එජාපයෙන් බිහිවුණ එජාපයට ගිය ශ්‍රීලනිප ලේකම්වරු


අත අතට පත් ලේකම්වරු - 06

 

 

 

 

සෝමසාර දසනායක මහතාගෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයට පත් කරනු ලැබුවේ ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතාය.


තමා පිළිගත් දේශපාලන පිළිවෙත වෙනුවෙන් ආත්ම පරිත්‍යාගයෙන් වුවද කටයුතු කිරීමට පසුබට නොවන එඩිතර හා ක්‍රියාශීලී දේශපාලනඥයෙකු වූ ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා මෙරට දේශපාලනයේ විරල ගණයේ චරිතයකි. නායකත්වය විසින් භාරදෙනු ලබන කුමන අන්දමේ හෝ අභියෝගයක් භාර ගැනීමට කිසිසේත් පසුබට නොවන ඒ මහතා තමාගේ පැවැත්ම, තමාගේ දේශපාලන පැවැත්ම, ගැන හෝ වෙනත් පෞද්ගලික වාසි අවාසි ගැන හෝ දෙවරක් නොසිතා පක්ෂය ජයග්‍රහණය කරවීමේ එකම අභිප්‍රායෙන් යුතුව ඉතා අසීරු අභියෝග භාරගැනීමට එඩිතර වූවේය.


ආගම, භාෂා සාහිත්‍යය, ඉතිහාසය, ආණ්ඩු ක්‍රමය ආදී නොයෙකුත් ක්ෂේත්‍රයන් ගැන මනා දැනුමකින් යුතු ඔහු චතුර කථිකයෙකි. රටේ ඉහළ පෙළේ විද්‍යාලවල කීර්තිමත් ආචාර්යවරයෙකු ලෙසද සේවය කළ ඔහු කලක් තිස්සේ ජනමාධ්‍ය ඔස්සේ ජනතාව දැනුම්වත් කිරීමේ කාර්යයෙහි ද නියැළුණේය.


ගම්පොළ ජිනරාජ විද්‍යාලයේ ගුරුවරයකු ලෙස වෘත්තීය ජීවිතය ඇරැඹූ ඔහු දේශපාලන තරග බිමට පිවිසියේ අත්තනගල්ල ආසනයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් තරග කිරීමෙනි. එවර පරාජයට පත්වුවත් ඒ මහතා අධෛර්යයට පත්වූවේ නැත. පසුව එම පක්ෂයේ ඇතිවූ අර්බුදයක් නිසා එජාපයෙන් ඈත්වීමට ඒ මහතාට සිදුවිය. 1973 දී ජේ. ආර්. ජයවර්ධන මහතා එම පක්ෂයේ නායකත්වයට පත්වීමෙන් පසු එවකට පැවති රජය 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීමේදී තම නිල කාලය වසර දෙකකින් දීර්ඝ කර ගැනීමට විරුද්ධත්වය පෑමක් වශයෙන් තම දකුණු කොළඹ ආසනයෙන් ඉල්ලා අස්වී අතුරු මැතිවරණයකට මග සැලසුවේය. එදා පැවති දේශපාලන වාතාවරණය අනුව ජේ. ආර්. ජයවර්ධන මහතාට එරෙහිව කිසිදු පක්ෂයකින් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවන පසුබිමක් ගොඩනැගී තිබුණි. ජයවර්ධන මහතාගේ දේශපාලන ස්ථාවරත්වය එතරම්ම ප්‍රබලව තිබුණි. ජයග්‍රහණයට නොව ඉදිරිපත්වීම සහ සටනක් දීම අවශ්‍යම මොහොතක් ලෙස සලකා ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් සූරියප්පෙරුම මහතා දකුණු කොළඹ අතුරු මැතිවරණයට ඉදිරිපත් වූවේය. 1977 මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් මිනුවන්ගොඩ ආසනයට තරග කළ ඔහු පරාජයට පත්විය. 1990 - 91 වකවානුවේ පක්ෂ මහලේකම් ධූරය දැරූ ඒ මහතා තම වගකීම මනාව ඉටු කළේය. පක්ෂයට ඉතාම දුෂ්කර කාලයක් වූ එසමයේ ඔහු ඉටු කළ කාර්යභාරය 1994 දී පක්ෂය නැවත බලයට ඒමට පිටිවහලක් වූවා නිසැකය.


