ඇමතිවරුන් නෙරපීමේ පුරාණයෙන්


අධිකරණ සහ බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය පසුගිය ටික දින තුළ ජනතාවගේ මහත් කතා බහට ලක්වෙනු දක්නට ලැබුණි. එම සිද්ධිය ගැන නොයෙක් දෙනා විවිධ මත පළ කළහ. ඒවායේ ගුණාගුණ විමසීම් අපේ කර්යභාරය නොවේ. අනෙකුත් බොහෝ සිදුවීම්වලට මෙන්ම මෙයට සමගාමීවද අතීතයේ අවස්ථා කීපයකට අදාළ පාර්ශ්ව ප්‍රතිචාර දැක්වූ ආකාරය විමසා බලනුයේ හුදෙක්ම පාඨකයාගේ රසාස්වාදය අරමුණු කර ගනිමිනි.


නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මහත්මා මෙරටට නිදහස ලබා ගැනීමේ සටනේ අන්තිම භාගයේ නායකයාද වූ නිසා “ජාතියේ පියා” යන විරුදාවලියක් ද ලබා සිටියේය. එපමණටම ජනප්‍රිය නායකයකු වූ එතුමා 1952 මාර්තු මස 21 වැනිදා අලුයම ගාලුමුවදොර පිටියේදී ශරීර අභ්‍යාසයේ යෙදෙමින් අසුපිට ගමන් කරමින් සිටියදී ඇදවැටුණි. බරපතළ ලෙස තුවාල ලැබූ එතුමා පසුදින අවසන් හුස්ම හෙළුවේය. සකල ලංකාවාසී ජනතාව සංවේගයෙන් කම්පනයට පත්වූහ. ළදරු නිදහස් ශ්‍රී ලංකා රාජ්‍යය බලගතු අනතුරකට මුහුණ පෑවේ රටේ නායකත්වය ඉදිරී බිම වැටුණු නිසාය. ඩී.ඇස් සේනානායක මහතාගෙන් රටට ලැබුණු ප්‍රබල සහ ප්‍රතාපවත් තීක්ෂණ නායකත්වයට සරිලන කෙනෙකු දක්නට සිටියේ නැත. 1947 රජය පිහිටුවන විට එහි නියෝජ්‍ය නායකයාව සිටි ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මාස කීපයකට පෙර රජයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන සිටි නිසා නව අගමැතිවරයා පත් කිරීමේදී ඔහුගේ නම සලකා බැලුණේ නැත.

