එජාපය තිගැස්සු පිටගම්කාරයා


 

 

 

“සිර බාරයට පත්වී රැකවරණ පිට
ලංකා - ඉන්දියා යන දෙරටෙහිම සිට
සිය බළඇණිය මෙහෙයන රතු කොඩිය යට
විස්මය ජනක මිනිසෙකි කලඹවන රට”
 
කොළඹ යුගයේ ජනප්‍රිය කවියෙකු වූ කපිල සෙනෙවිරත්නයන් විසින් සංස්කරණය කළ “සුවඳ” කවි සඟරාවේ 1947 පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් ජයගත් මන්ත්‍රීවරුන් පිළිබඳ නිකුත් කළ “සුවඳ විශේෂ පාර්ලිමේන්තු කලාපය” කාව්‍ය සංග්‍රහයේ ඉහත කවියෙන් හඳුන්වාදී තිබුණේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා පිළිබඳවය.
 
ලංකා සම සමාජ පක්‍ෂයේ ප්‍රථම සහ එකම සභාපතිවරයා වූ ආචාර්ය කොල්වින් 1947 සිට 1952 දක්වාත්, 1956 සිට 1960 දක්වාත්, වැල්ලවත්ත - ගල්කිස්ස ආසනයේ මහජන මන්ත්‍රීවරයා විය. 1960 සිට 1965 දක්වා දෙහිවල - ගල්කිස්ස ආසනයේ මහජන මන්ත්‍රීවරයා විය.
 
1965 මහා මැතිවරණය සඳහා දෙහිවල - ගල්කිස්ස ආසනය තරග කළ කොල්වින් පරාජයට පත්විය. 1965 මහා මැතිවරණය මෙරට දේශපාලනයේ තීරණාත්මක මැතිවරණයක් බවට පත්විය. 1964 ජූනි මස පිහිටවූ ශ්‍රී.ල.නි.ප. - ල.ස.ස.ප. සභාග රජය රාජාසන කතා ස්තුති යෝජනාවේදී එක් වැඩි ඡන්දයකින් පරාජයට පත්වූයේ එක්සත් ජාතික පක්‍ෂය “පුවත්පත් නිදහස” සඳහා බව පවසමින් ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන් දහහතර දෙනෙකු විපක්‍ෂයට එක්කර ගැනීම නිසාය.
 
1965 මහා මැතිවරණයේ අගලවත්ත ආසනය සඳහා ලංකා සමසමාජ පක්‍ෂයෙන් ඉදිරිපත් වූයේ 1956 සිට මැතිවරණ තුනකින් අඛණ්ඩව ජයගත්  ශ්‍රී.ල.නි.ප - ල.ස.ස.ප. සභාග රජයේ ප්‍රවාහන අමාත්‍ය පදවිය දැරූ අනිල් මුණසිංහය. මෙම මැතිවරණයේදී අගලවත්ත ආසනය සඳහා එක්සත් ජාතික පක්‍ෂය උපරිම මැර බලය යොදා තිබිණි. අනිල් මුණසිංහගේ ප්‍රධානම ආධාරකරුවෙක් එ.ජා.ප. මැරයන් විසින් ඝාතනය කළේය. අනිල් මුණසිංහද මැර බලයට එරෙහිව නැගී සිටි අතර එ.ජා.ප. අභියෝගයන්ට අභියෝගයෙන්ම පිළිතුරු දුනි. එ.ජා.ප. අපේක්‍ෂක ජී. ඩී. ඬේවිඞ් ඡන්ද 15,555ක් ලබා ගනිද්දී ල.ස.ස.ප. අපේක්‍ෂක අනිල් මුණසිංහ ඡන්ද 20,752ක් ලබාගෙන වැඩි ඡන්ද 5197කින් අගලවත්ත මහජන මන්ත්‍රීවරයා ලෙස තේරී පත්විය. 
 
අනිල් මුණසිංහගේ මන්ත්‍රීධුරය අභියෝගයට ලක් කරමින් එ.ජා.ප අපේක්‍ෂකයා විසින් ඉදිරිපත් කළ ඡන්ද පෙත්සමින් ඔහු වරදකරු  බවට පත්වූ අතර සත් වසරකට ප්‍රජා අයිතියද අහිමි කරමින් තීන්දුව දෙන ලදී. මෙම ඡන්ද පෙත්සම් තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප්‍රභ විය.
 
