උතුවන්කන්දේ සාක්‍ෂිය


සංහිඳියාවෙන් පෝරකයට ගිය සිංහල මුස්ලිම් සුමිතුරෝ-3

 

එකල සිංහල භාෂාවෙන් පළවන ප්‍රධාන පුවත්පත් දෙකක් තිබුණි. ඉන් එකක් වූ “ලක්රිවිකිරණ” පත්‍රයෙහි පළ වූ වාර්තාවක සරදියෙල් අල්ලාගැනීම ගැන මෙසේ සඳහන්ව තිබුණු බව කියවේ. මෙම සරදියෙල් අත් අඩංගුවට ගැනීම පිළිබද සිද්ධිය ඇසින් දුටු “වැදගතෙක්” යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින අයෙකු තම මිතුරෙකුට ලියූ ලිපියක් ඇසුරෙන් මෙම පුවත පළ වී ඇත.


මාර්තු මස 22 වැනිදා

උතුවන් කන්දේදීය


මාර්තු මස 17 වැනිදා රෑ සරදියෙල් ඔහුගේ මවු පදිංචි ගෙදරදී සවස 7.00 පමණ වන වෙලාවෙදි තින්නොහාමිගේ පුතා වන ජෝර්ජිට ගේ ඇතුළේ දොර වහගෙන ඉඳ බිත්තියේ ජනේල කානුවකින් වෙඩි තැබුවාය. මේ වෙඩිල්ල ජෝර්ජිගේ පපුවේ වැදී එතන මහපාරේ කානුව ළඟ මැරී වැටුනාය. ක්‍රිස්තියන් අප්පුට ජෝර්ජ් මැරුණා ආරංචි වී බලන්ට ගුහින් පිලිප්පු අප්පු අත තිබුනු තුවක්කුවෙන් සරදියෙල් සිටිය ගෙයින් බිත්තියට වෙඩි තිබා බැන්නාම සරදියෙල් වෙඩි තිබු වෙඩිල්ල ක්‍රිස්තියන් අප්පුගේ යටි බඬේ සහ දකුණු අතෙන් වැදී කඩිනමින් ඔහුගේ ගෙදරට ගෙනත් පැය බාගයකින් මැරුනාය. ගනේතැන්නේ පොලිසියේ සිටි මුත්තුසාමි සාජනට්ට වෙඩි තබා පිටේ වැදුනාය. ඔහු කෑගල්ලේ ඉස්පුතාලයේය. මැරුණේ නැත. නසර්දීන් කියන ජා කොල්ලාගේ ඇහේ වැදී ඇහැ කණවුනාය. පක්කීර්ටත් මුනිස්සන් කැටයක් කිවුපිට කැපී ගියාය. ඒ දවසේ ඔපමාණයි. 


