ආමර්වීදියේ දී දැයට අහිමි වූ දෙවැනි විධායක ජනාධිපති


“දැන් වේලාව රාත්‍රී දහය පහුවෙලා. දහයෙන් පස්සේ රැස්වීම් තියන්න බැහැ තහනම්. මම හෙට මැයි දිනයේ දී කතා කරන්නම්. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායක ලලිත් ඇතුළත්මුදලි මහතාට නායකත්වය සඳහා සටන තිබුණේ ඔහු හා තරග කළ අය සමගයි. ලලිත්ගේ ඝාතනය අපි තරයේ හෙළා දකිනවා. මීනි මරුවන් කව්ද? ඇත්ත නැත්ත කුමක්දැයි ජනතාවට හෙළිවනු ඇත. අප ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම අගය කරනවා. ලලිත්ට තැබූ වෙඩිල්ල ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන අප හැමෝටම තැබූ වෙඩිල්ලක්. නමුත් ලලිත්ට සටන තිබුණේ ඔහු සමග තරග කළ අය සමගයි. අපි කව්රුත් පොදුජන සේවයට එන විට අතවරවලට මුහුණ දෙන්න, අපහාස උපහාස විඳින්න සිදුවෙනවා. කමක් නැහැ. ඒවාට මුහුණ දෙන්න. ඒවා විඳින්න අප සූදානම්....”


1993 අප්‍රේල් මස 30 වැනිදා රාත්‍රියේ දහය පසුවෙද්දී කිරුළපන පිටියේ රැස්වීමක් අමතමින් මෙම ප්‍රකාශය කළේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාය.


එහෙත් පොරොන්දු වූ පරිදි පසු දින එනම් මැයි පළමුවැනිදා සවිස්තරාත්මක කතාව පැවැත්වීමට ජනාධිපතිතුමාට ඉඩ නොලැබුණි. දෛවය එතුමාට අකාරුණික වූ සෙයකි. එවකට දරුණු ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නිරත වෙමින් වෙනම දෙමළ ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් සටන් වැද සිටි එල්ටීටීඊ බෙදුම්වාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බයකට ගොදුරු වීමෙන් ජනාධිපතිවරයා ආමර් වීදියේ දී අභාවයට පත්වූවේය. මෙම මැයි පළමුවන දිනට එම සිද්ධියෙන් විසිපස්වැනි වසර සම්පූර්ණ වේ.


එදා සිදුවූ ඛේදවාචකය මෙරට ඉතිහාසයේ ගමන් මග වෙනස් කළ සිදුවීමක් විය. අපේ රටේ සිදුවිය යුත්තේ කුමක්ද? යන්න තීරණය කිරීම මෙකල රැඳී තිබුණේ කොටි නායක ප්‍රභාකරන් වෙතය. ප්‍රේමදාස ජනාධිපති ඝාතනයෙන් පසු දිග හැරුණු සිදුවීම් මාලාව නිසා රටේ දේශපාලන ගමන් මග වෙනස් වී නව ප්‍රවණතා මතු විය. යුද්ධය නිම කිරීමට ද එම සාධක බලපෑවේ ප්‍රේමදාස ඝාතනය නිසා ඇතිවූ තත්ත්වයන් බව විචාරකයෝ පවසති. දැඩි අධීක්ෂණයෙන් සහ නිරීක්ෂණයෙන් යුතුව පැවැති ප්‍රේමදාස පාලනය අවසන්ව නිවුණු සහනශීලි නායකයෙකු වූ ඩී. බී. විජේතුංග මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ඇතිවූ ලිහිල් බව නිසා ශ්‍රී ලංකා දේශපාලනය වෙනස් වී ගිය අයුරු අපි දුටිමු. ඒ නිසා විචාරකයන්ගේ එම මතය අපට පිළිගැනීමට සිදුවනු නිසැකය. එයින් ව්‍යංගයෙන් ගම්‍ය වන අර්ථය නම් ප්‍රේමදාස මහතා යනු කිසිවෙකුට රැවටිය හැකි චරිතයක් නොවේ. සියල්ල ගැන ඔහු අවධානයෙන් සිටී.


ආර්. ප්‍රේමදාස යනු කිරෙන් කා තෙලෙන් අත සෝදන සමාජ  පන්තියට අයත් වූ පුද්ගලයෙකු නොවේ. මෙරට රාජ්‍ය නායකත්වයට පත් බොහෝ දෙනෙකු ආවේ එම සමාජ තලයෙනි. එහෙත් මොහුගේ ජන්ම ලාභය සිදුවන්නේ කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙකු වූ රිචඞ් රණසිංහ සහ ජයසිංහ ආරච්චිගේ එන්සිනා හාමිනේ යන දෙමාපියන්ට දාව 1924 ජූනි මස 23 වැනිදාය. දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූවේ මෙකී ප්‍රේමදාසය. එකල දුසිරිතෙන් සමාජ අපචාරයන්ගෙන් ගහන ප්‍රදේශයක් ලෙස නම් ලබා තිබුණ කොළඹ කෙසෙල්වත්තේ ඩයස් පෙදෙස ඔහු පදිංචි ප්‍රදේශය විය.


