ජනවරම ඇඟේ හලාගත් ආණ්ඩුවක කතාවක්-2
ඉන්දිරා ගාන්ධි අගමැතිනිය තම පියාටද වඩා ප්‍රගතිශීලි මතවාදයක පිහිටා රට පාලනය කරන බව පෙනෙන්නට තිබුණි. සෝවියට් දේශය සහ බටහිර කඳවුර අතර සීතල යුද්ධය තදින්ම පැවති මෙසමයේ ගාන්ධි මැතිනිය තරයේම සෝවියට් ප්‍රතිපත්තියට අනුකූලතාව දැක්වූවාය. ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ බිහිවෙමින් පැවති නව නිදහස් රාජ්‍යයන්ට තම ආශිර්වාදය පුද කළ ඇය සමාජවාදය අගය කරන නායිකාවක් ලෙස ප්‍රකට වූවාය. එහෙත් ඇයගේ රජය තුළ සිටි පැරණි පෙළේ නායකයෝ බොහෝ දෙනෙක් බටහිරට පක්‍ෂ අය වූහ. විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පමණක් නොව දේශීය ආර්ථික සැලසුම් සම්බන්ධයෙන්ද මතභේද ඇතිකර ගත්හ. මෙම මතභේදය බොහෝ දුර ගිය ආකාරයක් දක්නට තිබුණි.
ඉන්දියාවේ ජනාධිපති ධුරය හිස් විය. උප ජනාධිපතිවරයා කොන්ග්‍රස් පක්‍ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීම සාමාන්‍ය සිරිතය. ඒ අනුව එවකට උප ජනාධිපති වී. වී. ගිරි මහතා ඉදිරිපත් කිරීමට කොන්ග්‍රසය බලාපොරොත්තු වූ නමුදු බටහිරට පක්‍ෂ පැරණි නායක පිරිසට අව්‍ය්‍ය වූයේ කතානායක සංජීව රෙඞ්ඩි මහතා ජනාධිපති තනතුර සඳහා ඉදිරිපත් කිරීමටය. එසේ නම් කරන අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුවේ සභා දෙකේ සහ ප්‍රාන්ත ආණ්ඩුවල මන්ත්‍රීවරුන් විසිනි. එම යුගයේ මෙම මන්ත්‍රීධුර අති බහුතරය කොන්ග්‍රස් පක්ෂය සතුව පැවති නිසා කොන්ග්‍රස් අපේක්ෂකයා පත්වීම නිසැකවම සිදුවිය. මෙවර මෙම සටන ඉන්දිරාට එරෙහි විවෘත සටනක් බවට පත් විය. කොන්ග්‍රසයේ නියෝජ්‍ය නායක මොරාජි දේශායි එහි සභාපති නිජලිංගප්පා හිටපු සභාපති කාමිරාජ් නාඩාර් ඇස්. කේ. පතෙල් ආදී නායකයෝ තම අනුගාමිකයන්ද සමග සංජීව රෙඞ්ඩිට සහාය දැක්වූහ. අවසානයේ ජයග්‍රාහකයා වූවේ ඉන්දිරා ගාන්ධිගේ ආශිර්වාදය ලැබූ වී. වී. ගිරි මහතාය. මෙම සිදුවීම පක්‍ෂයේ දෙපිරිස අතර නොහොද නෝක්කාඩු වර්ධනය වීමට හේතුවිය.
අතීතයේ සිටම ඉන්දියානු රාජ්‍යය තුළ වෙනම පරිපාලනයකින් යුතු වෙනම කුඩා රාජ්‍ය සිය ගණනක පරිපාලන ව්‍යුහයක් පැවතියේය. මේ වන විට මහාරාජාවරුන් විසින් පාලනය කරන රාජ්‍ය පන්සිය හැට දෙකක් පැවති බව කියනු ලැබේ. මොවුන්ගේ පාලන ඒකක මධ්‍යම ආණ්ඩුවට එකතු කර තිබුණු නමුදු රජයෙන් විශාල වරප්‍රසාද ඔවුන්ට හිමිව තිබුණි. ඉන්දිරා මොවුන්ගේ මෙම වරප්‍රසාද අවලංගු කළාය. කෝටි සංඛ්‍යාත දිළින්දන් නොයෙකුත් දුක් පීඩාවන්ගෙන් පීඩා විදිද්දී මෙම රාජකීයන්ගේ සුඛෝපභෝගි සල්ලාල දිවිපෙවෙතට ජනතාවගේ බදු මුදල්වලින් උපකාර කිරීම යුතු නැතැයි අගමැතිනිය තරයේ කියාසිටියාය. කොන්ග්‍රස් පක්‍ෂය තුළ මතභේද උග්‍රවිය. උප අගමැති මොරාජි දේසායි ඇතුළු බලගතු පිරිසක් රජයෙන් ඉවත්ව විපක්ෂයට එක්වූහ. මේ පිරිස ජනතා පක්‍ෂය නමින් දේශපාලන බලවේගයක්ද සංවිධානය කළහ.
