1983 කළු ජූලියේ දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමෙන් පසු එළැඹි දුෂ්කරම කාල පරිච්ඡේදයේ පක්ෂයේ මහ ලේකම් ධුරය දැරුවේ උපතිස්ස ගමනායකය. 1987 - 1989 භීෂණ සමයේදී මරා දැමුණු හැට දහසකට ආසන්න තරුණ තරුණියන් අතර ජවිපෙ දෙවැනි නායකයා වූ උපතිස්ස ගමනායක ද විය. ඔහු දෙවැනි වූයේ ජවිපෙ නායක රෝහණ විජේවීරට පමණි. ඔහු ලාංකීය දුක්විඳින සුවහසක් ජනී ජනයා වෙනුවෙන් නැගුණ අපරිමිත මානව භක්තියෙන් තම ජීවිතයම අරගල බිම තුළ දියකළ මිනිසෙකි. සතුරන්ට හසුව ඝාතනයට ලක්වනතුරු තමන් නිවැරදියැයි සිතූ දේශපාලන අරමුණ වෙනුවෙන් ඔහු දිවිහිමියෙන් කැප වූයේය. ඔහු ඝාතනය වී නොවැම්බර් 13 වැනි දිනට වසර 29 ක් සපිරේ. මේ ලියැවෙන්නේ ගමනායක චරිතය පිළිබඳ සටහනකි.
පාදුක්ක, වීරගල ගම්මානයේ වතු පරීක්ෂකවරයෙක් වශයෙන් සේවය කළ දොන් උපේනිස් ගමනායක දරුවන් නව දෙනෙකුගේ පියෙකි. ඒ දරුවන්ගේ මව වෙත්තසිංහ ආර්ච්චිගේ මැගිනෝනා නම් වූවාය. බාලම දියණිය ඉපදී මාස අටක් ගත වූ විට තම බිරිඳ මියගිය අතර පසුව පාදුක්ක, වීරගල උපන් ගමෙන් සමුගෙන තම දරුවන් නව දෙනා සමග කන්තලේට සංක්‍රමණය වූයේ අගමැති ඩී. එස්. සේනානායක විසින් අරඹන ලද ගොවි ජනපද ව්‍යාපාරය හේතුවෙනි. ඒ අනුව කන්තලේ වෙන්ඩ්‍රාසන්පුර ගොවි ජනපදයේ නිවස උපේනිස් හා දරුවන් නව දෙනාගේ නවාතැන විය.
1948 ඔක්තෝබර් 17 වැනිදා උපන් උපතිස්ස ගමනායක ඒ පවුලේ හත්වැනි දරුවා විය. මව නැති නිවසේ මවගේ වගකීම භාර ගැනීමට සිදු වූයේ සීතා ගමනායක වැඩිමල් සහෝදරියටයි. සැබවින්ම උපතිස්ස අම්මා යැයි කීවේ අක්කාටය. එපමණට ආධ්‍යාත්මික බැඳීමක් ඒ සොයුරු සොයුරියන් අතර විය.
උපතිස්ස ගමනායක ඉගෙන ගත්තේ කන්තලේ ගංතලාව මහා විද්‍යාලයෙනි. දරුවන් නව දෙනා අතුරෙන් ඉගෙනීමට වැඩි සමත්කමක් දැක් වූයේ ගමනායකය. ඔහු සෑම වාරයකම පංතියේ පළමු වැනියා විය. ක්‍රීඩාවට ද ඔහු දැක් වූයේ මහත් දක්ෂකමකි. සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වූ ඔහු උසස් පෙළ ද ඉහළින්ම සමත් වූ අතර ගංතලාව මහා විද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට තේරුණු පළමු ශිෂ්‍යයා වශයෙන් පාසල් ඉතිහාසයට එක් වෙමින් උපතිස්ස ගමනායක කොළඹ විශ්වවිද්‍යාලයට තේරී පත් විය. උපතිස්ස නුඹ ගමට ආඩම්බරයක්. ඒ වගේම රටටත් ආඩම්බරයක් විය යුතුයි. පාසලෙන් සරසවියට තේරුණු පළමු ශිෂ්‍යයා වෙනුවෙන් පාසලේ පැවති උපහාර උළෙලේදී විදුහල්පතිවරයා එසේ කීවේය.
