1965 දී බලයට පත් එක්සත් ජාතික පක්‍ෂ රජය 1970 මාර්තු 25 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැර නාමයෝජනා ගන්නා දිනය අප්‍රේල් 23 වැනිදා ලෙසත් මැතිවරණ දිනය මැයි 27 වැනිදා ලෙසත් ප්‍රකාශයට පත් කළ අතර නාමයෝජනා ගත් දිනයේදීම වැලිමඩ ආසනයට ශ්‍රී.ල.නි.පයෙන් ආර්.එම් බණ්ඩාර මහතා නිතරගයෙන් තේරීපත් විය.
මෙම 1970 මැතිවරණයේදී ශ්‍රී.ල.නි පක්‍ෂය, ලංකා සම සමාජ පක්‍ෂය හා කොමියුනිස්ට් පක්ෂය, සමගි පෙරමුණත් ලෙස තරග කළ අතර මැතිවරණයේදී පිළිගත් දේශපාලන පක්‍ෂ වූයේ 08 පමණි. ශ්‍රී.ල.නි පක්‍ෂයට ආසන 90ක් ද ලංකා සම සමාජ පක්‍ෂයට ආසන 19ක් ද කොමියුනිස්ට් පක්‍ෂයට ආසන 06ක් ද වශයෙන් සමගි පෙරමුණට මන්ත්‍රී ධුර 151න් 115ක් හිමිවිය. එ.ජා. පක්‍ෂයට හිමිවූයේ මන්ත්‍රීධුර 17කි. 1944 සිට පුරා අවුරුදු 26ක් පාර්ලිමේන්තුවේ සිටි ආර්. ජී. සේනානායක මහතා සිංහල මහජන පක්ෂය තනා ආසන 51 ට තරග කළ අතර ඔහු ආසන 2ට තරග කළේය. එම ආසන දෙකින්ම ඔහු පරාජයට පත් වූ අතර පක්‍ෂයට එකම මන්ත්‍රී ධුරයක් හෝ හිමි නොවීය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාගත් ප්‍රථම ආණ්ඩුව වූයේද මෙම සමගි පෙරමුණු ආණ්ඩුවයි.
ඡන්ද දායකයින් 84.9%ක් ඡන්දය දුන් මෙම මැතිවරණයේදී හිටපු ඇමතිවරු 09 දෙනෙක් පරාජයට පත්වූහ. මැතිවරණයට ඉදිරිපත් වූ අඹුසැමි ජෝඩු තුනෙන් දෙකත් ජය ගෙන තිබූ අතර එකක් පරාජය විය. ලෙස්ලි ගුණවර්ධන හා විවියන් ගුණවර්ධනද ටී. බී. ඉලංගරත්න හා තමරා කුමාරි ඉලංගරත්නද ජයගෙන තිබූ අතර පිලිප් ගුණවර්ධන හා කුසුමා ගුණවර්ධන ජෝඩුව පරාජය වී තිබිණ. රජයේ උපදෙස් මත අග්‍රාණ්ඩුකාරයා විසින් මන්ත්‍රීවරු 06 දෙනෙක් පත්කරනු ලැබූ අතර ඔවුන් නම් අබ්දුල් අසීස්, දොස්තර ඇම්. ඩී. එස්. ජයවර්ධන, එස්. එස්. කුලතිලක, අල්හාජ් බද්යුද්දීන් මොහොමඞ්, ජේ. ඊ. ජේ. රුද්‍රිගෝ හා සී. සුබ්‍රමනියම් යන අයයි.
මෙම මැතිවරණයේදී දෙන ලද ජනවරම අනුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්වූ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක ඇමති ලෙස කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් නව ජන රජ ව්‍යවස්ථාවක් සම්පාදනය කළ අතර 1972 මැයි 22 එය සම්මත කොට ක්‍රියාත්මක කරන ලදී. ලංකාව “ශ්‍රී ලංකාව” ලෙස හඳුන්වන ලද්දේ එය ජනරජ ව්‍යවස්ථාව මගිනි.
සමගි පෙරමුණ ආණ්ඩුව පිහිටුවා වසරක ගතවීමටත් පෙර රජයට විරුද්ධ තරුණ කැරැල්ලක් ඇති වූ අතර 1971 මාර්තු 16 සිට රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ලංකා සම සමාජ පක්‍ෂයේ කිරිඇල්ල මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අත්අඩංගුවට ගැනීමත් සිදුවිය. ලංකා සම සමාජ පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර ආණ්ඩුවේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් මත ගැටුම් ඇතිවූයේ 1975 සිටය. එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුවේ සිට ලංකා සමසමාජ පක්ෂයේ ඇමතිවරුන් වූ මුදල් අමාත්‍ය ආචාර්ය එන්. එම්. පෙරේරා, ප්‍රවාහන අමාත්‍ය ලෙස්ලි ගුණවර්ධන හා වැවිලි කර්මාන්ත හා ව්‍යවස්ථා සම්පාදන ඇමති කොල්වින් ආර්. ද සිල්වා ඇමති ධුරවලින් ඉවත් කළහ.
ඊට ප්‍රථම 1971 ඔක්තෝබර් මාසයේදී හබරාදූව මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකර මහතා සමගි පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත් වූයේ 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල පරාජයට පත්කිරීමට රජයගත් ඇතැම් තීරණවලට විරෝධය පළකරමිනි. ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ එස්. ඒ. වික්‍රමසිංහ, සරත් මුත්තෙට්ටුවේගම, ඊලියන් නානායක්කාර, ඇම්. ජී. මැන්ඩිස් යන මන්ත්‍රීවරු 1972 රජය ඉදිරිපත් කළ අපරාධයුක්ති විනිශ්චය සභා පනතට ඡන්දය නොදීම නිසා ආණ්ඩු පක්ෂයෙන් ඉවත් කෙරිණ. මාතලේ මන්ත්‍රී හිටපු හමුදාපති රිචඞ් උඩුගම 1974 දී ආණ්ඩු පක්‍ෂයෙන් ඉල්ලා අස්විය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ එකම අවස්ථාවක වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී විරුද්ධ පක්‍ෂයට ගියේ 1975 සැප්තැම්බර් 03 වැනිදාය ලංකා සම සමාජ පක්ෂයේ අමාත්‍යවරුන් තනතුරුවලින් ඉවත් කිරීම නිසා ලංකා සම සමාජ පක්ෂයේ මන්ත්‍රීවරු 17 දෙනෙක් ඊට විරෝධය පළකරමින් විපක්‍ෂයේ අසුන් ගත්හ.
ඔව්හු නම්
1. ආචාර්ය එන්. එම්. පෙරේරා
2. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා
3. ලෙස්ලි ගුණවර්ධන
4. බර්නාඞ් සොයිසා
5. විමල සිරිද මැල්
6. චන්ද්‍ර ගුණසේකර
7. විල්ෆ්‍රඞ් සේනානායක
8. චම්ලි ගුණවර්ධන
9. පී. වීරසිංහ ද සිල්වා
10. ඇල්. සී. ද සිල්වා
11. සුමනපාල දහනායක
12. ධනපාල වීරසේකර
13. වාසුදේව නානායක්කාර
14. පී. ඕ. විමලනාග
15. ආතාවුද සෙනෙවිරත්න
16. විවියන් ගුණවර්ධන
17. කුසලා අබේවර්ධන
නමුත් සම සමාජ පක්ෂයේ නීල් ද අල්විස් හා මංගල මුණසිංහ යන මන්ත්‍රීවරු ආණ්ඩු පක්‍ෂයේ රැඳී සිටියහ.
1976 දී රොනී ද මැල් හා බොනී ජයසූරිය යන මන්ත්‍රීවරු ද විපක්ෂයේ වාඩි වූ අතර ඊට මාස කීපයකට පසු ටෙනිසන් එදිරිසූරිය, නන්ද එල්ලාවල, ගාමිණී ආරියතිලක, ඒ. එම්. ජිනදාස යන ශ්‍රීලනි පක්‍ෂ මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉවත් වූහ. කර්මාන්ත අමාත්‍ය ටී. බී. සුබසිංහ මහතාද තනතුරෙන් ඉල්ලා අස්වී විපක්‍ෂයට එක්විය. මේ ආකාරයෙන් 1977 මහ මැතිවරණය වන විට ආණ්ඩුවෙන් ඉවත්වී විපක්‍ෂයට ගිය මන්ත්‍රීන් සංඛ්‍යාව 31 තරම්විය. එකවර මන්ත්‍රීන් වැඩිම සංඛ්‍යාව ආණ්ඩු පක්‍ෂයෙන් විපක්‍ෂයට එක් වීමෙන් වාර්තා තබන ලද්දේ 1975 දීය.
බණ්ඩාරගම - සමරසේන මුදලිගේ