ඇමැති ගොදුරු ලොබ අත්හළ මහත්වරුන්ගේ දේශපාලන පුරාණයෙන්


ඇස්. බී. බණ්ඩාරනායක මහතා චීන සංචාරයක් අතරතුරදී
ජනාධිපති මාඕ සේතුං (චීන අගමැති චෞ එන් ලායි ද වම් පස සිටී) හමුවූ මොහොතක්.

 

දේශපාලන බිමෙන් ඇසෙන තරමක් කතා ඇමැතිකම් ගැනය. මාස ගණනක් මාධ්‍යවල පළවෙමින් තිබී කල් ගිය කැබිනට් සංශෝධනය සිදු කෙරුණි. එය මෙතෙක් කල් ගියේ එහි තිබූ තීරණාත්මකබව නිසාය. අල්ල ගතහොත් අත හැරීම දුෂ්කර බව එහි ඇති යථාර්ථයයි. පසුගිය සතියේ පමණක් ඇමැතිකම් සම්බන්ධයෙන් ඇසුණු කතා අපමණය. “අපි පක්ෂයට වැඩ කළේ මෙහෙමයි. වියදම් කළේ මෙහෙමයි. ඒත් අපිට ලැබුණේ පුංචි ඇමතිකමක්” යැයි කියන්නෝය. “මට ලැබිය යුත්තේ මීට වඩා හොඳ ඇමතිකමක්. මම ඉන්නෙත් හිතේ අමාරුවෙන්” යැයි කියන්නෝය.


සමහර ඇමතිවරු ඉවත් කෙරෙති. තවත් අය ඉල්ලා අස්වෙති. නැවතත් පත් කෙරෙති. ඒවා බාර ගනිති. ඔවුනට චෝදනා එල්ල වෙයි. වාසි සැලසීම නිසා ඒවා ගත්තා යැයි චෝදනා කරති. “අපි නම් කීයක්වත් ගත්තේ නැහැ. රටට සේවය කරන්නට තිබෙන ආශාව නිසාම මේක ගත්තා” කියයි. ජනතාවගේ පැත්තෙන් මෙය කන්දොස්කිරියාවකි. මේවා දකින ජනයා අසන්නේ ඇමතිකමක් නැතිනම් කිසිම දෙයක් කළ නොහැකි ද කියාය. මාධ්‍යවේදීන් ලියන්නේ ජනතාව වෙනුවෙනි. පසුගිය දශක හතර පහක සිට ගොඩනැගුණු මෙම ප්‍රවණතාව යහපත් එකක් නොවේ. එහෙත් මෙසේ නොවන දේශපාලකයෝ ද අතීතයේ සිටියහ. ආලෝකයේ අගය දැනෙන්නේ අඳුර පවතින නිසාය. එනිසා මාධ්‍යකරුවන්ගේ වගකීම වන්නේ ආලෝකය පෙන්වා අඳුර දුරුකිරීමට උදව් කිරීමය. මේ එවැනි කතාවකි. පෙර කී පසුබිම පවතිද්දී දෙවරක්ම අතට ගත් ඇමතිකම් ප්‍රතික්ෂේප කළ යහපත් මිනිසෙකු ගැන මගේ මතකය අවදි වේ. ඒ තිස් වසරක් ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරූ ඇස්. ඩී. බණ්ඩාරනායක මහතාය.


1956 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී අවසාන වනවිට ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා නායකත්වය දැරූ මහජන එක්සත් පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබුණි. අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතා රජයක් පිහිටුවන ලෙස ඔහුට ආරාධනා කළේය. නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව ඔහුට බාර වූ බරපතළම කාර්යය වූවේ නව ඇමති මණ්ඩලයක් පත් කර ගැනීමයි. එය වඩාත් සංකීර්ණ ප්‍රශ්නයක් වූවේ රජය තනි පක්ෂයක ආණ්ඩුවක් නොවන නිසාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිලිප් ගුණවර්ධන මහතාගේ විප්ලවකාරී සම සමාජ පක්ෂය, දහනායක - මහනාම සමරවීර මහත්වරුන්ගේ භාෂා පෙරමුණ සහ ඊරියගොල්ල, ටී. බී. සුබසිංහ ආදී ප්‍රබලයෝ රැසක් ද සිටියහ. ඇමැතිවරුන් දොළහක් හෝ දහයක් පත්කර ගැනීම එදා පැවති සිරිතයි. පක්ෂ සියල්ල නියෝජනය විය යුතු වූවාක් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගැන ද අගමැතිවරයාට සිතා බැලීමට සිදුවිය. 


