මරාගෙන මැරෙන මුස්ලිම් අන්තවාදයේ උපත
03 වැනි කොටස
සාධාරණය හෝ යුක්තිය ගැන කිසිදු තැකීමක් නොකරමින් තමාගේ අභිමතය පරිදිම කටයුතු කරගෙන යන ඊශ්‍රායලයේ බලයට පත් වූ කිසිම නායකයෙක් යුක්තියේ හඬට කිසිම නැඹුරුවක් දැක්වූවේ නැත. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා විවාද හා අදහස් හුවමාරුවීමෙන් සාමය ඇති කළ නොහැකි බව එවකටත් දැන සිටි කරුණක් විය. මධ්‍යධරණී මුහුදේ සිට රතු මුහුදට පිවිසෙන සමුද්‍ර මාර්ග දොරටුව වූ සූවස් ඇළ පිහිටා තිබුණේ මිසරයේය. එහෙත් එය අයත්ව තිබුණේ බි්‍රතාන්‍ය සහ ප්‍රංශ ඒකාබද්ධ සමාගමකටය.
තම රටේ සංවර්ධනය සඳහා සූවස් ඇළේ ලාභයෙන් කොටසක් ලබා දෙන ලෙස නසාර් ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීම බි්‍රතාන්‍ය සහ ප්‍රංශ ආණ්ඩු පිළිගත්තේ නැත. අර්බුදය දුර දිග ගිය බැවින් නසාර් තම බලතල යොදවා සූවස් ඇළ ජනසතු කළේය. එය තමාගේ රටේ ආරක්ෂාවට තර්ජනයක් බව කියමින් ඊශ්‍රායලය වහාම අරාබි රටවලට එරෙහිව යුද්ධයක් ආරම්භ කළේය. එමගින් තවත් විශාල භුමි ප්‍රමාණයක් යාබද රටවලින් අල්ලාගැනීමට යුදෙව්වෝ සමත් වූහ. මෙය සිදු වූයේ 1956 දීය. මෙම ජය ලබාගැනීමට ඇමරිකාව, ප්‍රංශය සහ බටහිර ජර්මනිය යන රටවල් ඊශ්‍රායලයට නොයෙක් අයුරින් ලබා දුන් සහයෝගය මහෝපකාරී වූවේය. අරාබි ජාතිකවාදයේ උත්තේජනය නිසාත් නිරන්තරයෙන් සිදුවන ඊශ්‍රායලයේ කඩාකප්පල්කාරී ක්‍රියා නිසාත් කෝපවී සිටි අරාබීහු මහා යුද්ධයකට අවතීර්ණ වූහ. ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතු ගා දමන බවට තර්ජනය කරමින් 1967 දී මිසරයේ නසාර්, සිරියාව, ඉරාකය හා ජෝර්දානයද සමග එක්ව යුදයට පිවිසි නමුදු දින හයක් ගතවෙද්දී එම රටවලින් විශාල භූමි ප්‍රමාණයක් ඊශ්‍රායල් හමුදාවන් අල්ලාගෙන තිබුණි.
සිරියාවේ ගෝලාන් කඳුකරයත්, මිසරයේ ගාසා තීරය සහ සිනායි අර්ධද්වීපයත් ජෝර්දානයේ ජෝර්දාන් ගඟේ බටහිර ඉවුරත් ජෙරුසලමේ නැගෙනහිරත් මුළුමනින්ම ඊශ්‍රායලයට අයත් විය. දින හයකින් යුද්ධය අවසන් විය. ලෝක ජනමතය වූවේ අරාබි රටවලින් අල්ලා ගන්නා ලද සුවිශාල භුමි ප්‍රදේශ ආපසු ලබාදිය යුතු බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා ගණනාවක් සම්මත කළත් වසර පනස් හතක් ගත වී ඇතත් එම බිම් අඟලක්වත් ආපසු ලබාදීමට ඊශ්‍රායලය එකඟ නොවීය.
