වත්මන් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ගැටවර වියේදී වැඩි කාලයක් රැඳී සිටියේ එංගලන්තයේ ලන්ඩන් නගරයෙහිය. එසේ වූයේ ඔහුගේ මෑණියන් වන ඛේමා සමරවීර මැතිනිය බඩපිස්සා වූ මංගල උසස් අධ්‍යාපන කටයුතු සඳහා එවක ලන්ඩන් නගරයේ විශ්වවිද්‍යාලයක ගෘහ නිර්මාණ ශිල්පය හදාරමින් සිටි තමන්ගේ වැඩිමහල් පුත්‍රයා වෙත යැවූ බැවිනි.
“මම ඒ වෙන කොට කොළඹ රාජකීය විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙන ගත්තේ. හරියට කියනවා නම් මම 1972 දෙසැම්බර් මාසයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටියා විතරයි. ඒ විභාගේ ප්‍රතිඵල ලැබෙන්නත් කලින් මට එංගලන්තයට යන්න සිද්ධ වුණා. අම්මාගෙන් වෙන්වෙලා යන්න සිද්ධ වුණ නිසා ඒ ගමන ගැන නම් මගේ හිතේ තිබුණේ ලොකු දුකක්. ඒත් අපේ අයියා ලන්ඩන්වල ඉගෙන ගන්න අතරේ පොඩි පොඩි රස්සාවල් කීපයක්ම කරලා දුක් මහන්සි වෙලා එවපු ගුවන් ටිකට් එක අපතේ යන නිසයි මම අකමැත්තෙන් වුණත් ලන්ඩන් යන්න තීරණය කෙරුවේ”
මංගල කියන අන්දමට 1973 ජනවාරි මාසයේ එක්තරා දිනයක කොළඹ කටුනායක සිට සෝවියට් රුසියාවේ මොස්කව් ගුවන් තොටුපොළ දක්වා යන ගුවන් යානයකට හෙතෙම ගොඩ වැදුණේ තනිවමය. තමන් පවුලේ සමීප නෑයන් කීප දෙනෙකු සමග කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මගී පර්යන්තය දක්වා කැඳවාගෙන ගොස් ගුවන් යානයට නැංවූ අම්මාත්, අක්කාත් කඳුළු සලමින් ආපසු යන අයුරු ඔහු ඉකි ගසා හඬමින් බලා සිටියේය. එංගලන්තයේ ලන්ඩන් නගරයට යා යුතු මංගලට ඊට හාත්පසින්ම වෙනත් දිශාවක පිහිටි සෝවියට් රුසියාවේ මොස්කව් ගුවන් තොටුපොළ වෙත යාමට සිදුවූයේ ඔහු ගමන් කළ එයාර් ෆ්ලොට් ගුවන් යානය කටුනායක සිට ලන්ඩනයේ හිත්‍රෝ ගුවන් තොටුපොළ වෙත ගමන් නොකළ බැවිනි.
ඒ දවස්වල ගුවන් ගමන් සඳහා අඩුම ගාස්තුවක් අය කළේ එයාර් ෆ්ලොට් යානාවල විතරයි. ඉතින් ඒ නිසයි අපේ අයියත් බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරගෙන මට එයාර් ෆ්ලොට් ටිකට් එකක් එවලා තිබුණේ. හැබැයි මොස්කව්වලට ගිහින් පැය තිහකට පස්සෙයි එංගලන්තයේ හීත්‍රෝ එයාර්පෝට් එක දක්වා යන ප්ලේන් එක තිබුණේ. ඒ පැය තිහේ කාලය හෝටලයකට කෑම බීමත් එක්ක නතර වෙලා ඉන්නත් ඒ ටිකට් එක ගන්න කොටම මුදල් අය කරගෙන තිබුණා යි කියන මංගල වැඩි දුරටත් සඳහන් කරන්නේ තම සොහොයුරා ද ඒ ගැන කල්තියා දැනුම් දී තිබුණු බවය.
ඒ අනුව වෙනත් යානයකින් ලන්ඩන් බලා යාමට බලාපොරොත්තුවෙන් සිටි මංගල ඇතුළු මගින් පිරිසට එම කාලය තුළ අවශ්‍ය සියලුම ඉඳුම් හිටුම් සහ ආහාර පාන අදාළ හෝටලයෙන් සපයා තිබුණේය. මේ අතර එම පැය තිහක කාලය හෝටලයේ සුව පහසු ලෙස ගත කළ මගීන් පිරිස යළි ගුවන් තොටුපොළ වෙත පැමිණි පසු අසන්නට ලැබුණේ අනපේක්ෂිත පුවතකි. අතරමඟ දරුණු හිම පතනයක් තිබෙනවා. ඒ නිසා ලන්ඩන්වලට යන ප්ලයිට් එක දවස් දෙකක් ප්‍රමාද වෙනවා. දැන් මේ අය ආපහු හෝටලයට යන්න. හිමපතනය නතර වුණාම අපි ඒ බව දැනුම් දෙනවා” යි එම ගුවන් යානයේ නියමුවන් හීත්‍රෝ බලා යාමට සිටි මගීන් පිරිසට කියා සිටි අතර, ඒ අනුව ඔවුන්ට සිදුවූයේ ආපසු හැරී තමන් ඊට කලින්දා නතර වී සිටි හෝටලය බලා යාමටය.