මේ වනවිට රජයේ දෙවැනියා හෙවත් සභා නායකවරයා ලෙස කටයුතු කරමින් සිටියේ සර් ජෝන් කොතලාවල ගමනා ගමන ඇමැතිවරයාය. ඉක්මනින් කිපෙන කලබලකාරී ගතිගුණ ඇති එමෙන්ම ඍජු සහ ක්ෂණික තීරණ ගන්නා පුද්ගලයෙකු වශයෙන් රටම ඔහු ගැන දැන හඳුනාගෙන සිටියේය. මෙම සාධකයන් නිසා රට පාලනය කිරීම වැනි ඉවසිලිවන්තව කළ යුතු භාරදූර ක්‍රියාවකට කොතලාවල මහතා සුදුසු නොවන බව ඇමැති මණ්ඩලයේ සමහරු පවා විශ්වාස කළහ. මේ වන විට අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමිවරයා දිවයිනෙන් බැහැරව සිටි නිසා ඔහු ආපසු පැමිණෙන තුරු නව අගමැතිවරයා පත්නොකරන ලෙස වැඩබලන අග්‍රාණ්ඩුකාර සර් ඇලන් රෝස්ට උපදෙස් ලැබුණි. මේ අතරවාරයේ ක්‍රියාත්මක වූ රජයේ ඇතුළු කට්ටලයේ පිරිසක් දිවංගත අගමැතිතුමාගේ ජ්‍යෙෂ්ඨ පුතණුවන් සහ ඒ වනවිටත් රජයේ කෘෂිකර්ම අමාත්‍ය ධුරය හොබවමින් සිටි ඩඞ්ලි සේනානායක මහතා පියාගෙන් හිස්වූ තනතුරට පත් කිරීමට කටයුතු සංවිධානය කරමින් සිටියහ. මහත්මා දේශපාලනයේ යෙදෙන, සැමගේ අදහසට සවන් දෙන ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස සැලකෙන ඩඞ්ලි සේනානායක මහතා පත් කර ගැනීම ඉතා නිවැරදි තීන්දුවක් විය. එහෙත් කිසිදු විටෙක තනතුරු ලෝභයෙන් හෝ බලකාමයෙන් යුතු අයෙකු නොවූ මෙම යහපත් මිනිසා පියාගේ හදිසි වියෝවෙන් දුක්වන තමාට මෙවැනි අනිසි බරක් පටවා පීඩාවට පත් නොකරන ලෙස තම හිතවත් පිරිසගෙන් අවංකව ඉල්ලා සිටියේය. එහෙත් පියාගේ මඟපෙන්වීම මත ගොඩනගා රට පාලනය කරගෙන යන එක්සත් ජාතික පක්ෂයේ ආරක්ෂාවත්, රටේ සුබසිද්ධියත්, අපහසුවෙන් ලබාගත් රටේ නිදහසත්, ළදරු නිදහස් රාජ්‍යයේ ස්ථාවර භාවය රැකගැනීමත් යන සියලු කරුණු සලකා අගමැති ධුරය පිළිගන්නැයි ඩඞ්ලි එකඟ කරවා ගැනීමට හිතෛෂී පිරිස සමත් වූහ.


 අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමිද එම මතයට එකඟ වූ අතර ඩඞ්ලි සේනානායක මහතා ලංකාවේ දෙවැනි අගමැතිවරයා ලෙස පත්වීම් ලැබුවේය. එය ජනතාවගේ මහත් ප්‍රසාදයට හේතු විය. ගරුතර මහා සංඝයාවහන්සේද එම පත්වීම ඉහළින් අගය කළහ. එහෙත් සියලු දෙය යහපත් වූවේ නැත. තමා රැවටූ බවත්, තමාට හිමි රාජ්‍ය නායකත්වය කුමන්ත්‍රණයක් මගින් අහිමි කළ බවත් සිතාගත් සර් ජෝන් කොතලාවල මහතා කෝපයෙන් වියරු වැටුණේය.

ඩී.ඇස්. සේනානායක මහතාගේ ඥාති පුත්‍රයෙකුව සිටියදීත් තමාට කළ මෙම විනාශයට සෝල්බරි සාමිගෙන් පළිගන්නා බවට දිවුරා සපථ කළේය. එපමණක් නොව තමා ඩඞ්ලිගේ ඇමැති මණ්ඩලයේ තනතුරක් බාර නොගන්නා බව පැවසීය. කෙසේ වුවත් සාමකාමී, ඉවසිලිවන්ත නායකයෙකු වූ ඩඞ්ලි තම ඇමති මණ්ඩලයට සර් ජෝන්ව තෝරාගෙන තිබුණි. කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීමට සහභාගී වූ සර් ජෝන් පසු දිනම කැනඩාව බලා යාමට නැව් නැංගේය. එයද විරෝධය දැක්වීමේ එක් උපාය මාර්ගයක් ලෙස සලකන ලදී. සර් ජෝන් පිටත් වූ දිනම ‘අගමැති පොරය’ නම් වූ ප්‍රකාශනයක් නිකුත් කිරීමටද ඔහු කටයුතු කර තිබුණි. එහි සඳහන් වූ බරපතළ චෝදනා සහ අවලාද නිසා නව අගමැතිවරයා බලවත් අපහසුතාවට පත්විය. මෙවැනි තත්ත්වයක් මත කැබිනට් සාමූහික වගකීම් රැකගෙන ආණ්ඩුවක් ගෙන යා නොහැකි බව ඔහු අවබෝධ කර ගත්තේය. “ඇතුළත කට්ටලයෙන්” ඒ පිළිබඳ උපදෙස් ද ලැබුණි. මේ වන විට සර් ජෝන් කොතලාවල ඇමැතිවරයා සිටින්නේ කොහේදැයි සොයා බැලීමට කටයුතු සිදුවිය.