එම පක්ෂය ආරම්භ කිරීමෙන් පසුව මුහුණ දුන් ප්‍රථම මැතිවරණය වූ 1952 දී ජයග්‍රහණය කළ මන්ත්‍රීවරු නව දෙනෙකි. ඔවුන් නම් ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක (අත්තනගල්ල), ඩී. ඒ. රාජපක්ෂ (බෙලිඅත්ත), සී. ඒ. ඇස්. මරික්කාර් (කඩුගන්නාව), හෙන්රි අබේවික්‍රම (බද්දේගම), එච්. බී. තැන්නෙ (දඹුල්ල), බර්නාඞ් අළුවිහාරේ (මාතලේ), සී. පී. ද සිල්වා (පොළොන්නරුව), සී. ආර්. බෙලිගම්මන (මාවනැල්ල) සහ ඇස්. ඩී. බණ්ඩාරනායක (ගම්පහ) යන මහත්වරුය. 1956 මැතිවරණය වනවිට බර්නාඞ් අළුවිහාරේ සහ එච්. බී. තැන්නේ යන දෙදෙනා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී සිටි අතර එම දෙදෙනාම පරාජය වූහ. ඉතිරි හත්දෙනාම නිසැකවම ජ්‍යෙෂ්ඨයෝ වූහ. සී. පී ද සිල්වා මහතා හිටපු මහ දිසාපති ධූරයක් ද දැරූ සිවිල් නිලධාරියෙකි. මරික්කාර් මහතා මුස්ලිම් ජාතිකයෙකු වූ බැවින් ඔහුට ද ඇමතිධූරයක් පිරිනැමුණි. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිට මන්ත්‍රී පදවි හෙබවූ ඒ. පී. ජයසූරිය, ජයවීර කුරුප්පු, ඩබ්ලිව්. දහනායක යන මහත්වරු ද 1947 සිට නොකඩවා පාර්ලිමේන්තුවට තෝරා පත් කරනු ගනු ලැබූ මෛත්‍රීපාල සේනානායක මහතා ද ජ්‍යෙෂ්ඨත්වය අනුව තෝරා ගන්නා ලදී. මෑත යුගවලදී මෙන් ඇමති ධූර සිය ගණනක් පත් කර ගැනීමේ සම්ප්‍රදායක් නොවුණු බැවින් එදා පැවතියේ ඇමතිධූර දහයක් හෝ දොළහක් සහ එම අමාත්‍යාංශවලට පාර්ලිමේන්තු ලේකම්වරු හෙවත් එදා හැඳින්වූ අයුරින් උප ඇමැතිධූර එපමණම සංඛ්‍යාවක් පමණි. මනාප ඡන්ද ගැන සැලකීමක් එදා නොපැවතිනි. මනාප ක්‍රමයක් නොතිබුණි. එහෙත් සමස්ත ලංකාවෙන්ම වැඩිම වැඩි ඡන්දය වූ 41,000ක් ලබා තිබුණේ අත්තනගල්ලෙන් පැමිණි බණ්ඩාරනායක මහතාය. දෙවැන්නා ගම්පහ මන්ත්‍රීවරයාය. තුන්වැනි තැන ලබා සිටියේ වැඩි ඡන්ද විසිහය දහසකින් මීරිගම ආසනය දිනා සිටි විමලා විජේවර්ධන මහත්මියයි. ලංකාවේ ඇමැතිධූරයකට පත් වූ ප්‍රථම කාන්තාව ලෙස ඇය සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණි. 