මේ වන විට ලෝකයේ පැනනැගුණු නව දේශපාලන ප්‍රවණතා අනුව මැද පෙරදිග කලාපයේ පලස්තීන නිදහස සඳහා වූ කණ්ඩායම් තව තවත් බිහිවෙමින් තිබුණි. ඒවා අතර ජෝර්ජ් හබාෂ්ගේ නායකත්වයෙන් යුතු අරාබි ජාතික ව්‍යාපාරය, හාජි අමීන් අල් හුසෙයිනිගේ අරාබි කොමිටි ව්‍යාපාරය විය. මෙම සංවිධාන මූලික වශයෙන්ම ත්‍රස්තවාදය ආයුධ කරගත් සංවිධාන විය. මේ කටයුතුවලදී මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම්ද ආරම්භ වූ බව කියනු ලැබේ.
එයින් ප්‍රමුඛම අවස්ථාවක් ලෙස සඳහන් වන්නේ 1972 සැප්තැම්බර් මාසයේදී ක්‍රියාත්මක වූ, ජර්මනියේ මියුනික් නගරයේදී සිදු වූ ඊශ්‍රායල ඔලිම්පික් ක්‍රීඩා කණ්ඩායම ඝාතනය කිරීමේ අපකීර්තිමත් සිදුවීමය. එම රට නියෝජනය කරමින් මියුනික් ඔලිම්පික් ගම්මානයට පැමිණ සිටි ක්‍රීඩා කණ්ඩායම ඝාතනය කිරීමට පලස්තීනයේ ‘කළු සැප්තැම්බර්’ නම් සංවිධානය සැලසුම් කර තිබුණි. ක්‍රීඩාව දේශපාලනය සහ ත්‍රස්තවාදය එකකට එකක් සම්බන්ධයක් නැති ක්ෂේත්‍ර තුනකි. එහෙත් කිසිදු විසඳුමක් නොමැතිව දිගින් දිගට ඇදෙමින් පවත්නා රටක් නැති පලස්තීනුවන්ගේ ප්‍රශ්නය ගැන ලෝකයේ අවධානය යොමු කිරීමත් ඊශ්‍රායලයට පාඩමක් ඉගැන්වීමත් තම අරමුණ වූ බව කළු සැප්තැම්බර් ප්‍රහාරකයෝ මෙම ඝාතනයෙන් පසුව කියා සිටියහ. සමස්ත ලෝකයම මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් කම්පාවට පත්විය. ක්‍රීඩකයන් පිරිසක් මරා දැමූ අතර තවත් නව දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පලස්තීන තරුණයෝ කටයුතු කළහ. ඊශ්‍රායල අත්අඩංගුවේ වෙසෙන තම දෙසියයක් වූ සටන් සගයන් පිරිසක් ඊශ්‍රායලය විසින් වහාම නිදහස් නොකළහොත් මෙම ක්‍රීඩකයන් නොපමාව මරා දමන බවට ත්‍රස්තයෝ තර්ජනය කළහ. ඔලිම්පික් මට්ටමේ ක්‍රීඩකයෙකු රටකට මිල කළ නොහැකි සම්පතකි. එවැන්නන් සුලබ නැත. එවැනි වාතාවරණයක් හමුවේ වුවද ඊශ්‍රායලය නම්‍යශීලී වූවේ නැත. තර්ජනය ප්‍රතික්ෂේප කළ ඔව්හු සිරකරුවන් නිදහස් කිරීම නොකළ හැකි බව ප්‍රකාශ කළහ. සිද්ධිය ඛෙදවාචකයකින් නිමාවට පත්විය.
