එක්සත් ජාතික පක්ෂයේ ගමන් මඟ ආලෝකමත් කිරීමට මහා යුග මෙහෙවරක් ඉටුකළ ගිරාඹේ ආනන්ද නාහිමියන්ට හා සාරානන්ද සඟ පරපුරට ධර්මපාලතුමා බුද්ධගයාව බේරාගත් සටනේ සිට යහපාලන ආණ්ඩුව බිහිකිරීම දක්වා සබඳතා පිරි අතීතයක් ඇත. ඒ ගැන ගිරාඹේ ආනන්ද නාහිමිගේ මතක සටහන් මෙසේ ය.
ආනන්ද නාහිමියන්ගේ ගුරු හාමුදුරුවන් සියඹලන්ගමුවේ ගුණරතන නාහිමියන්ය. උන් වහන්සේ වැඩ සිටියේ පේරාදෙණිය විජේවර්ධනාරාමයේ ය. අනන්ද හිමියන්ට ළමා කාලයේ දී මහණ වෙන ලෙස පෙරැත්ත කළේ නෑකමින් සිය බාප්පාගේ පුතාවන සියඹලන්ගමුවේ කස්සප හිමියන්ය. ගුණරතන හිමියන්ගේ ගුරු හිමියන් උඩුනුවර ශ්‍රී සාරානන්ද නාහිමියන් ය. උන්වහන්සේ 1898 සිට 1909 දක්වා අනගාරික ධර්මපාලතුමා සමඟ දඹදිවට වැඩමකර ධර්ම ප්‍රචාර කටයුතු කරමින් මහාබෝධි සමාගමේ ලේකම් ලෙස කටයුතු කළහ.
සිදුහත් කුමාරයා බුද්ධත්වයට පත් බුද්ධ ගයාව අයත්ව තිබුණේ මහන්තා කෙනෙකුට ය. එනම් හින්දු පූජක ප්‍රධානියෙකි. මහන්තාගෙන් බුද්ධගයාව බේරාගෙන බෞද්ධයන් අතට එය පත්කර දුන්නේ අනාගාරික ධර්මපාලතුමාගේ අනුදැනුම මත උඩුනුවර සාරානන්ද නාහිමියෝ ය.
එවකට බුද්ධගයාව එළි පෙහෙළි කිරීමට ගිය ධර්මපාලතුමාගේ පිරිවරට මහන්තාගේ අනුගාමිකයන්ගෙන් තර්ජන ගර්ජන පීඩාවන් හා පහරදීම් සිදුවිය. විටෙක මහන්තාගේ පිරිස් පහර දී එළවා ගත්තත් නාහිමියන්ගේ පිරිස එම උත්සාහය අතහැර නොගියහ. වසර පහක් පමණ ගත වූ තැනේ දී විගා 15,000ක් නම් වූ මුදලකට නිරවුල්කර එය ලබාගන්නා ලෙස මහන්තා ප්‍රකාශයක් කළේ ය. එය අති විශාල මුදලකි. ඒ වන විට ධර්මපාලතුමා තෙමසක කාලයකට ඇමරිකාවේ ආගමික සමුළුවකට ගොස් සිටි අතර නාහිමියන් අත මුදල් තිබුණේ නැත. දවස් දෙකක් ඇතුළත ගනුදෙනුව කෙරෙනවානම් පමණක් කැමති බවත් ඉන් අනතුරුව පැත්ත පළාතක නොයෙන ලෙසත් මහන්තා එක්තරා දිනෙක දැන්වීය.
සාරානන්ද නාහිමියෝ භාෂා අටක් හා වෙද ශාස්ත්‍රය ද හොඳින් ප්‍රගුණ කළ බහුශ්‍රෑත කෙනෙකි. කුඩා දරුවන්ට පාසලක උගන්වන උන්වහන්සේ රබන් වයමින් බෙංගාල භාෂාවෙන් බුදුගුණ කීම කාගෙත් සිත්ගත් දසුනකි. එය දකින කුඩා දරුවෝ ද පසුපස ගොස් බලා සිටිති. ප්‍රභූ පැලැන්තියේ ආඩම්බරකාරයෙකු වූ මහන්තා ද මේ ගැන දැන සිටියේ ය.
නාහිමියෝ බුද්ධගයාවට මල් පුදා බුදුන් වැඳ කෙසේ හෝ පසුදාට එය බේරාගන්නා බවට අධිෂ්ඨාන කරගත්හ.
