ඇතුගල්පුර දළ ඇතාගේ කතාව


හතළිස් වසරක් යනු දීර්ඝ කාලයකි. කෙනෙකුගේ වැඩිහිටි දිවියෙන් හතළිස් වසරක් මහජන සේවය සඳහා යොදවන්නට හැකිවන්නේ කලාතුරකින් කෙනෙකුට බව අපි දනිමු. එයිනුත් පුරා හතළිස් වසරක් අපරාජිතව පාර්ලිමේන්තුවේත් පළාත් සභා ඉහළ තනතුරුවලත් මහජන සේවය සැලසීමට කෙනෙකුට අවස්ථාව ලැබේ නම් එය ඉතාම විරල ගණයේ අත්දැකීමකි.

 


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියට හතළිස් වසර සම්පුර්ණවීමේ සංවත්සරය එක්සත් ජාතික පක්ෂයත් වෙනත් සංවිධානත් නොබෝදා පවත්වනු ලැබීය. එතුමා සමගම ව්‍යවස්ථා දායකයට සපැමිණි තවත් එකම දේශපාලනඥයෙකු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ සිටී. එම පක්ෂයේ ආරම්භක නායකයා වූ ඩී. ඇස්. සේනානායක මහතාගේ යුගයේදී තරුණයෙකු වශයෙන් පක්ෂ සාමාජිකත්වය ලබාගත් මෙම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා වන්නේ තමා දැරූ තිරසාර සංවර්ධනය සහ වනජීවී කටයුතු ඇමැති ධුරයට අමතරව නොබෝදා බුද්ධ ශාසන ඇමැති ධුරයෙන්ද පිදුම් ලැබූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාය.


අද කුරුණෑගල නමින් හැඳින්වෙන පුරවරය ඇතුගල්පුරය නමින්ද පොත පතෙහි සඳහන් වේ. කුරුණෑගල පිහිටා ඇති ඇතුගල එවැනි නමක් ව්‍යවහාරයට පැමිණීමට හේතුවූවා විය හැකිය. පැරණි රාජධානියක් වශයෙන්ද ඉතිහාසයට එක්ව ඇති ඇතුගල්පුරය බෞද්ධ ආගමික සාහිත්‍ය කලා විෂයන්හි ද නමක් දිනා ඇත.

 

දේශපාලන වශයෙන් සලකන විට කුරුණෑගල ප්‍රදේශයෙන් බිහිවූ ප්‍රබලතම දේශපාලනඥයා 1931 දී එම ආසනයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූ ජෝන් කොතලාවල මහතාය. ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ සර්වජන ඡන්ද බලය හිමිවීමත් සමග නිර්මාණය වූ එම සභාවේ කුරුණෑගල ආසනය යනු වර්තමානයේ නිකවැරටිය, යාපහුව, ගල්ගමුව, හිරියාල, දොඩම්ගස්ලන්ද, වාරියපොළ, කටුගම්පොළ, බිංගිරිය, පොල්ගහවෙල, දඹදෙණිය, පඬුවස්නුවර, මාවතගම, කුලියාපිටිය සහ කුරුණෑගල යන මැතිවරණ ප්‍රදේශ දහ හතරකට අයත් විසල් ප්‍රදේශය විය.


එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ සලකුණ ඇතාය. නැතිනම් අලියාය. එනිසා එම පක්ෂයේ කිසිවෙක් තමා ඇතෙකැයි හඳුන්වනවාට විරුද්ධ නොවනු ඇත. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසය සලකන විට ඇතුගල්පුරයෙන් (කුරුණෑගලින්) බිහිවූ ප්‍රතාපවත්ම හස්තිරාජයා නිසැකවම සර් ජෝන් කොතලාවල මහතාය. උපතින් හිමිවූ ප්‍රභූත්වයත් ගතිපැවතුම් සහ හැසිරීම් රටාවත් ඍජු ප්‍රතිපත්තියත් අනුව සලකන විට සර් ජෝන් වූ කලී සද්දන්ත කුලයේ ඇත් රාජයෙකි. ඉන් අනතුරුව ඇතුගල් පුරයෙන් බිහිවූ යූ. බී. වන්නිනායක, ඇම්. ඩී. බණ්ඩා, ඩී. බී. වෙලගෙදර ආදී නායකයෝ මහත්මා දේශපාලනයට පරමාදර්ශයක් වෙමින් මහජන සේවය ඉටුකළහ. ජනතාවට ඉතා ඉහළ සේවාවක් සැලසූහ.


යුගයක් ගෙවී ගියේය. අගමැති සර් ජෝන් කොතලාවල මහතා නියෝජනය කළ දොඩම්ගස්ලන්ද ආසනය පමණක් ඉතිරි කරමින් 1956 මහා මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ අනෙක් ආසන සියල්ලම එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්විය. වරින් වර මෙම තත්ත්වය වෙනස් වූ අවස්ථාද තිබුණි. 1965 මැතිවරණයේදී බහුතරය දිනා ගැනීමට එම පක්ෂයට හැකිවූ අතර ඇමැති තනතුරු තුනක්ද එම දිසාවෙන් පැමිණි ප්‍රබල මන්ත්‍රීවරුන්ට හිමි විය. යාපහුවෙන් පත්ව ආ යූ. බී. වන්නිනායක මහතාට මුදල් ඇමැති ධුරයත් කුලියාපිටිය මන්ත්‍රී අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා අධ්‍යාපන ඇමැති වශයෙනුත් පත්වීම් ලැබූහ. පොල්ගහවෙල මන්ත්‍රී ඇම්. ඩී. බණ්ඩා මහතාට කෘෂිකර්ම ඇමැති ධුරය පිරිනැමුණි.