කෘෂිකර්ම සහ ආහාර ඇමති තනතුරට පත් කරගෙන තිබුණේ එම විෂය පිළිබඳව නිපුණයෙකු සහ ඇමරිකාවේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳව උපාධිධරයෙකු වූ පිලිප් ගුණවර්ධනයන්ය. දැඩි මතධාරී වාමාංශික නායකයෙකු වූ ඔහු සමග සහයෝගයෙන් කටයුතු කළ හැකි උප ඇමතිවරයෙකු ගැන අවධානය යොමු කිරීමේදී වඩාත්ම සුදුස්සා ලෙස අගමැතිවරයාට හැඟී ගියේ ගම්පහ ඇස්. ඩීය. එයට හේතු වශයෙන් සලකන ලද්දේ ශිෂ්‍ය අවධියේ ඉන්දියාවේ ට්‍රවැන්කෝර් විශ්වවිද්‍යාලයෙන් ඇස්. ඩී. ලබා තිබුණු කෘෂිකර්මය පිළිබඳ උපාධිය සහ තවත් සුදුසුකම්ය. 


දෙවැනි ලෝක මහා සංග්‍රාමය අවධියේ ලෝකයේ නාවුක ගමනාගමනය බිඳ වැටීම සහ නිෂ්පාදනය සීග්‍ර ලෙස අඩුවීම නිසා බොහෝ රටවලට ආහාර අහේනියකට මුහුණ දීමට සිදුවිය. අපේ රටට ද අත්වූයේ එම ඉරණමයි. යුද්ධ කාලයේ සිවිල් කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමට පත් කර සිටි බලධරයා වූ ඔලිවර් ගුණතිලකයන් සහ කෘෂිකර්ම ඇමති ඩී. ඇස්. සේනානායක මහතුන්ගේ මූලිකත්වයෙන් ගොවි හමුදාවක් ඇති කර එමගින් වගා සංග්‍රාමයක් දියත් කිරීම සඳහා ගොවි හමුදාවක් ස්ථාපනය කර තිබුණි. එහි උසස් නිලධාරියෙකු ලෙස කටයුතු කර තිබුණු ඇස්. ඩී. එම ක්ෂේත්‍රය ගැන මනා දැනුමක් සහ වටිනා අත්දැකීම් ලබා තිබුණි. මෙම නිසා ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා කෘෂිකර්ම සහ ආහාර අමාත්‍යංශයේ උප ඇමති ධූරය සඳහා යෝජනාවීමට අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා තිබුණි. අගමැතිවරයා මේ බව ඇස්. ඩී.ට දැන්වීය. ඔහු තනතුර ප්‍රතික්ෂේප කළේය.


යම් කෙනෙක් මගේ මෙම කියමන පිළිනොගනු ඇත. ඇමැති ධූරය ප්‍රතික්ෂේප කළාය යන කථාව මුසාවකැයි කියනු ඇත. එහෙත් එය නිසියාකාරව තහවුරු කිරීම සඳහා බිඳ හෙළිය නොහැකි සාධකයක් මම ඉදිරිපත් කරමි. එකල සවස් කාලයේ නිකුත් වූ ජනතා පත්‍රයේ 1956 අප්‍රේල් 14 වැනිදා ජනතා පත්‍රයේ පළමු පිටුවේ ‘උප ඇමැති පදවි’ යන ශීර්ෂය යටතේ පළවූ වාර්තාවක මෙසේ සඳහන් වේ.


මහජන එක්සත් පෙරමුණේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු ලේකම්වරුන් අට දෙනෙකු සහ උප කතානායකයකු දැනට තාවකාලික වශයෙන් තෝරා ඇති බව කියනු ලැබේ. 


අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතාට ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ පාර්ලිමේන්තු ලේකම් ධූරය ඉදිරිපත් කර ඇත.


ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ - ධීවර සහ කර්මාන්ත
සී. ආර්. බෙලිගම්මන - ගුවන් විදුලි තැපැල් සහ ප්‍රවෘත්ති
ඇස්. ඩී. බණ්ඩාරනායක - කෘෂිකර්ම සහ ආහාර
ලක්ෂ්මන් රාජපක්ෂ - වෙළෙඳ සහ වාණිජ
කේ. ඇම්. පී. රාජරත්න - පළාත් පාලන සහ සංස්කෘතික
පී. බී. ඒ. වීරකෝන් - අධ්‍යාපන
පී. තෙන්නකෝන් - අධිකරණ


මෙම ප්‍රවෘත්තිය කෙරෙහි අපේ අවධානය යොමු විය යුතුය. එහි සඳහන් පරිදි ඊරියගොල්ල, ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ, සී. ආර්. බෙලිගම්මන, ලක්ෂ්මන් රාජපක්ෂ, කේ. ඇම්. පී. රාජරත්න, පී. බී. ඒ. වීරකෝන් යන මහත්වරු උප ඇමතිවරුන් ලෙස දිවුරුම් දුන්හ. ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා තනතුර ප්‍රතික්ෂේප කළ නිසා කෘෂිකර්ම හා ආහාර අමාත්‍යාංශයට උප ඇමතිවරයෙකු පත් කරනු නොලැබීය. 1959 දක්වාම එය ඇස්. ඩී. සඳහා විවෘතව තිබුණි.


