උඩරට පවරාදීමේ මෙහෙයුමේ මහ මොළකරු


අදින් වසර 203කට පෙර 1815 මාර්තු මස 02 වැනි දින මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ රජ වාසලේ මඟුල් මඩුවේදී “උඩරට ගිවිසුම” මගින් ලංකාව බි්‍රතාන්‍යයේ කිරීටය යටතට පවරා දෙන ලදී. සටනකින් තොරවම බි්‍රතාන්‍යයන්ට උඩරට අල්ලා ගැනීමට හැකිවූයෙන් ප්‍රථම වරට මුළු ශ්‍රී ලංකාවේම පාලනය විදේශිකයන් අතට පත්විය. මෙසේ ඉංග්‍රීසීන් විසින් උඩරට අල්ලා ගැනීමේදී උඩරට රදලයන්ගේ ක්‍රියා කලාපය, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කෲර ක්‍රියා කලාපය, ආදී හේතු ඒ සඳහා හේතු වශයෙන් බොහෝ දෙනෙකු විසින් දැක්වුවද, මීට පෙර කිසිවෙකුට උඩරට අල්ලා ගැනීමට නොහැකි වූයේ මන්දැයි විමසීමේදී 1815 දී උඩරට අල්ලා ගැනීමේදී ඊට විශේෂ වූ හේතූන් තිබූ බව සනාථ වේ. එනම් ඉතා සූක්‍ෂම බුද්ධියකින් හෙබි ඉංග්‍රීසි ජාතික නිලධාරියෙකු වූ ජෝන් ඩොයිලිගේ ක්‍රියාකලාපය, උඩරට යටත් කර ගැනීමට ඔහු විසින් කරන ලද කූට සැලසුම්, හෙළිකර ගැනීමට හැකි නිසාය. 


ලංකාව බි්‍රතාන්‍යයේ යටත් විජිතයක්ව තිබූ කාලයේ මෙරට සිටි එකම සිංහල උගත් සිවිල් සේවකයා වූයේ ඩොයිලිය. එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේදී දේවගැතිවරයෙකුගේ පුතෙකු ලෙසින්, 1774 ජුනි 11 වැනි දින උපත ලැබීය. ළමා කල වෙස්ට්මිනිස්ටර් විදුහලේ ඉගෙනුම ලැබූ ඩොයිලි පසුව කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ බැනට් විද්‍යාලයට බැඳුණ අතර එහිදී ඔහු 1796 වර්ෂයේදී තම ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කර ගැනීමට සමත් විය. 


ඉන් පස් වසරක ඇවෑමෙන් එනම් ක්‍රි.ව. 1801 දී තරුණ ඩොයිලි සිය ජීවිතයේ නව පරිච්ජේදයකට මුල පුරමින් ලංකාවේ සිවිල් සේවයට ඇතුළත් වීමට මෙහි පැමිණියේය. මෙරටදී ඔහුට පළමුවෙන්ම සේවය කිරීමට සිදුවූයේ කොළඹ ප්‍රාදේශීය අධිකරණයේ සාමාජිකයෙකු වශයෙනි. පසුව 1803 දී මාතර උසාවියේ ප්‍රධානියා ලෙස පත්කර යැවූ ඔහු 1804 දී මාතර වෙළෙඳ කටයුතු හා ආදායම් පිළිබඳ ඒජන්තවරයා ලෙසද පත්කරන ලදී. සිය අධිරාජ්‍යයට සේවය කිරීමේදී වඩාත් කැපවී කටයුතු කිරීම සඳහා අත්‍යවශ්‍ය කාර්යයක් වශයෙන් ඔහුට දේශීයයන්ගේ භාෂාව දැන ගැනීමට අවශ්‍ය විය. 


