එජාපයෙන් “අම්මාට” තහංචියක්


 

 

 

1969 දී අපූරු ගුවන්විදුලි ගීත නාටකයක් නිෂ්පාදනය කෙරිණි. එහි නම “අම්මා”ය. පිටපත් රචකයා වූයේ සිරිලක පත්තරේ කර්තෘ සරත් කුරේ ය. සංගීත අධ්‍යක්ෂවරයා ප්‍රේමසිරි කේමදාසයන්ය.


මෙහි කිසිදු දේශපාලන අර්ථකථනයක් නොවිණ. මින් නිරූපණය වූයේ අම්මාවරුන්ගේ සැබෑ සංවේදී  බවය. නන්දා මාලනිය හා අමිතා වැදිසිංහ වැනි ප්‍රවීණ ගායන ශිල්පිනියෝද “අම්මා”ට ජීවය දුන්හ. විද්වතුන්ගෙන් මෙන් ශ්‍රාවකයන්ගෙන් ද අම්මාට ඉහළ ප්‍රතිචාර ලැබිණි.


“කේමදාස මාස්ටර් ධර්මසිරි ගමගේ නමැති උසස් ගීත රචකයා, හඳුන්වා දී වසර දහයකට පස්සේ සරත් කුරේ නමැති අපූර්ව ගීත රචකයා හඳුන්වලා දුන්නා” ප්‍රවීණ සිනමා විචාරක ජයවිලාල් විලේගොඩ වරක් පත්‍රයකට කියා තිබිණි. එහෙත් මෙම නිර්මාණය දෙස දේශපාලන ඇසින් බැලූ පිරිසක් ද සිටි බව ඔවුහු නොදත්හ.
මෙම වකවානුවෙහි රට පාලනය කළේ එක්සත් ජාතික පක්ෂයයි. 1969 දී “අම්මා” ගීත නාටකය තුළින් මව් ගුණ ඉස්මතුවීම නිසා විපක්ෂයට වාසිදායක වාතාවරණයක් උදාවන බවට මෙම පිරිස තර්ක කළහ.


ඒ විපක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1970 මහ මැතිවරණයට මුහුණදීමට පසුබිම සකසමින් සිටි වකවානුව බැවිනි.
ගීත ලියූ සරත් කුරේ සිරිලක පත්තරේ ප්‍රධාන කතුවරයා වූ අතර, ප්‍රේමසිරි කේමදාස සමාජවාදි හැඟීම් මනාව තේරුම් ගත්තෙකි. එම ගීත නාටකය ගුවන් විදුලියේ ඉදිරිපත් කළ සරත් විමලවීර නම් එක්සත් ජාතික පක්ෂ හිතවාදියකු ලෙස සැලකිනි.
ප්‍රවීණ නිවේදකයකු වූ ආනන්ද සරත් විමලවීර දේශපාලන කරණමක් ගැසීමට යන්නේ යැයි ඇතැම්හු පාලකයන්ට කේලාම් කියන්නට ඇතැයි හැඟේ. මෙම මතවාදී සීතල යුද්ධය නිසා දෝ හොඳින් ප්‍රතිචාර ලබමින් සිටි “අම්මා” ගීත නාටකය ගුවන්විදුලිය තුළ නිහඬ විය. එය ගුවන්විදුලි සංරක්ෂණාගාරයට සීමා විය. කවුරුත් එය ප්‍රචාරය කිරීමට බිය වූහ.
අම්මා ගීත නාටකය අගය කළ එක් පුද්ගලයකු වූ හඞ්සන් සමරසිංහ එහි පිටපත් මුද්‍රණය කර මහින්ද අල්ගම හරහා සරත් කුරේට ලබා දුන්නේය. මව සහ දරුවා අතර සනාතන සම්බන්ධය මනාව නිරූපණය වන අම්මා ගීත නාටකය අගයමින් චන්ද්‍රමඬල යට ගුවන් විදුලි වැඩසටහනේදී සමන් අතාවුදහෙට්ටිගෙන් ඊට හොඳ ප්‍රතිචාරයක් ලැබිණ.
“මේ රටේ වාමාංශික කඳවුරේ ලොකුම දෙදරීම ඇති වුණේ 1963 දී චීන හා සෝවියට් යනුවෙන් දෙපිලට බෙදීම නිසයි. ලෝක සමාජවාදී කඳවුරේ ප්‍රමුඛයා ලෙස සෝවියට් දේශය සැලකුණු අතර, ජනගහනයෙන් විශාලතම කඳවුර ලෙස චීනය සැලකුණා. එතෙක් ලෝක බලවතුන්ව සිටි ඇමරිකාව හා සෝවියට් දේශයට අමතරව චීනය පෙරට ආවා”
සරත් කුරේ තම අත්දැකීම් මෙසේ විස්තර කළේය. “1956 දී උතුරු හා දකුණු ලෙස කොරියාව බෙදී වෙන්වුණා. ඔවුන්ගේ බෙදීම් රේඛාව ලෙස පැන්ටුන්ජම් ප්‍රදේශය හැඳින්වෙනවා.”
“අපේ වමේ තරුණ කණ්ඩායම වෙනුවෙන් මා උතුරු කොරියාව දෙසින් එම ප්‍රදේශයට ගිය දවස අද වගේ මතකයි. ගරුඩා ගුවන් යානයෙන් රත්මලාන ගුවන් තොටුපොළෙන් තමා ඒ ගමන ගියේ. උතුරු කොරියානු ජාත්‍යන්තර පත්‍රකලාවේදී සංගමය තමයි අප නියෝජනය කළේ.”


