඉඩ නොදෙමියි පැවසීය. හාල් මිල වැඩිවීම නිසා විශේෂ ආධාර මුදලක් තම සේවකයන්ට ලබා දීමට කැමැත්ත පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝ ප්‍රනාන්දු මහතා කඳුළු සැලුවේය. කඳුළු සලමින් තවදුරටත් කතා කළ ඔහු හාල් මිල වැඩි කිරීම දුප්පතාට පහරක් වුවද ධනවතාගේ තත්ත්වය ද මින් කිසිසේත්ම යහපත් නොවේ. සමහරවිට එය දුප්පතාගේ තත්ත්වයට වඩා අන්ත විය හැක. කම්කරු පඩි හා විශේෂ ආධාර මුදල් ධනවතාගේ සාක්කුවෙන් ගත යුතු යැයි කීවේය.
12 වැනි දින බස් සේවාව නිසි අයුරින් පවත්වාගෙන යාම පිළිබඳ පුවතක් 10 දින ලංකාදීපයේ පළවූයේ බස් හිමියන් හා රථවාහන සේවා කොමසාරිස් එල්. එස්. බී. පෙරේරා අතර පැවති සාකච්ඡාවේ ඡායාරූපයක ්ද සමඟිනි. එහිදී සවුත් වෙස්ටර්න් බස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක සිරිල් සොයිසා පැවසුවේ බස් සේවකයින් 12 වැනිදා බස් නවත්වන්නේ යැයි කියන කියමනේ සත්‍යයක් නැති බවත්, බස් සේවාව පැවැත්වීමට සේවකයන් විරුද්ධ නොවූ බවත්ය.
මතු සම්බන්ධයි.
ගණේමුල්ල බුද්ධි බොල්ලත
සඳමතු ශර්මි ශ්‍රී බුද්ධික