ඩොයිලි සිංහලයන් අතර තවත් සිංහලයෙක් යැයි සිතෙන තරමටම සිංහල ඌරුවටම හැඩ ගැසී සිටියේය. ඔහුගේ ඇවතුම් පැවතුම් එවැනි ස්වරූපයක් ගැනීමට එකල මහත් ප්‍රසිද්ධියකට පත්ව සිටි මාතර වෙහෙරගම්පිට විහාරයේ වැඩහුන් කරතොට ධර්මාරාම නාහිමියන්ගෙන් ලද ආභාසය මහෝපකාරී විය. සිංහල භාෂාව පිළිබඳ පුළුල් හා ගැඹුරු දැනුමකින් මෙම සුදු ජාතිකයා සන්නද්ධ කිරීමට ධර්මාරාම නාහිමියන්ට හැකි විය. සිංහල භාෂාව පිළිබඳ ඩොයිලි සතුව තිබූ එකී දැනුම නිසා 1805 දී එවකට ආණ්ඩුකාර තෝමස් මෙට්ලන්ඞ් විසින් ඉංග්‍රීසි රජයේ ප්‍රධාන භාෂා පරිවර්තක ධුරයට පත්කරන ලදී. මාතර දිසාපතිව සිටි කාලයේ ඩොයිලි ලංකා ඉතිහාසයේ සුප්‍රකට කිවිඳියක වූ ගජමන් නෝනා සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන ගියේය. සිය දෙවැනි විවාහක ස්වාමිපුරුෂයාගේ වියෝවෙන් හුදකලාව සිටි ගජමන් නෝනා ඒ වනවිට ගත කළේ ඉතා දුක්ඛිත දිවියකි. අසරණ වූ ඇය ජෝන් ඩොයිලිට තම දුක කියා පද්‍ය හා ගද්‍ය සංදේශයක් යැව්වාය. 


මෙය කියැවූ ඩොයිලි අසරණවී සිටි සුරූපී ගජමන් නෝනා හා මිත්‍ර විය. දිනෙන් දින ලියලා වැඩුණු ඔවුන්ගේ සම්බන්ධය හේතුවෙන් ගිරුවාපත්තුවේ නෝනාගම ගම්වරයක් ලෙස ඩොයිලි විසින් ඇයට පිරිනමා ඇත. ඔවුන් දෙදෙනා අතර අනියම් ප්‍රේම සම්බන්ධයක් තිබූ බවට ජනප්‍රවාදයක් ද පවතී. 


