1988 වසරේ පැවති ජනාධිපතිවරණය විශේෂ වන්නේ ඉතා බිහිසුණු වාතාවරණයක් මැද පැවැත්වූ ඡන්ද විමසීමක් බැවිනි. 1987 පටන් ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදී කණ්ඩායම් රටපුරා ඇතිකර තිබූ භීෂණකාරී වාතාවරණය ඉතා දරුණු අන්දමින් ඒ වනවිට රට පුරා පැතිරී තිබුණි. ඡන්ද විමසීම් තබා ඡන්දය ගැන කථා කළ අයට පවා හිමිවූ දඬුවම වූයේ මරණයයි. කෙසේ වුවත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ව්‍යවස්ථානුකූල කාලපරිච්ඡේදය නිමවූ පසු ප්‍රකාශයට පත් කරන ලද ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූයේ එවකට අගමැති වශයෙන් ක්‍රියා කළ ආර්. ප්‍රේමදාස මැතිතුමාය.
එවකට විධායක ජනාධිපති ක්‍රමය ඉතා බලසම්පන්න වූත් ගාම්භීර වූත් තනතුරක් වූ බව නොරහසකි. වරෙක ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාම ප්‍රකාශ කළේ මෙම විධායක ජනාධිපති තනතුරින් කළ නොහැක්කේ ගැහැනියක පිරිමියෙකු කිරීමත් පිරිමියෙකු ගැහැනියක කිරීමත් පමණක් බවය. ඒ තරමට බලසම්පන්න තනතුරක් නිසා එම තනතුර ලබාගැනීමට පක්ෂවල ප්‍රධානීන් දැඩි උත්සාහයක නිරතවූවත් අපේක්ෂකත්වය ලැබුණේ වඩාත් ජනප්‍රිය තනතුරට ඒ වනවිටත් ළංවී සිටි ප්‍රධානීන්ටය. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක යන තිදෙනාම බලාපොරොත්තුවෙන් සිටි බව කවුරුත් දන්නා කරුණකි. එනමුත් පක්ෂයේ තීරණය වූයේ ඒ වනවිට අපේක්ෂකත්වය සඳහා හැකියාවන් තුළින්ම ළංවී සිටි ආර්. ප්‍රේමදාස මහතාට එම තනතුර ලබාදීමටයි.
ආර්. ප්‍රේමදාස මහතා දෙකොණ පත්තුවූ විලක්කුවක් බඳුව පැවති රටේ දරුණු කලබලකාරී ත්‍රස්ත ක්‍රියා මධ්‍යයේ එම තනතුරට ඉදිරිපත් වී ජයග්‍රහණය අත්පත් කර ගත්තේය. එතුමාගේ ප්‍රචාරක රැස්වීම්වලින් වැඩි හරියකට මහජනතාව සහභාගි නොවූයේ ත්‍රස්තයන්ගේ සැහැසි ක්‍රියාවලට ඔවුන් ලක්වන බැවිනි. සෙනඟ සහභාගිත්වයක් නැතිව වුවද අඩු තරමින් දහ පහළොස්දෙනකු සිටියත් රැස්වීම පවත්වා දීර්ඝ කථාවක් කිරීමට ප්‍රේමදාස මහතා කටයුතු කළේය. එතුමාගේ බලාපොරොත්තුව වූයේ ගෙවල්වල ඇතුළේ සිටින අය හෝ රැස්වීමේ කථාවලට ඇහුන්කන් දී ඒවා ප්‍රචාරය කරනු ඇති බවයි.