ඒ අනුව අගලවත්ත ආසනයට අතුරු මැතිවරණයක් සඳහා නාමයෝජනා කැඳවිණි.
 
අගලවත්ත අතුරු මැතිවරණය සඳහා ලංකා සම සමාජ  පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස ආචාර්ය කොල්වින් ඉදිරිපත් කිරීමට ල.ස.ස.ප. තීරණය කළේ අගලවත්ත ආසනය සමසමාජ බලකොටුවක්  නිසාය. 1947 මහා මැතිවරණයේදී අගලවත්ත ආසනය ජයගෙන තිබුණේ ලංකා සමසමාජ පක්‍ෂයේ එස්. ඒ. සිල්වා විසිනි. එ.ජා.ප. අපේක්‍ෂක ඩී. ඩී. ඇතුළත්මුදලි ඇතුළු අපේක්‍ෂකයන් පස් දෙනෙකු පරාජය කොට ඔහු ජයගෙන තිබුණි. 1952 මහා මැතිවරණයේදී ල.ස.ස.ප. යට එම අසුන  අහිමි වූයේ “නිදහස් අධ්‍යාපනයේ පියා” ලෙස හැඳින්වූ 1947 මහා මැතිවරණය මතුගම අසුනින් පරාජයට පත් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා එ.ජා.ප. අපේක්‍ෂකයා ලෙස එම අසුනට ඉදිරිපත් වීම හේතුවෙනි.
එහෙත් 1956 මහා මැතිවරණයේදී වැඩි ඡන්ද 12,721 කින් එම අසුන ජයගත් අනිල් මුණසිංහ 1960 මාර්තු මැතිවරණයේදී වැඩි ඡන්ද 3880 කින්ද, 1960 ජුලි මැතිවරණයේදී වැඩි ඡන්ද 6304 කින්ද 1965 මැතිවරණයේදී වැඩි ඡන්ද 5197 කින්ද එම අසුන ජයගත්තේ ලංකා සමාසමාජ පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙනි.
 
අගලවත්ත අතුරු මැතිවරණය 1967 මැයි 17 දිනට යෙදී තිබුණි. ලංකා සමසමාජ පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූ ආචාර්ය කොල්වින් සමග තරඟයට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඬේවිඞ් අප්පුහාමි ඉදිරිපත් කෙරිණි.
 
අතුරු මැතිවරණ සටන ආරම්භයේ සිටම එක්සත් ජාතික පක්‍ෂය සිය සුපුරුදු ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කොට තිබූ අතර ආචාර්ය කොල්වින් පිටගම්කාරයෙකු ලෙස හඳුන්වමින් ගමේ පුද්ගලයා වන එ.ජා.ප. අපේක්‍ෂකයා දිනවන මෙන් මැති ඇමැතිවරු එ.ජා.ප. වේදිකාවක් ගානේ පවසමින් සිටියහ. රාජ්‍ය බලය උපරිම ලෙස අගලවත්ත ආසනයට යොදවා තිබූ අතර එ.ජා.ප. ආණ්ඩුවේ මැති ඇමැතිවරු අගලවත්ත ආසනය තුළ නවාතැන් ගෙන මැතිවරණ සටන මෙහෙය වූහ. 
 
“කොල්වින් පිටගම්කාරයා”යන ප්‍රකාශයට කොල්වින් ප්‍රසිද්ධ වේදිකාවේ දුන්නේ ප්‍රතිවාදීන් නිහඬ කරන පිළිතුරකි. 
 
“සහෝදරවරුනි, ලංකා සමසමාජ පක්‍ෂය වෙනුවෙන් මේ අතුරු මැතිවරණයට ඉදිරිපත් වූ මා පිටගම්කාරයෙකු ලෙස හඳුන්වමින් එක්සත් ජාතික පක්‍ෂය අමුතුම ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යනවා. ඔවුන්ට මා දෙන්නේ එකම පිළිතුරයි. රටේ නිදහස වෙනුවෙන් හිරබත් කාපු, සිරගෙය කඩාගෙන ඉන්දියාවට පැන ගොස් ඉන්දියාවේ නිදහස් අරගලයටත් එක්වුණු මේ කොල්වින් ආර්. ද සිල්වාට අගලවත්තත් එකයි. මගේ ගම බළපිටියත් එකයි. දෙහිවල ගල්කිස්සත් එකයි. මුළු ලංකාවම එකයි කියන එක එක්සත් ජාතික පක්‍ෂයට මම ප්‍රසිද්ධියේ මතක් කරනවා.”
 
