එජාපයේ තිඹිරිගෙය


එක්සත් ජාතික පක්‍ෂයට වසර හැත්තෑ දෙකක් සපිරීම නිමිත්තෙන් උත්සවයක් පැවැත්වුණේ මෙම සතියේදීමය. එය රටට ද විශේෂ ප්‍රවෘත්තියකි. වර්තමානයේදීත් පවතින ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වන්නේ එම පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වීමත් බොහෝ කාලයක් ශ්‍රී ලංකාව පාලනය කළ පක්‍ෂයක් වීමත් එයට හේතුපාදක වෙයි.


ශ්‍රී ලංකාවට නිදහස ලබාගැනීම සඳහාත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ලබා ගැනීමේදීත් මෙරටවාසීන් ගෙන ගිය අරගලයේ පෙරමුණු බළ ඇණිය වූවේ ලංකා ජාතික සංගමයයි. 1931 දී ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවාසී ජනතාවට සර්වජන ඡන්ද බලය ලැබීමත් රාජ්‍ය මන්ත්‍රණ සභාවක් පිහිටුවීමත් යන කරුණු දෙක මෙරට ජනතාවට අතිශයින් වැදගත් ජයග්‍රහණයක් වූවේය. 1915 ජාතිභේදවාදී අරගලය අවස්ථාවේදී සුදු පාලකයන් යටතේ මෙරට ජනතාවට සිදුවූ අසාධාරණකම් ගැන සලකා යළිත් එවැනි දේ සිදු නොවීමටත්, ජාතික නිදහස ලබා ගැනීමත් අරමුණු කොටගෙන සර් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ නායකත්වයෙන් මෙම සංවිධානය ගොඩනගාගෙන තිබුණි. ඒ 1919 දීය. එය ලංකාවේ දේශපාලන ක්‍රියාවලියේ මූලිකත්වය ගෙන ක්‍රියා කළ ප්‍රධානම බලවේගය වුවත් දියුණු දේශපාලන ව්‍යාපාරයක පැවතිය යුතු විනයක් සහ ස්ථිර සාර ප්‍රතිපත්ති මාලාවක් මත ක්‍රියාත්මක වූවේ නැත. එහෙත් ජේ. ආර්. ජයවර්ධන මහතා සහ ඩඞ්ලි සේනානයක මහතා ජාතික සංගමයේ සම ලේකම්වරුන් වශයෙන් කටයුතු කරද්දී එවැනි ස්ථාවරයක් යටතේ එය සංවර්ධනය කිරීමට ගත් උත්සාහය අසාර්ථක විය. සංගමයේ සමහර නායකයෝ එහි අපේක්‍ෂකයන්ට විරුද්ධව වෙනත් පක්‍ෂවල හෝ ස්වාධීන කණ්ඩායම්වල අයට මැතිවරණවල දී සහාය දුන්හ. එමෙන්ම ලංකා ජාතික සංගමයේ උසස් නිලතල දැරූ සමහරු තමන්ගේම නායකත්වය යටතේ වෙනත් දේශපාලන සංවිධාන පිහිටුවාගෙන තිබුණි. එය වැරදි බව කොතෙකුත් කියා සිටියත් නිවැරදි කිරීමට ජේ. ආර්. සහ ඩඞ්ලි අසමත් වූහ. පැරණි සාම්ප්‍රදායික නායකයන් එම මතවාදය පිළිගැනීමට අකමැති වූ බැවිනි.