කෙසේ වුවද ඡන්දය ජයගත් ප්‍රේමදාස මහතා ජනාධිපති තනතුරට පත්වී වැඩිකල් යන්නට මත්තෙන් පක්ෂය ඇතුළෙන්ම යම් යම් කල්ලි කණ්ඩායම් බිහිවන්නට විය. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟලුම් කම්හල් 200 වැඩසටහන, උදා ගම්මාන පහළොස්දාහේ වැඩසටහන, උදාගම් වැඩසටහන්, ජනසවිය වැඩසටහන් ආදී පුළුල් මට්ටමේ වැඩ කටයුතු රැසක් දියත් කළ අතර මැති ඇමතිවරුන් සඳහා චර්යා ධර්ම පද්ධතියක්ද ඇති කළේය. විදේශ චාරිකා ආදියද නවතා දැමූ අතර මැති ඇමතිවරුන්ගේ සමහරක් ක්‍රියාදාමයන්ට නීති රීතිද පැනවීය. මෙබඳු හේතු අතරින් හා සමහර මැති ඇමතිවරුන්ගේ කලකිරීම් අතරින් යම් අදහසක් ඇති කරගත් ලලිත් ඇතුළත්මුදලි හා ගාමිණී දිසානායක යන ඇමතිවරුන් තවත් මැති ඇමතිවරුන්ගේ සහායෙන් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට විරෝධතාවක් පෙන්නුම් කිරීමට පියවර ගත්හ. එයට හේතුවූ තවත් ප්‍රධාන කරුණක් වූයේ අග්‍රාමාත්‍ය තනතුරයි. ලලිත් ඇතුළත්මුදලි මහතා හා ගාමිණී දිසානායක මහතා එම තනතුර අපේක්ෂාවෙන් සිටියද එය ලබාදුන්නේ ඩිංගිරි බණ්ඩා විජේතුංග මැතිතුමාටයි. මේ කරුණ නිසාත් ජනාධිපතිතුමා ගැන අප්‍රසාදයෙන් සිටි නිසා ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ නොරිස්සූ ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගනිමින් දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව 1991 අගෝස්තු 29 දින දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ජනාධිපතිතුමාට විරුද්ධව ඉදිරිපත් කරන ලද දෝෂාභියෝගයට මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගැනීමට එය සංවිධානය කළ නායකයින් විවිධ ක්‍රම අනුගමනය කරන ලද අතර එය සාර්ථක කර ගැනීමට බලවත් උත්සාහයක නිරත විය. මන්ත්‍රීවරුන්ගේ හා ඇමතිවරුන්ගේ අත්සන් ලබාගැනීමටත් තම කණ්ඩායමට සම්බන්ධකර ගැනීමටත් විවිධ උපක්‍රම හා උත්සාහයන් ගන්නා ලදී.
කෙසේ වුවද මේ අවධිය වන විට මා පාර්ලිමේන්තු කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ක්‍රියා කරන ලද අතර මා හට එම අමාත්‍ය තනතුර ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් පිරිනමන ලද්දේ මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වී මාස කීපයක් ඇතුළතදීය. ඒ නිසා ලලිත් ඇතුළත්මුදලි මහතා ඇතුලු කණ්ඩායම සිතුවේ මා ප්‍රේමදාස ජනාධිපතිතුමාට පක්ෂපාතීව සිටින අයෙකු වශයෙනි. දෝෂාභියෝග සිද්ධියේදී ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය පළ කරන ලේඛනයක්ද අත්සන් කරන ලද අතර එය සංවිධානය කළේ එවකට සභානායක රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ අනුව මාද එම ලේඛනයට අත්සන් කළ බව මතකය. කෙසේ වුවද ලලිත් ඇතුළත්මුදලි මහතා හෝ එතුමාගේ කණ්ඩායම් කිසිවකුත් දෝෂාභියෝග ප්‍රශ්නයේදී මාගේ සහාය ලබාදෙන ලෙස ඉල්ලීමක් නොකළේ මන්දැයි මම සිතුවෙමි.
1976 දී ලලිත් ඇතුළත්මුදලි මහතා රත්මලාන එජාප සංවිධායක වශයෙන් පත්වූ අවධියේ පටන් මම එතුමා හඳුනන්නෙමි. එවකට මා විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වශයෙන් සිටි අතර එක්සත් සමාජවාදී ශිෂ්‍ය පෙරමුණේ ප්‍රධානියෙකු වශයෙන් ක්‍රියා කළෙමි. ඒ අනුව මා නැවතී සිටි රත්මලාන ප්‍රදේශයේ සංවිධාන රැසක් ගොඩනැගීමට ඇතුළත්මුදලි මහතා සමග එකතු වී ක්‍රියා කළෙමි. එම සම්බන්ධතාව 1978 පමණ වනතෙක් ඉතා සමීපව පැවති අතර ඉන් පසුව එම සබඳතාව තරමක් ඈත්වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලනයට සම්බන්ධවීමත් සමගය. කෙසේ හෝ එවැනි සබඳතාවක් තිබූ ලලිත් ඇතුළත්මුදලි ඇමතිතුමා දෝෂාභියෝග ක්‍රියාවලියට මාගේ සහාය නොගත්තේ ඇයිද යන ප්‍රශ්නය මා සිතෙහි වරින්වර මතුවිය.
