උසාවි බිමේදී ශුභාරංචියක්


“ප්‍රභාකරන් විනාශ වෙලා ඉවරයි. දැන් උඹලා වැලපියල්ලා” යනුවෙන් ඉතා අපහාසාත්මක ලෙස අපට බැණ වැදුණේ දෙමළ තරුණයන්ය. එය අපට ඉතා වේදනාබර අත්දැකීමක් විය. එහෙත් හමුදාවේ කිසිවකු හෝ අපට එසේ පරිභව නොකළහ. හමුදා නිලධාරීහු මාව රහස් පොලිසියට බාර දුන්හ.



“ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකාවක් වීම යන චෝදනාව යටතේ කොළඹ අලුත්කඬේ මහේස්ත්‍රාත් උසාවියේ මට නඩු පවරනු ලැබීය. එම නඩුව දින දාහතරකට වරක් කැඳවන ලදී. මා වෙනුවෙන් නීතිඥ සහාය ලබා ගැනීමට තරම් වත්කමක් මගේ මවට නොවීය. එම නිසාම නීති ආධාර කොමිසමේ සහාය ලබා ගැනීමට අප  උත්සාහ කළද කුමන හෝ හේතුවක් මත එය ද වැළකී ගියේය. එම නිසා වසරක පමණ කාලයක් නීතිඥ සහාය නොමැතිව මම අධිකරණයේ පෙනී සිටියෙමි.


“ඔබ නීතිඥ සහාය ලබා ගන්නවාදැයි” දිනක් මහේස්ත්‍රාත්තුමා මාගෙන් විමසූ අතර මම “නැහැ” යැයි පිළිතුරු දුන්නෙමි.
ලෝකයේ බලවත්ම ත්‍රස්ත සංවිධානයක ජ්‍යෙෂ්ඨ නායිකාවක වූ මා හට එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ කිසිවෙකුගෙන් කිසිම සහයෝගයක් මේ මොහොතේදී නොලැබුණි. මා මෙන්ම දහස් සංඛ්‍යාත තරුණ තරුණියෝ එමගින් පීඩාවට පත්වූහ. මාගේ සහෝදර සහෝදරියෝ මා හට නීතිඥ සහාය ලබා දීමට පසුව කටයුතු කළහ. ඔහු හිත හොඳ මහත්මයෙකි. එතුමා සමඟ මංජුල පතිරණ නම් සිංහල නීතිඥයෙක්ද මා වෙනුවෙන් පෙනී සිටියේය. මෙම නීතිඥයන් දෙදෙනා මා වෙනුවෙන් පෙනී සිටීමෙන් යම් තීරණාත්මක වෙනසක් සිදුවේවි යැයි ලොකු විශ්වාසයක් මා තුළ නොවුවද ඔවුන් මා වෙනුවෙන් පෙනී සිටීම මට විශාල සහනයක් විය.
මේ කාලයේදී මට විශාල සතුටක් ලැබිය හැකි ආරංචියක් ලැබිණි. එනම් රහස් පොලිස් නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ පුනරුත්ථාපනය කිරීම සඳහා මා යොමු කිරීමට විරුද්ධත්වයක් නොමැති බවය. මා හමුදාවට කැමැත්තෙන් බාරවූ හෙයින් මා හට පොදු සමාවක් ලබාදී පුනරුත්ථාපනය කිරීමට රජය තීරණය කර ඇති බව රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
රහස් පොලිසියේ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහත්මිය 2012.06.22 වැනි දින මාව වව්නියාවේ පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරට යැවීමට නියෝග කළාය.


මගේ ජීවිතයේ අඳුරු දුක්බර නිමාව එය විය. මම ඒ සම්බන්ධයෙන් අපමණ ලෙස සතුටට පත්වුණෙමි.


මෙම කඳවුර බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍යංශය යටතේ හමුදාව භාරයේ පැවතිණි. මෙම පුනරුත්ථාපන කඳවුරේදී මා හට කවර ආකාරයේ ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවේදැයි නොසිතුණාද නොවේ. එහෙත් එහි සිටි හමුදා නිලධාරිහු මෙන්ම නිලධාරිනියෝ අපව ඉතා ආදරයෙන් පිළිගත්හ. එමෙන්ම ඉතා හොඳින් සැලකූහ. කඳවුරේ සිටි ඉහළම හමුදා නිලධාරියා අපට මෙසේ කීවේය. “ඔයගොල්ලෝ තමන්ගේ ගෙදර ඉන්නවා වගේම සතුටෙන් මෙහෙ ඉන්න.” එම ප්‍රකාශය පවා අපට සතුට ගෙන දුන්නේය.


එම ඉහළ හමුදා නිලධාරියාගෙන් මම එකම එක ඉල්ලීමක් කළෙමි. එනම් මා එහි සිටින කාලය තුළදී කිසිදු මාධ්‍යවේදියකු මුණ නොගස්වන ලෙසය. එය එලෙසින්ම ඉටු විය.


මෙම පුනරුත්ථාපන කඳවුරේදී අපට කිසිම විවේකයක් නොලැබුණි. එහිදී පුහුණුවීම් හා පන්ති පැවැත්විණි. සිකුරාදා දින උදය වරුවේදී “ඕම් ශක්ති” සංවිධානයෙන් ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර ඉරිදා දින උදය වරුවේදී ක්‍රිස්තියානි ආගමික වැඩසටහනක් පැවැත්විණි. 


මාස හයක මැහුම් පාඨමාලාවක්ද, මාස හයක පරිගණක පාඨමාලාවක්ද, මාස හතරක රූපලාවණ්‍ය පාඨමාලාවක්ද පැවැත්විණි. එයට අමතරව සිංහල භාෂා හා ඉංග්‍රීසි භාෂා පාඨමාලාද පැවැත්විණි. මේ අතර ව්‍යාපාර කළමනාකරණය, කිරි නිෂ්පාදනය සහ උපදේශන පුහුණුවක්ද අපට ලැබිණි. ඉරිදා දිනයේදී පෙරවරු 9 සිට සවස 4 වනතුරු අපට අපගේ පවුලේ අය සමඟ නිදහසේ කතා කිරීමට අවස්ථාව ලැබිණි. දුරකථන පහසුකම් හැර අනෙකුත් පහසුකම්, ආහාර පාන, පොත් පත් ඇඳුම් පැලඳුම් හා බෙහෙත් වර්ග නිවෙසින් ගෙන්වා ගැනීමට අපට අවසර ලැබිණි.


ඉතිරිය ලබන සතියට.

පරිවර්තනය : එස්. තිලෙයිනාදන්