සෝල්බරි කොමිසමේ නිර්දේශය පරිදි යෝජිත වූවේ පාර්ලිමේන්තුවක් සහිත පාලන ක්‍රමයක් විය. එය ජනතාවගෙන් ලබාගන්නා බලය මත තෝරාගන්නා ආණ්ඩුවක් විය යුතු බවට නිර්දේශ වී තිබුණි. එම අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා විධිමත් දේශපාලන පක්‍ෂයක අවශ්‍යතාව පැන නැගුණේය. එම බරපතළ වගකීම දැරීමට ලංකා ජාතික සංගමය ප්‍රමාණවත් නොවන බව එකල සිටි ජනප්‍රධානීන්ට වැටහී ගියේය. එම ප්‍රයත්තනයේ ප්‍රතිඵලය වූවේ ‘එක්සත් ජාතික පක්‍ෂය’ පිහිටුවා ගැනීමයි. එම පක්‍ෂයේ ඉතිහාසය, දේශපාලන ක්‍රියාමාර්ග සහ වසර හැත්තෑ දෙකක ගමන්මග මෙන්ම ඉටු කළ කාර්යභාරය ගැන කොතෙකුත් ලියවී ඇත. මෙම සංවත්සරයේ දී ද ලියැවෙනු ඇත. එහෙත් අපේ ප්‍රයත්නය එය නොවේ. එක්සත් ජාතික පක්‍ෂය පිහිටු වූ දිනය වන 1946 සැප්තැම්බර් 06 වැනි දින සිදුවූ ක්‍රියාපිළිවෙළ නැවත සිහිපත් කිරීමයි.


එදින සවස 5.00 හෝරාව පසුවෙමින් තිබුණි. දිවයිනේ අට කොනින්ම පැමිණි විශාල පිරිසක් කොළඹ ඇල්ෆ්‍රඞ් ක්‍රෙසන්ට් හි ෆාම්කෝට් මන්දිරයට රැස්ව සිටියහ. සමාජයේ විවිධ තරාතිරම්වලට විවිධ ජාතීන්ට නොයෙක් ආගම්වලට අයත් වූ මෙම සියලු දෙනාගේ අපේක්‍ෂාව වූයේ රටට නිදහස දිනාගත හැකි, සුදු අධිරාජ්‍යවාදයෙන් අපේ මාතෘභූමිය නිදහස් වීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදීව සහ විධිමත්ව රට පාලනය කළ හැකි නායකත්වයකින් යුතු දේශපාලන පක්‍ෂයක් පිහිටුවා ගැනීමය.