කෙසේ වුවද එකල එක් දිනක මා ඇතුළත්මුදලි මහතා හමුවීමට එතුමාගේ පාර්ලිමේන්තුවේ ඇති කාර්යාලයට ගොස් එවකට අධ්‍යාපන ඇමති වශයෙන් ක්‍රියාකළ එතුමාගෙන් ඉල්ලීමක් කළේ ළමයෙකු පාසලකට ඇතුළත් කරදෙන ලෙසයි. මා එය කිවූ විගසම වෙනදාටත් වඩා කුළුපගව එවෙලේම අදාළ නිලධාරීන්ට කථා කොට එය ඉටුකර දුන්නේය. මම එතුමාට ස්තුති කොට කාමරයෙන් පිටවූ අතර දෝෂාභියෝගය ගැන හෝ එයට සහාය දක්වන ලෙස හෝ කිසිවක් නොකීවේය. ඒ ගැනත් මම කල්පනා කළෙමි. කෙසේ වුවද එම දෝෂාභියෝග ප්‍රශ්නය නිමවූ අතර එතැන්පටන් ආණ්ඩුව ඇතුළේ ඇතිවුණු බෙදීම් හා හැලහැප්පිලි මධ්‍යයේ රජය කරගෙන යන ලද අතර ලලිත් ඇතුළත්මුදලි ඝාතනය, ප්‍රේමදාස ජනපති ඝාතනය, ගාමිණී දිසානායක ඝාතනය යන කම්පනදායී සිදුවීම් ඉන් පසු කාලපරිච්ඡේදයේදී සිදුවූ අතර අවසානයේ 1994 දී පැවැති ජනාධිපතිවරණයෙන් එජාපය පරාජයට පත්වී පොදුජන එක්සත් පෙරමුණෙන් එහි නායිකා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනාධිපති ධුරයට පත්වූවාය.
1994 පරාජයෙන් පසුව මා දිනක් කොලොන්නාව අසුනේ හිඹුටාන ප්‍රදේශයේ පිහිටි මාගේ බිරියගේ නිවසට ගිය අවස්ථාවකදී අංගොඩ ප්‍රදේශයේදී මාගේ මිතුරෙකු කලකට පසුව හමුවිය. ආගිය තොරතුරු විස්තර ඔහුත් මාත් කථා කළ අතර ඔහු කීවා එදා දෝෂාභියෝග වෙලාවෙදි තමුන්නාන්සෙ බේරුණේ පුදුම විධියට නේද? කියල. මං ඇහුව ඒ කථාව මොකද්ද කියලා. දෝෂාභියෝගය ඉදිරිපත් කළ කාලයේ ලංකා නැව් සංස්ථාවේ සභාපති වශයෙන් සිටි චන්ද්‍රසේන මහතා අංගොඩ පැත්තේ පදිංචිකරුවෙක්. ඔහු ඇතුලත්මුදලි මහතාගේ ළඟම හිතවතෙක්. ඔහුට ඇතුළත්මුදලි මහතා කියල තියෙනව ඔයාගේ පළාතෙන් කසාද බැඳල ඉන්න තිස්ස කුට්ටිආරච්චිගෙ සහාය කොහොම හරි දෝෂාභියෝගයට පක්ෂව ලබාදෙන්න කියල. චන්ද්‍රසේන මහතා එය භාරගත්තද මට නොකීවේය.
එහෙත් මාගේ මිත්‍රයාට එය කියා තිබේ. ඇමතිතුමා චන්ද්‍රසේන මහතාට කී කරුණ මාගේ මිත්‍රයාට චන්ද්‍රසේන මහතා කියා ඇතත් මිත්‍රයා එය මට කීවේ සියලු සිද්ධීන් ඉවර වී 1994 වෙනත් රජයකුත් පිහිටෙව්වට පසුවය. කෙසේ හෝ වේවා මා කල්පනා කළේ ඉතා සමීපව ඇසුරු කළ ඇතුළත්මුදලි ඇමතිතුමා කෙළින්ම මාගේ සහාය දෝෂාභියෝගය සඳහා ඉල්ලන්නේ නැතිව ඒ ආකාරයෙන් වෙනත් අයෙකුගේ මාර්ගයෙන් තම සහාය බලාපොරොත්තු උනේ ඇයිද කියලයි. දේශපාලන ලෝකයේ සමහර සිදුවීම්වල යථා ස්වභාවය තේරුම් ගැනීම ඉතා අපහසු වන අතර සමහර සිදුවීම් ඉතා සංකීර්ණයි.