පරිණත දේශපාලකයෙකු හා සටන් කරුවෙකු ලෙස යසර් අරෆත් තීරණයක් ගත්තේය. ප්‍රතිඵලයක් නොලැබෙන සිහිනයක් පසුපස හඹා යාමට වඩා පලස්තීනුවන්ට රටක් ලැබෙනවානම් සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වීමටත් ඊශ්‍රායලය නම් වූ රාජ්‍යය නිල වශයෙන් පිළිගැනීමටත් ඔහු එකඟ වූවේය. ඇමරිකා එක්සත් ජනපදයේ සහ නෝර්වේ යන රාජ්‍ය දෙකේ මැදිහත්වීම මත ඊශ්‍රායලය සහ පලස්තීන විමුක්ති සංවිධානය අතර දීර්ඝ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුණි. ඒ අනුව 1967 සය දින යුද්ධයේදී අල්ලා ගන්නා ලද ප්‍රදේශ කීපයක බලය හිමිවන ගිවිසුමක් ඔස්ලෝ ගිවිසුම වශයෙන් ප්‍රකාශයට පත් විය. ඒ මත පදනම්ව තවත් සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව කෑම්ප් ඬේවිඞ් සම්මුතිය අත්සන් තැබීමෙන් පලස්තීන පාලනයක් ක්‍රියාත්මක වීම් ඇරඹුණි. පලස්තීන අර්බුදයේ ප්‍රමාණය සහ අල් නක්බා හෙවත් මහා නස්පත්තියට සාපේක්ෂව මෙය විසඳුමක් නොවූවේය. එහෙත් මැරෙන්නටද නොහැකිව අසරණව සිටි ජනකොටසකට “උන්න හැටියට මළා මදෑ” කියහැකි විසඳුමක් පලස්තීනුන්ට ලැබුණු බව පෙනී ගියේය. එයින් අලුත් ප්‍රශ්නයක් පැන නැගීමේ ආරම්භය සිදු විය. එතෙක් කලක් පලස්තීන දේශයක් සඳහා යුද වැදුණු කණ්ඩායම් බොහෝ ගණනක් මෙම සාමකාමී විසඳුම ප්‍රතික්ෂේප කළේය. ඊශ්‍රායලය නිල වශයෙන් පිළිගැනීම හා ලැබුණු දෙයින් තෘප්තිමත් වීමට ඔවුන්ට හිත හදා ගැනීමට නොහැකි විය. තමන් අපේක්ෂා කළ අරමුණ වෙනුවෙන් දිවි ඇති තෙක් සටන් කරන බවට ඔව්හු සපථ කළහ. ජෝර්ජ් හබාෂ්ගේ හමාස් සංවිධානය ඉන් මුල්තැන ගත්තේය. ඔවුන්ගේ සටන් උපක්‍රමය වූවේ ත්‍රස්තවාදයයි. මරාගෙන මැරීමයි.
ඉන් පසුව ත්‍රස්තවාදය බිහිවීමට තෝතැන්න වූවේ මැද පෙරදිග කලාපය නොවේ. ඊට මෙපිටින් පිහිටි දකුණු ආසියාවයි. 1977 දී එවකට ලෝක බලවතෙකුවූ සෝවියට් රුසියාව තම රටට උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් රාජ්‍යයක් වූ ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කර එහි තමන්ට අල්ලේ නැටවිය හැකි රූකඩ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට කටයුතු කළේය. එකල විදේශ ප්‍රතිපත්තිය අතින් සෝවියට් දේශය ඉන්දියාව සමග අනුරූපී බවක් දැක්විය. ඒ නිසා මේ දෙරට අතර ගනුදෙනු සඳහා අතරමැද පිහිටි ඇෆ්ගනිස්ථානය ඉතා වැදගත් මර්මස්ථානයක් බව කලක සිට රුසියාව දැන සිටියේය. මෙම ආක්‍රමණයට එම දේශපාලන පසුබිම බොහෝ දුරට බලපෑ බව කියනු ලැබේ. ඇෆ්ගනිස්ථානය රුසියාවේ ග්‍රහණය යටතට පත්වීම නිසා අසල්වාසී ඉරානය සහ පකිස්ථානය බෙහෙවින්ම කම්පනයට පත්විය. දැඩි ආගමික මතවාදයක් රජකරන මේ දෙරටටම කොමියුනිස්ට්වාදී පාලනයක් මේ දෙරටේ දොරකඩටම පැමිණීම රිස්සුවේ නැත.
