බි්‍රතාන්‍ය යටත්විජිත යුගයේ දේශීය ව්‍යාපාරික පංතිය ව්‍යවස්ථාදායක බලය තමුන් වෙත ලබාගැනීම සඳහා කළ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 1927 නොවැම්බර් 13 වැනි දින ඩොනමෝර් සාමිගේ ප්‍රධානත්වයෙන් සර් මැතිව් නේතන්, සර් ජෙෆ්රි බට්ලර්, ආචාර්ය සී. ඩ්‍රමන්ෂීල්ස් ගේ සහභාගීත්වයෙන් කොමිසමක් පත්කර එවූයේ පවතින ආණ්ඩු ක්‍රමය පිළිබඳවත් ඊට සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳවත් සොයා බැලීමටය.
ඒ අනුව ඔව්හු ලංකාවට සර්වජන ඡන්ද බලය සහිත මන්ත්‍රීවරු 61 කින් යුත් රාජ්‍ය මන්ත්‍රණ සභාවක් යෝජනා කළ අතර ලංකාව ඡන්ද කොට්ඨාස 50කට බෙදා සර්වජන ඡන්දයෙන් මන්ත්‍රීන් තෝරා ගතයුතු බවට වාර්තා කර සිටියේය. ඒ අනුව බස්නාහිර පළාතට කොට්ඨාස 14 ක්ද, මධ්‍යම පළාතට 08 ක්ද, දකුණු පළාතට 02 ක්ද, වයඹ පළාතට 05 ක්ද, උතුරුමැද පළාතට 01 ක්ද, ඌව පළාතට 03 ක්ද, සබරගමු පළාතට 05 ක්ද වශයෙන් ඡන්ද කොට්ඨාස බෙදන ලදී.
මේ අනුව පිහිටුවීමට යෝජිත ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා මන්ත්‍රීන් තෝරා ගැනීමට 1931 මැයි 04 වැනිදා නාමයෝජනා කැඳවන ලදී. මැතිවරණ 1931 ජුනි 13 වැනිදා සිට 20 වැනිදා දක්වා පවත්වන ලදී. දේශපාලන පක්‍ෂ බිහිවී නොතිබුණු මෙකල එක් එක් අපේක්‍ෂකයාට වර්ණයක් ලබාදී එම වර්ණවලින් ඡන්ද පෙට්ටි සකස් කර ඡන්දපොළේ තැබීම සිදුවිය. ඒ අනුව ඡන්ද දායකයෝ තමන් කැමති අපේක්‍ෂකයාට ඡන්දය දී ඔහුට අදාළ පාට සහිත පෙට්ටියට ඡන්දය දැමිය යුතු විය.
මෙම මැතිවරණයේදී අපේක්‍ෂකයෝ 09 දෙනෙක් නිතරඟයෙන් තේරී පත්වූ අතර, මිනුවන්ගොඩ ඩී. එස්. සේනානායක, කැලණිය සර් ඩී. බී. ජයතිලක, වේයන්ගොඩ, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, හැටන් පෙරී සුන්දරම්, බදුල්ල ඩී. එච්. කොතලාවල, බිබිලේ ජී. සී. රඹුක්පොත, දැදිගම ඒ. එෆ්. මොලමුරේ, රුවන්වැල්ල ජේ. එච්. මීදෙනිය අදිකාරම්, බළන්ගොඩ ජේ. සී. රත්වත්ත අදිකාරම් එම 9 දෙනා වෙති.
