දේ ශපාලනය යනු අද අප රටේ එදිනෙදා කථාබහට ලක්වන ප්‍රධාන පෙළේ මාතෘකාවකි. විභාග සමත් අයත් විභාග අසමත් අයත් උගත් හා නූගත් අයත් එකසේ කථා කරන මාතෘකාවක් වන දේශපාලනය ඉතා සංකීර්ණ විෂයකි. දේශපාලනය කථා කරන පුද්ගලයා සියල්ල දත් අය සේ කථා කරයි. ඔහු නොදන්නා දෙයක් නැත. දේශපාලනඥයා ද එසේය. පුවත්පත්වල පළවන තොරතුරු අනුව ළඟදී පුවත්පතක පළවූයේ අ.පො.ස සාමාන්‍ය පෙළ අසමත් මන්ත්‍රීවරු සියයකට ආසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ සිටින බවය. කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් වශයෙන් පාර්ලිමේන්තුවේ හා පළාත් සභාවේ සිටින අය අතුරින් සමහරුන් ආචාර්ය, මහාචාර්යවරුය. සමහරුන් නීතිඥවරුය. සමහරුන් වෛද්‍යවරුය. ඉංජිනේරුවරුය. තවත් සමහරු කිසිම අධ්‍යාපන සුදුසුකමක් නොමැති අයයි. එය එසේ වුවත් දේශපාලනය කථා කරන විට ඕනෑම විෂයයක් ගැන කථා කරන විට ඔවුන් ද නොදන්නා දෙයක් නැත.
එබඳු අමුතුම ආකාරයේ විෂයයකි මේ දේශපාලඥයා හා දේශපාලනය. මේ එක් පැත්තකි. තවත් පැත්තකින් බලනවිට දේශපාලනය හා පවුල, ඥාතිත්වය පිළිබඳ ප්‍රශ්නයන් ද එම ඥාතීන් දේශපාලඥයාගේ බලමහිමය ඇඟට ගෙන ක්‍රියාකරන ආකාරයක් ද දක්නට ලැබේ. දේශපාලන ඉතිහාසය පිළිබඳව සොයා බැලීමේදී දේශපාලනඥයාට තම බිරිඳ හෝ ස්වාමියා නිසා හෝ පියා හෝ මව නිසා ගැටලු ඇතිවූ අයුරුත් සහෝදර සහෝදරියන් හා වෙනත් ඥාතීන් සම්බන්ධ වීමෙන් අප කීර්තිමත් ස්වභාවයක් ඇතිවූ අයුරුත් දක්නට ලැබේ. මන්ත්‍රීවරුන් නිසා ඔවුන්ගේ ඥාතීන්ට අනිත් අය අතර සමාජයේ ඇතිවන්නේ ගෞරවයකි. සැලකිල්ලකි. එනිසාම සමාජය විසින් එම තත්ත්වයන් විවේචනයට භාජනය කිරීම පුදුම විය යුත්තක් නොවේ. සමහර විට ජනතාව ප්‍රකාශ කරන්නේ මන්ත්‍රීතුමා හොඳයි. මන්ත්‍රීතුමාගේ පවුලේ අය මන්ත්‍රීතුමාට වඩා මහන්තත්වයක් ගෙන උඬඟුව ක්‍රියා කරන බවයි. කෙසේ වෙතත් ඕනෑවට වඩා දේශපාලනඥයා තම නෑදෑ හිතවතුන් ළංකර ගනිමින් කටයුතු කිරීම ඔහුගේ පරිහානියට හේතු වන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.
ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ වර්තමානයේ ඇතිවී තිබෙන පිරිහුණු තත්ත්වය පෙන්නුම් කරන කරුණු රාශියෙන් මේ තත්ත්වය ද කැපී පෙනෙන අතර බොහෝ කාලයක් තිස්සේ දේශපාලනයේ නියැළි පවුල්වල දේශපාලන ක්‍රියාවන්හි සක්‍රියව සිටින දෙමාපියන් සහෝදර සහෝදරියන්ට එවැනි චෝදනාවක් එල්ල කළ නොහැක්කේ ඔවුන්ගේ පවුල්වල වැඩිදෙනෙක් ජනතා කැමැත්ත මතම දීර්ඝ කාලයක් මන්ත්‍රීවරුන් ඇමතිවරුන් වශයෙන් ක්‍රියා කරන බැවිනි. කෙසේ වුවද මෙවැනි සහෝදර කතා පිය පුතු කථා අන්‍ය කතා පවුල්වාදී කථා දේශපාලන ලෝකයේ නිරතුරු අසන්නට දකින්නට ලැබෙන අතර ඒවායේ යුක්තියුක්ත භාවය බුද්ධිමත්ව අප විසින් විමසා බැලිය යුතුය.
