ජාතියක ගමන් මග ප්‍රභාෂ්වර කළ යස ඉසුරුබර ජීවිතයක් ගත කිරීමට වඩා පොදු මහජනතාවගේ දුක් කම්කටොලු හඳුනාගත් අපූර්ව මිනිසකුගේ කතා පුවත ගෙන එනුයේ මෙවන් දුර්ලභ චරිත ලක්‍ෂණයන්ගෙන් සමන්විත පුද්ගලයන් අද මෙරට ජන සමාජයෙහි දැක්ක නොහැකි හෙයිනි.
විසිවැනි සියවසෙහි පැවැති සමාජ වටපිටාව දෙදරුම් කැවූ මේ මිනිසා නානායක්කාර පතිරගේ මාටින් පෙරේරාය. නොහොත් ඇන්. ඇම්. පෙරේරාය. ඔහු උගත් දේ බොහෝය. ඒ ළපැටි අවධියෙහි දුගී පැල්පතක සිට පාසල් අවධියෙහි ලද අතිශය සංවේදී වූ අත්දැකීම් සමුදායකි.
අතිශය වෙහෙස මහන්සියක් විඳදරා ගනිමින් තමන් ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ බඩ සාගිනි නිවන්නට තම පියා විඳි දුක් ගැහැට ඔහු හොඳින්ම දැන සිටියේය.
සමාජ යථාර්ථය තේරුම් ගත් මේ මිනිසා තමන්ගේ මරණය තෙක් වසර හැට හැත්තෑවක කාලයක් තුළදී තමන්ට කළ යුතු වූ මහ මෙහෙවරක් ඇති බව සිත තුළ පැලපදියම් වී සිටි හෙයින් එය පූර්ණය කළේය.
ඇන්. ඇම්. අපි හඳුනන්නේ සුප්‍රකට දේශපාලනඥයකු වශයෙනි. දේශපාලනඥයන්ගේ චරිතාපදානයන් අපි කියවා ඇත්තෙමු. ඇතැම්හු තමන් වලව්කාරයන් බව කියා ගත්හ. උපන්නේ සුවිසල් මන්දිරයකය. පියාණන් ප්‍රදේශයේ සිටි මහ බලවතාය. ගෙමිදුලේ පොල්තෙල් හිඳින සෙක්කුවක් තිබිණ. නිදාගත්තේ පබලියන් ඇඳකය. දැසිදස්සෝ අප්‍රමාණය. ඒ ඇතැම් දේශපාලන නායකයන් මහජනතාව ඉදිරියේ නිර්ලජ්ජිතව කළ ප්‍රකාශයන්ය. එහෙත් මහජනතාව ඔවුන් හොඳහැටි හඳුනාගෙන සිටියහ. එහෙත් ඇන්. ඇම්. පෙරේරා එසේ මෙසේ තම උත්පත්තිගත සිද්ධීන් පොදු ජනතාව අතරට ගෙන එනුයේ සුප්‍රසිද්ධ කතිකාවතකින් නොව අද පාර්ලිමේන්තුව එදා තිබූ ජාතික රාජ්‍ය සභාවේදීය. හැන්සාඞ් ගත වී ඇති 1972 නොවැම්බර් මස 27 වැනිදා කළ එම ප්‍රකාශය මෙසේය.
“මගේ පියාගේ නම නානායක්කාර පතිරගේ ඒබ්‍රහම් පෙරේරා. තොටළඟ කවුරුත් මගේ පියා ගැන දන්නවා. විශේෂයෙන් අබරන් කීවාම කවුරුත් දන්නවා. මා ඉපදුණේ පොඩි පැල්පතක. මගේ තාත්තා පොඩි මිනිහෙක්. පරණතාලෙ මිනිහෙක්. සතෙන් ආරම්භ කර බොහොම අමාරුවෙන් තමයි ඔහු දියුණු වෙන්න උත්සාහ කළේ. ඔහු සමසමාජවාදියෙක් නොවෙයි. තාත්තා මැරෙන තුරාම කොණ්ඩෙ බැන්ඳා. පනාවකුත් ගැහැව්වා. මා පිටරට සිටින කාලයේදී කටුකුරුන්දේ විශාල දුම්රිය අනතුරක් සිදුවූ අවස්ථාවේදී පනාවක් ඔළුවෙ ගැසූ මිනිහෙක් අනතුරකට පත් වූ නිසා අපේ තාත්තා පනා ගැසීම නතර කළා. ඉතින් මම ඔය විදියේ දුප්පත් පවුලකින් පැවත එන මිනිහෙක්. ඒ නිසා “මාටින්” කියන එක මට නම්බුවක්. මම රිදී හැන්දක් කටේ තියාගෙන ඉපදුණ මිනිහෙක් නොවෙයි. දැදිගම මන්ත්‍රීතුමාත් (ඩඞ්ලි සේනානායක) ඉගෙන ගත්තේ එංගලන්තෙ. උන්නැහෙ ‘පෝලෝ’ වලින් සමත් වුණා. පෝලෝ කියන්නෙ ධනපතියන් අස්සයො පිට නැඟලා කරන සෙල්ලමක්. මම පී.එච්.ඩී. විභාගය පාස් වුණා. අපි දෙන්නා අතර වෙනස ඒකයි.”