ක්‍රි.ව. 1812 මාර්තු 11 වැනි දින මෙරට නව ආණ්ඩුකාරවරයා ලෙස වැඩ භාරගත් “රොබට් බ්‍රවුන්රිග්” එංගලන්ත ආණ්ඩුවේ අපේක්‍ෂා ඉටුකරනු පිණිස එංගලන්ත ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි අතර එම අරමුණු සාක්‍ෂාත් කිරීමේ කූට මෙහෙයුම රහසිගතව ඩොයිලිගේ මොළය තුළ සැලසුම් විය. මේ වනවිට අත්දැකීම් වලින් පරිපූර්ණ බ්‍රව්‍රන්රිග් අවුරුදු 56 ක් ඉක්මවූ පුද්ගලයකු වුවත් 38 හැවිරිදි ඩොයිලි බ්‍රවුන්රිග්ට වඩා තීක්‍ෂණ, කූට උපායශීලී සැලසුම් සහගත ග්‍රහණයෙන් වඩා ඉදිරියෙන් සිටියේය. කිසිම සංග්‍රාමික ක්‍රියාවලියකට නොයා ලංකාව එක්සත් කර එංගලන්ත ආණ්ඩුවේ යටත් විජිතයක් බවට පත්කර ගැනීමේ කූට අභිප්‍රාය ඔවුන් ඉදිරියේ එංගලන්ත ආණ්ඩුව විසින් දන්වා තිබූ අතර එයට සියුම් කරුණු ඔස්සේ කටයුතු කරන්නටත් තම හාම් පුතාවූ එංගලන්තයට අභිමානයෙන් නැගී සිටින්නටත්, ඩොයිලි කටයුතු කළේ සිංහල රාජ්‍යයේ රදලයනට නොදැනෙන ආකාරයෙනි. එසේම ඩොයිලි මනා විචක්ෂණ උපායශීලී හැකියාවෙන් යුත් රාජ තාන්ත්‍රිකයෙකි. ඔහුගේ එම කපටි ඔළුව නොතිබෙන්නට උඩරට රාජධානිය එතරම් ඉක්මනින් කිසි දිනෙක අල්ලා ගන්නට නොහැකි වන්නට ඉඩ තිබුණි. 
ඩොයිලි උඩරට අල්ලා ගන්නට අවශ්‍ය පිඹුරුපත් සැකසුවේ බොහෝ කලක සිටය. ඉතාම පහත් පෙළේ චරපුරුෂ ක්‍රියා පිළිබඳව ඔහු මැනවින් හදාරා තිබුණි. ඒ බවට ඔහු විසින් සටහන් තබන ලද “දිනපොත” සාක්‍ෂි දරයි. එම දිනපොත බි්‍රතාන්‍ය සිවිල් සේවකයෙකුව සිටි එච්. ඩබ්. කොඞ්රින්ටන් විසින් මහනුවර කච්චේරියේ තිබී සෙයාගෙන 1917 දී මුද්‍රණයකොට ඇත. 1815 ට පෙර සිටම ඩොයිලි උඩරට රදලයින් හා සමීප සබඳතා ගොඩනගාගෙන තිබුණි. ඉන් බොහෝමයක් අතිශයින්ම රහස් සබඳතා විය. 1815 මාර්තු 02 වැනිදා ඓතිහාසික උඩරට ගිවිසුම සකස් කිරීමටත්, ඊට පහසුවෙන්ම රදලයින්ගේ අත්සන් ලබා ගැනීමටත්, ඔවුන’තර තිබූ එකී සමීප සබඳතාව මහත්සේ උපකාරී විය. මෙසේ සකස් කළ උඩරට ගිවිසුමට ඉංග්‍රීසි ආණ්ඩුව වෙනුවෙන් රොබට් බ්‍රවුන්රිග් අත්සන් තැබූ අතර උඩරට පාර්ශ්වය වෙනුවෙන්, ඇහැලේපොල, මොල්ලිගොඩ මහ අදිකාරම්, සත් කෝරලේ දිසාව, පිළිමතලව්වේ දෙවැනි අදිකාරම, සබරගමුවේ දිසාව, පිළිමතලව්වේ සතර කෝරලේ දිසාව, මොනරවිල ඌවේ දිසාව, මොල්ලිගොඩ තුන් කෝරලේ දිසාව, දූල්ලැවේ වලපනේ දිසාව, මිල්ලව වෙල්ලස්සේ හා බින්තැන්නේ දිසාව, ගලගම තමන්කඩුවේ දිසාව, ගලගොඩ නුවර කලාවියේ දිසාව යන රදල ප්‍රධානියෝ අත්සන් තැබූහ. ගිවිසුමේ අත්සන් සහතික කිරීමට ජෝන් ඩොයිලි සහ ජේම්ස් සදර්ලන්ඞ් ක්‍රියා කළහ. 

 

 

දීර්ඝ කාලයක සිට කරගෙන පැමිණි උපායශීලී වෑයම ඵල දරමින් බි්‍රතාන්‍යයෝ උඩරට ජයග්‍රහණය කළහ. ඒ හේතුවෙන් ජයග්‍රහණයේ උපායශීලී පුද්ගලයා වූ ජෝන් ඩොයිලිට ලැබුණු ප්‍රධාන ත්‍යාගය වූයේ සිංහලේ පළාත් පිළිබඳ බි්‍රතාන්‍ය රජයේ බලයලත් නියෝජිත තැන වශයෙන් පත්වීමයි. මෙම තනතුර බි්‍රතාන්‍යයන් විසින් හඳුන්වන ලද්දේ “රෙසීඩන්ට්” යන නාමයෙනි. මේ පිළිබඳ ලිපිය බ්‍රවුන්රිග් විසින් නිල වශයෙන්ම ඩොයිලිට මාර්තු 2 වැනි දින දීම ලබාදී ඇත. අදාළ පත්වීම් ලිපියට ප්‍රතිචාර දක්වා ඩොයිලි 1815 මාර්තු 06 දින බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාට ස්තූති කරමින් ලිපියක් යවන ලද බව සඳහන්ය. 