මෙම පසුබිම යටතේ දේශපාලනයට කවරාකාරයකින් හෝ එදා සිට මේ දක්වා සම්බන්ධ වී සිටින මාගේ මෙහි සඳහන් කරන ජීවිත කතාන්දරයේ යම් පැතිකඩක් තුළින් යම් අදහසක් පාඨකයාගේ සිත් තුළ ජනිත වනු ඇතැයි සිතමි. වයස අවුරුදු 15 දී පමණ සිට දේශපාලන තොරතුරු දැනගැනීමේ ආශාවෙන් පෙළුණු මා එකල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් රටේ සංවර්ධනයට රජය මගින් සිදුකරන වැඩ කටයුතු පිළිබඳව ගමේ පොදු තැනක පෙන්වන චිත්‍රපට නැරඹූ ආකාරය මතකයට නැගේ. දැන් නොයෙක් ආකාරයේ සන්නිවේදන ක්‍රම ඇතත් එකල ගම්වලට එන වෑන් රථයකින් රජයේ සංවර්ධන වැඩ පිළිබඳ කළු සුදු චිත්‍රපටයක් පෙන්නූ අතර එය ගමේ බොහෝ දෙනෙක් නැරඹූහ. දැනට රජයවල් කරනු ලබන සංවර්ධන වැඩ ගැන කෝටි ගණන් මුදල් වැය කර ජනතාවට ඒත්තු ගැන්වීමට ගන්නා උත්සාහයට වඩා එම ප්‍රාථමික සන්නිවේදන ක්‍රමය වඩාත් සාර්ථක යැයි මට සිතේ.
කෙසේ හෝ දේශපාලනය කිරීමට කැමැත්තක් තිබූ මම 1973 වසරේ විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමත් සමග විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය සංගම්වලට බැඳීම හරහා දේශපාලනයට සම්බන්ධ වීමි. එම ශිෂ්‍ය සංවිධානවල ලේකම් සභාපති සංවිධායක වැනි තනතුරු ලබාගැනීම හරහා ක්‍රියාත්මකව විශාල වැඩ කොටසක් ඉටු කිරීමට හැකිවූ අතර එනිසා එම විෂය පිළිබඳව තිබූ ඇල්ම තව තවත් වැඩි විය. ඒ අනුව එකල ලලිත් ඇතුලත්මුදලි වැනි දක්ෂ අවංක දේශපාලනඥයින් ඇසුරු කරමින් කටයුතු කරන්නට හැකි වූ අතර 1976 දී පමණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලනයට සම්බන්ධවීමි.
ඒ අනුව දොස්තර පී. එම්. වී. සිරිල් අභාවප්‍රාප්ත දොස්තර රංජිත් අතපත්තු වැනි දේශපාලනඥයන් සමග එකමුතුව දකුණේ දේශපාලනය කරන ලද අතර පළමුවරට 1981 පැවැත් වූ දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයට ඉදිරිපත් වීමි. එතෙක් පැවති ගම් කාර්ය සභා හා සුළු නගර සභා වෙනුවට හා දිස්ත්‍රික්කයේ පොදු සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළව පිහිටවනු ලැබූ නවතම ක්‍රමයක් වූ සංවර්ධන සභා පිළිබඳ ඡන්දයට ඉදිරිපත් වුණෙමි. එහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් මාහට ලබා ගැනීමට හැකිවූ අතර ඒ නිසා දිස්ත්‍රික් සංවර්ධන සභාවේ විධායක මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වීමි. එම අවස්ථාවේ ඒ සම්බන්ධ කිසිම අවස්ථාවකට මාගේ පියාණන් හෝ මෑණියන් සම්බන්ධ නොවූ අතර නාමයෝජනා භාරදුන් අවස්ථාවේ හෝ ජයග්‍රහණය කළ අවස්ථාවේ පවා සුබ පැතීමට හෝ එක් නොවූහ. මා සිටියේ හම්බන්තොට ප්‍රදේශයේය. අම්මා හා තාත්තා සිටියේ මාතර දිස්ත්‍රික්කයේ පුහුල්වැල්ල වලකන්ද ග්‍රාමයේය. ඔවුන් මාගේ කිසිම දේශපාලන වැඩකට සම්බන්ධ නොවූ අතර සතුට ප්‍රකාශ කිරීමක් ද නොවුණි. එය ඔවුන්ට නොතේරෙන බවක් නිසා නොවේ. ඔවුන් දේශපාලන කටයුතු එතරම් ගණන් නොගැනීමයි. සාමාන්‍ය ජීවිතයක් ගත කළ ඔවුන් අපගේ ක්‍රියාවන් පිළිබඳව උපේක්ෂාවෙන් සිටියා මිස ඒවා කිසිසේත් ඇඟට ගත් බවක් නොපෙනුණි.
