1948 පෙබරවාරි 04 නිදහස ලබා ගැන්මෙන් පසු ශ්‍රී ලංකාවේ 1952 මහා මැතිවරණයේදී එ.ජා. පක්‍ෂය ආසන 95 න් 54 දිනා ඩඞ්ලි සේනානායක මහතා අගමැති ධුරයට පත්වූයේ 1952 ජුනි 19 වැනි දිනදී ය. ප්‍රධාන විරුද්ධ පක්ෂය වූ ශ්‍රි.ල.නිපයට ආසන 09 හිමි වූ අතර ලංකා සමසමාජ පක්ෂයටත් හිමි වූයේ ආසන 09 කි. නමුත් ස්වාධීන අපේක්ෂකයෝ 12 ක් ජයග්‍රහණය කර සිටියහ.
ඒ අනුව විපක්‍ෂ නායක ධුරය ශ්‍රී.ල.නි.පයේ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකට හිමි වූ අතර ඩඞ්ලි සේනානායක මහතා අග්‍රාමාත්‍ය ආරක්ෂක හා විදේශ කටයුතු ඇමති ලෙස දිවුරුම් දුන්නේය. 14 දෙනකුගෙන් සමන්විත වූ කැබිනට් මණ්ඩලයේ පහතරට සිංහලයෝ 07 දෙනක්ද උඩරැටියෝ හතර දෙනක්ද දෙමළ ජාතිකයෝ දෙදෙනෙක් හා මුස්ලිම් ජාතිකයෙක් සිටියහ.
දිවුරුම් දුන් ඇමතිවරු 14 දෙනා මෙසේය.
1. සර් ජෝන් කොතලාවල - සභානායක ප්‍රවාහන හා රජයේ වැඩ
2. ඇම්. ඩී. බණ්ඩා - අධ්‍යාපන
3. පී. බී. බුලන්කුලම - ඉඩම් හා ඉඩම් සංවර්ධන
4. සර් ඔලිවර් ගුණතිලක - කෘෂිකර්ම හා ආහාර
5. ජේ. ආර්. ජයවර්ධන - මුදල්
6. ඇම්. සී. ඇම්. කලීල් - කම්කරු
7. සී. ඩබ්. ඩබ්. කන්නන්ගර - පළාත්පාලන
8. ඊ. ඒ. නුගවෙල - සෞඛ්‍ය
9. ජී. ජී. පොන්නම්බලම් - කර්මාන්ත හා ධීවර
10. සර් ලලිත රාජපක්ෂ - අධිකරණ
11. ඒ. රත්නායක - ස්වදේශ කටයුතු
12. ආර්. ජී. සේනානායක - වාණිජ හා වෙළඳ
13. වී. නල්ලය්යා - තැපැල් හා ප්‍රවෘත්ති
පාර්ලිමේන්තු ලේකම්වරු හෙවත් උප ඇමතිවරු 11 දෙනෙක්ද දිවුරුම් දුන්හ.
1953 වසර සඳහා වූ අයවැය ලේඛනය තුළින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා විපක්ෂ දේශපාලන පක්‍ෂවල නායකයින්ගේ මෙහෙයවීමෙන් 1953 අගෝස්තු 12 වැනි දින රට පුරා මහා හර්තාලයක් ක්‍රියාත්මක කළ අතර එහිදී පොලිස් හා හමුදා වෙඩි ප්‍රහාරවලින් 12 දෙනෙක් මියගියහ. ඉන් ඇති වූ කම්පනයෙන් අග්‍රාමාත්‍ය ඩඞ්ලි. සේනානායක මහතා 1953 ඔක්තෝබර් 12 වැනිදා ඉල්ලා අස්වූ නිසා අග්‍රාමාත්‍ය ධුරය සභා නායක සර් ජෝන් කොතලාවල මහතාට හිමිවිය. කලින් කැබිනට් මණ්ඩලයේ සිටි අයට අමතරව සර් කන්දය්යා වෛද්‍යනාදන් නිවාස හා සමාජසේවා ඇමති ලෙස දිවුරුම් දුන්නේය.
කෙසේ නමුත් බණ්ඩාරනායක මහතා සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන මෙරට සිංහල බෞද්ධ ජනතාවගේ ප්‍රසාදය ලබමින් සිටියදී පාර්ලිමේන්තුව විසුරුවා හැර 1956 මාර්තු 08 නාමයෝජනා ගැනීම සඳහාත් 1956 අප්‍රේල් 05, 07, 10 දිනවල මහ මැතිවරණය පැවැත්වීමටත් දින නියම කරන ලදී. මැතිවරණයේ පළමු දිනය වූ 1956 අප්‍රේයෙල් 05 වැනිදා ආසන 37 ක මැතිවරණ පවත්වන ලද අතර ශ්‍රිලනි පක්‍ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ආසන 27 දිනද්දී එ.ජා.ප යට හිමිවූයේ ආසන 08 පමණි. ඉන්පසු දින දෙකේ කිසිදු ආසනයක් එ.ජා.පයට හිමි නොවූ අතර මැතිවරණය අවසානයේ ම.එ. පෙරමුණ ආසන 51 ද එ.ජා පක්‍ෂයට ආසන 08 හිමි වූ අතර විපක්‍ෂ නායක ධුරය ආසන 14 ජයගත් ලංකා සමසමාජ පක්‍ෂයට හිමිවිය. උතුරේ ෆෙඩරල් පක්‍ෂයද ආසන 10 ජය ගත්තේය.
මැතිවරණයට එ.ජා. පක්‍ෂ ආණ්ඩුවේ ඇමතිවරු 12 දෙනෙක් තරග කළද ඉන් 10 දෙනෙක්ම පරාජයට පත්විය. ඒ. රත්නායක, පී. බී. බුලන්කුලම, ඇම්. ඩී. එච්. ජයවර්ධන, ෂර්ලි කොරයා, දොස්තර ඇම්. සී. ඇම්. කලීල්, ඇන්. එච්. කීර්තිරත්න, ඊ. ඒ. නුගවෙල, මේජර් මොන්ටේගු ජයවික්‍රම, ජේ. ආර්. ජයවර්ධන, සර් කන්දය්යා වෛද්‍යනාදන් යන ඇමතිවරු මෙන්ම කථානායක සර්. ඇල්බට් ඇෆ්. පීරිස් මහතාද පරාජයට පත්වූ අය අතර විය. ජයගනු ලැබුවේ අගමැති සර් ජෝන් කොතලාවල හා ඇම්. ඩී. බණ්ඩා ඇමතිතුමා පමණි. ඒ අතර පාර්ලිමේන්තු ලේකම් හෙවත් නියෝජ්‍ය ඇමතිවරු සියලු දෙනාම පරාජයට පත්වූහ. පැවති රජය හා නායකයින් මෙතරම් ප්‍රමාණයක් පරාජයට පත් වූ එකම මැතිවරණය 1956 මහ මැතිවරණයයි. අග්‍රාමාත්‍ය වශයෙන් ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා දිවුරුම් දී රට පාලනය කිරීමට එතුමාට හැකි වූයේ වසර 03 වැනි කෙටිකාලයකි. ඔහුට නිවසේ දී 1959 සැප්තැම්බර් 25 දින තල්දුවේ සෝමාරාම නමැත්තෙක් වෙඩි තබා ඝාතනය කළේය.
බණ්ඩාරගම - සමරසේන මුදලිගේ