ඒ නිසා රුසියාවට පාඩමක් ඉගැන්විය යුතු බව තීරණය කළ ඇමරිකාවද ඉරානය සහ පකිස්ථානය උපයෝගී කර ගනිමින් ත්‍රස්තවාදී කණ්ඩායම් කීපයක් බිහිකිරීමට කටයුතු කරනු දක්නා ලදී. නොයෙක්විට රුසියාවට හා ඇෆ්ගනිස්ථානයට කඩාකප්පල්කාරී ප්‍රහාර එල්ල කරමින් රුසියාවට රිද්ද වූ මෙම ත්‍රස්තවාදීහු බුජහිදීන්, තලෙබාන් ආදී විවිධ නම්වලින් හැඳින්වුණි. ඉරානය සහ පකිස්ථානයේ භූමිය යොදා ගනිමින් එහි කඳවුරු පවත්වාගෙන යාමට අවි ආයුධ සහ මුල්‍යමය සම්පත් ගලාගෙන ආවේ ඇමරිකාවෙනි. මෙසේ කඩාකප්පල්කාරී ක්‍රියාකාරකම් සඳහා ත්‍රස්තවාදය බිහි කිරීමට ඇමරිකාව සහ එහි හිතවත් රාජ්‍ය කටයුතු කළ බව වටහා ගත හැකි විය. රාජ්‍ය තාන්ත්‍රිකව සමස්ත ලෝකයෙන්ම එල්ල වූ පීඩනයත්, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිසා ලද හිරිහැරයත්, බිඳවැටීමට ආසන්න වෙමින් පැවති සෝවියට් දේශයේ දේශපාලන ප්‍රතිසංස්කරණත් නිසා ඇෆ්ගනිස්ථානය තවදුරටත් තබා නොගෙන අතහැර දැමීමට සෝවියට් දේශයට අවශ්‍ය විය.
මේ බැහැරවීමේ තීන්දුව ගැනීමට රුසියාවට මග සැලැස්වූ අතර ත්‍රස්තවාදී කණ්ඩායම්වලට මුල් තැනක් හිමිවිය. එයින් එක් ප්‍රබලම සංවිධානයක් වූවේ ‘අල් කයිඩා’ කණ්ඩායමයි. එහි නිර්මාතෘවරයා සහ අසහාය නායකයා වූවේ ඔසාමා බින් ලාඩන් නම් සෞදි අරාබි ජාතිකයායි. සෞදි රජ පවුලටද දුර නෑ සබඳකම් තිබෙන බව කියන ධනවත් පුද්ගලයෙකි. සෞදි අරාබි පොළවෙන් තෙල් සොයා ගැනීමත් සමග එය ධනවත් රටක් බවට පත් වෙමින් තිබියදී මහා මාර්ග සහ විශාල ගොඩනැගිලි සංකීර්ණ ආදී බොහෝ සංවර්ධන කටයුතුවල ඉදිකිරීම් කොන්ත්‍රාත් රැසක් ලැබුණේ ඔසාමා බින් ලාඩන්ගේ පියා වූ මොහොමඞ් බින් ලාඩන්ටය.
එම ව්‍යාපෘතිවලින් ගලා ආ අති විශාල ධනස්කන්ධය සමහර වාර්තාවල සඳහන් කර ඇත්තේ මිසරයේ නයිල් නදියේ වේල්ලක් කැඩී ගිය කලක මෙන් ධනය ගලා ආ බවයි. මෙසේ පියා විසින් ඔසාමාට ඉසුරුමත් ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා තිබුණි. ඒ නිසා සුරසැප මැද හැදී වැඩුණු ඔසාමා බිරියන් පස් දෙනෙකුගේ සැමියා වූවේය. නජ්ටා ගානෙම්, කදීජා ශරීෆ්, කාරියාන් සබර්, සිහාම් සබර්, අමාල් සාදා, නම් වූ ඔව්හු ඔසාමාට විශාල දරු පිරිසක් උරුම කළහ.