ඔහු කැනඩාවට යන ගමනේදී ඇමරිකාවට ගොඩ බැස සිටින බව තානාපති ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණි. ලංකාණ්ඩුවේ බලධරයන් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ එවකට ලංකා තානාපති සර් ක්ලෝඞ් කොරෙයා මහතා වෙත විශේෂ රාජ්‍ය තාන්ත්‍රික පණිවුඩයක් කේබල් මගින් යවන ලදී. එයින් කියවුණේ ගෞරවාන්විත අවසානයක් ඇතිව මෙම මතභේදය නිරාකරණය කර ගැනීම සඳහා නොපමාව ඉල්ලා ඇස්වීමේ ලිපියක් එවන ලෙසය. එහි ව්‍යංගාර්ථය වූයේ තමා නෙරපාහැරීමකට ලක්ව සිටින බවය. නිසි රාජ්‍ය තාන්ත්‍රික වත් පිළිවෙත් සහිතව පණිවුඩය සර් ජෝන් වෙත යොමු කරන ලදී. එය දැනගත් කොතලාවල නම් වූ මිනිස් සිංහයා කෝපයෙන් වියරු වැටුණේය. ඔහු මේඝ ගර්ජනාවක් වැනි මහ හඬින් තමාගේ කර්ණ කඨෝර ග්‍රාම්‍ය භාෂා ශෛලයෙන් ගුගුරා සිටියේ මොන අස්වීමක්ද යකෝ ඒක ගහගනින් තොගෙ...... කියමිනි.

මෙහි හිස් වචනයෙන් අදහස් වන්නේ අධෝමාර්ගය යන්නයි. සර් ජෝන්ගේ දේශපාලන සහ පෞද්ගලික පෞරුෂය හමුවේ එම ප්‍රශ්නය එතෙකින් නිමා විය. 1953 අගෝස්තු මහා හර්තාලය නිසා අගමැති ඩඞ්ලි සේනානායක මහතා ඉල්ලා අස්වීමෙන් ලංකාවේ තුන්වැනි අගමැතිවරයා බවට පත් වූයේ සර් ජෝන් කොතලාවල මහතාය. ඔහුගේ වසර දෙක හමාරක පාලන කාලය සහ අවසානයේ ඔහු මුහුණ දුන් 1956 මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට අත්වූ ඉරණමද ගැන සලකන විට එදා එම පක්ෂයේ ඇතුළු කට්ටලයේ නිවැරදි භාවය ගැනද වටහා ගත හැකිය.

 

 

ඇමැතිවරුන් නෙරපා හරින ලද තවත් අවස්ථාවක් සිහියට නැගේ. ඒ 1975 අගභාගයේදීය. 1970 මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය යන තුන් හවුලේ අතිවිශිෂ්ට ජයග්‍රහණයෙන් පසු බලසම්පන්න රජයක් පිහිටුවාගෙන තම ප්‍රතිපත්තියට අනුව වැඩ කොටසක් ඉටුකරමින් ඉදිරියට යමින් තිබුණි. ඕනෑම හවුල් ආණ්ඩුවකට මුහුණ දීමට සිදුවන අවාසනාව යළිත් සිහිපත් කරවමින් බලයට පත් වෙද්දී පවතින සමඟිය, සුහදතාව හා ඒකාත්මික බව ගිලිහී යමින් මෙම රජය තුළටද මතභේද ඇතුළුවීමට ගත වූයේ කෙටි කලකි. මුල් කාලයේ ‘දියයට ගිනි’ මෙන් බාහිරට නොපෙනෙන ලෙස පැවතුණු අර්බුද කල එළියේම කුලමල කියා ගන්නා තැනට පත් වූයේ 1975 අගෝස්තුවේදීය. එම මස දොළොස් වැනිදා පැවති හර්තාල් අනුස්මරණ රැස්වීමේදී මුදල් ඇමැති ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා කළ කතාවකින් දිවංගත අගමැති බණ්ඩාරනායක මහතා විවේචනය කරන ලදැයි සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියට වාර්තා වී තිබුණි.

