ඇල්පිටියෙන් එන ජයග්‍රහණ සංඥාවේ පුරාණය


 
 
ඈත අතීතයේදී මිනිස්සු ස්වභාව ධර්මයේ යම් යම් අංගයන්ගෙන් අනාවැකි කියවෙන බව විශ්වාස කළහ. වල්ගා තරු එවැන්නකි. වරෙක පලස්තීනයේ එඬේරු වල්ගාතරුවක් දුටහ. එයින් තමනට යහපත් රජෙකු පහළවන්නේ යැයි කියවෙන බව ශාස්ත්‍රවන්තයෝ පැහැදිලි කළහ. පින්වත් කුමාරයෙකු ලොවට බිහිවීම එකී වල්ගාතරුව ප්‍රදර්ශනය වීමේ අර්ථය යැයි ඔව්හු කීහ. තමාට පුතෙකු නොමැතිව සිටියදී රජෙකු බිහිවන්නේ කෙසේදැයි බියට පත්වූ පලස්තීනයේ රජු බිලිඳු දරුවන් සියල්ලන්ම මරා දැමීමට අණ කළේය. එහෙත් එම ඝාතනයට අසු නොවූ නාසරෙත්හි ජේසුස් නම් කුලදරුවා සුවෙන් වැඩුණේය. පසු කාලීනව පලස්තීනවාසී එඬේර ජනයාට පමණක් නොව සමස්ත ලෝකවාසීන්ටම සාමයේ හා දයාවේ පණිවුඩය ප්‍රකාශ කරමින් නව ක්‍රිස්තු රාජ්‍යය ලොවට දානය කළේ එම කුමරුවාය.
 
පසු කාලීනව ජ්‍යොතිෂ ශාස්ත්‍රය නිර්මාණය කර ගන්නා ලද්දේ ද ග්‍රහ තරු වළල්ල උපයෝගී කර ගනිමිනි. මන්දාකිනියේ රැඳී ඇති ග්‍රහ තාරකාවන්ට යම් යම් නම් හා ශක්තීන් ආරෝපණය කරමින් තනාගත් අනාවැකි කීමේ ශාස්ත්‍ර අද වන විටත් බොහෝ දෙනා අතිශයින්ම විශ්වාස කරති. තම දෛවයේ ඉරණම අප්‍රාණික ග්‍රහ තාරකාවලට භාරදී සිටීම කෙතරම් දුරට යෝග්‍යදැයි යන්න විවාද සහිත වුවත් වත්මනේදීත් බොහෝ අය රාශි, ලග්න, ග්‍රහ තාරකා, නැකත්, කලා ආදී සංකේත මත රැඳී ඇති ජ්‍යොතිෂ්‍ය කෙරෙහි විශ්වාසය තබන බොහෝ දෙනා සමාජයේ සිටිති. ඒ ගැන එකඟ නොවන බව පවසන අය අතර වුවද තමන්ගේ කටයුතුවලදී ජ්‍යොතිෂයේ පිහිට පතන අයද සිටිති.
මිනිසා ස්වභාවයෙන්ම අනාවැකි මගින් අනාගතයේ සිදුවන දේ දැනගැනීමට ප්‍රිය කරයි. ඒ නිසා නොයෙක් නොයෙක් ක්‍රම මගින් තමන්ගේ දිවිය කෙරෙහිත් තමන් ප්‍රිය කරන නොයෙකුත් විෂය ක්‍ෂේත්‍රයන් පිළිබඳවත් අනාගත ඉරණම දැන ගැනීමට ඔව්හු යොමු වෙති. දේශපාලන ක්ෂත්‍රය පිළිබඳ තත්ත්වයද ඒ ආකාරම වේ. මැතිවරණ ළඟාවෙද්දී අනාවැකි කියන්නන්, අංජනම් එළි බලන්නන් පසුපස යාම, සෙත් ශාන්ති කර ගැනීම සඳහා දේවාලවලට යාම, ජයග්‍රහණය සඳහා ආශිර්වාද ලබා ගැනීමට දෙස් විදෙස්හි ශාස්ත්‍රවන්තයන් පසු පස යාම, භාර හාර වීම ආදී කටයුතු එම ක්ෂත්‍රයේ කොතෙකුත් සිදු වේ.
 