ආචාර්ය කොල්වින්ගේ ප්‍රකාශයට ජනතාවගෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි.
 
“සහෝදරවරුනි, තමුන්නාන්සේලා දන්නවා කොමඩු ගෙඩිය ගැන. කොමඩු ගෙඩිය පිටතින් කොළපාට තිබුනට කැපුවට පස්සේ තනිකර රතුපාටයි. අද ආණ්ඩු බලය යොදාගෙන අගලවත්තේ  කොළපාට ප්‍රදර්ශනය වුණාට මැයි 17 වැනිදා ඡන්දයෙන් පස්සේ මුළු අගලවත්තම නැවතත් රතුපාටයි.”
 
ඒ ආචාර්ය කොල්වින්ගේ තවත් ප්‍රකාශයකි.
 
මැතිවරණය ආරම්භ කළ දින සිටම එක්සත් ජාතික පක්‍ෂය කොල්වින් පරාජය කිරීම සඳහා සියලු උපක්‍රම යොදමින් සිටියහ. අවසන් උත්සාහය වූයේ වෙඩි තබා මැතිවරණ සටන අඩපණ කිරීමය. ඒ සඳහා ප්‍රදේශයේ මත්පැන් ලෝලී ගණන් කාරයකු යොදා ගත්තේය. 
 
මැතිවරණයට ඇත්තේ තව දින කිහිපයකි. සටනේ උණුසුම් අවස්ථාව එළඹී ඇත. මැතිවරණ රැස්වීම් ගණනාවකට සහභාගි වූ කොල්වින් රාත්‍රී තානායම බලා යමින් සිටියේ පාළු මාවතක් ඔස්සේය.
 
කොල්වින් පිටුපස අසුනේය. මෝටර් රථයේ ඉදිරිපස අසුනේ රියැදුරු සමග “සමසමාජය” පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයෙකුවූ සෝමපාල ඉලේපෙරුමය. බීමත් පූද්ගලයෙකු තුවක්කුවක් එල්ල කරගෙන මහ පාර මැද සිටියි. රියැදුරු රිය නතර කළේය.
 
“ ඇයි නැවැත්තුවේ?” පිටුපස අසුනේ අඩ නින්දෙන් අවදිවූ කොල්වින්ගෙන් ප්‍රශ්නයකි.
 
“සහෝදරයා, කව්ද බේබද්දෙක් වැනි වැනී තුවක්කුවක් එල්ලකරගෙන පාර මැද්දේ. අපි හරවාගෙන යමු.”ඉලේපෙරුම පවසයි.
 
“ආපහු හරවාගෙන යන්න. සහෝදරයට පිස්සුද? අද ආපහු හරවාගෙන යන්න පුළුවන්. එතකොට හෙට?”කොල්වින් මෝටර් රථයේ දොර හැරගෙන බැස්සේය.
කොල්වින්  තුවක්කුව රැගෙන සිටි පුද්ගලයා ඉදිරියට ගමන් කරයි.
 
 “සහෝදරයා, මොකක්ද මේ කරන්නේ ? මේ යකාගෙන් වෙඩි කන්නද?” ඉලේපෙරුම අසයි. 
 
ඉලේපෙරුමට කළ හැකි දෙයක් නැත. ඔහුද රථයෙන් බැස කොල්වින් පිටුපස ගමන් කරයි. රියැදුරුද රථයෙන් බැස ඔවුන් දෙදෙනා සමග ගමන් කරයි.
 
තුවක්කුව අතැති පුද්ගලයා  අසලට ගිය කොල්වින් කිසිදු කථා බහකින් තොරවම ඔහු අත තිබූ තුවක්කුව උදුරාගෙන මෝටර් රථයේ පිටුපස අසුනට විසි කොට ඔහුද රථයට නැග්ගේය. බේබදු තුවක්කුකරු පැන දිවීය.
 
තානායමට ගිය කොල්වින් රාත්‍රී ආහාරය ගෙන කාමරයට ගියේ නිදාගන්නටය. ඉලේපෙරුම කොල්වින්ගේ කාමරය ඉදිරිපිට ඇඳක් දමා නිදන්නට සැරසුණා පමණි. කව්ද පුද්ගලයකු ඔහු අබියසය.
 