1969 අවුරුද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට ඇතුළු වූ ගමනායක පාදුක්ක පිහිටි තම සහෝදරියගේ නිවසෙහි නවාතැන් ගත්තේය. උපතිස්ස ගමනායක විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ 1969 වසර වන විට ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගී ගතව තිබුණේ හතර වැනි වසරය. විශ්වවිද්‍යාලයේදී ජවිපෙ දේශපාලනයට නැඹුරු වූ ගමනායක හම්බන්තොට විල්සන් සහෝදරයා හරහා පක්ෂය සමග ඍජු සම්බන්ධතා පවත්වා ගත්තේය.
තම දේශපාලන ජීවිතයත් නිවසේ පරිසරයත් අතර නිතරම පරතරයක් තැබූ ගමනායක යම් පමණකට දේශපාලනික වශයෙන් සංවේදී මිනිසකු බව පවුලේ අය පවා දැන ගත්තේ 1971 අප්‍රේල් අරගලයෙන් පසුවය. නිතරම පත පොතටම ඇලුණු නිහඬ ජීවිතයක් ගත කළ ගමනායකට දේශපාලනය පිළිබඳව සංවේදී වීමට අවස්ථාවක් තිබේ යැයි පවුලේ කිසිවෙක් විශ්වාස නොකළහ. 71 අප්‍රේල් අරගලයට සම්බන්ධ බවට පොලිසියට ලැබුණු ඔත්තුවක් නිසා හෝ ඔහු සරසවි ශිෂ්‍යයෙකු නිසා හෝ පොලිසියේ අත්අංගුවට පත් විය. පොලිසියට රැගෙන ගිය ගමනායකට චෝදනා කිසිවක් නොමැතිව බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ දේශපාලන සිරකරුවන්ගේ වාට්ටුවේ රඳවා තැබූ අතර චෝදනා කිසිවක් නොවූ හෙයින් ඉක්මනින් නිදහස ලැබීමට ගමනායක සමත් විය. 71 අරගලය ලෙයින් යකඩින් මඩිනු ලැබුවද ඔහුගේ දේශපාලන චින්තනය මොට වූයේ නැත. ධෛර්ය හා සටන්කාමීත්වය දියවී ගියේ නැත.
විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවකුව සිටියදී කිසිදු පැකිළීමකින් තොරව උපාධිය අතහැර දැමූ ගමනායක තවදුරටත් විශ්වවිද්‍යාලයේ රැඳෙමින් පාඨමාලා කට පාඩම් කරමින් මේ ධනේෂ්වර අධ්‍යාපනය ලැබීමෙන් පලක් නැති බව තීරණය කළේය. විප්ලවවාදී රජයක රතු සෙන්පතියෙකු වී රට ගොඩ නැගීමේ මහා ව්‍යායාමයට උර දීමට ඔහු සක්‍රීයව දායක විය. ගමනායක සිය පන්ති සගයන්ට නිතරම කී වැකියක් තිබේ. ඔහු එම වැකියෙන් කියා සිටියේ විප්ලවවාදියෙකුට ජීවිතයේ තිබෙන්නේ අවස්ථා තුනක් පමණක් බවය.
“විප්ලවාදියා එක්කෝ අරගල භූමියේ සිටිය යුතුයි. නැතහොත් ඔහු සිපිරි ගෙයක සිටිය යුතුයි. අරගල භූමියේ හෝ හිරගෙදර නොසිටින විප්ලවවාදියා ජීවතුන් අතරද නොසිටිය යුතුයි” මැගසින් බන්ධනාගාරයෙන් නිදහස ලබා 1976 දී එළියට පැමිණි ගමනායක ඒ විප්ලවවාදී ජීවිතය තමන්ගේ ජීවිතය තුළ යථාර්ථයක් බවට පත් කර ගත්තේය.