එහෙත් අපේ මේ උත්සාහය වන්නේ එවැන්නක් නොවේ. මෙයට හරියටම වසර පනහකට පෙර ශ්‍රී ලංකා දේශපාලනයේ සිදු වූ එක්තරා දේශපාලන සිදුවීමක් ඊළඟ මහා මැතිවරණයේදී ප්‍රතිඵලය කෙරෙහි අතිශයින් තීරණාත්මක වූ බව පෙන්වීමය. එවැනි මූලාශ්‍රය නැවතද එළඹ තිබේ. අනාවැකි කුමක්වුවත් සිදුවන දේ නොවැළැක්විය හැකිය.
අපේ මාතෘකාව වන්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයයි. පසුගිය ඔක්තෝබර් 11 වැනිදා පැවත් වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එම සභාවේ ආසන 17 ම දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් විය. එම කොට්ඨාස ගැන සවිස්තරව දක්වන්නේ නම් අවිත්තාව, ඕමන්ත, මැටිවිලිය, ඉදිපලේගොඩ, අමුගොඩ, කැටන්දොල, වල්ලඹගල, පිටුවල, ඇල්ල, අම්බන - කහදූව, පිනිකහන සහ තිබ්බොටුවාව යන කොට්ඨාස දාහතම එසේ පොහොට්ටුව ජයග්‍රහණය කර තිබුණි. සමස්ත ප්‍රතිඵලය නිවේදනය වූවේ මෙසේය.
 
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 23,372
එක්සත් ජාතික පක්ෂය 10,113
එක්සත් ජනතා නිදහස් සන්ධානය 5273
ජනතා විමුක්ති පෙරමුණ 2435
 
මැතිවරණ පනතේ ප්‍රතිපාදනවලට අනුව, කොට්ඨාස ජයග්‍රහණය නොකළ පක්ෂවලටද තමන් ලැබූ ඡන්ද සංඛ්‍යාවේ අනුපාතය අනුව නියෝජිතයන් පත් කර ගැනීමට අවස්ථාව සැලසෙන හෙයින් එක්සත් ජාතික පක්ෂයට නියෝජිතයන් 07 දෙනෙක්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට තිදෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණට දෙදෙනෙකු ද පත් කර ගැනීමට අවස්ථාව හිමිවිය. 
 
මෙහිදී අපේ මතකය දිවයන්නේ මෙයට වසර පනහකට පමණ පෙර පැවති ඇල්පිටියද ඇතුළත් බෙන්තර - ඇල්පිටිය ආසනයේ අතුරුමැතිවරණයක් කෙරෙහිය. එය පසුකාලයේ පැවති මහා මැතිවරණයකට ජයග්‍රහණයේ පෙර නිමිති පැවසූ බව අපට මතකය.
 
වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසන් සභාවේ නිර්දේශය පරිදි බෙන්තර ඇල්පිටිය කොට්ඨාසය නිර්මාණය කරන ලද්දේ කලින් පැවති බද්දේගම ආසනයෙන් ප්‍රධාන කොටසක් වෙන් කිරීමෙනි. එම ආසනය සඳහා පළමුවරට මැතිවරණයක් පැවතුණේ 1960 මාර්තු 19 වැනිදාය. 1952 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කර ජයගත් සහ 1956 දීද එම පක්ෂයෙන් බද්දේගම දිනාගෙන බණ්ඩාරනායක රජයේ අමාත්‍ය ධුරයක්ද දැරූ හෙන්රි අබේවික්‍රම මහතා 1960 මාර්තු ඡන්දයේදී බද්දේගමින් වෙන් කළ කොටස වූ බෙන්තර - ඇල්පිටියට තරග කර සිව්වැන්නාවූවේය. ජයග්‍රාහකයා වූවේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ආර්. ජී. සමරනායක මහතාය. දින තිස් තුනකට පමණ සීමා වූ එම පාර්ලිමේන්තු නිලකාලය එසේ අවසන් වූවේ රාජාසනයේ කතාවට ඉදිරිපත් කළ ස්තුති යෝජනාව පරාජය වීමෙනි. 1960 ජූලි මැතිවරණයේදී ශ්‍රී.ල.නි.ප. අපේක්ෂකයා වූ ඇල්බට් කාරියවසම් මහතා පහසුවෙන් ජය ගත්තේ හිටපු මන්ත්‍රී ආර්. ජී. සමරනායක මහතා පරාජය කරමිනි. 1965 මහා මැතිවරණයේදී ද මෙම ආසනයේ ප්‍රතිවාදීන් දෙදෙනා වූවේ සමරනායක - කාරියවසම් යුගලයයි. එවර ජයග්‍රාහකයා වූවේ සමරනායක මහතාය.
 
රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිටම මෙරට මැතිවරණ ක්‍රමයේ දක්නට ලැබුණු සුවිශේෂී අංගයක් වූවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඡන්ද පෙත්සම් ඉදිරිපත් කිරීමට තිබුණු අවස්ථාවයි. යම් අපේක්ෂකයෙකු තම මැතිවරණ ජයග්‍රහණය උදෙසා නීතියෙන් ප්‍රකාශ කර තිබෙන නිර්නායකයන් අනුව කටයුතු නොකර අල්ලස් දීම, ප්‍රතිවාදී අපේක්ෂකයන්ගේ පෞද්ගලික චරිතයට අපහාස කිරීම, බලහත්කාරකම් සිදු කිරීම, අපේක්ෂකයකු වීමට අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබීම, සිරගතව සිටීම නිසා ප්‍රජා අයිතිය අහිමිව සිටීම සහ තවත් කරුණු රාශියක් හේතුකොටගෙන ජයග්‍රාහකයෙකුට විරුද්ධව ඔහුගේ පත්වීම අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීමට අවස්ථාව සලසා තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ඉදිරියේ පැවැත්වෙන විධිමත් නඩු විභාගයකදී එම චෝදනා ඔප්පුවුවහොත් අදාළ මන්ත්‍රීවරයාගේ පත්වීම අවලංගු කෙරුණි. එහි ප්‍රතිඵලය වූවේ අදාළ ඡන්ද කොට්ඨාසයේ තෙමසක් ඇතුළත අතුරු මැතිවරණයක් පවත්වා නව නියෝජිතයෙකු පත්කර ගැනීමට එමගින් විධිවිධාන සලස්වා තිබුණි. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ ඉතා යහපත් අංගයක් ලෙස මෙය විද්වත්හු විග්‍රහ කළහ. මෙම අතුරු මැතිවරණ නිසා කාලීන දේශපාලන පසුබිම උරගා බැලීමට අවස්ථාවක් ලෙසද එකල සලකනු ලැබීය.
මේවායේදී ආණ්ඩු පක්ෂය පරාජයවුනිනම් ජනමතය තමන්ට එරෙහි බව වටහාගෙන අඩුපාඩුකම් හදා ගැනීමට බලධාරීන්ට මෙම තත්ත්වය උපයෝගී කර ගත හැකි විය. සාධාරණ නඩු විභාගයක් මගින් සිදුවන මෙම අධිකරණ ක්‍රියාවලිය නිසා දේශපාලන ක්ෂේත්‍රයේ මහා ප්‍රබලයන්ගේ ආසන අහිමිවීම සිදුවිය. එක් අසුනක් සඳහා දිගින් දිගටම අතුරු මැතිවරණ කීපයක් පවත්වන්නට සිදු වූ අවස්ථාද විය. එක් ඡන්ද පෙත්සමකදී මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ ආසන අහිමි වූ අවස්ථාවක්ද මැද කොළඹ ආසනයෙන් වාර්තා විය.
මේ අයුරින් බෙන්තර ඇල්පිටිය ආසනයේ මන්ත්‍රී ආර්. ජී. සමරනායක මහතාගේ පත්වීම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවලංගු කරන ලද අතර නව මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීම පිණිස  අතුරු මැතිවරණය පැවැත්වීමට නියමිත වූවේ 1966 ඔක්තෝබර් 24 වැනිදාටය. මේ දිනයම මදක් ආසන්න වන විට බණ්ඩාරවෙල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයා වූ ජේ. ජී. ගුණසේකර මහතා හදිසියේ ඉල්ලා අස්වූවේය. ඒ නිසා එයටද අතුරු මැතිවරණයක් පැවැත්වීමට යෝජිත විය. එමෙන්ම බළංගොඩ මන්ත්‍රීවරයා ලෙස පත්ව සිටි ක්ලිෆර්ඞ් රත්වත්ත මහතාද ඡන්ද පෙත්සමකින් වරදකරු වූ නිසා එයටද අතුරු මැතිවරණයක් පැවැත්වීමට නියමිත වූවේය. එම ආසන දෙකේ තරගයේද ඡන්ද දිනය ලෙස කලින් බෙන්තර ඇල්පිටිය ආසනයට නියම කර තිබුණු 1966 ඔක්තෝබර් 24 වැනිදාටම පැවැත්වීමට තීරණය විය. එදින රාත්‍රී ප්‍රථමයෙන්ම ප්‍රතිඵල නිකුත් කරනු ලැබුවේද බෙන්තර ඇල්පිටිය ආසනයේය. එය මෙසේ නිවේදනය විය.
 
