ඇතා පිට ගිය ඩීඑස්ට අලි අකරතැබ්බයක්


 

 

දිනය 1949 අගෝස්තු 29 වැනිදාය. එනම් හරියටම වසර 70කට පෙරය. ස්ථානය ගල්ඔය මිටියාවතයි. ගල්ඔය වාරිමාර්ග යෝජනා ක්‍රමය ආරම්භකිරීමේ උත්සවය පැවැත්වූයේ එදාය. ජාතියේ පියා සහ මහාමාන්‍ය යන නම්බු නාමයෙන් හඳුන්වනු ලැබූ ලංකාවේ පළමු අගමැති ඩී. එස්. සේනානායකගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පවත්වන ලදී.
ඒ වන විටත් මින්නේරිය, අල්ල කන්තලේ, පදවිය ආදී ගොවිජනපද රාශියක් අරඹා ජනතා හදවත් දිනාගෙන සිටි ඩී. එස්., බලය හේතුකොට ගෙන ඔ`ඵව උදුම්මවා නොගත් ජනතා පුත්‍රයෙකි. ගල්ඔය යෝධ වාරිමාර්ග යෝජනා ක්‍රමයෙන් සෙත සැලසුණු ගොවීන් සංඛ්‍යාව 2,50,000කට වැඩිය. මිනිපේ, අම්පාර ආදී දැවැන්ත කෘෂි ව්‍යාපාරවලින් සෙත සැලසුන සංඛ්‍යාව ලක්‍ෂ ගණනකි.


ඒ වන විට 65 හැවිරිදි වියේ පසුවූ ඩී. එස්. සේනානායක මෙම උත්සවයට සහභාගි වූයේ තම බිරිඳ වූ මොලී දුනුවිල සහ පුතා වූ ඩඞ්ලි සේනානායක සමඟය. ඩී. එස්. සේනානායක ගල්ඔය මංසන්ධියට කැඳවාගෙන ආවේ සරසන ලද ඇතෙකු පිට නංවාගෙනය. ඩඞ්ලිද එම පෙරහැරේ ඉදිරියෙන්ම ගමන් කරමින් සිටියේය.
මහා කලබලයකි. ඩී. එස්. තම පිටමත තබාගෙන ගමන් ගත් ඇතා හදිසියේම වේගයෙන් දුවන්නට පටන් ගත්තේය. ඇතා දුවන වේගය වැඩි කළේය. කවුරුත් අගමැතිතුමා බිම වැටී ඔහුට විපතක් සිදුවේයයි වික්ෂිප්තව බලාගෙන සිටියහ. ඇත් ගොව්වාටද ඇතා පාලනය කරගත නොහැකි විය. ඊළඟට සිදුවන්නේ කුමක්දැයි කව්රුත් තෘෂ්ණිම්භූතව බලගෙන සිටියහ. 


අශ්වයින්ගේ පිට උඩ ගොස් හොඳ පළපුරුද්දක් තිබූ ඩී. එස්.ට ඇත් ගමන හෝ ඇතුන් පිට උඩයාම හෝ පිළිබඳව දැනුමක් නොතිබුණි. මේ ඔහුද භීතියට පත්වූ මොහොතකි. ඇතා ඇත් ගොව්වාගේ විධානයද සත පහකට ගණන් නොගෙන දුවගොස් ඇළකට පැන්නේය. වතුර බීගෙන බීගෙන ගියේය. හොඬට වතුර ගෙන මේ තේජවන්ත මිනිසාගේ සිරුරට ජලය ඉසින්නට පටන් ගත්තේය. කොටින්ම කියනවා නම් ඇතා ඩී. එස්. නෑව්වේය. ඩී. එස්. ට වතුරත් හොඳට පෙවුණේය. ලංකාවේ ප්‍රථම අගමැති හොඳට වතුර බිව් දවස මෙයයි.
ඉන්පසු ඇතා ඉතා සාන්ත දාන්තව ඩී. එස්. අගමැති වරයා තම පිට මතින් ඉතා ආරක්‍ෂා සහිතව ගල්ඔය මංසන්ධියේ උත්සව සභාව වෙත ගෙනගියේය. ඩී. එස්. සිනහවෙමින් ඇතාට ආචාර කරමින් ඇතාගේ පිටෙන් බිමට බැස්සේය.


