වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයට සහ විපක්‍ෂයට සම්බන්ධ මැති ඇමතිවරුන් අතර ඇතිවෙන වාද විවාද බොහෝ දුරට අවසන් වෙන්නේ ගුටිබැට හුවමාරු කර ගැනීමෙනි. එසේත් නැත්නම් අමු තිත්ත කුණු හරුපයෙන් බැණ වදිමින් හා එකිනෙකා අපහාස උපහාස කර ගැනීමෙනි.
ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ මැති ඇමැතිවරුන් අතර හුවමාරුවෙන එවැනි අපහාස උපහාස සාමකාමී පුරවැසියෙකුට අසාසිටීමට පවා නොහැකි තරමට ජුගුප්සා ජනකය. එවැනි බොහෝ අවස්ථාවලදී එම අසහ්‍ය යෙදුම් සහ ආමන්ත්‍රණ හැන්සාඞ් වාර්තාවෙන් කපා හරින ලෙස නියෝග කිරීමට කතානායකවරයාට සිදුවෙයි. එතුමාට එවැනි නියෝගයක් දීමට නොහැකි වූ විට හෝ අමතක වුවහොත් ඊළඟට සිදුවෙන්නේ එම මැති ඇමැතිවරුන් අතර හුවමාරු වූ අසභ්‍ය වචන සහ අපහාස උපහාස ගෙඩිය පිටින්ම හැන්සාඞ් වාර්තාවට ද ඇතුළත් වීමය.
මෙරට බලපවත්වන සාමාන්‍ය නීතියට අනුව ප්‍රසිද්ධ ස්ථානයකදී එකිනෙකාට අසභ්‍ය වචන කියමින් බැණ අඩගසා ගැනීම අධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් පුදුමසහගත සිද්ධියක් වන්නේ පාර්ලිමේන්තු සබාගැබ තුළදී එලෙස අසභ්‍ය වචන යොදා ගනිමින් රණ්ඩුසරුවල් කරන සහ ගුටිබැට හුවමාරු කරගනු ලබන කිසිම මහජන නියෝජිතයෙකුට එරෙහිව රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක නොවීමය.
උදාහරණයක් වශයෙන් 2004 වසරේදී පැවැති මහ මැතිවරණයෙන් එ.ජ.නි.සය ජය ගැනීමෙන් පසු කතානායකවරයෙකු පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ හටගත් කලබැගෑනිය දැක්විය හැකිය. එහිදී හටගත් පොරබැදීම් හා ගුටිබැට හුවමාරුවට මැදි වූ හෙළ උරුමයේ එක්තරා භික්‍ෂූන්වහන්සේ නමකට රෝහල් ගත වීමට පවා සිදුවිය. උන්වහන්සේට එම හිංසාව කළ මහජන නියෝජිතයන් ඉන් පසුවත් එලෙස කළහ කාරී අයුරින් හැසිරුණද පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමවක්වත් නොකළේය. වෙනත් සිවිල්වැසියකු විසින් පොදු ස්ථානයකදී එවැනි සාපරාධී ක්‍රියාවක් සිදු කළා නම් දින කීපයක් හෝ රිමාන්ඞ් භාරයේ සිටීමට ඔහුට සිදුවීම නොවැළැක්විය හැකිය.
“පාර්ලිමේන්තු සබාගැබ තුළ රටේ පොදු නීතිය ක්‍රියාත්මක නොවන්නේද?”ප්‍රශ්නය මෙහිදී ඕනෑම කෙනෙකුගේ සිතට නැගෙන්නේ නිරායාසයෙනි. එහෙත් එහි ඇති සත්‍ය තත්ත්වය වන්නේ පාර්ලිමේන්තු සබාගැබ තුළදී ඇතිවන අඩදබර පිළිබඳව රටේ සිවිල් නීතිය බල නොපවත්වන බවය. එහිදී පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන කතානායකවරයාටද කළ හැක්කේ පොලිසිය සබාගැබ තුළට ගෙන්වා අදාළ මහජන නියෝජිතයා පිටතට රැගෙන යන ලෙස උපදෙස් දීමත්, එම වැරැද්දට දඬුවමක් වශයෙන් යම් නිශ්චිත කාලයකට අදාළ මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කිරීමත් පමණි.
ඉහත සඳහන් සම්ප්‍රදාය යටතේ මෙරට පාර්ලිමේන්තු පාලන ක්‍රමය ආරම්භ වූ දා සිට මේ දක්වාම කාලය තුළ අපේ මැති ඇමැතිවරුන් විශාල පිරිසකට පොලිස් නිලධාරීන්ගේ කරපිටින් සබාගැබෙන් ඉවතට යාමටත්, සති ගණන් පාර්ලිමේන්තු රැස්වීම් තහනමට ලක්වීමටත් සිදු වූ බව නොරහසකි. එහෙත් එම පිරිස අතර එකදු මන්ත්‍රීවරියක් හෝ නොසිටියාය. එසේ වුවද ඉදිරි කාලය තුළ අපේ මන්ත්‍රීවරියන්ගේ සංඛ්‍යාව මුළු ප්‍රමාණයෙන් සියයට 25ක් ලෙස ඉහළ යන බැවින් ඔවුන් මේ දක්වා රැකගෙන සිටින කලහකාරියන් නොවීමේ ගෞරවය අනාගතයේදීත් එලෙසින්ම රැකේදැයි යන්න තරමක් සැක සහිතය.