ඇල්බට් කාරියවසම් ශ්‍රී.ල.නි.ප. 24,132
කොලින් සමරනායක එ.ජා.ප. 22,455
වැඩි ඡන්ද 1677
එදිනම රාත්‍රියේ නිකුත් වූ අනෙක් ආසන දෙකේ ප්‍රතිඵල මෙසේ නිවේදනය විය.
බළංගොඩ ආසනය
මල්ලිකා එල්ලාවල රත්වත්තේ ශ්‍රී.ල.නි.ප.14,471
ඇම්. ඇල්. ඇම්. අබුසාලි එ.ජා.ප. 12,732
ඇන්. පියදාස ස්වාධීන 238
වැඩි ඡන්ද 1740
බණ්ඩාරවෙල ආසනය
ආර්. ඇම්. අප්පුහාමි  ශ්‍රී.ල.නි.ප. 8636
සිරිල් මැතිව් එ.ජා.ප. 8488
ඒ.ඇම්. හේරත් ස්වාධීන 182
වැඩි ඡන්ද 148
 
මෙහි සඳහන් බළන්ගොඩ ආසනය ගැන මෙහිදී සඳහනක් කළ යුතුය. බළන්ගොඩ යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් සමගි පෙරමුණ නම් වූ තුන්හවුලේත් නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ උපන් ගමය. 1965 මහා මැතිවරණයේදී එම කොට්ඨාසය දිනා මැති සබයට පත්ව ආවේ ඇයගේ බාල සොහොයුරු ක්ලිෆඞ් සේනක රත්වත්තේ මහතාය. එහෙත් ඉදිරිපත් වුණු ඡන්ද පෙත්සමක් නිසා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එම පත්වීම අවලංගු කරන ලදී. අතුරු මැතිවරණයක් පැවැත්වීමට සිදුවූයේ ඒ නිසාය.
මෙම අතුරු ඡන්ද විමසීමද එකම දිනයකදී පවත්වා ආසන තුනම තම පක්ෂය ජයග්‍රහණය කළා වුවද ඇය එම දිනුම හැඳින්වූවේ බෙන්තර ඇල්පිටිය ජයග්‍රහණය වශයෙනි. ගතවූවේ සුළු කාලයකි. ඉදිරිපත් කර තිබුණු තවත් ඡන්ද පෙත්සමක් නිසා දොඩන්ගස්ලන්ද අසුන දිනා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ආර්. ආර්. ඩබ්ලිව්. රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී ධුරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන ලදී. ඒ වෙනුවෙන් පැවති අතුරු මැතිවරණය 1967 ජනවාරි 15 වැනි දින පැවැත් වුණි. හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මහතා මුලදී නියෝජනය කළ දොඩම්ගස්ලන්ද ආසනය දිනා ගැනීම අසීරු කටයුත්තක් බව දැන සිටි සමගි පෙරමුණ ප්‍රබල ව්‍යාපාරයක් දියත් කළේය. එහිදී වමේ බොහෝ කථිකයන් ප්‍රචාරක රැස්වීම්වලදී නිරන්තරයෙන් අවධාරණය කරන ලද්දේ බෙන්තර ඇල්පිටියේ ජයග්‍රහණය අනුගමනය කරමින් ඡන්දය භාවිත කරන ලෙසය. එය එසේම ඉටුවිය. 1967.1.15 දින පැවති එම මැතිවරණයේ ප්‍රතිඵල මෙසේ ප්‍රකාශ විය.
 