ඊට පස්සේ ඒ හෝටලයෙන් කිව්වා අපව නතරකර ගන්න පුළුවන් දින එක හමාරයි. ඊට අමතරව නතර වෙනවනම් දින ගණන අනුව මුදල් ගෙවන්න කියලා. ඒ අනුව මුදල් තිබුණු අය ඇතුළට ගිහින් කාමරවල නතර වුණා. ඒත් අපි තුන් හතර දෙනෙක් ළඟ කාමරවල නතර වෙන්න තියා කන්නවත් සල්ලි තිබුණේ නෑ. දැන් හෝ ගාල වහිනවා. ඒ අස්සේ දරුණු කුණාටුවකුත් ආවා. අපට යන්න තැනකුත් නෑ. නුපුරුදු රටක නිසා වෙන්නෙ මොනවද කියලවත් අපට හිතාගන්න බෑ. ඒ අස්සේ බඩ පණුවෝ බොක්සිං ගහනවා. පස්සේ අපි අතර හිටපු කට සැර දෙතුන් දෙනෙක් හෝටලේ මැනේජර් හම්බ වෙන්න ගිහින් තරමක සද්දයක් දාලා කතා කෙරුවම ඒ අය කැමැති වුණා අපි කට්ටියටම හෝටලේ ලොබි එකේ නතර වෙන්න ඉඩ දෙන්න. දවසකට එක් කෙනෙකුට තම්බපු බිත්තරයක් බැගින් දෙන්නත් පොරොන්දු වුණා. කොහොම හරි ඒ කුණාටුවයි හිම පතනයයි නතර වුණේ දවස් දෙකකට විතර පස්සේ යි කියන මංගල සඳහන් කරපු අන්දමට ඔහු ඇතුළු ලාංකිකයන් පිරිසට එහි සිට දින දෙකේදිම ආහාරයට ලැබී ඇත්තේ තැම්බු බිත්තර දෙකක් පමණි.
එලෙස මොස්කව් නගරයේ හෝටලයක අතරමං වූ පිරිස අතර සිටි එකම බාල වයස්කාරයා වූයේ මංගලය. උදේ පාන්දරින්ම ලැබුණු තැම්බූ බිත්තරය කෑමෙන් පසු පැය පහක් හෝ හයක් පමණ ගතවන තුරු කුසගින්නක් නොදැනුණ ද ඉන් අනතුරුව ඇති වූයේ පෙර මෙන් තුන් හතර ගුණයකින් වැඩි අධික කුසගින්නකි. අවට පැවැති අධික සීතල නිසා ඔවුන්ගේ ඉහමොළ පුපුරු ගැසුවේය. ඒ හෝටලේ ෂෝට් ඊට්ස් ජාති ඕනෑ තරම් තිබුණා. ඒත් අපේ ළඟ ඒව අරගන්න තරං මුදලක් තිබුණේ නෑ. මොකද හූණු බිත්තරයක් තරමේ කට්ලට් එකක් අපේ රටේ මුදලින් රුපියල් 800 ක් විතර වුණා. මගේ ළඟ තිබුණේ ඩොලර් 2 ක් විතරමයි. ඒවා රූබල්වලට මාරු කර ගන්නත් වෙනම ගණනක් අය කරනවා.
මංගලට මතක ඇති අන්දමට ඒ දිනවල මුළු මොස්කව් නගරයම හිමෙන් වැසී තිබුණේය. ලංකාවෙන් ගෙනගිය උණුසුම් කබායක් ඔහු සන්තකයේ තිබුණද කටට ගන්නා දියපොද පවා අයිස් බවට පත් වන අධික සීතලෙන් මිදීමට එය ප්‍රමාණවත් නොවීය.
මේ අතර තමන් මීට පෙර දැක තිබුණු අන්දමේ නොයෙකුත් කෑම බීම ඔවුන් ඉදිරිපිට ෂෝකේස්වල ගොඩ ගසා තිබුණේය. ඒවා දකින විට තමන් තුළ පැවැති කුසගින්න දස ගුණයකින් පමණ වැඩි වූ බව හෙතෙම පවසයි. එහෙත් ඔවුන්ට සිදුවූයේ තමන් ඉදිරිපිට ෂෝකේස්වල අසුරා තිබූ විවිධ මාදිලියේ කෙටි කෑම වර්ග දෙස බලමින් සීතලෙන් ගැහි ගැහි චුයිංගම් හැපීමටය.
දින දෙකකටත් වැඩි කාලයක් තිස්සේ පැවැති අධික හිමපතනය යම් තරමකට අඩුවූයේ මේ අතරතුරය. ඒ අනුව මොස්කව් සිට ලන්ඩනයේ හීත්‍රෝ බලා යන ගුවන් යානය එදින උදෑසන ගුවන් ගත වන බව අදාළ ගුවන් සමාගමේ නියෝජිතයකු පැමිණ ඔවුන්ට දැනුම් දී තිබුණේය.
‘ඒ කතාව ඇහුණම පුදුම සතුටක් අපට දැනුණේ. අපි දින දෙකක් තිස්සේ බඩගින්නේ හිටපු බවත් අමතක වුණා’ යි කියන මංගල හීත්‍රෝ බලා යන ගුවන් යානයට ගොඩ වූ විගස කළ පළමු කටයුත්ත වූයේ ගුවන් සේවිකාවක විසින් තමන් වෙත පිළිගන්වන ලද කෙටි කෑම බන්දේසිය තත්පර කීපයක් ඇතුළත අවසන් කර තවත් යමක් ලැබේ දැයි වටපිට බැලීමය.
නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය : අන්තර්ජාලයෙනි