එයින් කෝපයට පත් ඇය තම සැමියාට අවලාද නැගීම ගැන චෝදනා කරමින් “එකම රජයක කටයුතු කරද්දී මෙසේ අවලාද නැගීම සුදුසු නොවන බව” දක්වමින් සමසමාජ පක්ෂය වෙත ලිපියක් එව්වාය. එහි මෙසේද සඳහන්ව තිබුණි. “සමගි පෙරමුණ ඉදිරි අවුරුදු දෙකක කාලය තුළදී ආණ්ඩුවක් හැටියට කාර්යක්ෂමව පවත්වාගෙන යාමට නම් මෙවැනි අවලාද සහගත දේශපාලනය වහාම නතර කළ යුතු බවත් සමගි පෙරමුණක් හැටියට තවදුරටත් ඉදිරියටත් කටයුතු කරන්නට නම් ඒ පිළිබඳ සහතිකයක් ලබා දෙන්නැයි ද” එම ලිපියේ කියා තිබුණි. එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය මුදල් ඇමැතිවරුන්ගේ සාකච්ඡාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ සම්මේලනයක් සඳහා පිටත්ව යාම පිළිබඳ ඔබේ වැඩ පිළිවෙළ මේ අතර නවතා දමන්නේ නම් කෘතඥ වෙමි යයිද ඇය තම ලිපියේ සඳහන් කර තිබුණි.

 

 ලංකාණ්ඩුවේ බලධරයන් විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ එවකට ලංකා තානාපති සර් ක්ලෝඞ් කොරෙයා මහතා වෙත විශේෂ රාජ්‍ය තාන්ත්‍රික පණිවුඩයක් කේබල් මගින් යවන ලදී. එයින් කියවුණේ ගෞරවාන්විත අවසානයක් ඇතිව මෙම මතභේදය නිරාකරණය කර ගැනීම සඳහා නොපමාව ඉල්ලා ඇස්වීමේ ලිපියක් එවන ලෙසය. එහි ව්‍යංගාර්ථය වූයේ තමා නෙරපාහැරීමකට ලක්ව සිටින බවය. නිසි රාජ්‍ය තාන්ත්‍රික වත් පිළිවෙත් සහිතව පණිවුඩය සර් ජෝන් වෙත යොමු කරන ලදී. 

 


එම ලිපියට නිල වශයෙන් පිළිතුරක් එවූ ඇන්.ඇම් “දිවංගත අගමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ගැන මාකී දෙයින් ඔබේ සිත රිදී ඇති බව ඔබේ ලිපියෙන් පෙනී යයි. ඔබට කුමක් වාර්තා කර ඇත්දැයි මම නොදනිමි. එසේ වුවත් මා කී යමකින් ඔබේ සිත රිදී ඇත්නම් ඒ ගැන කනගාටු වන බව නොවළහා ප්‍රකාශ කරමි. කුමක් වෙතත් දේශපාලන අවලාද යනුවෙන් ඔබ හඳුන්වන දෙයක් මම නොකී බව මට සහතිකය. මවිසින් කිසි විටෙකත් එසේ කර නැත.” ඇන්.ඇම්. එසේ සඳහන් කර තිබුණි.


