ආණ්ඩුවක් බිම දැමූ ආණ්ඩුවේම ඇමැතිවරු


 

1960 ජූලි මහ මැතිවරණයේදී මන්ත්‍රී කොට්ඨාස 151 න් 75 ජයගත් ශ්‍රී.ල.නි. පක්ෂයේ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1960 ජූලි 21 වැනිදා පස්වරු 1.40ට අග්‍රාණ්ඩුකාර සර්. ඔලිවර් ගුණතිලක ඉදිරියේ දිවුරුම් දුන්නේ ලංකාවේ අග්‍රාමාත්‍ය පදවියට පත් හයවැන්නා සහ ලෝකයේ ප්‍රථම අගමැතිණිය වශයෙනි.


1964 ජුනි මාසයේදී වාමාංශික පක්ෂයක් වන ලංකා සමසමාජ පක්ෂයද සමඟ සභාග රජයකට ගිය අතර එහි මන්ත්‍රීවරු 12 දෙනාගේ සහයද සමඟ පත්කළ මන්ත්‍රීවරු 06 දෙනාද එකතුව මන්ත්‍රීවරු 93 කගේ සහය රජයට හිමි විය. ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබුණේ මන්ත්‍රීධූර 30 පමණි.


1964 නොවැම්බර් 26 වැනිදා පස් වන පාර්ලිමේන්තුවේ හයවැනි සැසිවාරය අග්‍රාආණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා විවෘත කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා සමසමාජ සභාග රජය පුවත්පත් මණ්ඩල පනත හා ලේක් හවුස් සමාගමේ පුවත්පත් ඒකාධිකාරය සංයුක්ත මණ්ඩලයක් පිහිටුවීම අවසන් කිරීමේ පනත ඉදිරිපත් කර තිබූ අතර විපක්ෂයේ දැඩි විවේචනයකට මේවා ලක්වී තිබිණි. ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි ඒකාධිපති පියවරක් ලෙස මෙය හඳුන්වනු ලැබීය.


මේ නිසා 1964 නොවැම්බර් 26 වැනිදා අග්‍රාණ්ඩුකාරවරයා ඉදිරිපත් කළ රාජාසන කථාව පිළිබඳව විපක්ෂය වැඩි අවධානයක් යොමු කළේය. එම විවාදය දෙසැම්බර් 03 වැනිදා අවසන් වූ අතර ඒ පිළිබඳව ඡන්ද විමසනු ලැබීය. රජය බලාපොරොත්තු නොවූ නමුත් විපක්ෂය බලාපොරොත්තුවෙන් සිටි පරිදි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනෙක් විපක්ෂයට එකතු වූයේ මේ අවස්ථාවේදීය.


රාජාසන කතාවට ස්තුති යෝජනාව පිළිගැනීම වෙනුවට මේ අවස්ථාවේ ගාල්ල මන්ත්‍රී ඩබ්. දහනායක මහතා විසින් අග්‍රාණ්ඩුකාරවරයා රාජාසන කතාව මේ සභාව විසින් පිළිනොගන්නා බවට ඉදිරිපත් කළ අතුරු යෝජනාව වැඩි ඡන්ද එකකින් සම්මත විය. එසේ සම්මත වූයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 14 දෙනෙක් විපක්ෂය හා එක්ව ඡන්දය පාවිච්චි කිරීමෙනි.


1. පාර්ලිමේන්තුවේ සභානායක සහ ඉඩම් වාරිමාර්ග හා විදුලි බල ඇමති සී. පී. ද සිල්වා - මින්නේරිය
2. පී. පී. වික්‍රමසූරිය - දෙවිනුවර
3. විජේබාහු විජේසිංහ - මීරිගම
4. එඞ්මන් විජේසූරිය - මස්කෙළිය
5. ඒ. එච්. ද සිල්වා - පොළොන්නරුව
6. ඉන්ද්‍රසේන ද සොයිසා - අම්පාර
7. චන්ද්‍රසේන මුණවීර - රත්තොට
8. ඩබ්. ජී. ඇම්. ඇල්බට් සිල්වා - මොනරාගල
9. සර් රසීක් ෆරීඞ් - මැද කොළඹ
10. එස්. බී. ලේනව - කැකිරාව
11. ලක්ෂ්මන් ද සිල්වා - බළපිටිය
12. මහානාම සමරවීර - මාතර
13. ඩී. ඊ. තිලකරත්න - රත්ගම
14. පත්කළ මන්ත්‍රී ආර්. සිංගල්ටන් සැමන්


රජයට බහුතර ඡන්ද බලයක් තිබියදී හදිසියේ සිදුකළ මෙම ඡන්ද විමසීම නිසා එක් ඡන්දයකින් රජය පරාජය වී දහනායක මහතාගේ යෝජනාව ජය ගත්තේය.


මේ වෙන විට මුදල් අමාත්‍ය ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ශල්‍ය කර්මයකට භාජනව එංගලන්තයේ රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි අතර බර්නාඞ් සොයිසා මන්ත්‍රීතුමා විදේශ සංචාරයක නියුතුව සිටියේය. ශ්‍රීලනි පක්ෂය තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකු සභා ගැබට පිවිසියේ ඡන්දය විමසීමෙන් පසුවය.


මේ නිසා විදේශගතව සිටි මන්ත්‍රීන් ආපහු කැඳවා ඡන්දය විමසන අවස්ථාවේ මැතිසබයේ නොසිටි මන්ත්‍රීන්ගේද සහය ලබා රජය කෙරේ සම්පූර්ණ විශ්වාසය පළකිරීමේ යෝජනාවක් සම්මත කිරීමට පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස මන්ත්‍රීවරු ඇතුළු විවිධ කොටස් ඉදිරිපත් කළ අදහස් ප්‍රතික්ෂේප කළ බණ්ඩාරනායක මැතිණිය අග්‍රාණ්ඩුකාර වරයාගෙන් ඉල්ලා සිටි පරිදි දෙසැම්බර් 08 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය.
ඒ අනුව 1965 මාර්තු 22 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට යෝජනා වූ අතර සී. පී. ද සිල්වා මහතා ශ්‍රීලනිප නිදහස් සමාජවාදී පක්ෂය නම් පක්ෂයක් පිහිටුවා මැතිවරණයට ඉදිරිපත් විය. එක්සත් ජාතික පක්ෂය එම අපේක්ෂකයින් ඉදිරිපත් වූ ආසනවලට තරඟ නොකර ඔවුනට සහය ලබා දුන්නේය. ඊට අමතරව රජයට විරුද්ධව සිටි පිලිප් ගුණවර්ධන, ලක්ෂ්මන් රාජපක්ෂ කේ. ඇම්. පී. රාජරත්න, කුසුමා රාජරත්න යන අයට විරුද්ධව ද අපේක්ෂකයන් ඉදිරිපත් නොකළේය. උතුරු පළාතේ කොට්ඨාස සඳහා ද එ.ජා. පක්ෂය අපේක්ෂිකයින් ඉදිරිපත් කළේ නැත. ප්‍රතිඵල අනුව කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවීය.


එක්සත් ජාතික පක්ෂයට 66 හා ශ්‍රීලනිපයට 41 හිමි වූ අතර ෆෙඩරල් පක්ෂය 14 හා සමසමාජ පක්ෂය 10 ජයග්‍රහණය කර තිබුණි. වෙනම තරග කළ ශ්‍රී ලංකා නිදහස් සමාජවාදි පක්ෂයට හිමි වූයේ ආසන 05කි. මේ අනුව එ.ජා පක්ෂය දෙමළ දේශපාලන පක්ෂ හා වෙනත් සුළු දේශපාලන පක්ෂවල මන්ත්‍රීන් එක්කර ගනිමින් සභාග ආණ්ඩුවක් පිහිටුවනු ලැබීය.


1970 මැයි 27 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ශ්‍රීලනි පක්ෂය බලයට පත්ව ඉහත පුවත්පත් මණඩල පනත හා ලේක්හවුස් රජයට පවරා ගැනීම නැවත ක්‍රියාත්මක කළ අතර ඉන්පසු බලයට පත්ව අවුරුදු 17 පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එම පනත් වල එක් අකුරක් හෝ වෙනස් කිරීමට හෝ ලේක්හවුස් ආයතනය පරණ අයිතිකරුවන්ට දීමට හෝ ක්‍රියා කළේ නැත.

 

 

 

 


බණ්ඩාරගම
සමරසේන මුදලිගෙ