එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට සිටි අපේ අගමැති මිය ගිය හැටි


එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ හැත්තෑ දෙවැනි සමුළු වාරයට සහභාගිවීම සඳහා නිව්යෝර්ක් නුවර බලා ගිය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ආපසු මව්බිමට පැමිණියේය. එම සම්මේලනය අමතා කතා කළ ජනාධිපතිතුමා තමාගේ පසුගිය තෙවසරකට ආසන්න පාලන කාලය තුළ රටේත් ජනතාවගේත් සුබ සිද්ධිය සඳහා ගෙන ඇති පියවර රාශිය ගැන විශේෂයෙන් සඳහන් කළේය. එමෙන්ම විධායක ජනාධිපතිධුරය වටා ඒකරාශී කර තිබුණු, ජනවරම තුළින් තමා වෙත පැවරුණු අසීමිත බලතල අතහැරීම සම්බන්ධයෙන් ගෙන ඇති නොයෙකුත් පියවර ගැනත් තිස් වසරක් තිස්සේ ශ්‍රී ලංකාවේ පැවති කෘර යුද්ධය නිසා ජන වර්ග අතර ඉතිරි වී ඇති නොහොඳ නෝක්කාඩු හා විරසකවීම් පිටුදකිමින් සංහිඳියාව ඇතිකිරීම සඳහා ගනිමින් සිටින පියවරයන් ගැනද එතුමා ලෝක ප්‍රජාව හමුවේ ප්‍රකාශ කළේය.


ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් ලංකාවේ ජීවත්වන සියලු ජන කොටස්වලට සාධාරණත්වය ඉටු කරමින් ඔවුන් අතර සහෝදරත්වය ගොඩ නගමින් ඔවුනොවුන් අතර පවතින සැකය, අවිශ්වාසය, ක්‍රෝධය ඉවත් කරමින් සෑම කෙනෙකුටම නිදහසේ ජීවත් විය හැකි සමාජයක් ගොඩ නැගීමට තමා ක්‍රියා කරන ආකාරයත් ඔහු පැහැදිලි කළේය.
මෙම සම්මේලනයට සහභාගී වීමට අවස්ථාවක් ලබාගැනීම තමන්ගේ රටට මහත් වාසියක් අත්වීමක් බව බොහෝ රාජ්‍ය නායකයෝ සලකති. එයට එක් හේතුවක් වන්නේ එයට සහභාගී වීමේදී විවිධ රටවල නායකයන් හමුවී පවත්වන දිව්පාර්ශ්වික සාකච්ඡා නිසා ලැබෙන ප්‍රයෝජනයයි. තම රජය අනුගමනය කරන නවතම ප්‍රතිපත්ති ලෝක සාමය, මිනිස් අයිතීන් සුරැකීම, සංවර්ධන උපාය මර්ග, ගෝලීය ආර්ථික සංවර්ධනය ආදී ක්ෂේත්‍ර කෙරෙහි බලපාන ආකාරය ලෝක නායකයන් අබිමුවේදීම ප්‍රකාශ කිරීමට ලැබෙන විරල අවස්ථාවක්ද වීම නිසාය.


මෙහි තවත් සුවිශේෂත්වයක් වනුයේ අපේ රටට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා දරන්නට සිදුවූ අසීමිත ප්‍රයත්නයයි. අනෙකුත් බොහෝ රටවලට යටත්විජිතවාදී ග්‍රහණයෙන් මිදුණු වහාම මහා මණ්ඩලයේ යෝජනාවක් ඉදිරිපත් කළ පමණින් සාමාජිකත්වය හිමිවීම සාමාන්‍ය ක්‍රමයව තිබුණි. එහෙත් එය ලංකාව සම්බන්ධයෙන් එසේ වූවේ නැත. දිගු කලක් වෙහෙස දරා මෙහෙයවන ලද රාජ්‍ය තාන්ත්‍රික සටනකින් පසුව එම සාමාජිකත්වය ලැබුණු බව වර්තමාන සමාජයේ බොහෝ දෙනා නොදනිති. මෙම පැරණි සිදුවීම් මාලාව මෙසේ පෙළගස්වනු ලබන්නේ මේසා උනන්දුවෙන් එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයට යාමට සියලු කටයුතු සූදානම් කළ අපේ රටේ රාජ්‍ය නායකයකු පිටත් වීමට සුළු වෙලාවකට පෙර ඝාතනයට ලක්වීමේ සංවේගජනක පුවතක් පාඨක ඔබ හමුවේ තැබීම පිණිසය.


දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ කතා පුවත වනාහි මිනිසා තවමත් තිරිසන් ගතිවලින් වෙන් නොවූ දෙපා සතුන් කොට්ඨාසයක්ද? යන පැනය නැවතත් මිනිස් සිත් සතන් තුළට බලවත් සේ නැංවීමක් විය. හිට්ලර්ගේ ලේ පිපාසිත සගයන් විසින් ගෑස් කාමර තුළට දක්කා ඝාතනය කරන ලද නිරායුධ යුදෙව් ජනයාගේ සමූල ඝාතනය මෙන්ම ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් යුද වැදුණු බව පැවසූ ඇමරිකානු රජය ජපානයේ හිරෝෂිමා, නාගසාකි යන මහා නගර දෙක මතට හෙළන ලද පරමාණු බෝම්බ නිසා මැසි මදුරුවන් සේ මිය ගිය දස ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවද යන කුමන සාධක දෙස බැලුවත් පෙර කී සැකය සාධාරණ වේ. නැගෙනහිර යුරෝපීය සටන් පෙරමුණේදී සෝවියට් වැසියන් පමණක් ලක්‍ෂ දෙසීයක පිරිසක් මරුමුවට පත් වූ බව කියවේ. එම ප්‍රමාණය ලංකාවේ සමස්ත ජනගහනයට අඩුවන්නේ යන්තමිනි. ඒ රුසියාවේදී පමණකි. මෙවැනි මහ පොළව නොඋසුලන අපරාධයක් ලෝකයේ සිදු නොවනු පිණිස කළ යුත්තේ කුමක්දැයි දෙවැනි ලෝක යුද්ධය ජයගත් මිත්‍ර පාක්‍ෂික නායකයෝ සාකච්ඡා කළහ.

 

 

යුද්ධය නිසා සිදුවූ ජීවිත සහ සම්පත් විනාශය කොතෙක්දැයි ලෝකය පවතින තුරු ගණන් බැලිය නොහැකි බව බි්‍රතාන්‍ය අගමැති වින්ස්ටන් චර්විල් පැවසීය. නිවැරදි ගණන් හිලව් ලබා ගැනීම ඒ සා දුෂ්කර කාර්යයක් නම් එම හානිවල පාඩුව පියවා ගැනීම කෙසේ කළ හැක්කක්ද? අනෙක් අතින් ප්‍රකෝටි ගණනක් වූ විනාශ වූ ජීවිතවලින් එකකටවත් නැවත පණදිය හැක්කේ කාටද?


මේ සා විශාල වූ විනාශයක් සිදු කළ මහා යුද්ධයක් නැවත ඇති නොවන ආකාරයේ වැඩපිළිවෙළක් යෙදිය යුතු බවට ජයග්‍රාහකයෝ ගිවිස ගත්හ. 


එහි ප්‍රතිඵලයක් වශයෙන් 1945 ඔක්තෝබර් මස 24 වැනිදා සාමාජික රටවල් පනස් එකකින් සමන්විතව එක්සත් ජාතීන්ගේ සම්මේලනය ආරම්භ විය. එදා ලෝකයෙන් විශාල ප්‍රදේශයක් පැවතියේ බලගතු රාජ්‍යයන්ගේ යටත් විජිත වශයෙනි. මෙම අධිරාජ්‍යවාදීන්ගේ විජිත පාලනය අවම කරවීම සඳහා මෙම එ.ජා. සම්මේලනය විසින් සුවිශාල කාර්යභාරයක් ඉටුකළ බව නොරසකි. එනිසාම නිදහස ලත් මෙම රාජ්‍ය සියල්ලම එහි සාමාජිකත්වය ලබා ඇති බව අපි දනිමු. එනිසා මේ වන විට එහි සාමාජිකත්වය රටවල් 193ක් දක්වා වැඩි වී ඇත. වෙනත් වචනවලින් කිවහොත් සමස්ත ලෝකයම එහි සාමාජික රටවල් වේ.