දින කීපයකින් අගමැතිනිය වෙතින් ඇන්.ඇම්ට තවත් ලිපියක් ලැබුණි. එයින් කියවුණේ “තමන් ඇමැති මණ්ඩලයේ වෙනසක් සිදු කිරීමට තීරණය කර ඇති බවය. එයටද පිළිතුරු යැවූ සමසමාජ පක්ෂය ඒඒ විෂ්‍යයන් සහ අමාත්‍යාංශ පැවරීම සඳහා ව්‍යවස්ථාවෙනුත් නීතියෙනුත්, බලතල තිබීම නොවේ මෙතැන ඇති ප්‍රශ්නය. 1970 මහා මැතිවරණ ජයග්‍රහණයෙන් පසු සමගි පෙරමුණ ආණ්ඩුව පිහිටුවූයේ පක්ෂ අතර වූ දේශපාලන එකඟත්වයක් පදනම් කොට ගෙනයි. මුදල් අමාත්‍යාංශයත්, වැවිලි කර්මාන්ත අමාත්‍යංශයත්, ප්‍රවාහන අමාත්‍යශත් ඒ අමාත්‍යංශවලට අයත් විෂයයන් සමඟ ලංකා සමසමාජ පක්ෂයට පැවරුණේ මගේ පක්ෂයත් ඔබත් අතර එළඹුණු එකඟත්වයක් උඩය. ලංකා සමසමාජ පක්ෂය, සමගි පෙරමුණු ආණ්ඩුවට ඇතුළත් වූයේ මේ එකඟත්වය පදනම් කොට ගෙනය. ලංකා සමසමාජ පක්ෂයට පැවරුණු අමාත්‍යංශවලට බලපාන පරිදි වෙනසක් කරන්නේ නම් ඔබ කරන්නේ ඒ එකඟත්වය කැඩීමකි. එයින් සමඟි පෙරමුණට සිදුවන විපාක ගැන වගකිව යුත්තේ ඔබමය.”


අර්බුදය නිමා වූයේ නැත. එය තවදුරටත් ඇදී ගියේය. අගමැතිනිය සමසමාජ පක්ෂය වෙත තවත් ලිපියක් එවුවාය. එමගින් කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ අමාත්‍යංශය වෙනස් නොවන අතර ඇන්.ඇම්. පෙරේරා සහ ලෙස්ලි ගුණවර්ධන යන ඇමැතිවරුන් දෙදෙනාට තෝරා ගැනීමට අමාත්‍යංශ තුන බැගින් සඳහන් වන ලැයිස්තුවක් ඉදිරිපත් කළාය. එමෙන්ම ඇමැති මණ්ඩල සංශෝධනය ඉක්මනින් සිදු කිරීමට තමා බලාපොරොත්තු වන හෙයින් එදිනම පිළිතුරු අපේක්ෂා කරන බවද සඳහන් කළාය. එයටද පිළිතුරු යැවීමට සමසමාජය කටුයුතු කර තිබුණි. එහි සඳහන් වූවේ “ලංකා සමසමාජ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බැවින් දුරදිග යන දේශපාලන ප්‍රතිඵලවලට තුඩු දෙන මේ වැනි තීන්දුවක් ගත යුත්තේ අපගේ පිළිවෙත පරිදි මධ්‍යම කාරක සභාව මගිනි. අපට හැකි තරම් ළඟම දිනය වූ අගෝස්තු 25 වැනි සෙනසුරාදා මධ්‍යම කාරක සභාව කැඳවනු ලැබේ. මේ තත්ත්වය තුළ ඔබේ ඉල්ලීම පරිදි අදම තීන්දුවක් දීම අපහසු බව ඔබ පිළිගන්නවා ඇත. අගෝස්තු 23 වැනිදා ලංකා සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් පසු අගමැතිනියට යැවූ ලිපියේ පක්ෂයේ තීරණය දක්වා තිබුණි. “මෙය පක්ෂයට වෙන් කර දී ඇති අමාත්‍යංශ, ලංකා සමසමාජ පක්ෂයෙන් ඉවත් කර ගැනීම සඳහා වූ යෝජනාවකි. මෙම අමාත්‍යංශ වෙන් කරන ලද්දේ ලංකා සමසමාජ පකෂය අගමැතිනිය සමඟ එළඹෙන ලද එකඟත්වයක ප්‍රතිඵලයක් වශයෙනි. අපේ පක්ෂය 1970 මැයි මස සමගි පෙරමුණේ ජයග්‍රහණයෙන් පසුව සමගි පෙරමුණු ආණ්ඩුවට ඇතුළු වූයේ මේ එකඟත්වය අනුවය.