මේ අතර 1989 පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයට මා ඉදිරිපත් වූයේ ඉතා දරුණු වූ ජේ.වී.පී. භීෂණය මැද්දේය. එයට ඉදිරිපත්වීම පිළිබඳවත් කිසිම මතයක් ප්‍රකාශ නොකළ දෙමව්පියෝ එම ඡන්දයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුවත් කිසිම අදහසක් පළනොකළ අතර සුබපැතීමක් හෝ නොකළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී පදවිය ලැබ මාස කීපයක් ගිය පසු දිවංගත ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා මාහට රාජ්‍ය ඇමති පදවියක් පිරිනැමුවේය. ඇමති පදවිය ලැබීමෙන් පසු එකල ආරක්ෂක තත්ත්වය අනුව මා වාහන දෙකකින් පමණ අප ගම් ප්‍රදේශයේ දෙමව්පියන් ජීවත්වූ නිවසට ආරක්ෂකයින්ද පිරිවරාගෙන ගිය ආකාරය සිහියට නැගේ. මා එසේ දෙමව්පියන් බැලීමට ගිය අවස්ථාවේ පියා සිටියේ කුඹුරේය. කුඹුරේ ගොයම්වල වැඩ කරමින් සිටි පියා මා ගෙදරට ගොස් පැයකින් පමණ අමුඩය පිටින් උදැල්ල ද කරේ තබාගෙන ගෙදරට පැමිණියේය.
එසේ පැමිණ “දැන්ද ආවෙ පුතා” කියා අසා කුඹුරේ විස්තර වගයක් කතා කරමින් මේ දිනවල වතුර අඩු එක ගොයමට හුඟක් බලපානවා. අස්වැන්න අඩුවෙන්නත් පුළුවන්. ආදී තොරතුරු කීපයක් කථා කළා මිසක් මට ඇමතිකමක් ලැබීම පිළිබඳව හෝ දේශපාලනය ගැන හෝ වචනයක්වත් කථා නොකළේය. කුඹුරේ හා ගොඩ ඉඩමේ වගාවන් පිළිබඳව කථා කළ තාත්තා පැය භාගයකින් පමණ සරමක් හැඳ ෂර්ට් එකකුත් නොමැතිව පහළ කඩමණ්ඩියට ගියේය. පැය 2 ක් පමණ ගෙදර සිටි මම අම්මාට වැඳ හම්බන්තොට බලා පිටත් වුණෙමි. ඉන් පසුවද කිසිම අවස්ථාවක දේශපාලන කාරණයක් ගැන මා සමග කථා නොකළ තාත්තා මාගේ දේශපාලන ජීවිතයේ කිසිම කටයුත්තක් ගැන කිසිවෙකුත් සමග කථා කළේ නැත. මට ආරංචි වූ ආකාරයට ගමේ යමෙක් මාගෙන් දේශපාලන උදව්වක් ඉල්ලීමට තාත්තා සමග කථා කර ඇති අවස්ථාවලත් ප්‍රකාශ කර ඇත්තේ “එයාගෙ දේශපාලන වැඩවලට මා අත ගහන්නෙ නෑ” යනුවෙනි. මේ පිළිබඳව මා අවස්ථා කීපයකදී කල්පනා කරන විට මා හට තේරුණේ තාත්තා මාගේ දේශපාලනය එතරම් ගණන් ගෙන නැති බවත් එම තනතුරු ඔහු කිසිම අයුරකින් ඇඟට ගෙන හෝ හිත අසලටවත් නොගෙන සිටි බවකි. මේ කැපී පෙනුණු එක් නිදසුනක් පමණි. තම පුතාට තනතුරු පට්ටම් වරප්‍රසාද ලැබෙන්නට, ලැබෙන්නට ඉන් උද්දාමයට පත්වීම වෙනුවට ඒවා සාමාන්‍ය දෙයක් සේ සැලකූ පියෙකු උපේක්ෂා සහගතව ඒවා විඳ දරා ගත් අයුරු වර්තමාන දේශපාලන සමාජයේ සමහර සිදුවීම් සමග සැසඳීමේ දී කෙතරම් අපූරු දැයි මා හට සිතේ. මෙය අමුතු වර්ණනාවක් නොව සැබෑ සිදුවීමක් ලෙස මා සඳහන් කළේ මිනිස් ජීවිතයේ යථා ස්වභාවය යම් පමණින් හෝ අවබෝධ කරගත් සාමාන්‍ය ජනතාවට ලොකුකම් හා තනතුරු ලොකු දේවල් නොවන බව නිහතමානීව පෙන්නුම් කිරීමටය.