එවෙලේම ඒජන්ත උන්නාන්සේට අපි මිනිස්සු ඇරියාය. උන්නැහේ කෑමට වාඩිවෙලා ඉඳලා එම කඩිනමින් කෑගල්ලෙන් මිනිස්සු 20 ක් සහ මොලගොඩ බීජමෙන් පයිනේරුවෝ පනහක් පමණත්, දොස්තර උන්නැහෙත් චාර්ලිස් උන්නැහෙත් ආවාය. මේ එනකොට අපි සරදියෙල්ගේ ගෙදරය. රෑ දහයට ඇත. ඉන්පසු ඒ සොනග සේරමත් ඒජන්ත උන්නැහේ සහ මමත් සියඹලාපිටිය කෝරාලත් ඒජන්ත උන්නැහේ සහ මමත් සියඹලාපිටියෙ කෝරාලත් මමත් අපි සේරමත් මාවනැල්ලේ කාදර්ගේ ගේ වටකර එළිවනතුරු කෝපි ලදුවල මමත් බුදියා උදේ  ගේ ඇතුල බැලුවාම නැත. එවෙලේම කාදර් සහ ගෑනිත් මාන්ඩුවෙන් ඈඳුවාය. සරදියෙල්ගේ මවුත්, බාප්පත් ඈඳුවාය. සරදියෙල්ගේ පියා අදාසි අප්පු කාදර්ගේ ගෑනිගේ නගාද රාලද කෙනේද යන මේ අයවල් කෑගල්ලේ සිර ගෙදර දැමුවාය. සරදියෙල්ගේ මව හිටිය ගේ කඩා දැමුවාය. ඒ මැරිච්ච මිනී කඳන් 18 වැනි සිකුරාදා අපි වළලා දැම්මාය.
18 වැනිදා කෝච්චි දෙකක (අශ්ව කෝච්චි) ජා සොල්දාදුවෝ ආවාය. එදාම කොළඹින් ආ කෝච්චියක ජා සොල්දුදුවෝ සහ එරෝපාකාර කප්පිත්තෙකුත් ආවාය. 19 වැනිදාත් නුවරින් කෝච්චියක ජා සොල්දාදුවෝ ආවාය. එමදා රටේ මහත්තුන්ට සහ කෝරාලලාටත් එක්කෙනාට සෙනග 500 බැගින් දවස් තුනකට කෑමක් රැගෙන 21 වැනිදා උදේ හයට එන හැටියට ආඥා කළාය. සඳුදා පාන්දර හයට සිරිමලා ගුනින් මාවනැල්ලේ කාදර් හිටිය ගෙයි සොල්දරය බැලුවාම සිටිනවා දුටුවාය. එම කඩිනමින් ඒජන්ත උන්නාන්සේට එනකොට පොලිස් කාරයෝ ඉස්සරහට සඹ වී සිරිමලා කීවාය.


සරදියෙල් සහ මම්මලේත් කාදර් හිටිය ගෙයි සොල්දරේ උඩ ඉන්නවාය. මම ඒජන්ත උන්නාන්සේට කියා ජාවෝ ගෙනෙනතුරු උඹලා ගෙට කිට්ටු නොවී පිටින් බලා හිටපල්ලා කීවාය. ඔවුන් දුවගෙන ගිය හැටියේම පිළිකන්නෙන් සැරයන් දෙන්නෙක් ගෙට ඇතුළු වී බැලුවාම සර්දියෙල් සොල්දරේ උඩ සිටිනවා දුටු හැටියේම සැරයන් වෙඩි තැබුවාය. ඒ වෙඩිල්ලේ මුනිස්සම් සරදියෙල්ගේ අතේ සහ කුලේත් වැදී අත පත නැති වුනාය. එතකොටම වෙඩි තිබූ සැරයන් දොරට පැන්නාය. අනෙක් සරයන් බරාදෙම සිටියාය. මම්මලේ ඔහුට වෙඩි තිබුවාම ඔළුවෙ වැදී පොලිස් සරයන් තුවක්කුවක් අතින් අරන් එතනම මැරී වැටුනාය.


එම කඩිනමෙන් ඇවිත් ඒජන්ත උන්නැහේට කීවාම කෝපිත් නොබී සොල්දාදුවෝ 25 කුත්, සිංහල සෙනග 500 පමන ගුහින් ගේ වටකලාය. මේ ගෙට යාව තිබුන මිස්කින් බාවාගේ ගෙට ගින්දර දැම්මාය. එක් තීන්දුවටම දාලා උළුත් පොඩි වී ගියාය. සරදියෙල් හිටිය ගෙයි වහලේ උස නිසා පිදුරු පොල් අතු මාවනැල්ලේ පටන් උතුවන් කන්දට යනතුරු තිබුන පමන ගෙනත් ගින්දර දමලා ඒ ගෙයි හතරෙන් පඟුවක් පමන දෑවාය.