එහි පැමිණ සිටි පිරිස වූවේ තංගල්ලේ නීතිඥ ඩී. පී. අතපත්තු, දොඩම්ගස්ලන්දේ රොලී ආටිගල, මහනුවර දොස්තර වී. එච්. ඇල්. ඇන්තනීස්, අම්බලන්තොට ගම්කාර්ය සභාපති ඩී. සී. පී. අමරසේකර, ගාල්ලේ ඩබ්ලිව්. ඩී. ඇස්. අබේගුණවර්ධන, යාපනයේ නීතිඥ ඇස්. ඇම්. අබුබකර්, මොරටුවේ රාජ්‍ය මන්ත්‍රී තෝමස් අමරසූරිය, රාජ්‍ය මන්ත්‍රී එච්. ඩබ්ලිව්. අමරසූරිය, නාගරික මන්ත්‍රී කේ. ආදමලි, රාජ්‍ය මන්ත්‍රී සයිමන් අබේවික්‍රම, ත්‍රිකුණාමලයේ ඒ. ඇම්. අබුබකර්, මාතර නීතිඥ ඊ. වයි. ඩී. අබේගුණවර්ධන, කොළඹ අධිනීතිඥ එච්. ඇම්. අමිට්, නීතිඥ සී. පී. ජී. අබේවර්ධන, කොළඹ දොස්තර නිකුලස් ආටිගල, කොළඹ ඇම්. එච්. අහමඞ්, කොළඹ නීතිඥ ඒ. සී. එම්. අබ්දුල් කාදර්, යාපනයේ ඇස්. අඩිචලිංගම්, යාපනයේ අධිනීතිඥ ඇම්. ඇම්. අබ්දුල් කාදර්, යාපනයේ ව්‍යාපාරික ඇස්. ඇම්. අබ්දුල් කාදර්, කොළඹ ජේ. ඩී. ආශිර්වාදම්, මතුගම ඩී. ඩී. ඇතුළත් මුදලි, මාතර වී. සී. ඩී. අබේගුණවර්ධන, මීගමුවේ ඩී. ඒ. අබේසිංහ, ගොකරැල්ල ගම්කාර්ය සභාපති පී. බී. ඇල්ලෙපොල, කහවත්තේ ඩී. ජේ. ඇස්. ඉලංගකෝන්, කොළඹ ඇස්. ඩබ්. ඉලංගකෝන් මුදලිතුමා, රක්වානේ ඉස්මයිල් අබ්දුල්ලා, කුරුණෑගල නීතිඥ ජේ. ඊ. ඉලංගන්තිලක, මහනුවර නාගරික මන්ත්‍රී නීතිඥ එච්. ඇම්. ඉස්මයිල්, කුරුණෑගල නීතිඥ ඩී. ඉලන්ගන්තිලක, කොළඹ ඇම්. ඇම්. ඉස්මයිල්, රාජගිරියේ ඇස්. ඇම්. ඉස්මයිල්, ගාල්ලේ නීතිඥ ඇෆ්. ඉස්මයිල්, දැරණියගල පී. උඩබාගෙ, හාලිඇල ඇස්. බී. ඒකනායක, කුරුණෑගල ඇස්. ඊ. ඔබේසේකර, රක්වානේ එච්. ඒ. ඇෆ්. ඔබේසේකර, ගම්පොළ ඇස්. ඇම්. ඔමර් බාවා, කුරුණෑගල නීතිඥ ඇම්. ඇම්. කාසිම්, කොළඹ ඇම්. ෆලීල් ඒ කපූර්, වැල්ලවත්තේ බී. ඒ. ආර්. කුරේ, කොළඹ ජේ. ඒ. ඇල්. කුරේ, හලාවත නීතිඥ ඇස්. සී. ෂර්ලි කොරෙයා, කොළඹ ඇන්. ජී. වී. කුරේ, යාපනයේ වෛද්‍ය ඇම්. කතිරවේල් පිල්ලේ, මහනුවර වාසලමුදලි ඇන්. කනගනායගම්, මීගමුවේ නීතිඥ ටී. සී. පී. කැරන්, හලාවත රාජ්‍ය මන්ත්‍රී ජී. සී. ඇස්. කොරෙයා, කළුතර නීතිඥ ජේ. ඒ. ඩබ්ලිව්. කන්නන්ගර, රාජ්‍ය මන්ත්‍රී සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, ත්‍රිකුණාමලය ඒ. සී. කනගසිංහම්, යාපනයේ අධිනීතිඥ ඇස්. ආර්. කනගනායගම්, යාපනයේ නීතිඥ ඇම්. ආර්. කරාලසිංහම්, ගම්පොළ එච්. බී. කිරිමැටියාව දිසාව, රාජ්‍ය මන්ත්‍රී ජෝන් කොතලාවල, නගර සභා මන්ත්‍රී ජස්ටින් කොතලාවල (කොළඹ), කොළඹ රාජ්‍ය මන්ත්‍රී පී. ද ඇස්. කුලරත්න, කොළඹ රොස්ලින් කොක්, දෙනියායේ රාජ්‍ය මන්ත්‍රී ආර්. සී. කන්නන්ගර, බදුල්ල රාජ්‍ය මන්ත්‍රී ඩී. එච්. කොතලාවල, කොළඹ අධිනීතිඥ එච්. ඒ. කෝට්ටේගොඩ, මාරාවිල ඩී. ඒ. පී. කහවිට, රත්නපුරය රාජ්‍ය මන්ත්‍රී ජයවීර කුරුප්පු, කොළඹ, නීතිඥ ඇස්. ජේ. සී. කදිරගාමර්, මීගමුවේ ඇම්. බී. කුරේරා, මහනුවර ඩී. පී. කොතලාවල, කල්මුනේ වාසලමුදලි ඇම්. ඇස්. කාරියප්පර්, ගම්පහ ඩී. ඩී. කරුණාරත්න, බණ්ඩාරගම ගම්කාර්ය සභාපති ඩී. සී. ඩබ්ලිව්. කන්නන්ගර, කුරුණෑගල කේ. බී. කදුරුවැව, චුන්නාකම් නීතිඥ බී. ඇස්. කනගරත්නම්, කොළඹ ජී. එම්. කොතලාවල, බණ්ඩාරවෙල ග්ලැඞ්වින් කොතලාවල, ගාල්ලේ නීතිඥ ඊ.ඇම්. කරුණාරත්න, කොළඹ දොස්තර ඇම්. සී. ම්. කලීල්, කළුතර පී. ඇෆ්. ගුණතිලක, රාජ්‍ය මන්ත්‍රී ආර්. ඇස්. ඇස්. ගුණවර්ධන (පේරාදෙණිය), මාතර නීතිඥ විල්ෆ්‍රඞ් ගුණසේකර, කොළඹ දොස්තර ෆ්‍රැන්ක් ගුණසේකර හොරණ, නීතිඥ ඇස්. ගුණසේකර, දෙහිවල මේජර් ඇල්. වී ගුණරත්න, බේරුවල ඩබ්ලිව්. ඒ. ගුණතිලක, කොළඹ ඇෆ්. ගුලාම් හුසේන්, දඹදෙණියේ ඇම්. ඒ. ගුණසේකර, මහනුවර නගරාධිපති ඩී. ඇම්. ගුරුස්වාමි, ගාල්ලේ නාගරික මන්ත්‍රී ඩී. ඇස්. ගුණසේකර, යාපනයේ ව්‍යාපාරික ආර්. චෙල්ලයියා, යාපනයේ ආර්. ටී. චෙල්ලයියා, කෑගල්ලේ කේ. සී. චාල්ස්, මහනුවර අධිනීතිඥ වර්නන් ජෝන් ක්ලාස්, ගම්පොළ නීතිඥ ඊ. ජී. ජෝන් ක්ලාස්, කොළඹ ජේ. ආර්. ජයවර්ධන රාජ්‍ය මන්ත්‍රී කැලණිය, මැද කොළඹ රාජ්‍ය මන්ත්‍රී ටී. බී. ජයා, හොරණ රාජ්‍ය මන්ත්‍රී ඒ. පී. ජයසූරිය, රාජ්‍ය මන්ත්‍රී ඩී. පී. ජයසූරිය, අවිස්සාවේල්ල රාජ්‍ය මන්ත්‍රී බර්නාඞ් ජයසූරිය, කොළඹ ජේ. ඇන්. ජිනේන්ද්‍රදාස, වැලිගම මොන්ටේගු ජයවික්‍රම, යාපනයේ ඇම්. ජේකොබ්, පෑලියගොඩ ඇම්. ජයසේන, කළුතර අධිනීතිඥ උක්වත්තේ ජයසුන්දර, කොළඹ නීතිඥ පී. ඩී. ඇස්. ජයසේකර, හොරණ අධිනීතිඥ ඇම්. ඩී. එච්. ජයවර්ධන යන මහත්වරු ඇතුළු තවත් පිරිසකි. (එම මහත්වරුන්ගේ නාම ලේඛනය ලබන සතියේ පළවේ.)