මෙහිදී ඩී. එස්. සේනානායකයන් මේ ඇතා සිදුකළ දෙය තම කතාවට උදාහරණයක් වශයෙන් යොදා ගත්තේය. “මේ ඇතා වතුරත් බීලා මාත් නාවලා මට වතුර ලබාදුන්නේ කෙසේද, ඔබලා සියලු දෙනාට මම යල මහ දෙකටම නාන්න, බොන්න පමණක් නොව ගොවිතැන් කරන්නත් වතුර ලබාදෙනවා” යැයි ගොවිජනතාවගේ ඔල්වරසන් මධ්‍යයේ කියා සිටියේය මගෙන් පසු මගේ පුතා වූ මේ ඉන්න ඩඞ්ලි කෘෂිකර්ම ඇමැති වශයෙන් මගේ වැඬේ ඉදිරියට ගෙනයනවා ඇති.” ඔහු එසේද කියා සිටියේය. ඒ වන විට ඩඞ්ලිගේ වයස අවුරුදු 36කි.


ඊට කලකට පසු ඩඞ්ලි සේනානායක කෘෂිකර්ම ඇමැති වශයෙන් තාත්තාගේ මහජන සේවය ඉදිරියට ගෙන ගියේය. තාත්තා නොසිතූ පරිදි ඩඞ්ලි තාත්තා දැරූ අගමැති පදවියද දැරුවේය. තාත්තාගෙන් පසු රට පුරා වගා සංග්‍රාමය ඇරඹුවේ “බත් දුන් පියා” යයි විරුදාවලිලත් ඩඞ්ලිය.


එදා 1949 අගෝස්තු 29 වැනිදා ගල්ඔයදී ඇතාගේ පිට උඩින් බිමට නොවැටුණ ඩී. එස්. සේනානායක අගමැතිවරයා ඊට වසර 3කට පසු එනම් 1952 මාර්තු 22 වැනිදා කොළඹ ගාලු මුවදොර පොලිසියට අයත් චිත්‍රා නැමති අශ්වයාගේ පිට උඩින් බිමට වැටී සදහටම දෙනෙත් පියා ගත්තේය. පොලිස්පති සර් රිචඞ් අලුවිහාරේ, කැබිනට් ඇමැති ජී. ජී. පොන්නම්බලම්, පොලිස් පරීක්‍ෂක එඩී ග්‍රේ ආදීන් ඒ අසලම සිටියත් මෙම විපතින් ඩී. එස්. ගලවා ගැනීමට ඔවුහුද අසමත් වූහ.


එවකට බි්‍රතාන්‍යයේ අගමැති ධුරය දැරූ සර් වින්සන්ට් චර්චිල් ඩී. එස්. අගමැතිවරයාගේ දිවි ගලවා ගැනීමට වහාම විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ලංකාවට එවනු ලැබූහ. එහෙත් ඒ වනවිටත් ඩී. එස්. දිවියෙන් සමුගෙන තිබුණි. ඇතාගේ පිටෙන් නොවැටී බේරුණ ඩී. එස්. අශ්වයාගේ පිටෙන් බිමට වැටී මියගියේය.


ඔහු ඡන්දය බලාගෙන වැඩ කළ ජන නායකයෙකු නොවේ. රටේ අනාගත අභිවෘද්ධිය තකා ජීවිතය කැප කළ ශ්‍රේෂ්ඨ මිනිසෙකි. රටපුරා ඇති ගොවි ජනපද ව්‍යාපාර ඔහු ඉටු කළ සේවයට නිහඬ සාක්‍ෂිය. ඩී. එස්. ගේ මරණයෙන් පසු සර් ජෝන් කොතලාවල, සහ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැති පුටුවට පොර කෑවේය. ඔවුනට තම බලාපොරොත්තුව ඉටුකර ගත හැකි විය.

 

 

සිරී හීන්පැල්ල
ඡායාරූපය අන්තර්ජාලයෙනි