ඒ අතර බබා තුවාන් කොස්තාපල් සරදියෙල්ලා හිටිය ගෙය ඉදිරිපිට ඔය පැත්තේ සොලොස්සුපෙ අඹරාව නැති කරත්තයක් තිබුනාය. ඒක යටට ගුහින් ඇන තියාගෙන ඉරට්ට තුවක්කුව ගෙට කුරුමානම් අල්ලාගෙන ඉන්න කොට මම්මලේට වෙඩි තිබුවාය. ඒ වෙඩිල්ල පත්තු වෙනකොට කොස්තාපල් අතේ තිබුන ඉරට්ට තුවක්කුවේ වෙඩි දෙකක් පත්තුවේ වෙඩි දෙකක් පත්තු කලාය. ඒවා ලෑලිවල වැදුනාය. මම්මලේගේ වෙඩිල්ල කොස්තාපල් හිටිය තැන කරත්තේ අච්චු කදේ වුන්ඩය සහ මූනිස්සනුත් වැදුනාය. කොස්තාපල්ගේ දකුනු අතේ සහ දන හිසෙත් කඩුලෙත් එක මූනිස්සම් කැටයක් වැදුනාය.


තවත් ඔවුන් ගේ ඇතුළේ වෙඩි හයක් පමණ තිබ්බාය. ජා සොල්දාදුවොත් වෙඩි දොළහක් පමණ ගෙයි ලෑලිවලට වෙඩි තිබ්බාය. සිංහල මිනිස්සුන් වෙඩි තිබ්බාය. ගේත් පැත්තක් දා වැටුණාය. ඒ අතර තවත් සොල්දාදුවොත්, කාලතුවක්කු හතරකුත් එවන්ට කියා නුවරට ලියුවාය. දවල් දොළහට පමන වෙනකොට කිසි හොල්මනක් නැති නිසා වෙඩි තිබාගෙන මැරුණාය. ඒජන්ත උන්නැහේ ගෙයි ලෑලිවලට තට්ටු කරන්ට කීවාම කව්රුත් බැරිය කීවාය. කිඹුල්පනේ දෙහි වෙදරාල මම යක්‍ඳ්ක්‍ඳයි කියා ගොහින් කතා කලාය. එවිට සරදියෙල් කීවාය. වෙඩි අත් හිටෙව්වොත් එලියට එක්‍ඳ්ක්‍ඳය එවිට වෙඩි අත්හිටෙව්වාය.


ඉන් පසු ලෑළි ඇරියාය. සරදියෙල් ළඟ තිබුණු ඉරට්ට තුවක්කු දෙකක් කානු පහේ පිස්තෝලයක් කොස්තාපල්ගෙ ප්‍රථම ගත් තනිකදේ තුවක්කුවත් පතරොම් සහ මුන්ඩත් එලියට දුන්නාම දෙහි වෙද රාලත් ඒජන්ත උන්නැහෙත් ඇතුළට ගියාම බඩගිනියි කීවාය. විස්කෝත්තු, පිට්ටු, කෙහෙල් ගෙඩි, බ්‍රැන්ඩි, දීලා කථා කලාම පයින් එන්ම බැරිය කකුලත් අතත් කැඩිලාය කීවාම, තනි ගොන් කරත්තයක් ගෙනත් අත් දෙකට මාන්චුත් කකුල් දෙක පටියකිනුත් බැදලා කරත්තෙට දැම්මාය.


මම්මලේගේ අතට මාන්චුද තුනටිය ලනුවකින්ද බැඳ මිනිහෙක් අල්ලාගෙන උතුවන්කන්දට ගෙනත් එවෙලේම අශ්ව කරත්තයක පටවා කරත්තයෙන් ලනුවලින් බැද ජා සොල්දුදුවෙක් තුවක්කු අරන් සහ ඒජන්ත උන්නැහේ පිස්තෝලයක් අරන් අශ්ව කරත්තයෙන් මම්මලේ සහ සරදියෙල් එවෙලේම නුවරට අරගෙන යනකොට ගනේ තැන්නේදී ජා සොල්දාදුවෝ පටවාපු කෝච්චිය සම්බ වී සොල්දාදුවෝ හතර දෙනෙක් බස්සවා අනෙක් අයත් සමග ඒකෙ පටවාගෙන නුවරට අරන් ගුහින් ඒජන්ත උන්නැහේ 22 උදය කෝච්චියෙන් කෑගල්ලට ආවාය.


මෙම වකවානුව මරණ දණ්ඩනය ගැන බහුලව කතා බස් කෙරෙන සමයකි. වසර හතළිහක පමණ දිගු කාලයක් එල්ලුම් ගහ අක්‍රීයව පැවති බව අපි දනිමු. එය අතීතයට එක්ව මතකයට පමණක් සීමා වූ වචනයක් බවට පත්ව තිබුණි. එහෙත් නොබෝදා මත්ද්‍රව්‍ය වැරදි සඳහා වැරදි කරුවන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේදී තීරණය වූ කීපදෙනෙකු එල්ලුම් ගස් යවන බවට ප්‍රකාශයට පත්වීමත් සමග ඒ ගැන ජන සමාජයේ කතිකාවක් ඇතිව තිබේ. ඒ නිසා සරදියෙල් සහ ඔහුගේ ප්‍රාණප්‍රිය මිත්‍රයා වූ මම්මලේ මරික්කාර් යන දෙදෙනා මරණීය දණ්ඩනයට මුහුණ දුන් සංවේදී කතා පුවත එදා පුවත්පත් වාර්තා කළ ආකාරයෙන්ම පාඨක ඔබ වෙත ඉදිරිපත් කරනුයේ එම සංවේදී හැඟීම් සුළු වශයෙන් හෝ ඔබටද දැනෙනු පිණිසය. පැරණි වාර්තාවක එය සඳහන් වන්නේ මෙසේය. 


එදින 1964 මැයි 07 වැනි ශනි දිනයයි. නිද්‍රෝපගතව සිටි මහනුවර නගරය මහත් කලබලකාරි ලෙස අවදි විය. හිමිදිරි පාන්දර සිට අසල ගම් නියම් ගම්වලින් බාල මහලු ස්ත්‍රී පුරුෂ ජනී ජනයා වැල නොකැඩී නගරය දෙසට ඇදී එන්නට වූහ.


විශේෂයෙන්ම අරනායක, මාවනැල්ල සහ කෑගල්ල යන ප්‍රදේශවලින් දහස් ගණන් ජනයා මේ කඳුරට අගනුවරට පැමිණෙන්නට වූහ. මහනුවර වීදි කොතරම් ජනාකීර්ණ වූවේදයත් විශාල උත්සවයක් නැරඹීමට ජනයා එක් රොක් වන්නාක් මෙන් දිස්විය. එහෙත් වෙනසකට වූවේ උත්සවශ්‍රීයෙන් උද්දාම වන හෝ විනෝද වන කිසිවෙකු දක්නට නොමැති වීමය. ජනයා තුළ පැවතුණේ අවමංගල්‍යයකට සහභාගි වන්නන්ගේ මුහුණුවල දක්නට ලැබෙන අන්දමේ ශෝකී පෙනුමකි.


එය ඇත්ත වශයෙන්ම අවමඟුල් දිනයකි. එක් තැනැත්තෙකුගේ නොව, දෙවසරක කාලයක් පටන් උතුවන්කන්දේ සැඟව මාවනැල්ල අවට ප්‍රදේශය දෙවනත් කළ, මිනිසුන් බියෙන් නැති ගැන් වූ සාහසිකයන් දෙදෙනෙකුගේ අවමඟුලකි. සාහසික ක්‍රියා නිසා මුළු රටේම අස්සක් මුල්ලක් නෑර ඔවුන්ගේ නම රැව් පිළිරැව් දෙමින් තිබුණි හුදෙක් ඔවුන්ගේ නම් සඳහන් කළ පමණින් ඇතැමෙක් බියෙන් වෙව්ලා ගියහ. එහෙත් අන්තිමේදී නීතියේ දීර්ඝ රැහැනට ඔව්හු හසුවූහ.

 

 

මතු සම්බන්ධයි.

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය අන්තර්ජාලයෙනි