පනස් හයේ ආණ්ඩුව හවුල් රජයක ස්වභාවය මෙය යයි දක්වමින් හවුල අවුලක්ම විය. කැබිනට් රැස්වීම් අවසන් වූවේ ගාලගෝට්ටි මැදය. අනතුරුව දීර්ඝකාලීන කැබිනට් වර්ජනයක් ද ආරම්භ විය. අගමැතිවරයාට තම ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාම අසීරු විය. එක් කඳවුරකට ගොනුවූ නමුදු විවිධ දේශපාලන මතිමතාන්තර දැරූ කණ්ඩායම් ඒ අතර සිටියහ. පොදු එකඟතාව පැවතියේ යූ.ඇන්.පී. විරෝධය සම්බන්ධයෙන් පමණකි. කැබිනට් වර්ජනයේ අරමුණ වූවේ පිලිප් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පක්ෂය නියෝජනය කළ අනෙක් ඇමතිවරයා වූ පී. එච්. විලියම් ද සිල්වා මහතා ඇමතිධූරවලින් නෙරපා හරින ලෙසය. රජය තුළ මෙන්ම ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ ද විශාල පිරිසක් මෙම යෝජනාවට පක්ෂව සිටි හෙයින් අගමැතිවරයා අසරණ වූවේය. එයට හේතු වූවේ අද ගොවියාට පහසුකම් සැලසෙන කුඹුරු පනතත්, අද මහජන බැංකුව බවට පත්ව තිබෙන එදා සමුපකාර බැංකු පනතටත් මෙම දක්ෂිණාංශික කොටස්වල පැවති විරෝධයයි. අවසානයේ පිලිප් සහ විලියම් ඇමැති මණ්ඩලයෙන් ඉවත් කර දැමීමට බණ්ඩාරනායක අගමැතිතුමාට සිදුවිය. 1959 මුල් භාගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල සම්මේලනයේදී එල්ලවූ දක්ෂිණාංශික බලපෑම්වලට හිස නමා වාමාංශික මතධාරී ඇමතිවැන් දෙදෙනා ඇමති පදවිවලින් නෙරපා හැරීමට අගමැතිවරයා කටයුතු කළේය. මෙම අර්බුදකාරී අවස්ථාවලදී ගම්පහ මන්ත්‍රීවරයා සිටියේ පිලිප්ට පක්ෂපාත ස්ථාවරයකය. කුඹුරු පනත සහ සමුපකාර බැංකු පනත ඔහු අගය කළේය. තමා සතු පාරම්පරික කුඹුරු ඉඩම්වල ආදායම අඩකින් අඩුවන බව පෙනි පෙනීත් තමාගේ පෝෂණයට වඩා පොදු මහජනතාවගේ යහපත උදෙසා ක්‍රියා කිරීමට ඔහුට ධෛර්ය තිබුණි.