අගමැතිනියගේ යෝජනාව ලංකා සමසමාජ පක්ෂයට පිළිගත නොහැක.”


මෙම දීර්ඝ ලිපි හුවමාරුවේ අගමැතිනියගේ අන්තිම ලිපිය මෙසේ විය. “ඔබට මගේ 1975ක්වූ අගෝස්තු 20 සහ 22 වැනි දින දරන ලිපිවලින් දන්වා ඇති පරිදි මගේ  ඇමැති මණ්ඩලය හැකි ඉක්මනින් නැවත සකස් කිරීමට මම අදහස් කර සිටිමි. ඔබ හා ඔබේ පක්ෂය මා විසින් යෝජනා කර තිබූ වෙනත් ඇමැති ධුර බාර ගැනීමට එකඟ නොවූ හෙයින් මවිසින් වෙනත් පියවරක් ගෙන ඇත. මේ තත්ත්වය යටතේ ඔබ ඔබේ ඉල්ලා අස්වීම එවන්නේ නම් ස්තූතිවන්ත වෙමි. මෙය හෙට 1975-09-02 වැනි දින සවස 04ට පෙර ජනාධිපති වෙත යවන්නේ නම් අගය කරමි. වර්තමාන තත්ත්වයට තුඩුදුන් සහ ආධාරක වූ කරුණු ඉතාමත් අවාසනාවන්ත මෙන්ම මටත් මගේ පක්ෂයටත් ඉතා වේදනාකාරී ඒවා වුවද මා විසින් සමඟි පෙරමුණ තබාගැනීම සඳහා වන යෝජනා ඔබේ පක්ෂයට පිළිගැනීමට නොහැකි වීම ගැන මම කනගාටු වෙමි.


 කෙසේ වෙතත් පසුගිය අවුරුදු පහක් තිස්සේ අප සමඟ සමගි පෙරමුණ ආණ්ඩුව තුළ සේවය කිරීම ගැන මේ අවස්ථාවේදී මම ඔබට ස්තූති කරමි.

 

 

මෙම ලිපි හුවමාරුවේ අවසාන ලිපිය වශයෙන් ඇන්.ඇම්., කොල්වින් සහ ලෙස්ලි යන තිදෙනාගේම අත්සනින් යුතුව පහත සඳහන් අයුරින් නිකුත් කර තිබුණි “සමගි පෙරමුණ අණ්ඩුවේ අප දරන ඇමති ධුරවලින් ඉල්ලා අස්වන්නැයි ඉල්ලමින් ඔබ විසින් අප වෙත එවා ඇති ලිපිය අපට ලැබී ඇත. සමගි පෙරමුණ කඩාකප්පල් කිරීම ගැන ඔබේ වගකීම ජනතාව ඉදිරියේ මඟහරවා ගැනීමට අපගේ ඉල්ලා අස්වීම බාර දීමෙන් ඔබට ආධාර කිරීමට අපි අදහස් නොකරමු”
සියල්ල අවසානයේ 1975 සැප්තැම්බර් මස දෙවැනිදා ජනාධිපති විලියම් ගොපල්ලව මහතා විසින් පහත සඳහන් නිවේදනය නිකුත් කරන ලදී. “ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති විලියම් ගොපල්ලව වන මම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 96 (අ) වැනි වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල යටතේ හා ප්‍රකාර ආචාර්ය නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා වන ඔබ මුදල් අමාත්‍ය ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙයින් ඉවත් කරමි” ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා මුදල් ඇමති ධුරයෙන්ද ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා වැවිලි කර්මාන්ත ඇමැති ධුරයෙන්ද ලෙස්ලි ගුණවර්ධන මහතා ප්‍රවාහන ඇමැතිකමෙන්ද නෙරපා හැරීම ඒ අනුව සිදුවිය.