දෙවියන්ට පිං දී සත්‍ය ක්‍රියාකොට නින්දට වැටුණු උන්වහන්සේට සිහිනයෙන් පණිවුඩයක් ලැබිණි. එනම් සුදු ඇඳගත් කෙනෙක් පැමිණ අසවල් මහත්මයා හමුවන්න. ඔහු ඔබ වහන්සේට මුදල් දෙයි යනුවෙනි. එකී පුද්ගලයා හමුවන්නට සාරානන්ද හිමි ඔහුගේ නිවසට ගිය සේක. නාහිමියෝ හින්දි බසින් ඒ මහතාව ඇමතූහ. ඔහු ද ඉතා කැමැත්තෙන් ආගිය විස්තර කතා කළේ ය.
‘ඔබගේ හින්දි කතාව ගැන මට හරි සතුටුයි. ඔබ අපේ දරුවන්ට උගන්වනවා කියලත් මට ආරංචියි. ලෙඩුන්ට බෙහෙත් දෙනවා කියලත් මම දන්නවා. ඇයි ආවේ? යි නිවැසියා ඇසුවේය. බුදුන් බුද්ධත්වයට පත්වූ ස්ථානය හෙට බේරා නොගත්තොත් ආයේ ලැබෙන්නේ නෑ. ලංකාවෙන් මුදල් ගෙන්වාගන්නත් බොහෝ කල් යනවා, නාහිමියෝ කීහ.
ඔබ ගිහින් එය බේරා ගන්න. මම සල්ලි දෙන්නම් ඒ පුද්ගලයා කීවේ ය. මුදල් රැගෙන මහන්තා වෙත ගිය සාරානන්ද නාහිමියන්ට ධර්මපාලතුමාගේ නමට ඔප්පුව ලිවීමට නොතාරිස් අකැමැති විය. දඹදිව කාපු එකා. ඔහුට අපි ඉඩම් දෙන්නේ නෑ. ඔබට ඕනෑ නම් ඔබේ නමට ගන්න. ආදි වශයෙන් නොතාරිස් හා මහන්තා අපහාසයෙන් අකැමැත්ත කීහ.
ධර්මපාලතුමාට ඔප්පුව පැවැරීම පසුව කළ හැකි බව සිතා නාහිමියන් උන් වහන්සේගේ නමට ඉඩම ලියා ගන්නට කැමති විය. තෙමසකින් ධර්මපාලතුමා ඉන්දියාවට පැමිණියේය. නාහිමියෝ විස්තරය කියා ඔප්පුව භාර දුන්හ. ඔප්පුව නාහිමියන්ගේ නමට ලියා තිබීම ගැන ධර්මපාලතුමා උරණ විය. මම එකොළොස් වසරක් කැපවෙලා වැඩ කළේ වංචා කරලා ඉඩම් ගන්න නෙවේ යැයි කියා නාහිමිහියෝ ලංකාවට යාමට පිටත් වූහ. ඒ කතාව කල්කටාවේ පුවත්පතක පළවිය. එම පුවත දුටු නේපාලයේ බුවන් මෝගන් රජු නාහිමියන්ට නේපාලයේ රජ ගෙදරට වැඩම කරන ලෙස ආරාධනා කළේ ය. රජ මාළිගයේ දරුවන්ට බුද්ධාගම උගන්වා මාස 6කින් පිටත්වන්නට රජු හිමියන්ගෙන් ඉල්ලා සිටියේ ය.
එම ඉල්ලීම ඉටු කර මාස හයකින් එනම් 1911දී උන්වහන්සේ ලංකාවට වැඩම කළහ. උන්වහන්සේ ලංකාවට පැමිණියේ තවත් අධිෂ්ඨානයක් පෙරදැරිව ය. එනම් ලංකාව තුළ සියයක් වෙහෙර විහාර තනා සිය දෙනෙක් කුලදරුවන් පැවිදි කරන බවය. මහා සමාජ සේවාවක් කර එම අරමුණු මුදුන් පමුණුවාගෙන නාහිමියෝ අපවත් වූහ. ඉන් පසු ගුණරත්න නාහිමි එම යුග මෙහෙවර ඉදිරියට ගෙන ගියහ.
සාරානන්ද නාහිමි අපවත්වී වසරක් පිරෙන පිංකමට 1949 දී එන්. පියදාස නම් කුල දරුවා ගියේ ඇබිත්තයෙකු ලෙස ගුණරතන නාහිමියන් පසු පසිනි. ඒ දරුවා එල්ලාගෙන ගිය ගමන් මල්ලේ බොක්ස් කැමරාවක් නිරතුරුව තිබුණි.
එදා පියදාස කුල දරුවා පසුකාලීනව පැවිදිවූණේ ගිරාඹේ ආනන්ද නමිනි. ඊට පෙර ගුණරතන හිමියන් වඩින ගමන් බිමන්වල නිරතුරුව පියදාස පසුපස අත්වැලක් මෙන් සිටියේ ය.