“කොල්වින් මහත්තයා හම්බවෙන්න පුළුවන්ද?”එම පුද්ගලයා අසයි.
 
“මේ මහා රෑ මොකටද? එයා හම්බ වෙන්නේ” ඉලේපෙරුම ප්‍රශ්න කරයි.
 
“අනේ මහත්තයෝ කොල්වින් මහත්තයා මගේ තුවක්කුව උදුරාගෙන ආවා. තුවක්කුව අයිතිකාරයා ඒක ඉල්ලලා මාව මරන්න හදනවා” ඔහු පිංසෙණ්ඩු වෙයි ඉලේපෙරුමට පැය කිහිපයකට පෙරවූ සිදුවීම සිහිපත් වෙයි.
 
“දැන් ඒ මහත්යා නිදි. හෙට උදේ එනවා” ඉලේපෙරුම පවසයි.
 
“අනේ මහත්තයෝ, තුවක්කුව නැතිව මට ඉන්න හම්බ වෙන්නේ නැහැ.”ඔහු බැගෑපත් වෙයි. කාමරය ඇතුළේ සිටි කොල්වින් “මොකක්ද? ප්‍රශ්නේ” අසමින් එළියට පැමිණෙයි.
ඉලේපෙරුම විස්තර පැවසූ පසු කාමරය තුළට ගිය කොල්වින් තුවක්කුවද රැගෙන එළියට පැමිණියේය.
 
“මොකටද තමුසෙ තුවක්කුවක් තියාගෙන පාර මැද්දේ හිටියේ?” කොල්වින්ගෙන් ප්‍රශ්නයකි.
 
“අනේ හාමුදුරුවනේ, මට සමාවෙන්න හාමු මට තුවක්කුවක් දීලා ඔබතුමාට වෙඩි තියන්න කිවුවා.”
 
“තමුසෙට ගාස්තුවක් දුන්නද?” කොල්වින්ගෙන් තවත් ප්‍රශ්නයකි. 
 
“හොඳටම රා බොන්න දුන්නා”
 
“ රා ටිකකට මිනී මරන්න ලැජ්ජා නැද්ද  මනුස්සයෝ. මීට පස්සේ ඔය හාමුලාගෙ කීම්වලට වැඩ කරලා නිකරුණේ අමාරුවේ වැටෙන්න එපා” කොල්වින්ගෙන් තද  අවවාදයකි.
ඔහු කොල්වින්ගේ දෙපා මුල වැඳ වැටෙයි. “සර්, මගේ ඡන්දෙ දෙන්නෙත් සර්ට තමයි. සර්ගේ මනුස්සකම නිසා මම බේරුණා” ඔහු තුවක්කුවද රැගෙන පිටව ගියේය.
 
1967 මැයි 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ අගලවත්ත අතුරු මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්විය. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව මුළු රාජ්‍ය බලයම යොදා, කොල්වින් පරාජය කරන්නට ගත් උත්සාහය අසාර්ථක විය.
 
ල.ස.ස.ප. අපේක්‍ෂක ආචාර්ය කොල්වින් ඡන්ද 21,081ක් ලබාගත් අතර එ.ජා.ප. අපේක්‍ෂක ඬේවිඞ් අප්පුහාමි ඡන්ද 20,738ක් ලබා තිබුණි. ඉතාමත් තියුණු සටනකින් පසු වැඩි ඡන්ද 343කින් අගලවත්ත මහජන මන්ත්‍රීවරයා ලෙස පත්වූයේ මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළ “කොමඩුගෙඩියේ” උදාහරණය යථාර්ථයක් බවට පත් කරමිනි.
 
1967 මැයි 17 වැනිදා වැඩි ඡන්ද 343 කින් අගලවත්ත මන්ත්‍රීවරයා වූ ආචාර්ය කොල්වින් ඊට වසර තුනකට පසු 1970 මැයි 27 වැනිදා පැවැති මහා මැතිවරණයේදී ඡන්ද 25,164ක් ලබා ගනිමින් යළිත් අගලවත්ත අසුන ජයගත්තේ වැඩි ඡන්ද 5186ක් ලබා ගනිමිනි.
 
 
 
 
ඊ. එල්. ජයන්තද සොයියා
ඡායාරූපය අන්තර්ජාලයෙනි