ශිෂ්‍ය අවධියේ සිටම දේශපාලන කටයුතු ගැන මහත් උනන්දුවක් දැක්වූ අයෙකු සේම තමාගේ වැඩිමහල් සොහොයුරු රත්න දේශප්‍රිය සේනානායක මහතාගේ ආභාසය මත දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ දේශපාලකයකු වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයට පත් ධර්මසිරි සේනානායක මහතා හඳුන්වා දිය හැකිය. ඔහු වමේ මතවාදය පිළිගත් ක්‍රියාකාරිකයකු වශයෙන් කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරය හොබවමින් ශිෂ්‍ය ව්‍යාපාරයේ කටයුතුවල මුලින්ම නියුක්ත වූවේය.


එක් දහස් නවසිය හැටේ ජූලි මැතිවරණයේදී එවකට අග්‍රාමාත්‍යවරයා වූ ඩඞ්ලි සේනානායක මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දැදිගම ආසනයෙන් තරග වැදුණේ රත්න දේශප්‍රිය සේනානායක මහතාය. ඩඞ්ලි සේනානායක මහතාගේ ජනප්‍රියත්වය, පරිණත බව හා සිදුකළ මහජන සේවය පිළිබඳව සලකන විට දැදිගමට නවකයෙකු වූ රත්න දේශප්‍රිය සේනානායක තරග වැදීම අහසට පොළව මෙන් තරගයක් වීම බොහෝදෙනා අපේක්ෂා කළ ප්‍රතිඵලය විය. එහෙත් රත්න දේශප්‍රිය සේනානායක මහතා පරාජය වූවේ ඡන්ද 1657 ක්වූ සුළු වැඩි ඡන්ද ගණනකිනි. ඒ අනුව රත්න දේශප්‍රිය මහතා ප්‍රබල දේශපාලන ප්‍රතිරූපයක් බවට පත්වූවේ නිරායාසයෙනි. 1970 මහා මැතිවරණයේදී ඔහු තරග වැදුණේ රජයෙන් ඉවත්ව ආණ්ඩුව පෙරළීම සඳහා ඡන්දය පාවිච්චි කළ ශ්‍රීලනිපයේ දෙවැන්නා වූ සී. පී. ද සිල්වා මහතාට විරුද්ධවය. එහිදී ජයගත් සේනානායක මහතා මින්නේරිය මන්ත්‍රීවරයා ලෙස පමණක් නොව අගමැතිනිය යටතේ පැවති සැලසුම් සහ ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති ධූරයද දැරීය.


සිය වැඩිමහල් සොහොයුරා වූ රත්න දේශප්‍රිය සේනානායක මහතා දැදිගම ආසනයෙන් මින්නේරිය සටනට මුහුණ දෙද්දී දැදිගම සංවිධායක ධූරය භාර වූවේ ඔහුගේ බාල සොහොයුරා වූ ධර්මසිරි සේනානායක මහතාටය. ඒ අනුව 1989 දී කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා වශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. පක්ෂයේ නායකත්වයට ඉතා ගෞරවාදරයකින් යුතුව කටයුතු කරන මෙම දක්ෂ දේශපාලනඥයා කෙරෙහි විශ්වාසය තැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව සහ මධ්‍යම කාරක සභාව 1991 දී පක්ෂයේ ලේකම් ධූරයට ධර්මසිරි සේනානායක මහතා පත් කර ගනු ලැබීය. එතැන් සිට එම ධූරයේ කටයුතු ඉතා සාර්ථක අන්දමින් සංවිධානය කිරීමට ඔහු සමත් වූවේය. ඉතා කාර්යශූර සංවිධායකුයකු වූ සේනානායක මහතා 1970 - 77 රජය සමයේ ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ඉටු කළ මහඟු කාර්යභාරය සුවිශේෂ වේ. එවකට ඉතා සුළු මට්ටමකින් පැවති මෙරට සංචාරක ව්‍යාපාරය ඉහළ තලයකට දියුණු කර ජාතික ආදායමට විශාල ධනයක් එකතු කරවීමට ඔහු සමත් විය.
එක් දහස් නවසිය අනූ හතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එම රජයේ ජනමාධ්‍ය, සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ධූරයට පත්වූවේය. බොහෝ මතභේදයට තුඩුදෙන ක්ෂේත්‍රයක් වූ ජනමාධ්‍ය කටයුතු ඉතා මැනවින් පාලනය කර ගනිමින් ජනමාධ්‍යවේදීන් සමග ඉතා සමීප සුහද මිත්‍රත්වයක් පවත්වා ගනිමින් විශිෂ්ට සේවාවක් කිරීමට සේනානායක මහතා සමත් විය.
නිතර සිනාමුසු මුහුණින් යුතුව විහිළු තහළු පවසමින් සුහද කතා බහින් යුතුව කවුරුන් සමග වුවද කටයුතු කිරීම ඒ මහතාගේ පුරුද්ද විය. අධිනීතිඥයෙකු වුවද අධිකරණයේ පෙනී සිටිමින් මුදල් ඉපයීමට උනන්දු නොවූ ධර්මසිරි සේනානායක මහතා පූර්ණකාලීන දේශපාලනයෙහි නිරතවෙමින් සිටියදී හදිසියේම අභාවප්‍රාප්ත වූවේය. එතුමාගේ හදිසි අභාවය පිරිමැසිය නොහැකි පාඩුවක් වූවා නිසැකය.


