උප ඇමැතිගේ පැළ සිටුවිල්ල


 

කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් නිකවැරටිය මෙකල බොහෝ ජනාකීර්ණ නගරයකි. එසේම නිකවැරටිය පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාසයක් බවට පත්වී තිබුණේ මෙරට පාර්ලිමේන්තු පාලන ක්‍රමය ඇරඹුණු 1947 වසරේ සිටය. කෙසේ වෙතත් එකල නිකවැරටිය අදමෙන් ජනාකීර්ණ නගරයක් නොවූ අතර එය කුඩා කඩමණ්ඩියක් ලෙස පැවැති බව ප්‍රදේශයේ පැරැන්නන්ට තවමත් මතකය.


1956 මහ මැතිවරණයේදී නිකවැරටිය අසුනට ම.එ.පෙන් තරග කළ මුදියන්සේ තෙන්නකෝන් නමැති තරුණයෙකු තම ප්‍රතිවාදියාවූ එ.ජා.පයේ කවිසේන හේරත් මහතා වැඩි ඡන්ද 8085කින් පරාජය කරමින් මන්ත්‍රී ධුරයට පත්වී තිබුණේය. ගුරුතලාවේ සහ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයන්හි ඉගෙනුම ලැබූ තරුණයෙකු වුවද මුදියන්සේ තෙන්නකෝන් මන්ත්‍රීවරයා වෙතින් දිස්වූයේ හද්දා පිටිසර වෙසෙන ගැමියෙකුගේ පෙනුමකි. සුදු පැහැති ජාතික ඇඳුමෙන් සැරසුණු ඔහු පය ලෑවේ බාල වර්ගයේ සෙරෙප්පු ජෝඩුවකි. නිරතුරුව බුලත්විට සැපුව හෙතෙම අවශ්‍ය තැනදී සට... සට.... ගා ව්‍යක්ත ඉංග්‍රීසි බසින් කතා කළේය.


“අපේ මන්ත්‍රීතුමාට මගදිගට කෑලි හැලෙන කසිකබල් කාරෙකක් තිබුණත් කවුන්සලේ රැස්වීම්වලට කොළඹ ගියේ කෝච්චියෙන්. උදේ රැයින් ලන්තෑරුමකුත් අතින් අරන් පයින්ම ගෙදර ඉඳලා නිකවැරටිය කඩමණ්ඩියට එන එතුමා ලන්තෑරුම නිවලා කඩමණ්ඩියේ තිබුණු මාර ගහේ අත්තක එල්ලලා බස් එකේ නැගිලා මහවට යන හැටි අපි ඕන තරං දැක තිබෙනවා... යි කියන ප්‍රදේශයේ පැරැන්නන්ට තවමත් මතක තිබෙන්නේ.. එම මාරගහේ අත්ත දෙස බලා මන්ත්‍රීතුමා එදින ගෙදර ඇති නැති බව දැන ගැනීමට එකල බොහෝදෙනා හුරුපුරුදුවී සිටි බවය.


උදේ පහකුත් ගණනට නිකවැරටිය සිට මහවට යන බස්රියට නගින මුදියන්සේ මන්ත්‍රීතුමාට තම තමන්ගේ අසුන දීමට බොහෝදෙනෙකු කැමැතිය.


‘නෑ... නෑ... උන්නැහැල වාඩිවෙන්න...’ යි කියමින් පොල් පැටවූවාක් මෙන් සෙනගින් පිරී ඇති බස්රියේ රියදුරු අසුන ළඟ ඇති බැටරි පෙට්ටිය අසලට යන ඔහු ඊළඟට කරන්නේ ඒ මත හිඳගෙන දෙතුන් දෙනෙකු සමඟ කතාවට වැටීමය.