අගමැතිනියගේ බාල පුත්‍රයා වූ සංජේ ගාන්ධි තරුණයා රජයේ බලවතෙකු ලෙස කටයුතු කරන අයුරු දක්නට ලැබුණි. ඔහුගේ සමීපතමයෝ කැබිනෙට්ටුවේද පරිපාලනයේද සෑම අංශයකටම ඇඟිලි ගසන්නට වූහ. එය සීමාව ඉක්මවා යන සෙයක් පෙනුණි. රජයේ ජ්‍යෙෂ්ඨයෝ කෝපයට පත්වූහ. විපක්ෂයෙන් නොයෙකුත් චෝදනා එල්ලවිය. අධික පුත්‍ර ස්නේහය නිසා අගමැතිනිය කිසිවක් නොකළාය. ලෝකයේ අධිකම ජනගහනය පවතින රටක් වූ ඉන්දියාවේ උපත් පාලනය පිළිබඳව වැඩසටහනක් දියත් කෙරුණි. එහි හොඳ නරක විග්‍රහ කෙරුණේ දේශපාලන කෝණයෙණි. ආගමික පූජකවරු උද්ඝෝෂණ ආරම්භ කළහ. රජය මගින් බදු වැඩිකිරීම් සිදු කරන ලදි. දැඩි නියඟයෙන් පෙළෙමින් ආහාර හා බීමට ජලය පවා නැතිව සිටි පුරවැසියෝ කෝපයට පත්වූහ. රට පුරා මහා උද්ඝෝෂණ ඇරඹුණි. ආණ්ඩු විරෝධී සටන් රැල්ලක් බවට පත්වීමට ගත වූවේ කෙටි කාලයකි. රජයට ඉල්ලා අස්වෙන ලෙස ඔවුහු බල කළහ. රට පුරා උපවාස සත්‍යග්‍රහ පෙළපාළි ආදිය දක්නට ලැබුණි. එහෙත් රජය සමග එක මල්ලේ ලුණු කෑ සමහර ඇමතිවරු ඉල්ලා අස්වී විපක්ෂයට එක්වූහ. ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය වූවේ රජය දූෂිත බවයි. අගමැතිනිය ඒකාධිපති වියරුවෙන් කටයුතු කරන බවටද ඔවුහු චෝදනා කළහ. මෙම උද්ඝෝෂණ මාලාව වැඩීයත්ම අගමැතිනිය මර්දනය දියත් කළාය. හදිසි නීතිය ක්‍රියාත්මක කළ ඇය විපක්ෂ නායකයන් සියලුම දෙනා සිරභාරයට ගැනීමට නියම කළාය. මෙය ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් වූයේ නිතැතිණි. විරෝධතා දස ගුණයකින් වැඩි ගියේය. ජනතා පෙරමුණේ නායක මොරාජි දේසායි, ජාන් සාන්ග් පක්ෂ නායක අතල් බිහාරි වජ්පායි පමණක් නොව ගාන්ධි මහත්මියගේ රායි බෙරළි ආසනයේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ රාජ් නරේන් පවා අත්අඩංගුවට පත් විය. ප්‍රාදේශීය දේශපාලන නායකයන්, විරෝධතා නායකයන් සහ විරෝධතාකරුවන්ද බොහෝ සෙයින්ම සිරභාරයට පත් වූ බව කියවේ. සිර ගෙවල් පිරී ඉතිරී ගියේය.
මෙම අර්බුදවලට අමතරව ලෝකයේ පැවති ආර්ථික අර්බුදයද දැඩි සේ ඉන්දිරාගේ පාලනයට එරෙහිව බලපෑවේය. 1973 ලෝක ආර්ථික පරිහානිය, තෙල් අර්බුදය, ආහාර හිඟය මෙයින් මුල් තැන ගත්තේය. ලංකාවේ පාන් පෝලිම්, මිරිස් පෝලිම්, රෙදි පෝලිම් යුගය මතක ඇති කෙනෙකුට පහසුවෙන් මෙම තත්ත්වය වටහා ගත හැකි වනුයේ ලංකාවේ ජනතාව මුහුණ දුන්නාටත් වඩා අපහසුතාවකට සුවිශාල ඉන්දියාව මුහුණ දුන් බව සැලකීමේදීය.
මෙවැනි වාතාවරණයක් රට තුළ පවතිද්දි 1977 මාර්තු මස මහා මැතිවරණය පැවත්වීමට යෝජිත විය. සටන ඉතා තීරණාත්මක බව ආරම්භයේ සිටම දක්නට තිබුණි.
මතු සම්බන්ධයි.
සෝමසිරි වික්‍රමසිංහ