ලැටීෂියා රාජපක්ෂ මිය ශ්‍රී.ල.නි.ප. 14,164
ඇස්. ඩබ්. අලවතුවල එ.ජා.ප. 13,771
ඇම්. ඩී. සමරපාල ස්වාධීන 134
වැඩි ඡන්ද 393
 
ඉන්පසුව වැලිමඩ ආසනය සඳහා ද අතුරු මැතිවරණයක් පැවැත්වුණු නමුදු එය ප්‍රධාන දේශපාලන පක්ෂ අතර සටනක් නොවීය. එහිදී බලය උරගා බලන ලද්දේ ප්‍රාදේශීය බලකඳවුරු දෙකක නායකයන් වූ කේ. ඇම්. පී. රාජරත්න කඳවුර සහ පර්සි සමරවීර මහතාගේ නායකත්වයෙන් යුතු ස්වාධීන බලවේග දෙකකි. ඒ නිසා අප මේ ගොඩනගාගෙන යන තර්කයට එම ප්‍රතිඵලය අදාළ නොවේ.
 
වසරක පමණ කෙටි කාලයක් තුළ කොලොන්නාව ආසනයේ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රී ධුරය දැරූ ඩී. ඇස්. සමරසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය ඡන්ද පෙත්සමක් නිසා අහෝසි විය. ඒ සඳහා අතුරු මැතිවරණයක් පැවති අතර එය ප්‍රබල අපේක්ෂකයන් දෙදෙනෙකු අතර පැවති තීරණාත්මක සටනක් විය. කවුරු ජය ගනීදෝ යන්න අවසාන මොහොත දක්වාම පැහැදිලි නොවූ මෙම සටන කෙසේ හෝ ජය ගැනීමට දෙපාර්ශ්වයේම ඇත්තෝ මහත් සේ උත්සාහ දැරූහ. එවකට එම ආසන බල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි මෙම ලියුම්කරුට එහි බොහෝ ප්‍රචාරක රැස්වීම් දකින්නට අවස්ථාව ලැබුණි. එම රැස්වීම්වලදී බොහෝ කථිකයන් පෙර සඳහන් කළ පරිදිම බෙන්තර ඇල්පිටියේ තීරණය අනුගමනය කරන ලෙස ඉල්ලා සිටියහ. එම ප්‍රතිඵල මෙසේය.
 
බී. බී. ඉලංගරත්න ශ්‍රී.ල.නි.ප. 17,835
කුසුම්සිරි ගුණවර්ධන මිය ම.එ.පෙ. 14,162
තිලකා සමරසිංහ මිය ස්වාධීන 380
වැඩි ඡන්ද 3363
 
ඉන් පසුව දෙවිනුවර ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වුණි. ඒ 1967.3.16 දින දීය. එයද ශ්‍රී.ල.නි.පයට හිමි විය.
අගලවත්ත ආසනය දිනූ ලංකා සමසමාජ පක්ෂයේ අනිල් මුණසිංහ මහතාට මන්ත්‍රී ධුරය අහිමිවීම නිසා 1967 මැයි 05 දින මැතිවරණයක් පැවතුනි. මේ වකවානුවේ සමසමාජ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය සමග එකම සන්ධානයක් ලෙස කටයුතු කළ නිසා එයද එකම කඳවුරේ සටනක් විය. එහි ප්‍රතිඵල මෙසේ විය.
 
ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ල.ස.ස.ප. 21,081
ජී. ඩී. ඬේවිඞ් එ.ජා.ප. 20,738
වැඩි ඡන්ද 343
 