ලංකාවේ පැවතුන තට්ටු මාරු දේශපාලන සංස්කෘතිය මේ රටේ සංවර්ධනයට මෙන්ම ආර්ථික දියුණුවටද මහත් බාධාවක් බව දේශපාලන නිරීක්ෂකයන් පැවසුවේ වරක් දෙවරක් නොවේ එහි යම් සත්‍යයක්ද තිබුණි. එක් ආණ්ඩුවක් යම් වැඩ පිළිවෙළක් සැලසුම් කර ක්‍රියාවට නැංවීමේදී අතරමගදී එලඹෙන මැතිවරණයකදී පරාජය වුවහොත් එම ක්‍රියාකාරකම් සියල්ලම ඇනහිටී. ඊළඟ රජයේ ඉරණමද එය වේ. 1970 මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නැවතත් විශාල පරාජයකට පත් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා ලංකා කොමියුනිස්ට් පක්ෂය යන තුන්හවුල තුනෙන් දෙකේ බලයක් සහිතව රජයක් පිහිටුවන ලදී. එම මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් යූඇන්පියට දිනාගත හැකිවූවේ එකම ආසනයක් පමණි. ඒ හිරියාල ආසනය දිනා ව්‍යවස්ථාදායකයට පැමිණි හත්කෝරළයේ තනි අලියා යැයි විරුදාවලි ලැබූ ඇස්. බී. හේරත් මහතාය.


දත් තිස් දෙක මැද දිව රැකගත්තාක් මෙන් ආණ්ඩු පක්ෂයේ උද්‍යෝගිමත් පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ බාධා කිරීම් කොතෙකුත් සිදු වෙද්දී හිරියාල මන්ත්‍රී ඇස්. බී. හේරත් මහතා තම විපක්ෂයේ වගකීම් ඉටුකළේය. වරක් උපහාසයට මෙන් හෙල්මට් ආවරණයක් හිස පැලඳ පාර්ලිමේන්තුවට පැමිණියේ මැතිසබේදී සිදු කෙරෙන බාධා කිරීම් ගැන විරෝධය පළකිරීමක් වශයෙනි. කාලය ගෙවී ගියේය. පස් වසරකට පත්වූ රජය 1972 ජන රජ ව්‍යවස්ථාව සම්මත කිරීමේදී සලස්වා ගත් ප්‍රතිපාදන අනුව සත්වසරකට දීර්ඝ කර ගැනීමට ආණ්ඩුවට හැකි විය. මෙය ජනතාව අතර මහත් විවාදයකට කරුණක් වූවා සේම විරුද්ධ පක්ෂයේ නායක ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් දැඩි විරෝධතා ව්‍යාපාරයක් ද ආරම්භ කරන ලදී. එකී දිපව්‍යාප්ත උද්ඝෝෂණ මාලාව දියත් කරනු ලැබුවේ ජන වරම හිමිවී ඇති පරිදි වසර පහ අවසානයේදී මහා මැතිවරණය පවත්වන ලෙසය. එහෙත් එය ඉටු නොවිණි.


කාලීනව ඇතිවුණු නොයෙකුත් හේතූන් මත එම රජය බරපතළ ගැටලු රැසකට මුහුණ දී තිබුණි. විදේශ විනිමය හිඟය, ලෝක තෙල් අර්බුදය, බඩු හිඟය, ආහාර හිඟය, පෝලිම් බහුලවීම ආදී හේතු නිසා ජනතාව යම් පමණක පීඩාවට පත්ව සිටියහ. මෙම පසුබිම එජාප නව නායක ජේ. ආර්. ජයවර්ධන මහතාට ඉතා වාසිදායක වාතාවරණයක් ගොඩනංවා තිබුණි. එහෙත් පක්ෂය තුළ පැවැති ගතානුගතික සම්ප්‍රදායන් රැසක් වෙනස් කළ ජේ. ආර්. දිවයිනේ සෑම ආසනයකටම අතිශය ක්‍රියාකාරී නව සංවිධායකවරුන් පත්කර නව සංවිධාන ව්‍යුහයක් ඇති කිරීමටද කටයුතු කළේය. මෙම සංවිධාන ව්‍යුහය තනා නිමවන විට බලගතු රජයේ ශක්තිය අබිබවා ගිය ජයග්‍රාහී මානසික තත්ත්වයක් ඇති කර යූ.ඇන්.පී පාක්ෂිකයා ධෛර්යමත් කර ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය සක්සුදක් සේ ස්ථිර බව ඔවුන්ගේ සිත්සතන් තුළට එන්නත් කිරීමට නව නායකයා සමත් විය.

 

 

 

මතු සම්බන්ධයි.

 

 

 

 

 

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