‘ඕ.... අදත් අපේ මන්ත්‍රීතුමා ඉන්නවා. උන්නැහැට බස් එකට ගොඩවෙන්න ඩිංගක් ඉඩදෙනවලා’ යි කියන රියැදුරා ඔහු රියට ගොඩවීමටත් පෙර සිටම බැටරි පෙට්ටිය මත රැඳී ඇති දූවිලි ගසා දමා ඒ මත පත්තර පිටුවක් එළීමටද අමතක නොකරයි. එකල නිකවැරටියේ සිට මහව දක්වා යාමට තිබුණේ එකම එක බස්රියකි. එම බස්රියේ මාරුවෙන් මාරුවට වැඩ කළ රියැදුරන් දෙදෙනාම සුරුට්ටු මරුවන් වුවද මන්ත්‍රීතුමා රියෙන් බැසයන තුරුම තම පුරුද්ද අමාරුවෙන් නතර කරගෙන සිටින්නේ වැඩි ගෞරවයටය.
එකල සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඕනෑම දුර ප්‍රමාණයක් දුම්රියේ දෙවැනි පන්තියේ ගමන් කළ හැකි පරිදි නිදහස් ගමන් බලපත්‍රයක් රජයෙන් ලබාදී තිබුණේය. එහෙත් කිසිම දිනෙක දුම්රියේ දෙවැනි පන්තියේ ගමන් නොකළ මුදියන්සේ තෙන්නකෝන් මහතා නිරතුරුව තුන්වැනි පන්තියේ ගමන් කිරීමට පුරුදුව සිටියේය.


කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා පැමිණෙන දුම්රියේ නැගී කොටුවට එන මන්ත්‍රීතුමා දුම්රියපොළෙන් බැස ශ්‍රාවස්තිය වෙත යන්නේද බස්රියකිනි. එලෙස ශ්‍රාවස්තියට නොගොස් කෙළින්ම ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තු මන්දිරය වෙත යන බොහෝ දිනවල ඔහු පුරුද්දක් කරගෙන සිටියේ එම කෙටි දුර පයින් යාමටය.


1956 මහ මැතිවරණයෙන් ජයගෙන මුල්වරට පාර්ලිමේන්තුවට තේරීපත්වූ තෙන්නකෝන් මහතා 1960 මාර්තු සහ ජූලි මහ මැතිවරණවලින්ද ජයගෙන තම මන්ත්‍රී අසුන ඉහළින්ම රැක ගත්තේය. 1960 මාර්තු මහ මැතිවරණයේදී වැඩි ඡන්ද 5028 කින්ද එම ජූලි මහ මැතිවරණයේදී වැඩි ඡන්ද 3597 කින්ද ඔහු නිකවැරටිය ආසනය ජයගෙන තිබුණේය.


1960 ජූලි මහ මැතිවරණයේදී ආණ්ඩු බලය හිමිකරගෙන තිබුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් තරග කළ ශ්‍රීලනිපය විසිනි. ඒ අනුව නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වූ සිරිමාවෝ මැතිනිය මුදියන්සේ තෙන්නකෝන් මහතාගේ ජයග්‍රහණය ඇගයීමට ලක්කරමින් හෙතෙම කෘෂිකර්ම, ඉඩම් වාරිමාර්ග සහ විදුලිබල උප ඇමැති ධුරයට පත්කරනු ලැබුවාය.


ඒ අනුව ආණ්ඩුවේ උප ඇමැතිවරයෙකු වූ ඔහුට රජයෙන් නිල රියක් ලැබී තිබුණේය. එහෙත් ඔහු එම නිල රිය යොදාගත්තේ අත්‍යවශ්‍ය නිල ගමන් සඳහා පමණි.


‘අනේ මට හොඳයි පුරුදු කෝච්චියම...’ යි කී මුදියන්සේ තෙන්නකෝන් උප ඇමැතිතුමා ඉන් පසුවද පුරුදුවී සිටියේ තම නිලරිය අමාත්‍යංශයේ තබා සුපුරුදු පරිදි දුම්රියෙන් ගමට යාමටය. ඒ අනුව ඔහුගේ රියදුරාට පැවරුණු රාජකාරිය වූයේ ගමේ සිට පැමිණෙන තම හාම්පුතා කොළඹ කොටුවේ දුම්රිය පොළේ සිට අමාත්‍යංශය වෙත කැඳවාගෙන ඒමත් ආපසු අමාත්‍යංශයේ හෝ ශ්‍රාවස්තියේ සිට දුම්රියපොළ වෙත ඇරලීමත්ය.


