තම පක්ෂයේ ගතානුගතික ප්‍රතිපත්තිවල එල්බගෙන නොසිට ජනතා සුබසෙත සඳහා ඇප කැප වූ මහජන නියෝජිතයන් බොහෝය. මේ අතරින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ තිදෙනෙකු පිළිබඳව සඳහන් කිරීම කාලෝචිතය.
බහුතර කතෝලික පරිසරයක් ඇති කටාන ආසනයෙන් පාර්ලිමේන්තුවට පිවිස වසර 41 ක් නියෝජනය කළ බෞද්ධයකු වූ විජයපාල මෙන්ඩිස් නාත්තන්ඩිය අසුන නියෝජනය කරමින් පොල් කර්මාන්ත සංවර්ධන, අධිකරණ හා විදේශ කටයුතු ඇමති ධුර ඉසිලූ හැරල්ඞ් හේරත් සහ හොරණ ආසනයෙන් දේශපාලනයට පිවිස වැවිලි කර්මාන්ත ඇමති ධුරය දැරූ ඇම්. ඩී. එච්. ජයවර්ධන ඒ තිදෙනාය.
1977 දී බිහි වූ ජේ. ආර්. ජයවර්ධන නම් අගමැතිවරයාගේ කැබිනෙට්ටුව විජයපාල මෙන්ඩිස් හා එම්. ඩී. එච්. ජයවර්ධන යන ඇමැතිවරුන් නියෝජනය කළ අතර හැරල්ඞ් හේරත් කැබිනට් නොවන අමාත්‍යවරයෙකු විය.
1947 දී මීගමුව නගර සභා මැතිවරණයේ දී කුන්ඩන්විල අසුන දිනා උපනගරාධිපති ධුරයට පත් වූ විජයපාල මෙන්ඩිස් නමැති 24 හැවිරිදි තරුණයාගේ අවංක ක්‍රියාශීලීභාවය නිසා ජ්‍යෙෂ්ඨයන්ගේ සිත් දිනාගත්තේය. නගරාධිපතිවරයා මියගිය පසුව එම ධුරයට ඔහු පත්කෙරුණේ ලොව ළාබාලතම නගරාධිපතිවරයා ලෙස වාර්තාවක් තබමිනි.
නගරාධිපති වරප්‍රසාද භූක්ති විඳීමට වඩා ඔහුගේ අවධානය යොමු වූයේ දිගු කලක් තිස්සේ ප්‍රදේශයේ පැවති ජල ගැටලුවටයි. ඔහු මුලින්ම කළේ ජල ව්‍යාපෘතියක් මගින් ජලය බෙදාහැරීම ක්‍රමවත් කිරීමයි. ඊළඟට ඔහු අත තැබුවේ නිවාස අධ්‍යාපන හා මාර්ග සංවර්ධන ගැටලුවලටය.
මෙතෙක් කිසිවකුගේ ඇස නොගැසුණු හා සම්පූර්ණ නොකළ පොදු වැඩ රාශියක් මෙම යුගයේ ද ඔහු අතින් නිමා කෙරිණ. කටාන මීගමුව දිවුලපිටිය වැනි ප්‍රදේශවල පාඨශාලා ගොඩනැගිලි රාශියක් ඉදිකෙරුණු අතර නිවාස 2041 කින් යුත් රද්දොළුගම සිදුව නිවාස සංකීර්ණය මෙන්ම ඇඟලුම් කර්මාන්තශාලා රැසක් මහජන අයිතියට පවරා දුන්නේය.
තම පවුලට සම්බන්ධයක් ඇති අම්බලන්ගොඩ, බළපිටියේ විශාල අඩුපාඩුවක්ව තිබූ බළපිටිය මාදුව දූපත හරහා දැවැන්ත පාලම ද විජයපාල මෙන්ඩිස් ගේ ශක්තියෙන් ඉදිවූවකි. ‘පළමුව ජනතාව දෙවැනිව රෙගුලාසි’ යන ක්‍රමවේදය අනුව දිගට හරහට පොදු සේවයට කැප වූ ඔහුගේ විශේෂත්වයක් වූයේ එම ව්‍යාපෘති සඳහා වූ ප්‍රචාරක පුවරු බොහොමයක ඔහුගේ නම සඳහන් නොවීමයි.
77 - 94 සමයේ බලය අයුතු ලෙස පරිහරණය කිරීම යන චෝදනාව ඔහු වෙත එල්ල වූ අතර ජනාධිපති කොමිසම මගින් ප්‍රජා අයිතිය ද අහෝසි කළ අතර පක්ෂ සාමාජිකත්වය ද තහනම් කෙරිණ.
එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය විජයපාල මෙන්ඩිස්ගේ ක්‍රියාකාරකම් සාධාරණීකරණය කරමින් ඔහු නිදහස් කළ අතර, ප්‍රජා අයිතිය ද වන්දි මුදලක් ද ලබාදෙන ලදී. වසර 41 ක දේශපාලන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කරමින් ස්වාධීන දිවි පෙවෙතක් ගත කළ විජයපාල මෙන්ඩිස් 2012 සැප්තැම්බරයේ දිවියෙන් සමුගත්තේය.
එජාපයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයකු වූ එම්. ඩී. එච්. ජයවර්ධනයන් සතුව ඔහුටම අනන්‍ය වූ ප්‍රතිපත්ති මාලාවක් සේම කිව යුතු දේ මුහුණට කියන පෙරළිකාර පිළිවෙතක් දක්නට ලැබිණ. බටහිර අධ්‍යාපනය ලැබූ නීතිවේදියකු වුවද තැනට සුදුසු ගතිපැවතුම්වලින් ඔහු ගැමි ජනතාව මෙන්ම ප්‍රභූ පැලැන්තිය ද දිනාගත්තේය.
ඔහු විසූ පාදුක්ක නිවසේ දී නිතර හමුවූයේ කොටු සරමකින් හා දැල් බැනියමකින් සැරසුණු අයකු ලෙසය. එහෙත් පාර්ලිමේන්තුවේ දී අංග සම්පූර්ණ බටහිර ඇඳුම ඇන්දේය.
‘රටට ගැළපෙන පරිදි ජනගහනය පාලනය කළ යුතුයි’ යන මතයෙහි පිහිටා උපත් පාලනය සඳහා දිරිදුන් ජයවර්ධනයන්ට දේශපාලන ප්‍රතිවාදීහු චෝදනා පිට චෝදනා එල්ල කළහ. වරක් කොට්ටාවේ රැලියක දී ද මේ ගැන ඔහුගෙන් විමසූහ.
‘මෙන්න මෙයාලගේ අම්මා තාත්තලාටත් ඒකාලේ උපත් පාලන බේත් දුන්න නම් මේ වගේ කරදරකාරයෝ බිහිවෙන්නේ නෑ’ එම්. ඩී. එච්. ඔවුන්ට සැරෙන් කීවේය. සභාවම තූෂ්ණිම්භූත විය.
ජේ. ආර්. ගේ ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා වූ රොනී ද මැල් අය වැය යෝජනා ඉදිරිපත් කරමින් වැවිලි කර්මාන්තය නංවාලීමට ගෙන ආ ක්‍රමවේදය පිළිබඳව එවකව වැවිලි කර්මාන්ත ඇමැති ධුරය දැරූ එම්. ඩී. එච්. එකඟ නොවීය. ඔහු දැඩි ලෙස රොනීගේ අය වැය විවේචනය කළේය.
‘රොනී කතා කරන්නේ හොඳ සිහියෙන් නම් නොවෙයි. එයා ඊයෙ රෑ දැකපු හීනයක් විතරයි’ රොනීට බැණ බැදීම නිසා අසීරුවට පත් වුණේ ජේ. ආර්. ජයවර්ධන ජනපතිවරයාය. අය වැය ප්‍රතිපත්ති රජය තුළම සිට විවේචනය කිරීම තමන්ට ගැසූ අතුල් පහරක් ලෙස ඔහු සිතුවා විය හැකිය.
‘එම්. ඩී. එච්. පාර්ලිමේන්තුවට බෝම්බ ගසයි’
එකල ජනමාධ්‍යවල පළවූයේ එසේය. ඊට ජේ. ආර්. හැරෙන තැපෑලෙන්ම පිළිතුරක් දුන්නේය.
‘එම්. ඩී. එච්. ට අසනීපයක් තියෙනවා. එයාට වහාම ප්‍රතිකාර අවශ්‍යයි’
මෙම වාග් හුවමාරුව දිගින් දිගටම ඇවිළීගිය අතර එම්. ඩී. එච්., ජේ. ආර්. ඉදිරියේදී ද තම ස්ථාවරය වෙනස් නොකළේය.
මෙය කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වය කඩ කිරීමක් යැයි දේශපාලනඥයෝ අර්ථකථනය කළහ. ඒ සමගම එම්. ඩී. එච්. ජයවර්ධන අමාත්‍යවරයා ඉල්ලා අස්වූයේය.
මාධ්‍යවේදීන් සමග ළඟින් ඇසුරු කළ දේශපාලන චරිතයක් වූ ඔහු දේශපාලනයෙන් සමුගැනීමෙන් පසු හිමිදිරියේ බස්තමත් රැගෙන පාදුක්ක - හොරණ පාරේ හෝ ඉංගිරිය පාරේ ඇවිදගෙන යනු සුලබ දසුනක් වූ බව මාධ්‍යවේදිහු පවසති.
දේශපාලනයෙන් හරි හම්බ කර ගත් වස්තුවක් ඔහු සතු නොවූවද ජනතා ප්‍රසාදය නම් ධනය ඔහුට ඇති තරම් හිමි විය. ජේ. ආර්. යුගයේ ආණ්ඩුවේ ප්‍රකාශකයා ලෙස කටයුතු කළේද කැබිනට් නොවූ අමාත්‍යවරයෙකු වූ හැරල්ඞ් හේරත්ය. ආරෝහ පරිණාහ දේහයෙන් යුත් රූමත් පුද්ගලයකු වූ හැරල්ඞ්ගේ බිරිඳ සිංහල සිනමාවේ මුල් යුගයේ නිළියක වූ ලේඛිකාවක ලෙස ඉංග්‍රීසි පුවත්පත් සැරසූ අයේෂා වීරකෝන් මහත්මියයි. හැරල්ඞ් හේරත් මහතා සමග විවාහයෙන් පසු ඇය හඳුන්වනු ලැබුවේ ග්වේන් හේරත් නමින්ය.