 


සභාවේ කටයුතු ආරම්භවීමෙන් පසු ජෝන් කොතලාවල මහතා නැගී සිටියේය. සභාවේ කැඳවුම්කරු ලෙස කටයුතු කළේ ඔහුය. ජෝන් කොතලාවල නමින් යවා තිබූ ආරාධනා පත්‍රය කියවා පිළිගැනීමේ කතාව ද ඔහු විසින්ම කරන ලදී. ඒ අතරම මූලාසනය සඳහා ඩී. ඇස්. සේනායක මහතා සුදුසු යැයි යෝජනා කළේය.


ඩී. ඇස්. සේනානායක මහතා මූලාසනය භාර ගැනීමෙන් පසු අලුතෙන් පිහිටුවන්නට බලාපොරොත්තු වන පක්‍ෂයේ ප්‍රතිපත්ති හා අරමුණු විස්තර කරමින් කෙටි දේශනයක් පැවැත්වීය. ශ්‍රී ලංකා දේශය තුළ දිවිගෙවන සෑම ජාතියක්ම එකට එක්ව එක් මවකගේ දරුවන් මෙන් සමගියෙන් යුතුව ජීවත් විය යුතු බවත් එසේ සාමයෙන්, සමගියෙන් යුතුව ජීවත්වීමට හැකි රටක් බිහිකිරීම නව පක්‍ෂයේ ප්‍රධාන අරමුණ බව ඒ මහතා පැවසීය. හොඳහිත සහ අන්‍යොන්‍ය විශ්වාසය පවත්වා ගත යුතු බව පැවසූ සේනානායක මහතා නව පක්‍ෂය සමස්ත ලංකාවේම ශක්තිමත් දේශපාලන බලවේගයක් බවට පත් කිරීමටත් ජනතාවගේ අනාගත බලාපොරොත්තු ඉටුකිරීමටත් හැකියාව ලැබෙන බවට විශ්වාසය පළ කළේය.