ඒ කාලයේ කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යංශය කොළඹ කොල්ලුපිටියේ පිහිටා තිබුණේය. ගාලු පාරට මදක් ඔබ්බෙන් පිහිටි එම අමාත්‍යංශ කාර්යාලය වටා ඉතා අලංකාර ලෙස මල්ගස් සිටුවා තිබුණේ දුටුවන්ගේ පවා නෙත් පිනායන අයුරිනි.


දිනක් සුපුරුදු පරිදි මහව සිට දුම්රියේ පැමිණි මුදියන්සේ තෙන්නකෝන් ඇමැතිවරයා පෝටර්වරයෙකු විසින් ඔසවා ගෙන ආ තරමක් විශාල පිළිවැස්සක් පෙන්වා එය පරෙස්සමෙන් ඩිකියට දමාගන්නා ලෙස තම රියැදුරාට කීවේය. අනතුරුව යම් මුදලක් පෝටර්වරයාගේ අතට දුන් ඔහු තම නිලරියට ගොඩවී හරිබරි ගැසුණේය.


ගාලු මුවදොර පාරේ පිම්මේ ගිය උප ඇමැතිවරයාගේ රිය කොල්ලුපිටියෙන් වමට හැරී කෘෂිකර්ම අමාත්‍යංශ භූමියට ඇතුළුවෙත්ම ‘ළමයා වාහනය ඔහොම නතර කරනවා’යි කී ලොක්කා දොර හැරගෙන රියෙන් එළියට බැස්සේය.


අනතුරුව අමාත්‍යංශ භූමිය වටා ඉතා අලංකාර ලෙස වවා තිබූ ක්‍රෝටන් මල් වැට අසලට ගිය ඔහු ඒවා එකින් එක උදුරා දැමුවේ ‘වහාම මේ මල් පැළ සේරම ගලවා දමනවා’ යි එහි පැමිණි උද්‍යාන සේවකයන් දෙදෙනාට අණ කරමිනි.


‘දැන් අර කාරෙකේ ඩිකියට දාපු පිළිවැස්ස අරගෙන එනවා’ ඔහු එසේ කියත්ම තුෂ්නිම්භූතවී සිටි රියැදුරා වහා දුවගොස් නිලරියේ ඩිකිය තුළ තිබූ පිළිවැස්ස ඔසවාගෙන ආවේය.


‘ළමයි මෙතන තියෙනවා බටු පැළයි, මිරිස් පැළයි. දැන් ඔය මල් පැළ හිටවලා තිබුණු තැන්වල මේ බටු පැළ ටිකයි මිරිස් පැළ ටිකයි හිටවලා උදේ හවස හොඳට වතුර දමනවා. හෙට ඉඳලා මේ අමාත්‍යංශ භූමිය ඇතුළේ මල්පැළ වවලා අහුවුණොත් බලාගෙනයි’.


ඒ වනවිට උප ඇමැතිතුමා විසින් කළ මේ හෙයියන්මාරුව ගැන මුළු අමාත්‍යංශ කාර්යාලය පුරාම කටින්කට පැතිර ගොස් තිබුණු අතර අමාත්‍යංශ ලේකම්වරයා පවා මිදුලට බැස ඒ දෙස බලා සිටියේය.


‘ලේකම්තුමා මේක කෘෂිකර්ම අමාත්‍යංශය නං මෙහෙම මල්පැළ හිටවගෙන ඉඳලා වැඩක් නෑ. මෙන්න මේ වගේ ප්‍රයෝජනවත් දේකුයි මෙතන පැළ කරන්න ඕනෑ.’ යි කී උප ඇමැතිතුමා එහි තවත් සේවකයන් පිරිසක්ද උදවුවට කැඳවාගෙන ඔවුන් හා හරි හරියට බටු පැළ හා මිරිස් පැළ සිටෙව්වේය. ඉන්පසු ඔහු කෘෂිකර්ම උප ඇමැතිවරයා වශයෙන් සිටිනතාක් කල් උදෑසන තම අමාත්‍යාංශයට පැමිණ කළ පළමු රාජකාරිය වූයේ එම බටු පැළ සහ මිරිස් පැළවලට වතුර දමා සාත්තු කිරීමය.

නිහාල් ජගත්චන්ද්‍ර