රුවන්වැල්ල කොට්ඨාසය සඳහා නිතරඟයෙන් තේරී පත්වූ ජෝන් හෙන්රි මීදෙනිය අදිකාරම් තුමාට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඩී. එස්. සේනානායක මහතාගේ සභාපතීත්වයෙන් යුත් කෘෂිකර්ම හා ඉඩම් කාරක සභාවේ සාමාජිකත්වයද හිමි විය. නමුත් ඔහුට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් සේවය කළ හැකි වූයේ මාස හතරකුත් එක් දිනයක් පමණි. 1931 සැප්තැම්බර් 05 වැනි දින ඔහු මිය ගියේය. ඔහුගේ මරණයෙන් පසු පැවැත්වූ හත්දින දානයෙන් ඉක්බිති පැමිණි ඡන්ද දායක නියෝජිත පිරිසක් ඔහුගේ දියණිය වූ ඇඞ්ලින් මොලමුරේ කුමාරිහාමිගෙන් ඉල්ලීමක් කරමින් අතුරු මැතිවරණයට ඉදිරිපත්වන ලෙස බැගෑපත් වීම නිසා ඇය එම ඉල්ලීමට කන්දුන්නේ ඔවුන් ප්‍රකාශ කළ පරිදි රුවන්වැල්ල ආසනය මීදෙනිය අදිකාරම්තුමාගේ පරපුරටම තබාගැනීමට අදහස් කරමිනි. ඇඞ්ලින් මොලමුරේ කුමාරිහාමි යනු මීදෙනිය අදිකාරම්ගේ දුවණිය සේම දැදිගම ආසනයට නිතරඟයෙන් පත්වී 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ එවක සභාපති ධුරය දැරූ ඒ. එෆ්. මොලමුරේ මහතාගේ බිරිඳද වූවාය. රුවන්වැල්ල මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම 1931 ඔක්තෝබර් 06 වැනිදා සිදුවිය. නාමයෝජනා 04 ක් ලැබුණු අතර ඒවා නම්,
1. ඒ. ඇෆ්. මොලමුරේ කුමාරිහාමි (සුදු පාට)
2. ආර්. ඇස්. ඇස්. ගුණවර්ධන (රතු පාට)
3. ඇලන් වී. සේනානායක (කහ පාට)
4. ඊ. වී. ආර්. ද සිල්වා (කොළ පාට)
1931 නොවැම්බර් 14 වැනිදා අතුරු මැතිවරණය පැවැත්වූ අතර සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසු පැවැති ප්‍රථම අතුරු මැතිවරණයයි. මැතිවරණයේ ප්‍රතිඵල නොවැම්බර් 16 වැනිදා ප්‍රකාශයට පත් විය.
ඒ. එෆ්. මොලමුරේ කුමාරිහාමි ඡන්ද 13,866
ආර්. ඇස්. ඇස්. ගුණවර්ධන ඡන්ද 4468
ඊ. ඒ. වී. ද සිල්වා 1950
ඇලන් සේනානායක 718
වැඩි ඡන්ද
ලියාපදිංචි ඡන්ද 31,562
ඡන්දය දුන් ගණන 21,094
නරක් වූ ඡන්ද 922
වැඩි ඡන්ද 9398 කින් ඒ. එෆ්. මොලමුරේ කුමාරිහාමිගේ ජයග්‍රහණය මෙරට කාන්තා දේශපාලනයේ නව නැම්මක් ඇති කළේය. මොලමුරේ කුමාරිහාමි රුවන්වැල්ල ආසනයට ඉදිරිපත් වූයේ සිය පියාගේ දේශපාලන උරුමය වෙනුවෙන් වූ අතර ඇය මෙරට ප්‍රථම ව්‍යවස්ථාදායක මන්ත්‍රීවරිය වූවාය. එමෙන්ම එම අතුරු මැතිවරණය රාජ්‍ය මන්ත්‍රණ සභා ආණ්ඩුක්‍රමය යටතේ ප්‍රථම අතුරු මැතිවරණයද විය. මන්ත්‍රී ආසනයක් සඳහා කාන්තාවන් සටන් වැදුණු ප්‍රථම අවස්ථාවද මෙය විය.
එමෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති ඒ. එෆ්. මොලමුරේ මහතාගේ බිරිඳ මේ ජයග්‍රහණය ලැබීමද විශේෂිත විය. මැතිවරණ ප්‍රතිඵල අනුව තුන්වන හා සිවුවන අපේක්‍ෂකයින්ගේ ඇප මුදල රාජසන්තක වීමද සිදුවිය. එදා 1931 සර්වජන ඡන්දය හිමිවූ මෙරට මුළු ජන සංඛ්‍යාව 1,577,932 ක් වූ අතර ඉන් කාන්තා ඡන්දදායිකාවන් වූයේ 599,384 පමණ බව වාර්තාවී තිබිණ.
කෙසේ නමුත් අද පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25% කිරීමට නීති ප්‍රතිපාදන ඇතුළත් වෙද්දී ලංකාවේ ප්‍රථම කාන්තා මහජන නියෝජිතවරිය වීමේ ගෞරවය ඒ. එෆ්. මොලමුරේ කුමාරිහාමි මැතිණියට හිමි විය. ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම අතුරු මැතිවරණයෙන් ප්‍රථම කාන්තා මන්ත්‍රීවරිය මෙසේ බිහිවූවාය.
බණ්ඩාරගම
සමරසේන මුදලිගේ