මේ දිනවල වියට්නාමයේ සමාජවාදී නියමුවා වූ හෝචිමිං ගේ මරණය සිදුවුණා. මගේ දේශනයේදී හෝචිමිං පිළිබඳ ශෝකය පළකරන්න අමතක කළේ නැහැ.
නමුත් උතුරු කොරියානු මාධ්‍ය සංවිධායකයන් ඊට විරුද්ධ වුණා. හෝචිමිං ගැන අපේ රටේ සමුළුවකදී කතා කිරීමට අවශ්‍ය නෑ. ඔවුන් පැවසුවා. මෙයින් පෙනී යනවා උතුරු කොරියානු මාධ්‍ය සමුළු සංවිධායකයන් ජාතිකවාදී පිරිසක් බව. සරත් කුරේ පැවසුවේ කලකිරීමෙනි.
1956 දී බණ්ඩාරනායක මැතිදුන්ගේ ප්‍රතිපත්තිවලට ගරු කළ ජනතාව එතුමාට පාලන බලය ලබා දුන් අතර, ඒ වන විට විපක්ෂයේ ප්‍රධාන භූමිකාව රඟපාමින් සිටි ලංකා සමාජවාදී පක්ෂය ප්‍රධාන දේශපාලන කඳවුර ප්‍රබල තත්ත්වයක තිබිණි.
බණ්ඩාරනායක මැතිඳු සමාජවාදියෙකුට වඩා ප්‍රජාතන්ත්‍රවාදියෙක්. එතුමා සමාජවාදී පියවර රැසක් ගත් බවට සමහරු අගය කරන අතර, එතුමා සමාජවාදී වාහකයකු පමණක් බව ඇතැමුන්ගේ මතයක් තිබුණා. එබැවින් එතුමා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියකු බව ඔවුන්ගේ අදහස වුණා.
අගමැති බණ්ඩාරනායක දර්ශනය බුද්ධිමතුන්ගේ සමාජය සමග ගැළපුණ අතර, සිරිමාවෝ මැතිනියට ප්‍රායෝගික තත්ත්වය නුවණ ඇති මව් ගුණයෙන් අනූන සංවේදී කාන්තාවක බව සරත්ගේ මතයයි. විජය කුමාරතුංගයන් සතුව ද මනුෂ්‍යත්වයෙන් පිරි සුහද හදවතක් තිබුණු බව ඔහු අත්දැකීම් තුළින් පවසයි.
හිටපු කෘෂිකර්මාන්ත ඇමැති හෙක්ටර් කොබ්බෑකඩුව සුන්දර මිනිසෙකි. 1982දී ජේ. ආර්. සමග ජනාධිපතිවරණයේදී තරග වැදුණු එතුමාට පක්ෂය තුළින් ද විරුද්ධවාදීන්ගෙන් ද නොයෙකුත් අභියෝග හා කෙණෙහිලිකම් එල්ල විය.