පිලිප් නෙරපා හැරීමෙන් කෘෂිකර්ම සහ ආහාර ඇමතිධූරය නැවතත් හිස් විය. දිනක් උදය කාලයේ අගමැති බණ්ඩාරනායක මහතාගේ සමීපතම විශ්වාසවන්තයෙකු සහ එවකට ඇමතිවරයෙකු ද වූ ඒ. පී. ජයසූරිය මහතා ඇස්. ඩී.ගේ යක්කල නිවසට පැමිණියේය. ඒ බණ්ඩාරනායක අගමැතිතුමාගේ පණිවුඩයක් ද රැගෙනය. එනම් හිස්ව ඇති ඇමතිධූරය භාර ගන්නා ලෙසට කරන ලද ඉල්ලීමකි. එම අමාත්‍යංශයට උප ඇමතිවරයෙකු පත් කර නොතිබීම නිසා අලුතෙන්ම කෙනෙකු සොයා ගැනීමට අගමැතිවරයාට අවශ්‍යව තිබුණි. ඇමති මණ්ඩලය ඇතුළත තමා හුදකලාවෙමින් යන බව අගමැතිට වැටහී තිබුණා විය හැකිය. එනිසා තම ප්‍රගතිශීලි මතවාදයට ශක්තියක් විය හැකි ජවසම්පන්න සමීපතමයෙකු පත් කර ගැනීමට එතුමා උනන්දුවක් දැක්වීම ස්වභාවික විය. ඇමති ටී. බී. ඉලංගරත්න මහතා ද මෙම කරුණු ගැන අගමැතිවරයා දිරි ගැන්වීය. ඒ. පී. ජයසූරිය ඇමතිතුමාගේ යෝජනාවට ඇස්. ඩී. බණ්ඩාරනායකයන් දැක් වූ ප්‍රතිචාරය මවිතය දනවනසුලු වූවේය. “මට ඇමතිකමක් ලබාදීමට අගමැතිතුමා ක්‍රියාකිරීම ගැන ස්තුතියි.

නමුත් මෙතන ගැටලුවක් තිබෙනවා. පිලිප්ගෙ කුඹුරු පනතටයි බැංකු පනතටයි මම පක්‍ෂයි. ඒ දෙකෙන්ම රටේ දුප්පත් ජනතාවට විශාල සේවයක් සිදුවෙනවා. පිලිප්ව අස් කරන්න සිද්ධවුණේ බුද්ධ රක්ඛිතලා, ස්ටැන්ලි ද සොයිසලා වගේ ප්‍රතිගාමීන්ගේ බලකිරීම නිසා. පිලිප්ගේ ඇමතිකම මම භාර ගත්තොත් මහජනතාව හිතන්නෙ මේ කුමන්ත්‍රණයට මමත් හවුල් කියලා. ඒ නිසා ඒ. පී. අගමැතිතුමාට කියන්න පිලිප්ගෙ ඇමතිකම මම බාරගන්නෙ නැහැ කියලා. දැන් කළ යුතු හොඳම දෙය පිලිප් හමුවෙලා සාකච්ඡා කරලා ආපසු ඇමතිකමට පත් කර ගන්න එකයි.” ගෙදරටම පැමිණි අමාත්‍යධූරය ඇස්. ඩී. ප්‍රතික්‍ෂේප කළේය. ඒ දෙවැනි වතාවයි.
ශ්‍රී ලංකා චීන රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වයේ හැටවන සංවත්සරයත් ලංකාවට විපුල ඵල ප්‍රයෝජන අත්කර දෙන ලංකා - චීන රබර් සහල් ගිවිසුමේ හැටපස් වන සංවත්සරයත් සැමරීම නිමිත්තෙන් මේ දිනවල උත්සව පැවැත් වේ. මෙම කටයුතු දෙකේ පුරෝගාමී චරිතය වන්නේ ඇස්. ඩී.ය. එවකට විපක්‍ෂ නායක ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ නිර්දේශය පරිදි චීනයේ සංචාරයක යෙදීමේ අවස්ථාව ඔහුට ලැබුණේ 1952 සැප්තැම්බරයේදීය. ඒ වනවිට මෙම දෙරට අතර තානාපති සබඳතා නොපැවති නිසා ලංකාවේ සිට නවදිල්ලියට ගොස් එහි චීන තානාපති කාර්යාලයෙන් වීසා ලබා ගැනීමට මෙම නියෝජිත පිරිසට සිදුවිය. පිලිප් ගුණවර්ධන, එඞ්මන් සමරක්කොඩි, කේ. වෛකුන්ඨවාසන්, එච්. ජී. ඇස්. රත්නවීර යන මහත්වරු සහ නාරාවිල ධම්මරතන හිමි යන අය මෙම නියෝජිත මණ්ඩලයට අයත් වූහ.