මෙය වනාහි නිසැකවම ලෝකයේ පවතින බලවත්ම රාජ්‍ය එකමුතුවයි. මෙකී රාජ්‍ය එකමුතුව තමන් විසින්ම පනවා සම්මත කර ගන්නා ලද ප්‍රඥප්තියක් අනුව තම ක්‍රියාපටිපාටිය මෙහෙයවනු ලැබේ. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සපයනු ලබන්නේ සාමාජික රටවල්මය. තමන්ගේ රාජ්‍යයන්හි වත් පොහොසත් කමේ තරමට මෙම අරමුදල් සැපයීම සිදු වේ. එනිසා තවමත් වැඩිම සාමාජික මුදල සපයන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. මේ කාරණය මත එක්සත් ජාතීන්ගේ සංගමයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඇමරිකාවේ මැදිහත්වීම සහ බලපෑම බොහෝ සෙයින්ම වැඩි බවට ආරම්භයේ සිටම චෝදනාවක් නැගේ. එහි සත්‍යයක් තිබෙන බවට ලෝකයේ පිළිගැනීමක් තිබෙන නමුදු මෙම ප්‍රබල සංවිධානය මගින් ලෝක සාමය, නිරායුධකරණය ආදී වශයෙන් සිදු කෙරී ඇති සේවයද සුළු කොට සැලකිය නොහැක. දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවීම් සඳහා පමණක් නොව ලොව පැවැත්ම සහතික කිරීම සඳහා වන බෙහෝ කටයුතු සඳහා එය ක්‍රියාකාරීව දායක වී ඇත. 


වඩා යහපත්, වඩා සාධාරණ වඩා සුරක්‍ෂිත ලෝකයක් ගොඩනැගීම අරමුණු කොටගෙන ක්‍රියාකරන එ.ජා. සංවිධානය විසින් යහපත් ලෝකයක් සඳහා අවශ්‍ය ගිවිසුම් 400කට අධික සංඛ්‍යාවක් ලොවට සම්පාදනය කර තිබේ. මේ මගින් අන්තර්ජාතික සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරීම, මිනිස් වර්ගයා මුහුණ දෙන දරිද්‍රතාව, පරිසර, විනාශය, ජල අර්බුදය, ඒඞ්ස් වසංගතය, ත්‍රස්තවාදය, අපරාධ ආදී බොහෝ ශීර්ෂ යටතේ තම ක්‍රියාපටිපාටිය මෙහෙයවනු ලැබේ. එපමණක් නොව ගැටුම්වලට ගොදුරු වූවන්ට සහන සැලැස්වීම, ස්ත්‍රී අයිතිවාසිකම් ප්‍රවර්ධනය, සංවර්ධනය වන රටවල ආයෝජන ප්‍රවර්ධනය, ස්වභාවික විපත් වල හානි අවම කිරීම, විපතට පත් අයට ආධාර, බිම් බෝම්බ ඉවත් කිරීම මත්ද්‍රව්‍ය විරෝධී සටන, ආර්ථික සංවර්ධනය දිරිගැන්වීම, කම්කරු අයිතීන් ප්‍රවර්ධනය, ලෝකයේ සමුද්‍ර පරිහරණයේ විධිමත් බවක් ඇති කිරීම, බුද්ධිමය දේපළ අයිතිය සුරැකීම, ලෝක කාන්තා ප්‍රජාවගේ සාක්‍ෂරතාව නැංවීම, සෑම රටකම ඓතිහාසික සංස්කෘතික හා පෞරාණික ස්ථාන සුරැකීම, ආදී බොහෝ කටයුතුවලට එය සහාය ලබා දේ.
දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදී ප්‍රතිපත්තිය නිසා අන්ත පීඩනයකට පත්ව සිටි එරට කළු ජනතාවට සහනය උදාකර දීමට දීර්ඝ අරගලයක් ගෙන ගියේ. එ.ජා. සංවිධානයයි. වර්ණ භේදවාදයෙන් බැටකෑ දකුණු අප්‍රිකාවට අවසානයේ නෙල්සන් මැන්ඩෙලා යටතේ කළු ජාතික පාලනයක් ඇති වීමට මග පෑදූවේ එම සංවිධානයයි. ලෝක සාමයටත් විශේෂයෙන් දකුණු අසියානු කලාපයේ සංහිඳියාවටත් මහත් තර්ජනයක්ව පැවති ඇෆ්ගනිස්ථානයේ සෝවියට් හමුදා රඳවා තැබීම අවසන් කිරීමටද එම සංවිධානයට හැකිවිය. ඉරානය සහ ඉරාකය අතර දීර්ඝ කාලයක් පැවති යුද්ධය නිමා කිරීම, නැගෙනහිර ටිමෝර රාජ්‍යයට නිදහස ලබා දීම, තවත් එවැනි ජයග්‍රහණ කීපයකි.