පාර්ලිමේන්තුවේ කාරක සභා උපසභාපති ධුරය දැරූ මීගමුව මන්ත්‍රී ටී. කුවින්ටින් ප්‍රනාන්දු මහතා 1967 අප්‍රේල් 24 වැනිදා ස්වර්ගස්ථ විය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වූ ඔහු වෙනුවෙන් එම පක්ෂයෙන්ම මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීමට ඔවුහු උනන්දු වූහ. එහෙත් එවකට පැවති එ.ජා.ප රජයේ ප්‍රතිපත්ති තීරණයක් මත ඉරිදාට නියමිතව තිබුණු සති අන්ත නිවාඩුව පොහොය දින හතරට ලබාදීමට කටයුතු කිරීම රජයට එරෙහිව කතෝලික ජන මතයක් නැගී ඒමට ප්‍රබල සාධකයක් විය. මෙම පසුබිම මත සමගි පෙරමුණ ද සම්පූර්ණ වෙර යොදා මෙම අසුන දිනා ගැනීමට උත්සාහ කළේය. එහෙත් අවසානයේ ජය ගත්තේ එ.ජා.ප. අපේක්ෂක ඩෙන්සිල් ප්‍රනාන්දු මහතාය.
මෙයින් පසු බණ්ඩාරගම, පැල්මඩුල්ල, කල්මුණේ යන ආසනවලද අතුරු මැතිවරණ පැවති අතර එහි ප්‍රතිඵල අනුවද දක්නට ලැබුණේ බෙන්තර - ඇල්පිටියේ ප්‍රතිඵලය අනුගමනය කිරීමක් ලෙසිනි. නාත්තන්ඩිය සහ බලපිටිය ආසන දෙක පමණක් අසීරුවෙන් එ.ජා.පය ජයගත් නමුදු රටේ ගොඩනැගී තිබුණු පොදු මතය වූයේ ඉදිරියේ එළඹෙන මහා මැතිවරණයේදී නිසැකවම එ.ජා.පය පරාජයට පත්වන බවය. එවැන්නක් ඇති වීමට ප්‍රබලම සාධකය වූවේ තවත් බොහෝ හේතූන්ට අමතරව බෙන්තර - ඇල්පිටියෙන් ආරම්භව රට පුරා අතුරු මැතිවරණ දිනා ගැනීමෙන් ඇති වූ මහජන විශ්වාසයයි. මහා මැතිවරණය පැවැත්වීමට නියමිත වූවේ 1970 මැයි මස 27 වැනිදාටය. 1970 අප්‍රියෙල් 23 වැනිදා නාමයෝජනා භාර ගැනීමෙන් සටන ආරම්භ විය. එය සමගි පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර මුහුණට මුහුණ සටනක් බව පෙනෙන්නට තිබුණි. ආර්.ජී. සේනානායක මහතාගේ නායකත්වයෙන් වූ සිංහල මහජන පක්ෂය නම් පක්ෂය ආසන 51 ක් සඳහා අපේක්ෂකයන් 51 දෙනෙකු ඉදිරිපත් කර සිටියද එය ජනතා ආකර්ෂණයට ලක්වූවේ නැත. මැතිවරණයේදී තුන් හවුලේ පක්ෂ වෙන වෙනම ලබා තිබුණු ආසන සංඛ්‍යාව වූවේ ශ්‍රී.ල.නි.ප. ආසන 90, ලංකා සමසමාජ පක්ෂය 19, කොමියුනිස්ට් පක්ෂය 6 වශයෙනි. මන්ත්‍රීන් 151 කින් සමන්විත පාර්ලිමේන්තුවේ 115 ක් දිනා ගැනීම යනු අතිමහත් ජයග්‍රහණයකි. එය තුනෙන් දෙකක ශක්තිය ඉක්මවීමකි. ආසන 17 ක් පමණක් දිනා ගත් යූ.ඇන්පියට විපක්ෂ නායක ධුරය ලබා ගැනීමෙන් සෑහීමට පත් වීමට සිදුවිය. එදා ඇල්පිටියෙන් ඇරඹූ සටන විජයග්‍රහණයෙන් කෙළවර වූවේ ඒ ආකාරයෙනි.
 
මෙවර ඇල්පිටියෙන් ඇරඹුණු ජයග්‍රාහී සටනේ ප්‍රතිඵලය දැන් නිකුත් වී ඇත. එය අපි කවුරුත් දනිමු. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පෙන්වූ අනාවැකියේ ස්වභාවය අදාළ පාර්ශ්ව විසින් වටහා ගත්තාද නැද්ද යන්න අපි නොදනිමු. එහෙත් තරු වළල්ලේ හැසිරීම අනුව නොව ඇල්පිටියේ ජනතා සංඥාව නිවැරදිව තේරුම් ගත්තානම් එය අවඥාවට සහ හෑල්ලුවට ලක් නොකළා නම් සමහර සිත් මෙතරම්ම වේදනාවට පත් නොවනු ඇත. තවත් සුළු වේලාවකින් දැන ගැනීමට හැකි වනු නිසැකය.
 
 
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය අන්තර්ජාලයෙනි