එම සංචාරයේදී වසර තුනක් ඇතුළත චීනය ලබා ඇති විශ්වාස කළ නොහැකි පමණේ දියුණුව සහ චීන ජනතාව වැඩ කිරීම උදෙසා දක්වන උනන්දුව මෙන්ම එකල චීනයේ ක්‍රියාත්මක කෙරෙන සමූහ ගොවිපොළ ක්‍රමය මෙන්ම දහසක් මල් පිපේවා’යි යන සභාපති මාඕ සේතුං තුමාගේ චින්තනයක් ඇස්. ඩීගේ සිත වශී කර ගත්තේය. මේ වනවිට ලෝකයේම ආහාර අර්බුදයක් හටගෙන තිබුණ නිසා ලංකාව ද එම පීඩනයට මුහුණ දෙමින් සිටියේය. මෙම සංචාරයේදී චීන නායකයන් සමඟ ඇතිකර ගත් සාකච්ඡාවේදී චීන සහල් ලංකාවට සැපයීමටත් ඒවාට ලංකාවේ රබර්වලින් මිල පියවීමටත් හැකිවන පරිදි එකඟතාවක් ඇති කර ගන්නා ලදී. මෙම තත්ත්වය අගමැති ඩබ්ලි සේනානායක මහතාට දැන්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සුසන්තා ද ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් තානාපති මට්ටමේ දූත පිරිසක් යවන ලදී. ඉන්පසු මෙම සාකච්ඡාවල ප්‍රගතිය මත වෙළඳ ඇමති ආර්. ජී. සේනානායක මහතා චීනයට ගොස් රබර් සහල් ගිවිසුම අත්සන් කළ බව පැරණි වාර්තාවල සඳහන් වේ. මේ සියලුම කටයුතුවලට ගත වූයේ මාසයක පමණ කෙටි කාලයකි. ලංකාවේ ජනතාව මුහුණ දී සිටි ආර්ථික අර්බුදය විසඳුනි.


ඒ නිසා දුර ඈත අතීතයේදී චීනය සමඟ ඇති කරගත් මිත්‍රත්වය ඇස්. ඩී. දිවිහිමියෙන් ආරක්‍ෂා කළේය. එම පැහැදීම හේතුකොටගෙන තම අපරාජිත දේශපාලන ජීවිතය පරදුවට තැබීමට තරම් අවංක විය. ඔහු චීන මාක්ස්වාදී දේශපාලන දර්ශනයට අසීමිත ලෙස ගෞරව කළේය. ශ්‍රී ලංකා දේශපාලන බිමේ පනස් වසරකට අධික කාලයක අපමණ බලපෑමක් ඇති කළ ඇස්. ඩී. බණ්ඩාරනායකයන්ගේ දේශපාලන භූමිකාව ගැන සුළු ගැටලුවක් මා තුළ පැන නගී. අධිරාජ්‍යවාදී පාලනය යටතේ දේශීයයෙකුට ලබාගත හැකි ඉහළම තනතුර වන්නේ මහමුදලි පදවියයි. එම පදවිය දරමින් බොහෝ කලක් මහමුදලි තනතුර දැරූ කොන්රඞ් පීටර් ඩයස් බණ්ඩාරනායක මහතා ඇස්. ඩී. ගේ පියාගේ පියාය. හොරගොල්ලේ සර් සොලමන් ඩයස් බණ්ඩාරනායකයන්ට මහමුදලි පදවිය පිරිනැමුණේ ඔහුගේ අභාවයෙන් පසුවය. මේසා සම්ප්‍රදායික රදල පවුලක දරුවෙකු වූ ඇස්. ඩී. ටික කලක් හෝ මාක්ස් ලෙනින් වාදය පිළිගත් මාඕ සේතුං සභාපතිතුමාගේ දර්ශනය වෙනුවෙන් ඇප කැප වූ නායකයෙකු බවට පත් වූවේ කෙසේද යන විසඳිය නොහැකි ගැටලුව මගේ සිත තුළ පැන නැගේ. ඇමතිධූර, වරදාන, වරප්‍රසාද කිසිවක් නොපැතූ මෙම උදාර මිනිසා මානව සංහතියට දැඩි ලෙස ආදරය කළේය. සේවය කළේය. ඇස්. ඩී. චීන කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයෙකු ලෙස කටයුතු කරද්දී ඉතා සුළු කණ්ඩායමක් සමග වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් මමත් ඇස්. ඩී.ත් මැයි දින පෙළපාළියේ ගමන් ගත් ආකාරය මට සිහිපත් වේ. ඇස්. ඩී. ගැන වටහා ගැනීමට මෙම සටහනම ප්‍රමාණවත් යැයි සිතමි.


සෝමසිරි වික්‍රමසිංහ