ඔහුගෙන් පසු ශ්‍රීලනිප මහ ලේකම් ධූරයට පත්වූවේද ශිෂ්‍ය දේශපාලන ක්‍රියාකාරකම්වලට නායකත්වය දෙමින් කරළියට පැමිණි ඇස්. බී. දිසානායක මහතාය.


එක් දහස් නවසිය අසූ නවයේ මහා මැතිවරණයේදී ශ්‍රීලනිපය නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් තරග වැදී ජයග්‍රහණය ලබා ඔහු පාර්ලිමේන්තුවට පත්වූවේය. පහසුකම් අඩු දිස්ත්‍රික්කයක්වූ නුවරඑළියත් තමාගේ පක්ෂ සංවිධාන කොට්ඨාසය වූ හඟුරන්කෙත ආසනයත් සංවර්ධනය කිරීම සඳහා විශාල උනන්දුවකින් කටයුතු කළේය. 1994 වසරේදී නැවතත් ව්‍යවස්ථාදායකයට පත්වූ ඒ මහතා තම සහෝදර ජනතාවට සේවය කිරීමට අවස්ථාවක් ලබාගනිමින් ක්‍රීඩා යෞවන කටයුතු ග්‍රාම සංවර්ධන සහ සමෘද්ධි ඇමතිවරයා ලෙස පත්වීම් ලැබීය. ඔහු විසින් ආරම්භ කරන ලද සමෘද්ධි ව්‍යාපාරය වර්තමානය වන විට රට පුරා පැතිරුණු විශාල මූල්‍ය ශක්තියකින් යුතු ආයතන ව්‍යුහයක් බවට පත්ව ඇත.


දේශපාලන ජීවිතයේ නොයෙකුත් කුණාටු සුළි සුළං හමා ඒම සාමාන්‍ය සිද්ධියකි. එසේම දේශපාලන අටලෝ දහමටද එය අනුගතය. ජය පරාජය යස අයස නින්දා ප්‍රශංසා යන කොයි දේටත් ඔරොත්තු දෙන ආකාරයේ ගැඹුරු චරිතයක් වූවේය. එවැනි දේශපාලන සුළි සුළඟකට හසුවීමෙන් පසු 2010 දී නැවතත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් එම රජයේ උසස් අධ්‍යාපන ඇමති ධූරය භාරගත්තේය.


විවෘතව අදහස් ප්‍රකාශ කරන එඩිතරව දේශපාලනයේ යෙදෙන එස්. බී. දිසානායක චරිතය වර්තමානයේ දී ද විවිධ පාර්ශවයන්ගේ විවේචනයන්ට මෙන්ම ප්‍රශංසාවට ද ලක්වේ.

 

 

 

 


මතු සම්බන්ධයි.

 

 

සෝමසිරි වික්‍රමසිංහ