 

 


“ලස්සන නහයක් තිබිලා මදි. හොඳ මොළයකුත් තිබිය යුතුයි” ජේ.ආර්. තම ප්‍රතිවාදියාට සමච්චල් කළේය. විධායක ජනාධිපති ධුරය දරද්දී වරක් ජේ. ආර්. ජයවර්ධන මහතා බැංකු සේවා සංගමයේ නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡා කිරීමට ඉඩ සැලසිණි.
“තමුන්නාන්සේලම කියමුකො බලන්න විධායක ජනාධිපති විධියට මට මොනවද කරන්න බැරි?”
සාකච්ඡා මේසය පුරා නිහඬතාව පැතිරිණ. අන්තිමේදී එක් නිර්භීත නිලධාරියකු හඬක් නැගුණි.
“සර්ට බැරි මිනිහෙක් ගෑනියෙක් කරන්නත්, ගෑනියෙක් මිනිහෙක් කරන්නත් විතරයිනේ.” ඊට ජේ. ආර්. ට කේන්ති යතැයි ඔවුහු බිය වූහ. එය එසේ නොවීය.
“අන්න හරි” ජේ. ආර්. සැහැල්ලුවෙන් සිනාසුණේය. පසුදා උදෑසන පැවැති ජනහමුවකදී ජේ. ආර්. මෙසේ පවසා තිබුණි. “ව්‍යවස්ථාවෙන් කරන්න බැරි ගෑනියෙක් මිනිහෙක් කරන්නත්, මිනිහෙක් ගෑනියක් කරන්නත් පමණයි.”
ජේ.ආර්.ගේ පාලන සමයේ සරත් කුරේ දිනකර පුවත්පතේ සේවය කළේ දිවංගත මාධ්‍යවේදී යාපා කරුණාරත්න සමගය. යාපා සමග ජේ. ආර්. දුරකථනයෙන් කරන කතාබහ ඔහුට ඇසේ. ඔවුහු මිතුරෝය.
“ජේ. ආර්. අපේ රටේ පත්තරකාරයන් සමග එතරම් සමීප සම්බන්ධතාවක් පැවැත්වුවේ නැහැ. එතුමා ඇසුරු කළේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සමගයි. ඒත් හිත්ගත්ත පත්තර කතුවරුන් සමග කතා බහ කළා.”

“වප්මගුල් උළෙල දවසේ ජේ. ආර්. ඇතුළු යූ.එන්.පී. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සී සාන්නට කුඹුරට බැස්සේ ගොවීන් ලෙස වෙස් මාරු කරගෙනයි. ජටාව බැඳ උඩුකය නිරුවත්ව අමුඩය ගසාගෙන මඩට බැස්ස මේ පිරිසගේ දසුන ගැමියන්ට මහත් විනෝදයක් වුණා.
ඊ. එල්. සේනානායක වැනි උඩරට ප්‍රභූ ඇමැතිවරු කළු කණ්ණාඩි දමාගෙනයි මීහරක් දැක්කීමට සැරසුණේ.
මේ අත්භූත ගොවියන් දුටු මීහරක් රංචු කුලප්පු වී පෙරළි කළ බව ඒ දිනවල පත්තරවල පළ වුණා. ඇත්ත, දිනකර වැනි විපක්ෂ පුවත්පත්වල දැවැන්ත ඡායාරූප පළකමින් බටහිර පන්නයේ ධනවාදී දේශපාලනයන්ව සමච්චලයට ලක් ය කළා.
ඒ දිනවල වඩාත්ම ජනප්‍රිය ඡායාරූපයක් වුණේ ජනාධිපති ජේ. ආර්. අමුඩය පිටින් සී සාන දර්ශනයයි. මෙය නිතර නිතර දිනකර පුවත්පතේ මුල පිටේ පළවුණා. ජේ.ආර්.ගේ සාමාන්‍ය වාර්තාවත් ගැන පළකිරීමේදී මෙම පින්තූරය පළකිරීම සිරිතක් වුණා.
ජේ. ආර්. කොයි මොහොතක හෝ ඔහුට අපහාස කළේ යයි පත්තරයට එරෙහිව කටයුතු කරනු ඇතැයි දිනකර කර්තෘවරුන්ගේ යටි හිත් කීවේය. එබැවින් අවශ්‍යතාවකදී පමණක් ජේ. ආර්. ගේ අමුඩ පින්තූරය පළකිරීමට තීරණය කරන ලදී.