එහෙත් සියල්ල සුබවාදී වූවේ නැත. කොන්ගෝ ප්‍රශ්නයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය කෙසෙල් ගසට කොටා හොට පටලවා ගත් කොට්ටෝරුවාගේ තත්ත්වයට පත්විය. කොන්ගෝ රාජ්‍යය දීර්ඝ කාලයක් බෙල්ජියම් අධිරාජ්‍යයට යටත්ව දැඩි මර්දනයකට ලක්වෙමින් පැවතුනි. ඛනිජ සම්පත්වලින් පොහොසත් සමෘද්ධිමත් එහෙත් නොදියුණු රටක් වූ කොන්ගෝව දීර්ඝකාලීනව තම ග්‍රහණය යටතේ තබා ගැනීම බෙල්ජියමේ අවශ්‍යතාව වූවේය. එහෙත් පැටි්‍රස් ලුමුම්බා නැමති නායකයා යටතේ එය නිදහස් රාජ්‍යයක් බවට පත් වූ නමුදු එරට සතුව තිබූ ධන සම්පත්වලට වහවැටුණු ධනවැද්දෝ එම නිදහස් රාජ්‍යය අතහැර යාමට මැළි වූහ. 


කටංගා නමැති දියමන්ති, ප්ලැටියම් ආදී සම්පත්වලින් පිරි භූමි ප්‍රදේශය මොයිෂ් ෂොම්බේ නමැති ගෝත්‍රික නායකයකු යටතේ වෙනම රාජ්‍යයක් බවට පත් කළ බෙල්ජියම එහි සිවිල් යුද්ධයක් නිර්මාණය කළහ. මෙම ගැටුම නිරාකරණය සඳහා එ.ජා. සංවිධාන මැදිහත් වූ නමුදු එය සාර්ථක නොවීය. පැටි්‍රස් ලුමුම්බා රහසිගතව මරා දැමීමටත් බටහිරට පක්‍ෂ ජනාධිපති ජෝසප් කසවුබු, හමුදාපති ජෝසප් මොබුටු ආදීන්ගේ සහාය ඇතිව බෙල්ජියමට හිතවත් රජයක් පිහිටුවීමටත් ඇමරිකාවේ සහාය ලැබුණු බව එකල ප්‍රසිද්ධ රහසක් විය. අවුල වැඩිවී වියවුලක් බවට පත්වෙද්දී එයට මැදිහත් වූ එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඩැග් හැමර්ෂල්ඞ් ගුවන් යානයට සිදුකළ පහරදීමක් හේතුවෙන් මරණයට පත් විය. කාගේ ප්‍රහාරයකින් මෙම මරණය සිදුවූවේද යන්න වසර පනහක් පමණ ගතව ඇති අදටත් නිල වශයෙන් ප්‍රකාශ වී නැත.


අරාබි රාජ්‍ය පද්ධතියම එක්සත් වී 1967 ජුනියේදී ඊශ්‍රායලට එරෙහිව පැවති සයදින යුද්ධයේදී අරාබි රාජ්‍යයෝ පරාජයට පත් වූහ. එහිදී ඊජිප්තුවට අයත් සිනායි අර්ධද්වීපය සහ ගාසා තීරයත් ජෝර්දානයේ බටහිර ඉවුර ප්‍රදේශයත් සිරියාවේ ගෝලාන් කඳුකරයත් ඊශ්‍රායලය විසින් අල්ලා ගන්නා ලදී. කොතෙකුත් යෝජනා සම්මත කරමින් එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායලයට දන්වන ලද නමුදු හරියටම අඩ සියවසක් ගතව ඇති මේ මොහොත වන තුරුත් එය ඉටු වී නැත. ඉතිහාසය ගලා ගියේ මේ අයුරිනි.


බි්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදී අපේ රට 1948 පෙබරවාරි 04 වැනිදා නිදහස් රාජ්‍යයක් බවට පත් විය. ඒ අවස්ථාවේදී කටුනායක බි්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදා කඳවුරත්, ත්‍රිකුණාමලය නාවික කඳවුරත් යුද කටයුතු සඳහා භාවිතා කිරීමත් අන්‍යොනය ආරක්‍ෂක කටයුතු සඳහාත් එකඟ වන ගිවිසුම් දෙකකට ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය රජය සමග අත්සන් තැබුවේය. එය අපේ ආරක්‍ෂාවට අත්‍යාවශ්‍ය කාර්යයක් ඉටු කිරීමකැයි බි්‍රතාන්‍ය ජාතික අග්‍රාණ්ඩුකාර සර් හෙන්රි මන්ක් මේසන් මූවර් පැවසීය.


නව නිදහස් රාජ්‍යයක් වශයෙන් ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා අයැදුම්පතක් යොමු කළේය. මහ බලවතුන් හතර දෙනාගෙන් කෙනෙකු වූ සෝවියට් රුසියාව එයට වහාම විරෝධය පළ කළේය. සෝවියට් නියෝජිත ඇන්ඩෘ ග්‍රොමිකෝ ප්‍රකාශ කළේ ලංකාව නිදහස් රාජ්‍යයක් නොවන බවයි. බි්‍රතාන්‍යය සමඟ බරපතළ යුද ගිවිසුම් දෙකකින් බැඳී සිටින රටක් නිදහස් රාජ්‍යයක් වන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කළේය. වසර පහක් මුළුල්ලේ නොකඩවා මෙම සාමාජික ඉල්ලුම් පත ඉදිරිපත් කළද එයට නිෂේධ බලය හිමි රුසියාව විරුද්ධවීම නිසා අපේක්‍ෂාව ඉටු කර ගත නොහැකි විය.


මෙරට ප්‍රකට දේශපාලනඥයෙකු සහ හිටපු ඇමතිවරයෙකු වූ සර් සෙනරත් ගුණවර්ධන මහතා ඇමරිකාවේ තානාපතිවරයා වශයෙන් පත්ව යාම රටේ වාසනාවක් විය. කුසාග්‍ර බුද්ධිමතෙකු වූ ඒ මහතා දක්‍ෂ අන්දමින් ගෙන ගිය රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම නිසා ලොව රටවල් විශාල සංඛ්‍යාවක සහාය ලබා ගැනීමට පමණක් නොව සෝවියට් රුසියාවේ විරුද්ධත්වය නැතිකර ගැනීමටද සර් සෙනරත් කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1954 දී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය හිමිවිය. එක්දහස් නවසිය පනස් නවයේ මැද භාගය වන විට ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය පැවතියේ මහත් අවුල් වියවුල් සහගත තත්ත්වයකිනි. අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුතු රජය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයද භේද භින්න වී කල්ලි ගැසී සිටි නිසා එම අනුගාමිකයෝ මහත් කනස්සල්ලට පත්ව සිටියහ. යම් යම් ආත්මාර්ථකාමී අපේක්‍ෂාවන් රජය වෙතින් ඉටු නොවීම නිසා පිරිසක් අගමැතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන බවට රාවයක් පැතිරී තිබුණි.

රාවයක් පමණක් නොව අවස්ථා දෙකකදීම එවැනි ප්‍රයත්නයන් දරා ව්‍යර්ථව ගිය බවද රටේ ප්‍රචලිත මතයක් වූවේය. වරක් නයි විෂ යෙදූ කිරි වීදුරුවක් අගමැතිවරයාට පොවන්නට සලස්වා තිබුණි. එම ඉලක්කය වැරදී ගියේ එම කිරි වීදුරුව පානය කළේ කැබිනට් රැස්වීමේ යාබද අසුනේ වාඩි වී සිටි සභා නායක සී. පී. ද සිල්වා මහතාටය. එම හේතුව නිසා එතුමා සදාකාලික රෝගියෙකු වූවේය. සති කීපයකට පසු අත්තනගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයකදී අගමැතිවරයා වෙඩි තබා මරා දැමීමට සැලසුම් කර තිබී ඇත. පිස්තෝලයක්ද තබාගෙන මිනීමරුවා ඒ ආසන්නයේ රැඳී සිටි නමුත් ආරක්‍ෂක නිලධාරීන් ඔහු පන්නා දමා තිබුණේ අගමැති එහි පැමිණීමට පෙරදීය. මෙවැනි භයානක තත්ත්වයක් පවතින බව බණ්ඩාරනායක පවුලේ අයටද රහසක් නොවීය. එනිසා ගුප්ත විද්‍යා කටයුතු කෙරෙහිද ඔවුහු උනන්දුවක් දැක්වූහ. යම් යම් කරුණුවලදී මෙවැනි පීඩනයන්ට ගොදුරු වන සමහර ඇත්තෝ ජ්‍යෝතිෂ කටයුතු වෙත පෙලඹීම සාමාන්‍ය ස්වභාවයකි. මෙසේ ‘සාස්තර’ කියන ස්ථානයකට ගිය බණ්ඩාරනායක පවුලේ ඇත්තන්ට සාස්තරකරු කීවේ මාරාන්තික අපල කාලයක් අගමැතිතුමා වෙත උදා වී ඇති නිසා එම අසීරු කාලසීමාව ගත වෙන තුරු රටින් බැහැරව සිටින්නේ නම් මෙම අපල උපද්‍රව පිටු දැකිය හැකිවනු ඇති බවය.


මෙම උපදෙස් ලැබීමට ප්‍රථම අගමැතිතුමා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයට සහභාගී වීම සඳහා නිව්යෝක් යාමට තීරණය කර තිබුණේ එයින් රටට ලබා ගත හැකි උපරිම වාසිය අත්කර ගැනීමේ අභිප්‍රායෙන් යුතුවය. කෙසේ වුවත් මෙම අපල උපද්‍රව පිළිබඳ කතාව නිසා අගමැති පවුලේ අයද විදේශගත වීම සම්බන්ධයෙන් අගමැතිවරයා උනන්දු කළහ. සියලු කටයුතු සූදානම් විය. අගමැති විදේශ ගත වීමකදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නීතිමය කටයුතු සපුරාලීම සඳහා වැඩබලන රාජ්‍ය නායකයෙකු පත්කිරීමට අවශ්‍ය විය. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍ය විජයානන්ද දහනායක මහතා නම් කෙරුණි. ගමනට පිටත්වීම යෙදී තිබුණේ සැප්තැම්බර් 28 වැනි දිනටය අගමැතිතුමා ඒ ගමනට අවශ්‍ය අනෙකුත් සෑම දෙයක්ම සම්පාදනය කරමින් සිටියේය. රාජ්‍ය කටයුතු සම්බන්ධ අවශ්‍ය දේ අග්‍රාමාත්‍ය ලේකම් බ්‍රැඞ්මන් වීරකෝන් මහතා ඉටු කරමින් සිටියේය.


සැප්තැම්බර් 25 වැනිදා උදාවිය. අගමැති ඝාතනය කිරීමට සැලසුම් කළ අය ඉක්මන් වූහ. එය නිසි පරිදි ක්‍රියාත්මක විය. එම විස්තර නිතර කියවුන නිසා කව්රුත් දනිති. එදින උදය කාලයේ තල්දූවේ සෝමාරාම නමැත්තා විසින් තබන ලද වෙඩි පහර කීපයකින් මාරාන්තික තුවාල ලැබූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා පසු දින උදේ 7.55ට සිය ජීවන ගමන නිමා කළේය.


එක්සත් ජාතීන්ගේ 14 වැනි සමුළුවට පිටත් වීමට එතුමාට හැකියාව ලැබුණා නම් මෙම ඛේදජනක මරණය වළක්වා ගත හැකිව තිබුණු බව බොහෝ දෙනා කියනු ඒ යුගයේ මමද අසා ඇත්තෙමි. එහෙත් දෛවය අනුව කාරණ කටයුතු සිදු වන්නේ සැලසුම් කරන ආකාරයට අනුව නොවේ. කළ යුතු හා කළ හැකි එකම දෙය වන්නේ මැරෙන බව දැනගෙන ජීවත්වීම පමණකි. එක්සත් ජාතීන්ගේ හැත්තෑ දෙවැනි මහා සමුළුව පැවැත්වෙන මෙම වකවානුවේ එදා එහි යාමට සිටි අපේ රටේ අගමැතිතුමාට සිහිවුණේ අහම්බයකින් නොවේ. මෙම ප්‍රවෘත්තියේ ඓතිහාසික මෙන්ම කාලීන වටිනාකමද සැලකිල්ලට ගිනිමිනි.

 

 

 

 

සෝමසිරි වික්‍රමනායක