1818 උඩරට මහ කැරැල්ල සමයේ ඩොයිලි සැබෑ අවංක පක්‍ෂපාතී සේවයක් බි්‍රතාන්‍ය රජය වෙනුවෙන් ඉටු කළේය. එයට කෘතගුණ සැලකීමක් වශයෙන් 1821 වර්ෂයේදී බි්‍රතාන්‍ය මහ රජතුමා විසින් ඩොයිලි “බැරන්වරයකු” ලෙස පත්කර නයිට් නාමයක්ද ප්‍රදානය කරන ලදී. ඩොයිලි, ශ්‍රීමත් ජෝන් ඩොයිලි නමින් ප්‍රකට වූයේ ඉන් අනතුරුවය.


තම ජාතියේ අවශ්‍යතාව ඉටු කරමින් රාජකාරිය කළ ඔහු මෙරට වැසියාටද ඇලුම් කළේය. මෙරට පැමිණීමෙන් පසු කිසි දිනෙක රටින් පිට නොවූ ඔහු තම නිවසේ ආහාර ගන්නා විට කවුරුන් හෝ කැඳවා ඔහු හා එකතුව ආහාර ගැනීමට හුරුව සිටියේය. උඩරට රජු හා ඉංග්‍රීසීන් අතරද, උඩරට රදලවරු හා ඉංග්‍රීසීන් අතර ද ඔහු ක්‍රියා කළේ පාලමක් පරිද්දෙනි. සිංහල ජනයාගේ පිරිහීමට මුල් වූ විවිධාකාර හේතු ගැන සලකා ඉන් උඩරට ජනයා මුදවා ගැනීමට බොහෝවිට ඔහු ක්‍රියා කළේය. අධිරාජ්‍යවාදීන් සමඟම ලංකාවට ආ සුරාව, සූදුව උඩරට සාමාන්‍ය ගැමි දිවි පෙවෙත තුළ අවුල් වියවුල් ඇති කිරීම පිළිබඳ ඩොයිලි බොහෝ කනස්සල්ලට පත්විය. උඩරට පළාත්වල වූ ස්කාගාර වසා දැමිය යුතු යැයි කියමින් ඔහු බි්‍රතාන්‍ය ආණ්ඩුවට කරුණු ඉදිරිපත් කළේය. ගමින් ගමට, පළාතෙන් පළාතට සංක්‍රමණය වෙමින් උඩරට ගැමියන් හා මුසු වූ ඩොයිලි ගැමි සුවඳ ඉතා ප්‍රිය කළේය. 
කෙතරම් භාරදූර රාජකාරී කටයුතුවල යෙදුණද සැහැල්ලු විනෝදකාමී ජීවිතයක් ගත කළ ඩොයිලි 1824 මැයි මස 25 දින සත්කෝරලයේ සංචාරයක යෙදී සිටියදී උණ සන්නිපාතය රෝගය වැලඳී උඩරටදීම අවසන් හුස්ම හෙළුවේය. අවිවාහකයෙකු වූ ශ්‍රීමත් ජෝන් ඩොයිලි මිය යනවිට පනස්වන වියේ පසුවිය. ඩොයිලි මිය යන විට ඔහු බි්‍රතාන්‍ය මහ රජතුමාගේ සභාවේ සාමාජිකයෙකු ලෙසද, උඩරට පළාත් භාර රජයේ නියෝජිත තැන ලෙසද, පළමුවැනි කොමසාරිස් තැන ලෙසද කටයුතු කළ බව කියැවේ. මහනුවර ගැරිසන් සුසාන භූමියේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ශ්‍රීමත් ජෝන් ඩොයිලිගේ අවමඟුල් පෙරහර පවත්වන ලදී. එහි සොහොන් ගැබෙහි ඔහු නමින් සටහන් තබන ලද ලේඛනයක්ද දක්නට ලැබේ. ක්‍රි.ව. 1801 සිට ක්‍රි.ව. 1824 දක්වා අවුරුදු 23 ක් තිස්සේ ඔහු අපේ රටේ ඉතිහාසය තුළ කළ කී දෑ සදාකාලිකවම අපේ ඉතිහාසයේ සටහන් වේ. 


(විශේෂ ස්තූතිය - ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව - මහනුවර ශාඛාව, සහකාර ලේඛනාරක්‍ෂක සෞම්‍යා සෙනරත් මහත්මිය සහ අධිලේඛන පරීක්‍ෂක සහකාර ලසිකා ආරියරත්න මෙනවිය.)

 

 

 

 


එම්. තාරික්