පාර්ලිමේන්තු සබාගැබ තුළදී කලහකාරී ලෙස හැසිරෙන මන්ත්‍රීවරුන් වැඩිදෙනෙකු බොහෝ විට තත්කාලීන පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට අයත් වූවන්ය. එහෙත් හැම විටම එය එසේ නොවන අතර ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නොව ඇතැම් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පවා විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට පරුෂ වචනයෙන් බැණ වැදීමෙන් පමණක් නොනැවතී ඔවුන් බිම පෙරළාගෙන ගුටි බැට දුන් අවස්ථා ගැනද මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ නොයෙක් විට සඳහන් වේ.
මෙවැනි සිද්ධියක් 1992 වසරේදී පාර්ලිමේන්තු සබාගැබ තුළදී දකින්නට ලැබුණු අතර එහිදී ආණ්ඩුවේ ඇමැතිවරු කීප දෙනෙක් සහ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් සබාගැබ මැදට පැමිණ විරෝධතා පැවැත්වූ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට බිම පෙරළාගෙන පහර දුන්හ. විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු වූ වාසුදේව නානායක්කාර මහතාගේ ජාතික ඇඳුමේ උඩ කොටස කීතු කීතුවලට ඉරී ගියේත්, කැබිනට් ඇමැතිවරයෙක් වූ වීරසිංහ මල්ලිමාරච්චි මහතා ඇඳගෙන සිටි සිල්ක් රෙද්ද විපක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරයෙකුගේ අතට ගැලවී ආවේත් එදාය. එදින ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මැති ඇමැතිවරුන් අතර ඇති වූ එම ගුටිබැට හුවමාරුවේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් අතරින් කීපදෙනෙකුම වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිදුවී ඇතැයි පසුදා නිකුත් වූ හැම පුවත්පතක්ම පාහේ වාර්තා කර තිබුණේය.
ඉන්පසුවද එවැනි සිදුවීම් පිළිබඳව අසන්නට ලැබුණු අතර 2001 සහ 2004 අතර කාලයේ එක්තරා දිනයක එවකට සිටි විපක්‍ෂ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සබාගැබ තුළට මිනී පෙට්ටියක්ද ගෙන ගොස් තිබුණහ. එදිනද සබාගැබ මධ්‍යයේ දෙපාර්ශ්වය අතර ගුටිබැට හුවමාරුවක් ඇති වී තිබුණේය.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ කවර රටක වුවද පාර්ලිමේන්තුවක් තුළ කිසිවකුට හෝ නිදාගැනීමට ඉඩක් නොලැබේ. යම් මහජන නියෝජිතයෙකුට අධික වෙහෙස නිසා හෝ ශාරීරික අපහසුතාවක් නිසා හෝ එහි අසුන්ගෙන සිටින අවස්ථා වකදී නොදැනීම නිද්‍රාගත වීම ඒ හැටි ප්‍රශ්නයක් නොවුණද යම් මන්ත්‍රීවරයෙකු හෝ කණ්ඩායමක් හිතාමතාම සබාගැබ තුළට ගොස් එහි අසුන් මත දිගඇදී නිදා ගැනීම සපුරා තහනම්ය. එහෙත් විපක්‍ෂයේ එක්තරා මන්ත්‍රීවරුන් පිරිසක් පවතින ආණ්ඩුවට තම විරෝධය පළ කිරීම සඳහා රාත්‍රී කාලයේ සබාගැබ තුළ නවාතැන් ගෙන සිටීමේ සිද්ධියක් ද පසුගිය කාලයේදී අසන්නට ලැබුණේය. එහිදී එම මන්ත්‍රීවරුන් පිරිසට රාත්‍රී ආහාර පමණක් නොව සුවපහසු ලෙස නිදාගැනීම සඳහා අවශ්‍ය කොට්ටා, මෙට්ටා සහ පොරෝනා වැනි දෑ සපයා දීමට සිදුවී තිබුණේ පාර්ලිමේන්තු සේවක මණ්ඩලයටය.
බොහෝ විට පාර්ලිමේන්තු සබාගැබ තුළදී යම් ස්ථාවර නියෝගයක් හෝ සභා රීතියක් උල්ලංඝනය කෙරෙන්නේ විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් අතිනි. එහි ඊළඟ ප්‍රතිඵලය වන්නේ කතානායකවරයාගේ නියෝගය මත අදාළ මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන්ගේ කරමතින් පාර්ලිමේන්තු සීමාවෙන් ඔබ්බට ගෙනගොස් දැමීමය. එහෙත් හිටපු අගමැතිවරයකු මෙන්ම ඇමැතිවරයෙකු ද වූ දි. මු. ජයරත්න මහතා වරක් පොලීසිය විසින් පාර්ලිමේන්තු සබාගැබෙන් පිටතට ඔසවා ගෙන ගොස් තිබුණේ ඔහුගේම ආණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක සහ වැවිලි කර්මාන්ත ඇමැති ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ කතාවකට හරස් කැපීමේ සිද්ධියක් මුල් කර ගෙනය. එය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයට එක් වී ඇත්තේ කතානායකවරයෙකු විසින් තම පක්‍ෂයේම මන්ත්‍රීවරයෙකු පොලිසිය යොදවා එළියට දමන ලද ප්‍රථම අවස්ථාව වශයෙනි.
“මොනව කරන්නද? අපේම ආණ්ඩුවේ ඇමැතිවරයෙකුගේ කතාවකට දිගින් දිගටම බාධා කරපු නිසයි එදා සිටි ස්ටැන්ලි තිලකරත්න කතානායකතුමා මාව එළියට දැම්මේ...”යි. කියමින් සිනාසෙන දිමු ජයරත්න මහතාගේ පිළිගැනීම වී ඇත්තේ කතානායකතුමන් විසින් එදින ගන්නා ලද එම තීන්දුව සීයට 100ක්ම නිවැරදි යැයි තමන්ට අද සිතෙන බවය.
1970 දී පත් වූ සමගි පෙරමුණු ආණ්ඩුවේ ඇමැතිවරුන් දෙපළක් වූ හපුතලේ ඩබ්ලිව්. පී. ජී. ආරියදාස මහතාත්, මහර එස්. කේ. කේ. සූරියාරච්චි මහතාත් අතරද වරක් මෙවැනිම ගුටි කෙළියක් පාර්ලිමේන්තු සබාගැබ තුළදී හටගෙන තිබේ.
ඔවුන් දෙදෙනා අතර කාලයක සිටම සීතල යුද්ධයක් පැවැති බවත් අසන්නට ලැබෙන්නේ එවකට සෞඛ්‍ය ඇමැතිවරයා වූ ආරියදාස මහතා සූරියාරච්චි මහතාගේ මහර ආසනයෙන් යවනලද කිසිදු පුද්ගලයෙකු සෞඛ්‍ය සේවයට බඳවා ගෙන නැතැයි කියන සිද්ධියක් මුල් කර ගනිමිනි.
“දෙන්නම වාඩිවෙලා හිටියේ අතේ දුරකින් මොකද ආරියදාස මහත්තයා කැබිනට් ඇමැති කෙනෙක්. සූරියාරච්චි නියෝජ්‍ය ඇමැති. කොහොම හරි ආරියදාස ඇමැතිතුමා තමන් රෝහල් සේවයට අලුතින් සේවකයන් 500ක් බඳවා ගෙන තිබෙනවයි කියලා නැගිටලා යන්න හදනකොට දෙන්න අතරේ කතාවක් ඇතිවුණා. ඒත් එක්කම තමයි සූරියාරච්චි ඇමැතිතුමා මිට මොළවල ආරියදාස ඇමැතිතුමාගේ මූණට පාරක් ගැහුවේ. ඒ පාරෙ සැරට එතුමා කැරකිලා වැටෙන්නට යනකොට ළඟම හිටපු මන්ත්‍රීවරුන් දෙන්නෙක් ඉදිරියට පැනලා අල්ල ගත්තා. හැබැයි එයත් නිකං හිටියෙ නෑ. අතපය දිග ඇරගෙන සූරිත් එක්ක ගහගන්න ගියත් එතැන හිටපු මන්ත්‍රීවරුන් අමාරුවෙන් වළක්වා ගත්තා. හැබැයි සූරියාරච්චි ඇමැතිතුමාටත් තමන් කළ වැඬේ වැරදියි කියල වැටහිලද කොහෙද ඉක්මනට එතැනින් යන්න ගියා..” යි කියන දි. මු. ජයරත්න මහතා එවකට ගම්පොළ අසුන නියෝජනය කළ මන්ත්‍රීවරයා වූ අතර තම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙකු අතර ඇති වූ එම සිද්ධිය ඔහුට අදහා ගැනීමට පවා නොහැකි විය.
“හොඳ වෙලාවට ඒ මොහොතේ විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් වැඩි දෙනෙක් චේම්බර් එක ඇතුළෙ හිටියේ නෑ. ඒත් දහනායක මහත්තයා නං යන්න ගිහිල්ලත් ආපහු හැරිල ඒ දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා....” යි කියන දි. මු. වැඩි දුරට සඳහන් කරන්නේ එවකට පැවැති ‘ඇත්ත’ පත්‍රයේ එම සිද්ධිය මුල් පිටුවේම පළකර තිබූ බවයි.
කෙසේ වෙතත් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියට එම ගැටුම ගැන ආරංචි වී තිබුණේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ එතුමිය ඊට පසුදාම ආරියදාස මහතාත්, සූරියාරච්චි මහතාත් රෝස්මිඞ් මැදුරට ගෙන්වා හොඳටම දෙහි කැපීමය.
නිහාල් ජගත්චන්ද්‍ර