මාධ්‍යවේදී කරුණාරත්න අමරතුංගයන් ලියූ සටහනක දැක්වෙන්නේ හැරල්ඞ් හේරත් යනු පුවත් මවන අමාත්‍යවරයෙකු බවයි. කැබිනට් මණ්ඩලයේ රහස් මාධ්‍යයට හෙළි කිරීමට ඔහු තරම් සමතෙකු නොවීය. ‘මේ රටේ පොල් කර්මාන්තය දියුණු කිරීමට නම් දේශීය පොල් පරිභෝජනය අඩු කළ යුතුයි. පොල් පොහොර භාවිතය අඩුවීම අස්වැන්න අඩුවීමට හේතුවයි’
පොල් කර්මාන්ත සංවර්ධන අමාත්‍ය හැරල්ඞ් හේරත්ගේ මෙම කතාව අගට මෙසේද සඳහන් විය.
‘පොහොර නොදමන පොල් ඉඩම් රජයට පවරා ගන්නවා’ යනුවෙනි. මෙම ප්‍රකාශයේ සම්පූර්ණ වගකීම අමාත්‍යවරයා භාර ගත්තේය. මෙම ආන්දෝලාන්තමක ප්‍රකාශය ඇසූ පොල් ඉඩම් හිමියන් මෙන්ද ආණ්ඩුවද කලබල විය. මන්ද පෞද්ගලික අංශයේ දේ රාජ සන්තක කිරීම එජාප රජයේ ප්‍රතිපත්තිය නොවන බැවිනි.
‘යූ.ඇන්.පී. ආණ්ඩුව සමාජවාදයට ගිහින්ද? ලංකා සම සමාජ පක්ෂය ද විමතියට පත් විය. ධනවාදී සමාජය හෙල්ලූ මෙම පුවත ගැන මාධ්‍යවේදීහු ද කලබල වූහ. වහා ඇමැතිවරයා සොයා ගිය ඔවුහු ඒ ගැන පැමිණිලි කළහ.
‘තමුසෙලා කලබල වෙන්න එපා. මගේ ආසනයෙ ඉන්න පොල් ඉඩම්කාරයොත් බය වෙලා මට බණිනවා. මං තමුසෙලාව පාවා දෙන්නෙ නෑ’ අමාත්‍යවරයා පැවසීය. දින කිහිපයක් ජනමාධ්‍ය සිරස්තලවල එම පුවත අර්ථකථනය කරමින් මෙසේ පළකෙරිණ.
‘නිසරු පොල් ඉඩම් රජය තාවකාලිකව පවරාගෙන පොහොර යොදා සශ්‍රික කර නැවත අයිතිකරුවන්ට භාරදීමටත් ඒ සඳහා අමාත්‍යාංශයෙන් වැය වන මුදල ණයකරයක් ලෙස සලකන බවත් කිසිම අයුරකින් ඉඩම් අයිතිය රජය සතු නොකරන බවත් අමාත්‍යාංශය නිවේදනය කරයි’ යනුවෙනි. හැරල්ඞ් හේරත් අමාත්‍යවරයාගේ දේශපාලන ගුරුවරයකු වූයේ හිටපු කතානායකවරයකු වූ දිවංගත ඇල්බට් එෆ්. පීරිස් මහතාය. මේ දෙදෙනාම නියෝජනය කළේ නාත්තන්ඩිය ආසනයයි.
ධීවර ගම්මානවල නිතර ආරවුල් සිදු වන බව නොරහසකි. වරක් එවැනි ආරවුලක් පාර්ලිමේන්තුව දක්වා දුරදිග ගියේය. ඒ හිටපු මහජන නියෝජිත ඇල්බට් එෆ්. පීරිස්ට මෙන්ම එවකට මන්ත්‍රී හැරල්ඞ් හේරත්ට ද දෝෂාරෝපණයට කරමිනි.
‘එතුමා අද ජීවතුන් අතර නැත. වැදගත් මහත්වරුන්ගේ නම් ගෝරිවලට ගාවන්න එපා. අද පත්තරවල කන්ද කෙන්ද කරලා ඔය ගැන ලියාවි. මට ඔය කවුරුත් එකයි. එයාලගෙ ඡන්දෙ ඇතත් එකයි නැතත් එකයි. ඒත් ඔය ආරවුල් දුර දිග යන්නේ නෑ. නත්තල් එන කොට දෙපැත්තම යාළු වෙනවා ෂුවර්’.
තම ඡන්දදායකයන් ගැන අමාත්‍යවරයා සහතික වූයේ එසේය. එපරිදිම නත්තල උදාවත්ම සටන්කාමීහු සමගිසම්පන්නව ජේසු සමිඳාණන් සැමරූහ.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි