ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කළ යකඩ පොලිස්කාරයා


ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම පැලැන්තියේ සිටි පොලිස් නිලධාරීන් අතර යකඩ පොලිස්කාරයා සිඞ්නි ද සොයිසාය. අර්බුදකාරී, ප්‍රශ්නකාරී සහ මතභේදවලට තුඩුදුන් සුවිශේෂී චරිතයකින් හෙබි හෙතෙම රාජ්‍ය නායකයින් ද මැති ඇමැතිවරුන් ද උසස් නිලධාරීන් සමග ද නිතර නිතර හැලහැප්පිලි ඇති කර ගත්තේය. ආඩම්බරය සහ මහන්තත්තකම ඔහුගේ අනන්‍යතාව විය.


1909 උපත ලබා කොළඹ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ සිඞ්නි ද සොයිසා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා උපාධිය හිමිකරගෙන ආධුනික උපපොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණේය. ජේ. ආර්. ජයවර්ධන වැනි රාජ්‍ය නායකයින් සමග පාසල් වියේදී පවා ළඟින් ඇසුරු කළ ඔහු පොලිසිය තමන් යටතට පත්කර ගෙන රාජකාරි කිරීමට උත්සාහ දැරූ කෙනෙකු ලෙස සහෝදර නිලධාරීන් අතර ප්‍රසිද්ධවී තිබිණි.


සිඞ්නි ද සොයිසාට ආඩම්බරවීමට හේතු තිබුණේය. ඔහුගේ පියා නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ ශ්‍රීමත් ප්‍රැන්සිස් ද සොයිසා විය. මහා දානපති සහ ලංකා බැංකුවේ ප්‍රථම සභාපති ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා ඔහුගේ මාමා විය. 1956 බලයට පත් බණ්ඩාරනායක රජයේ ප්‍රථම මුදල් ඇමැති ස්ටැන්ලි ද සොයිසා සිඞ්නිගේ සහෝදරයාය.


මෙවැනි සම්භාවනීය පවුල් පසුබිමක් තිබූ හෙතෙම පොලිසිය තුළ මහා පරිමාණයේ සෙල්ලම් දැමුවද කප්පම් සහ පගා ගැසීම වැනි තුට්ටු දෙකේ ක්‍රියාවලින් වැළකී සිටියේය.


තංගල්ල දිස්ත්‍රික්කයේ සේවය කොට පොලිස් අධිකාරිවරයෙකු ලෙස කොළඹට පැමිණි සිඞ්නි ද සොයිසා 1948 දී කළුතර කටුකුරුන්දේ පිහිටුවන ලද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ප්‍රථම අධ්‍යක්ෂවරයා විය. කොළඹ සේවයට පැමිණීමෙන් පසු ඔහු නියෝජ්‍ය පොලිස්පති පදවියට උසස් කෙරිණි.


1956 ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා බලයට පත්වීමෙන් පසු ඔහු පවතින රජයට විරුද්ධ පොලිස් නිලධාරියෙකු ලෙස ප්‍රසිද්ධියට පත් විය.


විශිෂ්ට ක්‍රිස්තියානි එකමුතුවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ හෙතෙම පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ බෞද්ධ නොවන උසස් නිලධාරීන් හොර රහසේ එකම වේදිකාවකට ගෙන ඒමට ක්‍රියාකරමින් සිටියදී ඒ බව රජයේ මහතැන්වල අවධානයට යොමු විය. එවකට පොලිස්පතිව සිටි රිචඞ් අළුවිහාරේ මහතාටවත් ආංබාං කර ගැනීමට බැරි වූ සිඞ්නිට එරෙහිව රාත්‍රි භෝජන සංග්‍රහයක දී බණ්ඩාරනායක අගමැතිවරයා පැවැසූ ඇනුම් පදයකට ඔහු දැඩි ලෙස විරුද්ධත්වය පළ කළේය. රෑ කෑමෙන් පසු කියන කතා ගණන් ගන්නට එපා යනුවෙන් අගමැතිවරයා පැවසීම නිසා සිද්ධිය එතෙකින් නිමාවට පත්විය.


අගමැති බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව සහ රාජ්‍ය විරෝධී පෙළගැස්මක් ඇති බව පාර්ලිමේන්තුවේදී ප්‍රථමයෙන් අනාවරණය කරන ලද්දේ එවකට විපක්ෂයේ සිටි සමසමාජ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සහ මහජන එක්සත් පෙරමුණේ නායක පිලිප් ගුණවර්ධන මහතා ද විසිනි.


“ඉතාම සූක්ෂම ලෙස තමන් අතට රාජ්‍ය බලය ලබා ගැනීමේ ප්‍රයත්නයක යෙදෙන පුද්ගලයෙකු දැන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක සිටින බව සඳහන් කිරීමට කැමැත්තෙමි. පොලිස්පතිවරයා පවා පසෙකට තල්ලු කරමින් උසස් නිලවලට සිය සහචරයන් පත් කරගැනීමට ඔහු ක්‍රියා කරයි.” යනුවෙන් ආචාර්ය පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.


ආචාර්ය පෙරේරා මහතාගේ කතාව අනුමත කරමින් පිලිප් ගුණවර්ධන මහතා විසින් කරන ලද කතාවක දී තමන්ට අපහාසයක් වී යයි සඳහන් කොට ඊට විරුද්ධව සිඞ්නි සොයිසා මහතා නඩුවක් පැවරුවද එය පරාජයට පත්විය. ඇන්. ඇම්. ගේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කළ මුදල් ඇමැති ස්ටැන්ලි ද සොයිසා මහතා අදාළ පොලිස් නිලධාරියා තමාගේ සහෝදරයා බවත් ඔහු එවැනි කිසිම සංවිධානාත්මක කටයුතුවලට සම්බන්ධ නැති බවත් කියා සිටියේය.


කොළඹ රොස්මිඞ් නිවසේදී බණ්ඩාරනායක මහතා ඝාතනය කරන ලද දින උදෑසන සිඞ්නි සොයිසා සහ ඔසී කොරයා එතැනට පැමිණ සිටීම ගැන නොයෙක් ආකාරයේ කතා පැතිර ගියේය.


බණ්ඩාරනායක ඝාතනයෙන් පසු වැඩ බලන අගමැති තනතුරට පත්වූ විජයානන්ද දහනායක මහතා සිඞ්නි ද සොයිසා සිය රජයේ අභ්‍යන්තර ආරක්ෂක ලේකම් පදවියට පත් කරගැනීම බොහෝ මතභේදයට තුඩු දුන්නේය.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති පදවියට පත්වී පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීමෙන් පසු එතුමියගේ රජය පෙරළා දැමීමට විශේෂිත කණ්ඩායමක් ගනු ලැබූ තීන්දුව ක්‍රියාත්මක කිරීමේ සැලසුම සිඞ්නි ද සොයිසාට භාර විය. සේවයෙන් විශ්‍රාම ලැබූ ඔහු සීමාසහිත ටයිම්ස් ඔෆ් සිලෝන් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ විධායක අධ්‍යක්ෂ පදවිය ලබාගෙන පොලිසියේ සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් හමු වී රජය පෙරළා දැමීමේ කුමන්ත්‍රණයට ඔවුන් සහභාගි කර ගැනීම පිණිස රට පුරා සංචාරය කළේය. ඔහුට අවශ්‍ය වූයේ පාකිස්තානයේ අයුබ් ඛාන් මාදිලියේ රාජ්‍ය පෙරළියකි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අයෝමය බලයක් ලබා සිටි ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක සිඞ්නිගේ ප්‍රධාන දේශපාලන හතුරා විය.


1962 ජනවාරි 26 වැනිදා කරගමට යාමට නියමිතව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එහිදී හෝ පසුදා ආපසු කොළඹට පැමිණි විට අත්අඩංගුවට ගැනීමටත් ඒ සමගම ලංකා ගුවන් විදුලිය සියතට ගෙන නව රජයක් පිහිටවූ බව නිවේදනය කිරීමටත් කුමන්ත්‍රණකරුවෝ සැලසුම් කළහ. අගමැතිනිය කතරගම ගමන අවලංගු කළ නිසා තත්ත්වය වෙසස් විය. 27 වැනිදා රජයේ බලය අල්ලා ගැනීමට තීන්දු කර තිබිණි.


කෙසේ වුව කුමන්ත්‍රණ සැලසුම හෙළිවී ඇති බව සැලවූ සිඞ්නි ද සොයිසා වහාම ටයිම්ස් මන්දිරයට ගොස් පසුදා නිකුත් කිරීම පිණිස අකුරු අමුණා තිබූ ටයිම්ස් පත්‍රයේ මුල්පිටුවේ පිටපත් දෙකක් ලබා ගෙන අකුරු ඇමුණුමට පයින් ගසා විනාශ කොට දඩිබිඩියේ පඩි පෙළින් බිම් මහලට බැස සිය මෝටර් රියේ පසුපස දොර විවෘතකොට ටයර් ටියුබයක් පිහියකින් පලා පත්තර පිටු දෙක එය තුළට දමාගෙන පිටවී ගෙස් ඇත. රාජ්‍ය පෙරළි කුමන්ත්‍රණය සාර්ථක වී නම් පසුදා පිටවීමට තිබූ මුල් පිටුව එය විය. එහි ප්‍රධාන ශීර්ෂ පාඨය ,උෑඛඣඵෑ භෑඋ ඍෑඨෑඵෑ,  විය.


ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ පරීක්ෂණ මෙහෙයුම යටතේ පසුදා වන විට සිඞ්නි ද සොයිසා ඇතුළු ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ උසස් නිලධාරීන් 26 දෙනෙක් අත්අඩංගුවට ගෙන විශේෂ උසාවියකින් සැකකරුවන් වරදකරුවන් කරනු ලැබුවද එංගලන්තයේ ප්‍රීවි කවුන්සලයෙන් ඔවුහු කුමන්ත්‍රණ චෝදනාවෙන් නිදහස් කරණු ලැබූහ.


1994 ඔක්තෝබර් 26 වැනිදා මියයන තුරුම සිඞ්නි ද සොයිසා විශේෂිත වූ පැලැන්තියක නායකත්වය දැරුවේය.

 

 

 

 

 


උපාලි රූපසිංහ