බොහෝ සිදුවීම් යළි යළිත් සිදුවේ. නොබෝදා විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ ඇමැති ධුරයෙන් ඉවත් කිරීමේදී ද පෙර කී අවස්ථාවට සමාන ආකාරයේ පෙළගැස්මට සමගාමී බවක් දක්නට තිබුණි. රජයට අවශ්‍ය පරිදි යම් යම් අයට එරෙහිව නඩු විභාග ඉක්මන් කර දඬුවම් ලබා දෙන්නැයි ආණ්ඩු පක්ෂය හඬනගද්දී රාජපක්ෂ අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කළේ පවතින නීතිය ඉක්මවා ගොස් කටයුතු කිරීමට නීතිය දන්නා කෙනෙකු වශයෙන් නොහැකි බවයි. කොතෙක් බලපෑම් පැමිණිය ද දිගින් දිගටම ඇමැතිවරයා සිටියේ එම ස්ථාවරයේමය. “වරාය විකිණීම” මාතෘකාව ද එයට සම්බන්ධ වූ නිසා කැබිනට්  සාමූහික වගකීම උල්ලංඝණය වීමක්ද එයට ඈඳුණි. රජයේ ඉහළම බලවතුන්ගෙන් පවා උපදෙස් ලැබෙද්දීත්, පක්ෂය එකහඬින් තර්ජනය කරද්දීත් විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කළේ “මා වැරදි නම් අස්කරපල්ලා මම අස් නොවෙමි” යන මතවාදයේ පිහිටා බව බොහෝ දෙනා වටහා ගත්හ. රාජපක්ෂ මහතා එයින් ඇඟවූයේ දේශපාලන සතුරන්ගෙන් පළිගැනීම සඳහා රජයට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට නීති ප්‍රතිපාදන නැති බව නීත්‍යානුකූලව ප්‍රකාශ කරද්දී තමා එළවා දමන්නේ නම් එය යහපාලනයක් දැයි විමසීමෙනි. එනිසා ඒ මහතා අරුත්ගැන්වූවේ බලපෑම් හමුවේ ඉල්ලා අස් නොවී නීතියෙන් ඉඩනැති දේ නොකිරීම නිසා තමා නෙරපා හරින ලද බවකි. එදා සමසමාජ ඇමතිවරුන් ක්‍රියා කළේද එවැනිම තර්කයක් මත සිටිමිනි. ඔවුන් අගමැතිනියට කීවේ සමගි පෙරමුණ කඩාදැමීමේ වගකීමෙන් නිදහස්වීමට අපට ඉල්ලා අස්වීමට කීවත් අපි එය නොකරන්නෙමු. එසේ ඔබට උදව් නොකරන්නෙමු” යැයි ඔවුහු ලියා යැවූහ. එහි අර්ථය “සමඟි පෙරමුණ කඩාදැමීමට නම් අප නෙරපන්න” එවිට වගකීම අගමැතිනියටය.


විවිධ අය විවිධ තර්ක මත කටයුතු කරති. සර් ජෝන් කොතලාවල අමාත්‍යවරයා එක් ආකාරයටය. ඇන්.ඇම්, විජයදාස රාජපක්ෂ ආදීන් වෙනත් ආකාරයකටය. නෙරපා හැරීම් බොහෝ සිදුව ඇත. එහෙත් ප්‍රතිචාර දැක්වීම් විවිධාකාරය. ඉදිරියේදීත් මෙවැනි දේ දක්නට ලැබෙනු නිසැකය. කව්රුන් කුමක් කීවද තීරණය ගනුයේ ජනතාවය. ජනතාවට රුචි නොවන දේ නවතින්නේ සමහර විට සර් ජෝන් කියූ ආකාරයට ද විය හැකිය.

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