පිටකොටුවේ ඩයස් පෙදෙසේ පූර්වාරාමාධිපති වැලිතර ශ්‍රී පඤ්ඤනන්ද නායක හිමිපාණන් වෙතින් අයනු, ආයනු කියවා අත්පොත් තැබූ මෙම කුඩා දරුවා මූලික අධ්‍යාපනය සඳහා පිටකොටුවේ වේල්ල වීදියේ හාවඞ් බාලිකා පාසලට ඇතුළත් කරන ලදී. අනතුරුව කොළඹ ලෝරන්ස් විද්‍යාලයේත්, ශාන්ත ජෝසප් විද්‍යාලයෙනුත් ද්විතියික අධ්‍යාපනය ලැබුවේය. ඉගෙනීමෙන් මනා දස්කම් දැක්වූ මෙම සිසුවා දීප්තිමත් අනාගතයකට මංපෙත් විවර කරගනිමින් විශිෂ්ට කථිකත්වයක් ගොඩ නගා ගැනීමට ද ඔහුට හැකියාව ලැබුණේ මෙම කුඩා අවධියේදීමය. පාසල් සමයේ දී පවා අයුක්තිය, අසාධාරණය නොඉවසූ ප්‍රේමදාස දරුවා ළමා වියේ ඔහුගේ අත්දැකීමක් මෙසේ විස්තර කර ඇත.


“තාත්තාගේ ඉඩකඩම්වල, ගෙවල්වල, වරිපනම් ගෙවන්නට නගර සභාවට යන්නේත් මමයි, වරිපනම් බිල් ගෙවන්න ගියාම පේළියට ඉන්න ඕනෑ. බොහොම වෙලා ඉන්න ඕනෑ. මට මතකයි දවසක් දා මම ඔහොම පෝලිමේ ඉන්නකොට ඒ පෝලිම බලාගන්න පියන් කෙනෙක් තවත් මහත මිනිහෙක්ව එක්කරගෙන ඇවිත් මගේ ඉස්සරහින් නැවැත්තුවා. මම දැක්කා ඒ පියන්ට සල්ලි වගයක් දෙනවා. අරයා මේ වැඬේට මට හරියට තරහ ආවා. මම හුඟක් වෙලා පෝලිමේ හිටියා. මට ඉස්සරහින් වෙනත් මිනිහෙක් දැමීම නිසා මට ඉවසන්න බැරි තරහක් ආවා. මම ඒ පියන්ගෙන් ඇහුවා. මොකද ඕයි තමුසෙ මේ කළේ හරි වැඩක්ද කියලා. ඒ පාර මිනිහා මට සැර දැම්මා. “කට වහගෙන ඉන්නවා. කට දොඩන්න ආවොත් පේළියේ අන්තිමට තල්ලු කර දානවා. යි කියා මට සැර කළා. මොනවා කරන්නද? මම කට පියාගත්තා. මම කලිසම් කොටයක් ඇඳගත් පුංචි කොල්ලෙක්. එයා හැඩි දැඩි ලොකු මිනිහෙක්. 1950 දී කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙසින් මම පත්වී ආවා. එදා හැමටම කලින් මා හමුවෙන්නට ඇවිත් කතා කළේ කව්ද? අර එදා මට අරියාදු කරපු පියන්. අනේ සර් මට සමාවෙන්න. සර්ට එදා කළ දේ ගැන මට මතක් වෙන කොටත් බයයි. සර්ට අද ලැබී තිබෙන තත්ත්වය ගැන මට ලොකු සතුටක් ඇතිවෙනවා. ඒත් ඒ එක්කම එදා මා කළ දේ ගැන මතක් වී බයක් දැනෙනවා. මට සමාවෙන්න සර්. මට තව මාස හයයි තියෙන්නේ විශ්‍රාම යන්න. අනේ මට මොකුත් කරන්න එපා.”යි. ඇවිටිලි කරන්න පටන් ගත්තා. මට ලොකු දුකක් දැනුණා. මම එයාව සනසා අස්වසා යැව්වා. පොඩි මිනිහාට විඳින්නට සිදුවන ගැහැට ගැන පුංචි කාලෙත් මට හොඳ අවබෝධයක් තිබුණා. මම නිතරම ගැවසුණෙත් නිතරම ඇසුරු කළේත් පොඩි මිනිස්සුයි. පොඩි මිනිසුන්ගේ දරුවනුයි. ඒ නිසා පොඩි මිනිස්සුන්ගේ විදීම්, රිදීම්, හැපීම්, ගැටීම්, ඕනෑ එපාකම් හැමකෙක් පිළිබඳවම හොඳ අවබෝධයක් මට ලැබුණා. මතු කලෙක මගේ නැගීමට ඒ දැනීම ඒ ඇසුර බොහොම උපකාර වුණා.”