දිනක් රාත්‍රී යාපා කරුණාරත්නයන් සමග ජේ.ආර්ව දුරකථනයෙන් කතා කරනු සරත් කුරේ අසා සිටියේය.
“කෝ මගේ අර පින්තූරෙ පළකරන්නෙ නැත්තෙ ඇයි?” ඇසීය.
“මොන පින්තූරෙද ජනාධිපතිතුමා?”
“අර වප් මඟුළෙදි ගත්ත පින්තූරෙ.”
“ඒක ඔබතුමාට හොඳ නෑ කියලා අපි හිතුව”
“පිස්සුද අයිසෙ. ඒක තමයි මං කැමැතිම පින්තූරෙ. ඉඩ ලැබෙන හැම වෙලාවෙම ඒක පළකරවනවකො.”
ඒ ජේ. ආර්. ගේ හැටිය. ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා ඊට හාත්පසින්ම වෙනස් මාධ්‍ය ප්‍රතිපත්තියක් දැරීය.


“මා දිනකර පත්තරේ කර්තෘ පදවිය දරද්දී ආණ්ඩුව පිළිබඳ විවේචනාත්මක ප්‍රවෘත්ති විචිත්‍රාංගයක් එහි පළ වුණා. ඒ දිනවල ප්‍රේමදාස මැතිතුමා ජපන් රටේ සංචාරයකට ගිහින් තිබුණා. ඒ නිසා අපි ඒ ගැන වැඩිය කලබල වුණේ නැහැ. අනිත් අතට මගේ හොඳම මිත්‍රයකු වූ එවන්ස් කුරේ මහතා ජනපති ප්‍රේමදාසගේ හිතවතකු නිසයි.
පසුවදා උදේ මා කාර්යාලයට ආ විට මගේ මේසය මත එන්තරවාසි දොළයක් තිබෙනවා දැකලා මට පුදුමයකුත් බියකුත් ඇති වුණා. ජනාධිපතිට දිනකර පත්‍රයේ අපහාසාත්මක ලියැවිල්ලක් පළ වූ බවයි චෝදනාව වී තිබුණේ. මං වහාම එවන්ස් කුරේ මහතා හමුවී ඔහුගේ මැදිහත්වීමෙන් සිද්ධිය සමථයකට පත්කර ගත්තා.”
එතරම් සියුම් මාධ්‍ය සම්බන්ධිකරණයක් ජනපති ප්‍රේමදාසට තිබූ බවත් ඔහු ලොව කුමන තැනක සිටියත් එම පුවත් දැනගන්නට ලැබෙන බවත් සරත් කුරේ පැවසීය.
කෙසේ වෙතත් සරත් කුරේට හෘදයාබාධයක් වැලඳී නවලෝක රෝහලේ නේවාසිකව සිටින විට ජනපති ප්‍රේමදාස මහතා නිතර සුවදුක් විමසමින් උපකාර කිරීමට සැරසුණ බව ඔහුට මතකය.


මුළු තරුණ දිවියම පත්කර කලාවට යොමු කිරීම නිසා සරත් කුරේගේ විවාහ ජීවිතය ද පස්සට ගියේය. විවාහ වන්නට තබා හරිහමන් රැකියා මාර්ගයක්වත් ඔහුට නොවීය. 1971 දී වෙළෙඳ අමාත්‍ය ධුරය දැරූ ටී. බී. ඉලංගරත්න මහතා සරත්  කැඳවීය.
“සරත්ට තවම රස්සාවක් නෑ නේද?” එසේ විමසූ ඉලංගරත්න ඇමැතිවරයා, ඔහුට සළුසල මාධ්‍ය නිලධාරි තනතුර පිරිනැමීය. එහෙත් දිනකර පත්‍රයේ කර්තෘ ධුරයෙන් ඉවත් නොවී දිගටම කාලීන ලිපි තුළින් ආණ්ඩුවේ අඩුපාඩුකම් ඉදිරිපත් කළේය.


මෙසේ විධායක නිලධාරියකු ලෙස කටයුතු කරමින් ආණ්ඩුව විවේචනය කිරීමේ චෝදනාව මත විනය පරීක්ෂණයක් පවත්වා සරත් කුරේ මහතා රාජ්‍ය සේවයෙන් නෙරපා හැරිණ. කම්කරු දෙපාර්තමේන්තුවට කළ අභියාචනයකදී පරාජය විය.


‘ඔහු අවංක කාර්යක්ෂම නිලධාරියෙක්. ඒත් නීතිය කාටත් පොදුයි’. නඩු වාර්තාවේ එසේ සඳහන් විය.

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි