1965 වසරේ පැවැති මහ මැතිවරණයේදී යටියන්තොට ආසනය සඳහා අපේක්‍ෂකයන් තිදෙනෙක් ඉදිරිපත් වී සිටියහ. ල.ස.ස.පයේ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා එයින් එක් අයකු විය. ඊට අමතරව මෙරට හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ සර් ජෝන් කොතලාවල මහතාගේ ඥාතිවරයෙකු වන ජෝර්ජ් කොතලාවල මහතා එ.ජා.ප.යෙනුත්, කේ. ඒ. විජේසේකර නැමැති මහතෙකු ම.එ.පෙ.නුත් නාමයෝජනා භාරදී තිබුණේ තමන් ජයග්‍රහණය කරන බවට ඔවුනොවුන් පරයා වහසිබස් දොඩමිනි.
එවර මැතිවරණය ශ්‍රි.ල.නි.ප.ය, ල.ස.ස.ප.ය. සහ කො.ප.ය යන පක්‍ෂ තුනෙන් සැදුම්ලත් සමගි පෙරමුණු සන්ධානයට තරමක් අවාසි සහගත වුවද යටියන්තොටින් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා පරාජය කළ නොහැකි බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණේය.
“හරි අපි බලමුකෝ මෙදා සැරේ ඇන්. ඇම්. ල යටියන්තොටින් දිනන හැටි..! යි වහසි බස් දොඩමින් ඡන්ද සටනට එළඹුණු ජොර්ජ් කොතලාවලගේ දැඩි විශ්වාසය වුයේ ඊට පෙර පැවැති සමගි පෙරමුණු ආණ්ඩුව ජනතාවගේ අප්‍රසාදයට ලක්ව තිබීමේ වාසිය මත තමන්ට පහසු දිනුමක් ලබාගත හැකි බවයි.
මේ අතර ප්‍රදේශයේ ඡන්ද උණුසුම ද වෙනත් කවරදාකවත් සිදුනොවූ අයුරින් ඉහළ ගොස් තිබුණේ. එකල යටියන්තොට වමට බර අසුනක් වූ අතර අපේක්‍ෂකයන් තිදෙනාගේම උත්සාහය වූයේ කෙසේ හෝ ජයග්‍රහණය කිරීමටය.
මහ මැතිවරණය පැවැත්වෙන දිනට සතියකට පමණ ඉහත තැලිගම ප්‍රදේශයේ ඡන්ද රැස්වීමක් පැවැත්වීමට ජෝර්ජ් කොතලාවල මහතා පියවර ගෙන තිබුණේ එ.ජා.ප. නායක ඩඞ්ලි සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. එය ප්‍රදේශයේ පැවැත්වෙන ප්‍රධාන පෙළේ රැස්වීමක් වූ බැවින් එ.ජා.ප. හිතවත්තු අති විශාල පිරිසක් ඊට සහභාගි වී සිටියහ. දැන් මෙන් වාහන තිහ හතළිහක් පිරිවරාගෙන පක්‍ෂ නායකයන් ගමන් කරන සිරිතක් එකල නොතිබිණි. ඒ අනුව එ.ජා.ප. නායකයා රැස්වීම් භූමියට පැමිණියේ තම විශ්වාසවන්ත රියැදුරා විසින් පදවන ලද ජීප් රියකිනි.
පාක්‍ෂිකයන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේ ඩඞ්ලි සේනානායක මහතා වේදිකාවට ගොඩවද්දී කොට කලිසමකින් සහ අත්කොට කමිසයකින් සැරසී සිටි පාසල් ශිෂ්‍යයෙකු බුලත් හුරුල්ලක් දී එතුමා පිළිගත්තේය. එ.ජා.ප. නායකයාගේ කතාව යෙදී තිබුණේ තවත් කථිකයන් දෙපළකගේ කතාවලින් පසුවය. එහෙත් ඊට ප්‍රථම රැස්වීම් භූමියේ ඈත කෙළවරකින් එක්වරම හූ හඬක් නැගී ආවේය. ක්‍රමයෙන් එම හූ හඬ තවත් පැත්තකින් මතුවූයේ එය සංවිධානාත්මකව සිදුකළ ක්‍රියාවක් වූ බැවිනි.
ඒ සමඟම වේදිකාව අසල කොළ පැහැති කමිස හැඳ කොල කැප් තොප්පිවලින් සැරසී සිටි ජවසම්පන්න තරුණයෝ පිරිසක් “කවුද යකෝ අපේ නායකතුමාට හූ කියන්නේ?” යි අසමින් පොලු මුගුරු රැගෙන එම හූ කී තරුණයින් පසුපස හඹා ගියහ. අන්තිමේදී ඔවුන් අතර ගුටි බැට හුවමාරුවක්ද හටගත් අතර එය සුළු වේලාවකින් අවසන් වූයේ හූ හඬ නැගූ පිරිස පලාගිය බැවිනි.
එම කලබැගෑනිය අවසන් වීමෙන් පසු රැස්ව සිටි පිරිස අමතා විනාඩි පහක් හෝ හයක පමණ කාලයක් කතා කළ ඩඞ්ලි සේනානායක මහතා එම ස්ථානයෙන් ඉවත්ව ගියේ “තමුන්නාන්සේලාගේ නායකයා මෙදා සැරේ පාර්ලිමේන්තුවට එවන්නම ඕනෑ...! එහි සිටි පාක්‍ෂිකයන් වෙතින් ඉල්ලීමක් පවා කරමිනි.
එවර පැවැති මහ මැතිවරණයෙන් එ.ජා.ප.ය ජයගත් අතර ඩඞ්ලි සේනානායක මහතා අග්‍රාමාත්‍ය ධූරයෙහි දිවුරුම් දුන්නේය. එහෙත් ජෝර්ජ් කොතලාවල මහතාට එවරද පාර්ලිමේන්තුවට යාමට නොහැකි විය. එසේ වූයේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා වැඩි ඡන්ද 1695 කින් යටියන්තොට අසුන ජයගෙන පර්ලිමේන්තුවට ගිය බැවිනි.
එහෙත් එම ජනතා තීන්දුව නොපිළිගත් ජෝර්ජ් කොතලාවල මහතා ඊට එරෙහිව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළේය. ඔහු වෙනුවෙන් එම ඡන්ද පෙත්සම ඉදිරිපත් කර තිබුණේ පසු කාලයකදී යටියන්තොට අසුනින් ල.ස.ස.ප.නායකයා පරාජය කිරීමට සමත්වූ වින්සන්ට් පෙරේරා නැමැති පාක්‍ෂිකයෙකි. තැලිගම ප්‍රදේශයේ ඩඞ්ලි සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට පැමිණි වාමාංශික පිරිසක් හූ කියමින් කලබලයක් ඇති කිරීමේ සිද්ධිය ද එම පෙත්සමෙන් අවධාරණය කර තිබුණේ කොතලාවල මහතාගේ පරාජයට මුල්වූ එක් හේතුවක් ලෙස දක්වමිනි.
“තැලිගම විතරක් නෙවි යටියන්තොට ආසනය තුළ පවත්වන ලද අපේ හැම ඡන්ද රැස්වීමකදීම පාහේ සමසමාජ පක්‍ෂයේ ආධාරකරුවන් අපට හූ කිව්වා. ඒ නිසා එම රැස්වීම් ඇමතු අපේ කථිකයන්ට තමන්ගේ පක්‍ෂයේ ප්‍රතිපත්ති නිසියාකාරව අවබෝධ කරදීමට නොහැකි වුණා !”යි කී කොතලාවල මහතාගේ නීතිඥ එස්.නඬේසන් මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේ එමගින් පෙත්සම්කාර පාර්ශ්වයට අගතියක් සිදුවී ඇති බැවින් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙසය.