සෞදි අරාබියේ ජෙඩා නගරයෙන් සුඩානයේ කාටුම් නගරයට සම්ප්‍රාප්ත වීමට ඔසාමාට සිදුවූවේ සෞදි රජපවුලේ දේශපාලන මතය විවේචනය කිරීම නිසා ඇති වූ මතභේද නිසා බව කියවේ. දැඩි ඉස්ලාම් භක්තිකයෙකු වූ ඔහු ආගමේ ආරක්ෂාව සඳහා දිවි පිදීමට වුවද සූදානමකින් යුතුව සිටි අයෙකි. සිය මිතුරෙකුගේ ඇරයුම් අනුව ඇෆ්ගනිස්ථානයට පැමිණියේ සෝවියට් රුසියානුවන් අතින් ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම්වරුන් මුහුණ දෙන පීඩාවට එරෙහිව දිවි පුදා සටන් කිරීමටය. ඇෆ්ගනිස්ථානයේ ඉතා දුෂ්කර ගරිල්ලා සටන්කරුවෙකු සේ ජීවත් වීමට සිදුවූවත් ඔහු එම දුක්ඛ දෝමනස්සයන් සතුටින් විඳ දරා ගත්තේ ආගම භක්තිය නිසාමය. 1989 පෙබරවාරියේ සිට සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමට පටන් ගැනිීමෙන් පසු එරටේ ඔසාමා බින් ලාඩන්ගේ කාර්යභාරය නිමා වූ සෙයක් ඔහුට හැඟී ගියේය.
ත්‍රස්තවාදයට භක්තිමත් වූ පුද්ගලයෙකුට නිවාඩු සමයක් ගත කළ නොහැකියයි කියමනක් ඇත. ඒ නිසා ඇෆ්ගනිස්ථානයෙන් සෝවියට් හමුදා ඉවත් වූවාට, මුළු ලෝකය පුරා භීතිය වපුරමින් ත්‍රස්තවාදය කුළුගන්වමින් විනාශකාරී ක්‍රියාවන්හි යෙදුණු ඔසාමා බින් ලාඩන් මෙවැනි බොහෝ ත්‍රස්ත ක්‍රියාවන් සිදු කළ බව වාර්තා ගතව තිබේ.
1992 දෙසැම්බර් යේමනයේ ඒඩන් නගරයට ප්‍රහාරයක් එල්ල කරන ලදී. හෝටල් දෙකක බෝම්බ පිපිරී ගියේය. ඔස්ටි්‍රයන් සංචාරකයන් දෙදෙනෙක් මිය ගියහ.
1993 ඔක්තෝබර් 3,4 යන දිනවලදී සෝමාලියාවේදී ඇමෙරිකානු බ්ලැක්හෝක් හෙලිකොප්ටර්වලට වෙඩි තබා ඇමෙරිකානුවන් 18 දෙනෙකු මරා දමන ලදී. 1996 ජූනි 25 වැනි දින සව්දි අරාබියේ දහරාන් නගරයේ කොබාර් කුලුනු ගොඩනැගිල්ලට බෝම්බ දමා ඇමෙරිකානුවන් 19 දෙනෙකු මරා දමන ලදී.
1998 අගෝස්තු 7 වැනිදා කෙන්යා සහ ටැන්සේනියා තානාපති කාර්යාලවලට බෝම්බ ප්‍රහාර එල්ල කොට පුද්ගලයන් 222 ක් ඝාතනය කරන ලදී. 2000 ඔක්තෝබර් 12 වැනි දින යේමනයේ ඒඩන් වරායේදී නැවකට එල්ල කළ ප්‍රහාරයෙන් ඇමෙරිකානු නාවිකයෝ දාහත් දෙනෙකු මරා දැමුණි. 2001 සැප්තැම්බර් 11 ඇමෙරිකාවේ අභ්‍යන්තර ගුවන් සේවාවලට අයත් ගුවන් යානා හතරක් පැහැරගත් අල් කයිඩා ත්‍රස්තයෝ නිව්යෝක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන සංකිීර්ණයට සහ යුද්ධ මධ්‍යස්ථානය වූ පෙන්ටගනයට ගුවන් යානා සමග කඩාවැදුනහ. මෙම ප්‍රහාර දෙක නිසා මිනිසුන් 2986 ක් මිය ගියහ.
මතු සම්බන්ධයි.
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය අන්තර්ජාලයෙනි