ඇන්. ඇම්. ගැන කියද්දී ඔහු මෙළොවට බිහි කළ මාතාව වූ රන්වලගේ ජොහානා පෙරේරා මහත්මියත් පියාණන් වූ ඒබ්‍රහම් පෙරේරා මහතාත් ගැන සඳහන් කළ යුතුය. 1905 අවුරුද්දේ ජූලි මස 05 වැනිදා මෙම දෙමහල්ලන්ට බලගතු ගැටලුවකට මුහුණ දෙන්නට සිදුවිය. බඩදරුව සිටි ජොහානා හදිසියේ ගෙමිදුලේ ඇද වැටුණේ පය ලිස්සා යාමෙනි. දරු ගැබට මාස හතක් පසු වී තිබිණ. විළි රුදාව ඇති විය. වින්නඹුවන්ගේ උදව්වෙන් ගෙමිදුලේම උපන් දරුවාට මව්කිරි උරන්නට තරම් ශක්තියක් නොපැවතිණ. එහෙත් මව්කිරි කෝප්පයකට පුරවා පාන්කඩකින් තෙමා ලේන් පැටවකුට කිරි පොවන අයුරින් තම දරුවා රැකබලා ගන්නට ඒ මාතාව දහදුක් වින්ඳේ වසර කිහිපයක් පුරාවටය.
අනිකුත් ගම්වැසි දරු දැරියන් හා සමගාමීව දුවන පනින තම දරුවා දෙස මාපියන් බැලුවේ හිත් තුළ ඉල්පගෙන එන දරු සෙනෙහෙස තුළින් පණ ලැබූවෙක් පරිද්දෙනි. ළාබාල කාලයේදී තම පවුලේ සහෝදර සහෝදරියන් සමඟ මෝදර ගල් පල්ලියේ ඉස්කෝලයට ගිය ඇන්. ඇම්. ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලට ඇතුළු වූයේ 1909 අවුරුද්දේය.
ඇන්. ඇම්. තම පූර්ණ ළමා අවධිය ගැන මෙසේ සඳහන් කර ඇත.
නන්දසේන සූරියආරච්චි ලියූ
“ඇන්.ඇම්.” කෘතියෙනි
මගේ පියාගේ නම නානායක්කාර පතිරගේ ඒබ්‍රහම් පෙරේරා. තොටළඟ කවුරුත් මගේ පියා ගැන දන්නවා. විශේෂයෙන් අබරන් කීවාම කවුරුත් දන්නවා. මා ඉපදුණේ පොඩි පැල්පතක. මගේ තාත්තා පොඩි මිනිහෙක්. පරණතාලෙ මිනිහෙක්. සතෙන් ආරම්භ කර බොහොම අමාරුවෙන් තමයි ඔහු දියුණු වෙන්න උත්සාහ කළේ. ඔහු සමසමාජවාදියෙක් නොවෙයි. තාත්තා මැරෙන තුරාම කොණ්ඩෙ බැන්ඳා. පනාවකුත් ගැහැව්වා. මා පිටරට සිටින කාලයේදී කටුකුරුන්දේ විශාල දුම්රිය අනතුරක් සිදුවූ අවස්ථාවේදී පනාවක් ඔළුවෙ ගැසූ මිනිහෙක් අනතුරකට පත් වූ නිසා අපේ තාත්තා පනා ගැසීම නතර කළා.