එම සිද්ධියෙ තහවුරු කිරීම සඳහා තැලිගම ඡන්ද රැස්වීමට පැමිණි එ.ජා.ප. නායකයා පිළිගත් ආර්. ඒ. ඩී. සිරිසේන නැමැති පාසල් ශිෂ්‍යායාද සාක්‍ෂිකරුවකු වශයෙන් ඉදිරිපත් කර තිබුණේ නඬේසන් නැමැති රාජ නීතිඥයා විසිනි.
“ඔව් ස්වාමීනි, එදා එම රැස්වීමට කඩාකප්පල් කිරීම සඳහා පැමිණි පිරිස විසින් ඇති කළ කලබලය නිසා එහි කතා කළ කථිකයන්ට තමන්ගේ අදහස් ජනතාව හමුවේ ප්‍රකාශ කිරීමට බැරිවුණා.....!” කී එම පාසල් ශිෂ්‍යයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම හූ කීම ජෝර්ජ් කොතලාවල මහතාගේ පරාජයට මුල්වූ එක් ප්‍රබල හේතුවක් වූ බවය.
එම ඡන්ද පෙත්සම කොළඹ අලුත්කඬේ අධිකරණ සංකීර්ණයේ දී විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එච්. ඩී. තම්බයියා මහතා සාක්‍ෂිකරුගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.
“එදා තැලිගම පැවැති ඡන්ද රැස්වීමට පැමිණි පිරිස ‘හූ ’ කිව්වේ කට ඇරගෙනද ? නැත්නම් කට වහගෙනද?”.
විනිසුරුවරයාගේ එම ප්‍රහ්නයට පාසල් වයසේ සිටි සාක්‍ෂිකරුට සිනා පහළවූයේ ඉබේටමය.
“ස්වාමීනි. කට වහගෙන හූ කියන්න බෑ”අධිකරණයෙන් අවසර දෙනවානම් එදා එම පිරිස හූ කී හැටි මම මේ ගරු අධිකරණයට පෙන්වන්නෙමි. විනිසුරුතුමා ඒ සඳහා අවසර ලබා දුන්නේ දෙවරක් නොසිතමිනි.
එවිට හිස නමා විනිශ්චයකාරතුමාට ආචාර කළ සාක්‍ෂිකරු තම දැත් මුවට ළංකර යටිගිරියෙන් හූ හඬක් නගන ලැබුවේ මුළු අලුත්කඬේ අධිකරණ සංකීර්ණයම දෙවනක් කරමිනි. එසැණින් කලබලවූ තම්බයියා විනිසුරුතුමා “ හා.. හා. ඔය ඇති !... ඔය ඇති ...! කියමින් ඔහු වළක්වනු ලැබුවේය. සාක්‍ෂිකරු අසත්‍යයක් ප්‍රකාශ නොකරන ලද බව එමගින් තහවුරු වුද එම ඡන්ද පෙත්සම නිප්ප්‍රභා කළ විනිසුරුවරයා ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාගේ මන්ත්‍රී අසුන රැක දුන්නේය.
එදා එම පාසල් ශිෂ්‍යයා කොළඹ අලුත්කඬේ උසාවි සංකීර්ණය දෙවනක් වී යන අයුරින් නැගූ හූ හඬ පිළිබඳව එකල පැවති දිනමිණ. ලකාදීප සහ දවස පුවත්පත්වල පොල්ගෙඩි ලෙස අකුරින් පළකර තිබුණේ එය ඉතිහාස ගතවන හූවක් ලෙස හඳුන්වා දෙමිනි. එලෙස කිසිදු චකිතයකින් තොරව අධිකරණ ශාලාවක සාක්‍ෂි දෙමින් හූ හඬ නැගූ පාසල් ශිෂ්‍යයා පසු කාලයකදී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තේරී පත්වූ අතර 2001 දී බලයට පැමිණි එ.ජා.ප. ආණ්ඩුවේ සමෘද්ධි කටයුතු පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය ධුරයකින්ද පිදුම් ලැබුවේය.
නිහාල් ජගත්චන්ද්‍ර