සමාජය යහමගට ගැනීමත් සමාජ සේවය සිදුකිරීමත් පිළිබඳව සහජ උනන්දුවක් පැවැති මෙම ශිෂ්‍යයා සාන්ත බස්තියමේ ශ්‍රී සුචරිත වාග් වර්ධන ළමා සමාජය නම් සංවිධානයක් ගොඩ නංවා එහි කටයුතු වෙනුවෙන් ඇප කැප වූවේය. එම ප්‍රදේශයේ දරුවන්ගේ සුචරිතවත් බව නංවා ලීම, ඔවුන් දුසිරිතෙන් මුදවාලීම, වැනි කටයුතුවලට එම සමිතියේ විශේෂ අවධානය යොමු විය. දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා රාත්‍රී පාසලක් පටන් ගැනීමට ද එම ළමා සමාජය ක්‍රියා කළේය. සාන්ත බස්තියමේ රික්ෂෝ මඩුවක ආරම්භ කළ මෙම රාත්‍රී පාසල ප්‍රදේශයේ දිළිදු දෙමාපියන්ගේ  දරුවන්ට  තම නැණ නුවණ වර්ධනය කර ගැනීමට ඉතා ප්‍රයෝජනවත් විය.
එවකට පළාත් පාලන ඇමැතිවරයාව සිටි ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට මෙම සමිතියේ රැස්වීම් වාරයකට ඇරයුම් ලැබුණි. ඒ ඔහු සිරිමාවෝ රත්වත්ත මෙනවිය සමග  විවාපත් නොබෝ දිනකදීය. ආරාධනාව පිළිගැනුණි. බණ්ඩාරනායක යුවළ සුචරිත ළමා සමාජයේ රැස්වීමට සහභාගි වූහ. එය එම සමිතියේ ඓතිහාසික අවස්ථාවක් විය.


සුචරිත ළමා සමාජය, බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථකව ඉදිරියට  මෙහෙය වීමට ප්‍රේමදාස තරුණයා සමත් විය. ප්‍රදේශයට ව්‍යසනයක්ව පැවැති මත්පැන් උවදුර පිටු දැකීම සඳහා තැබෑරුම් වැසීම කළ යුතු යැයි ගෙන ගිය උද්ඝෝෂණ නිසා එම මත්පැන් අලෙවි කරන තැබෑරුම් කීපයක් වසා දැමීමට බලධාරින්ට සිදුවිය. ඉහත කී ළමා සමාජය මගින් ආරම්භ කරන ලද මැහුම් පාසල නිසා තරුණියන්ට ද අත්වූවේ මහත් ලාභයකි.
“හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ” යයි කියමනක් වේ. ශිෂ්‍ය අවධියේ සිටම සමාජයට ආදරයෙන් තම ශක්ති ප්‍රමාණයෙන් සේවයට කැපවූ ප්‍රේමදාස තරුණයාට කොළඹ නගර සභාවට තරග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීම් ලැබෙන්නට විය. ඒ අනුව ඒ. ඊ. ගුණසිංහ මහතාගේ කම්කරු පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් තරග වැදී 1950 දී සාන්ත බස්තියම කොට්ඨාසයේ නාගරික මන්ත්‍රීවරයා ලෙස පත්වීමට ඔහුට වාසනාව ලැබුණි. එය දීර්ඝ දේශපාලන ගමනක ආරම්භය විය. 1954 දී එවකට  නගරාධිපතිව සිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ගෙනා විශ්වාසභංග යෝජනාවේ දී කම්කරු පක්ෂය සතුව තිබූ ඡන්ද දෙක ඉතා තීරණාත්මක විය. ජය පරාජය රැදී තිබුණේ ඔවුන් අතය. මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙමින් එම පක්ෂයට එකතු වූ ප්‍රේමදාස මහතා 1956 මැතිවරණයේදී ආචාර්ය ඇන්. ඇම්. ගේ බළකොටුව වූ රුවන්වැල්ල ආසනයට තරග වැදුණේ අසාර්ථක වන බව දැන දැනමය. 1956 දී මහා සුළි සුළඟට අසුවී සියලු යූ.ඇන්.පී. දැවැන්තයන් ඇද වැටෙද්දී නවක ප්‍රේමදාසයන්ට ද එම ඉරණමම අත් විය. එහෙත් තම බල ප්‍රදේශය වූ මැද කොළඹ බහු මන්ත්‍රී ආසනයෙන් තරග වැදුණේ නම් තුන්වැනි මන්ත්‍රීවරයා වශයෙන් හෝ මැති සබයට යාමට අවස්ථාව තිබුණු බව එකල බොහෝ දෙනා කීහ. එම පරාජයෙන් අධෙර්යට පත් නොවූ ඔහු නැවත පක්ෂය ජයග්‍රහණයේ මාවතට යොමු කරවීමට පෙරමුණ ගත්තේය. එම ප්‍රයන්තය කෙතරම් ප්‍රබල වීද යත් ඩඞ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන යන ප්‍රධාන නායකයන් දෙදෙනා අතරට නම කියවෙන චරිතය බවට මේ නවක තරුණයා පත් විය.

 

 


මතු සම්බන්ධයි.

 


සෝමසිරි වික්‍රමසිංහ