“1909 දී මම ගල්කිස්සේ පිහිටි ශාන්ත තෝමස් විදුහලට නේවාසික ශිෂ්‍යයකු ලෙස ඇතුළත් විමි. මා එහි යන විට වැඩිමහල් සොහොයුරු ඇන්. ඇස්. පෙරේරා ‘කොපල්ස්ටන්’ නේවාසිකාගාරයේ ශිෂ්‍ය නායකයා බවට පත් වී සිටියේය. මගේ අනෙක් සොහොයුරා නැවතී සිටියේද මේ නිවාසයේමය. මේ නිසා මුල පටන්ම මා ද ඊට ඇතුළත් විය. සාමාන්‍යයෙන් මුලින් ‘වින්චෙස්ටර්’ වැනි කුඩා නේවාසිකාගාරවල සිට ‘චමියන්’ හා ‘කොපල්ස්ටන්’ වැනි විශාල නිවාස වෙත බාලයන් යැවීමක් සිදු විය. එහෙත් පැවති එම ක්‍රමයෙන් ගැලවීගත හැකි විය.
‘කොපල්ස්ටන්’ නිවාසය විදුහලට අයත් භූමි භාගයෙන් පිටත ඉදිකොට තිබුණක් විය. පාසල් බිම තුළ නේවාසිකාගාර පහසුකම් සැලසීම මූලික අවස්ථාවේ පවතින්නක් වූ හෙයින් ඒ සඳහා පෞද්ගලික නිවසක් කුලියට ගෙන තිබිණ. එය පැරණි තරමක අබලන් තත්ත්වයක පැවති නළ ජල පහසුකම් රහිත ගොඩනැගිල්ලක් විය. මේ නිසා එම නිවසට අයත් ළිඳ වෙත යාමට අපට සිදුවූ අතර උදෑසන මුහුණ කට සෝදාගැනීම සඳහා මහත් තදබදයක් පැවතිණ. බිමට සිමෙන්ති පවා නොයෙදූ මේ අබලන් ගොඩනැඟිල්ල තුළ අප 40 දෙනෙකු පමණ සිටින්නට ඇත. උදේ තේ බීම සඳහා අප කෑම කාමරය වෙත යා යුතු විය.
කලිසම් කමිස අඳිමින් හිසවත් නොපීරා මූණ සෝදා හෝ නොසෝදා ආදී ලෙසින් කෑම ශාලාව දෙස ළමයින් දුව යනු දැක්ම බලා සිටීමට තරම් වූ දර්ශනයක් විය. සමහරෙකු යන අතරමඟ සපත්තු ලේස් ගැට ගසමින් ගමන් කළ අතර තවත් සමහරෙක් ඇඳුම්වල බොත්තම් දමමින් ගමන් කළහ. කෙතරම් අපිළිවෙළකින් පිටත් වූවද ශාලාව අබියසට පැමිණෙන විට සියල්ලෝම මනා ලෙස සැරසී සිටියහ.
මගේ පාසල් ජීවිතයේ ප්‍රීතිමත්ම අවධිය ශාන්ත තෝමස් විදුහලේ ගත කළ කාලයයි. ඒ නිසා එය සිහිපත් කළ හැක්කේ කාන්සියෙන් යුතු හැඟීමෙනි. අධ්‍යාපන කටයුතු මට ඉතා පහසු විය. ඒ සඳහා මා පෙලඹවීමක් අවශ්‍ය නොවීය. පන්තිය භාර ගුරුතුමා බලාපොරොත්තු ප්‍රමාණයට පමණක් වැඩ කළ මම කිසි විටෙක පන්තියේ ඉහළ තැනකට යා යුතු යැයි නොසිතුවෙමි. පන්තියේ මුල් දහදෙනා තුළ රැදී සිටීම මට ප්‍රමාණවත් විය.
පාසල අවසන් වූ විගස අප කෑම ශාලාවට රැස් වූයේ යන්තම් බටර් පෙන්වන ලද පාන් පෙත්තක් හා නීරස තේ කෝප්පයක් භුක්ති විඳීම සඳහාය. සමහර විට නීරස කෙසෙල් ගෙඩියක්ද ඊට එක් වන්නට ඇති මුත් එය හරියටම මට මතක නැත. කෙසේ වෙතත් අපි කෑම එතරම් ගණන් නොගත්තෙමු. තිබෙන ඕනෑම දෙයක් දඩි බිඩි ගා ගිල දැමූ අපි කෙළින්ම ගියේ ක්‍රිකට් පිටියටයි.
ක්‍රිකට් අපි කාගේත් සිත් ගත් එකම ක්‍රීඩාව විය. අපි ඒ පිළිබඳව කතාබහ කළෙමු. සිහින මැවුවෙමු. කොටින්ම අප ජීවත් වූයේ ක්‍රිකට් වෙනුවෙනි. ක්‍රිකට් සමාජ දෙකක් පාසල තුළ විය.