එවකට තැපැල් ඇමති එන්. එච්. කීර්තිරත්න මහතාගේ නැගණිය එන්. එච්. සීලවති මහත්මිය තමාට මහියංගනයේ විශ්‍රාම ශාලාවක් ගොඩනැගීමට අවශ්‍ය බව ගුණරතන හිමියන්ට කීවාය. ඒ සඳහා ඉඩමක් ලබා ගැනීමට නාහිමියන් ද සීලවති නෝනා ද පියදාස ද රොස්මිඞ් පෙදෙසේ නිවසට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ඇමතිවරයා හමුවට ගියහ.
ඔහු පාර්ලිමේන්තුවේ සභානායක ද පළාත් පාලන ඇමති ද විය. සතියේ දවසකි. උදෑසන එහි ගොඩවැදුණු බොහෝ පිරිසකගෙන් නිවස පිරී තිබිණි. බණ්ඩාරනායක මහතා ඉහළ මාලයෙන් පඩි පෙළ බැසගෙන කඩිමුඩියේ සාලයට ආවේය. කන්නන්ගර ලේකම්වරයාට කියා කාර්යයන් ඉටුකරගන්නා ලෙස ඒ මහතා බොහෝ දෙනාට කියාගෙන පිටත්වන්නට හැරෙද්දී “ආයිබෝවන් මං ආවේ විශ්‍රාම ශාලාවක් හදාගන්න මහියංගනේ ඉඩමක් ඉල්ලාගන්න” යැයි සිලවතී නෝනා කීවා ය.
“ගෑනියේ කියන දෙයක් ඉක්මනට කියාපන් මට කැබිනට් රැස්වීමට යන්න තියෙනවා. දැනටමත් ප්‍රමාදයි.” යි ඇමතිවරයා කීවිට ගත් කටටම සීලවති නෝනා කීවේ “මිනිහෝ උඹට හදිස්සි නම් පලයන්. මම උදේ ඉඳන් බලාන හිටියේ ඕක අහගන්න ද?” කියායි.
නායක හාමුදුරුවනේ ගෑණුත් එක්ක වැඩකරන්න බෑ. හරි අමාරුයි. මොකද්ද කාරණේ යැයි බණ්ඩාරනායක මහතා ඇසීය. හාමුදුරුවෝ කාරණය කීහ. මේ ගැන බලය තිබෙන්නේ අගමැතිතුමාට. මට ඕක කරන්න බෑයි බණ්ඩාරනායක මහතා පිළිතුරු දුන්නේ ය.
පසුව අගමැතිවරයා හමුවීමට සිතාගත් නාහිමියෝ වුඞ්ලන්ඞ් මන්දිරය පිටත් වූහ. සීලවති හා පියදාස දෙදෙනා ද පසුපස වූහ. එම ස්ථානයේ කරෝලිස් නම් උපාසක මහතෙක් සිටියේ ය. ඔහු ඩී.එස්. සේනානායක මහතාගේ සේවකයෙකි. කරෝලිස් පුටුවක සුදු රෙද්දක් එළා නාහිමියන්ට අසුන් පැනවීය. නාහිමියන්ට ගිලන්පස පිළිගැන්වූ උපාසක අගමැතිට වාඩිවෙන්නට බිමින් මෙට්ටයක් එලුවේ ය. නාහිමියන්ට නමස්කාර කර පසෙකින් අසුන්ගත් අගමැති සිය පුතා ඩඞ්ලිව කැඳවා උන්වහන්සේව හඳුන්වා දුන්නේ ය. කීර්තිරත්න ඇමතිගේ නැගෙණිය මේ යැයි නාහිමියෝ අගමැතිට සීලවතීව හඳුන්වා දුන්හ. කීර්තිරත්න ඇමති තමන්ට බොහෝ වැදගත් බව අගමැති කී ය. අවශ්‍ය ඉඩම සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන ලෙසද තමා එය නිර්දේශ කරන බව ද සේනානායක මහතා කීවේ ය.
මේ සංසිද්ධීන් දෙක තියුණු ඇසකින් බලා සිටි පියදාසගේ හදවතට එය කිඳා බැස්සේ ය. ඩී. ඇස්. සේනානායක මහතා ගැන මහා පැහැදිමක් ඇතිකර ගත්තේ ය. එදා පියදාස කුමරුවා, ගිරාඹේ ආනන්ද නමින් සසුන්ගතව අධ්‍යාපනය ලබා තරුණ කාලයේ සිට අද දක්වා එක්සත් ජාතික පක්ෂ නායකයන් මවිත වන දේශපාලන පෙරළින් රැසකට උරදුන්නේ ය.
අනුරාධපුර - සරත් මනුල වික්‍රම