1971 මාර්තු සිට රෝහණ විජේවීරව යාපනය හැමන්හිල් බන්ධනාගාරයේ රඳවනු ලැබූ අතර අප්‍රේල් මහ නඩුවේ විභාගය සඳහා කොළඹ නව මැගසින් බන්ධනාගාරයට ගෙන එන ලදී. නඩුව විභාග වෙමින් පැවති එම කාලය තුළ විවිධ ක්‍රම මගින් සහෝදරවරුන් සමග සම්බන්ධතා නොඩනගා ගැනීමට ක්‍රියා කළේය. මේ වන විට විවිධ කල්ලි කණ්ඩායම් හා ප්‍රවණතාද පැන නැගී තිබිණි. අරගලයේ පරාජයෙන් පසු ඇති වූ මේ තත්ත්වය ඉතාම සංකීර්ණ විය. සමහර කණ්ඩායම් ප්‍රාදේශීය වාදී ඒවා විය. සමහර කණ්ඩායම් නායකයකු ලෙස කටයුතු කළ කිසියම් පුද්ගලයකු වටා ගොඩනැගුණු ඒවා විය. ඒ අතරම අරගලයේ පරාජය දරා ගැනීමට හා තේරුම් ගැනීමට නොහැකි කම නිසා නිර්මාණය වූ විවිධ මත වාදයන් ද මේ අතර විය. මෙම තත්ත්වය තුළ පක්ෂය පිළිබඳව සත්‍යයත්, අරගලයේ සැබෑ හේතූත් සමාජවාදී විප්ලවය පිළිබඳ මාක්ස් ලෙනින්වාදී ස්ථාවරයත් තහවුරු කොට යළි ගොඩනැගීම බරපතළ අභියෝගයක් විය. එහෙත් රෝහණ විජේවීර ඇතුළු පක්ෂය ලෙස පෙනී සිටි සීමිත පිරිස එම මහා අභීයෝගය ජය ගත්හ. මේ අනුව විජේවීර 1976 දී හදිසි නීතිය ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නිදහස් වූ සිය සහෝදරවරුන්ට උපදෙස් එවා තිබුණේ වහාම පුවත්පත් සාකච්ඡාවක් පවත්වා පක්ෂයේ නිල අයිතිය රැක ගන්නා ලෙසය. මේ අනුව 1977 පෙබරවාරි මස ජවිපෙ වැඩබලන ප්‍රධාන ලේකම්වරයා ලෙස උපතිස්ස ගමනායකගේ ප්‍රධානත්වයෙන් පුවත්පත් සාකච්ඡාවක් පවත්වා ජවිපෙ නිල අයිතිය තහවුරු කර ගන්නා ලදී.
අත්අඩංගුවට පත් වූ සහ බාර වූ කැරලිකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා දිවයින පුරා කඳවුරු පිහිටුවීමට ආණ්ඩුව පියවර ගෙන තිබිණි. ගමනායක ඇතුළු පරිවාර සේනාංකය ඉදිරිපිට වූ අභියෝගය වූයේ පක්ෂය නැවත පණගැන්වීමය. ඒ සඳහා ඔවුහු වෙහෙස නොබලා වැඩ කළහ. ගමනායකට පැවරුණ වගකීම වූයේ සිරකඳවුරුවල හා පුනරුත්ථාපන මධ්‍යෂ්ථානවල සිටින පක්ෂයේ සාමාජිකයන් හමුවී ඔවුන් නොවැටී තබා ගැනීම හා ඔවුන් සමග දිගටම සම්බන්ධතා පැවැත්වීමය. ඒ වෙනුවෙන් ඔහු රට පුරා පිහිටි පුනරුත්ථාපන කඳවුරුවලට ගියේය. සිය අනාගත සහකාරිය ඔහුට හමුවන්නේ මෙලෙස කඳවුරකට ගිය ගමනකිනි. මීරිගම පවත්වාගෙන ගිය පුනරුත්ථාපන කඳවුරක එක්කුස උපන් සහෝදරියෝ දෙදෙනෙක් සිටියහ. එස්. ජී. කරුණාවතී සහ එස්. ජී. ඥානවතී නම් වූ මේ දෙදෙනා රඹුක්කන, පරපේ පදිංචිකාරියෝ වූහ. කඳවුරේ සිටින පුද්ගලයෙකුගේ ඥාතියෙකු ලෙස පෙනී සිටිමින් නිතර නිතර මීරිගම කඳවුරට පැමිණි ගමනායක හා කරුණා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වීමට වැඩි කාලයක් ගත නොවීය.
මතු සම්බන්ධයි.
එම්. තාරික්
ඡායාරූප : අන්තර්ජාලයෙනි