එක්සත් ජාතික පක්‍ෂය නමින් නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවිය යුතු යැයි මෙම සභාව යෝජනා කරන්නේ යැයි යන යෝජනාව රාජ්‍ය මන්ත්‍රී එස්. නටේසන් මහතා විසින් ඉදිරිපත් කරන ලදුව මැද කොළඹ රාජ්‍ය මන්ත්‍රී ටී. බී. ජායා මහතා විසින් ස්ථිර කරන ලදුව ඒකඡන්දයෙන් සම්මත විය.


ඉන් අනතුරුව වූයේ නව පක්‍ෂය සඳහා නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනීමයි. ඒ සඳහා ඉඩ සලසා දෙමින් ඩී. ඇස්. සේනානායක මහතා මුලසුනින් ඉවත් විය. තාවකාලික සභාපති වශයෙන් ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා පත්කර ගනු ලැබීය. ඒ මහතා මූලාසනය භාර ගනිමින් පක්‍ෂයේ සභාපති වශයෙන් ඩී.ඇස්. සේනානායක මහතා පත්කර ගත යුතු යැයි යෝජනා කළේය. රාජ්‍ය මන්ත්‍රී ජෝර්ජ් ඊ. ද සිල්වා මහතා එම යෝජනාව ස්ථිර කරන ලදුව ඒකමතිකව සම්මත විය. ඒ අනුව අලුතෙන් පිහිටුවන ලද එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වශයෙන් ඩී. ඇස්. සේනානායක මහතා පත්වීම් ලැබීය. උපසභාපතිවරුන් වශයෙන් ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ජෝන් කොතලාවල, ජෝර්ජ් ඊ. ද සිල්වා, අරුණාචලම් මහාදේව, සහ ටී. බී. ජයා යන මහත්වරුන් පත්විය යුතු යැයි ඩී. ඇස්. සේනානායක මහතා විසින් යෝජනා කරන ලදුව එම යෝජනාව ද සම්මත විය. ප්‍රධාන ලේකම් ධුරයට පත් කර ගන්නා ලද්දේ ගාල්ලේ එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතාය, භාණ්ඩාගාරික ධූරය සඳහා දෙදෙනෙකු පත් කර ගැනීම සිදුවිය. ඒ සම භාණ්ඩාගාරිකවරුන් වශයෙනි. රාජ්‍ය මන්ත්‍රී ජේ. ආර්. ජයවර්ධන මහතාත් ඒ. ආර්. ඒ. රාසික් (පසුව සර් රාසික් පරීඞ්) ඒ දෙදෙනාය එම යෝජනාව ද ඉදිරිපත් කරන ලද්දේ සේනානායක මහතා විසිනි. විධායක මණ්ඩලයක් ද පත්කර ගන්නා ලදී. මෙහි පෙර සඳහන් කළ නාම ලේඛනයේ සඳහන් සියලු දෙනාමත් ඉදිරි සතියේ දී පළ කෙරෙන නාම ලේඛනයේ සඳහන් වන අය ද එම මණ්ඩලයට ඇතුළත් වූහ. එහි සභා රැස්වීම් සඳහා ගණ පූර්ණය විසි පස් දෙනෙකු විය යුතු බවට ද පිළිගන්නා ලදී. පක්‍ෂයේ ඉදිරි ගමන උදෙසා ආර්ථික ශක්තිය ඇති කර ගැනීමට අනුකාරක සභාවක් පත් කළ අතර එහි සභාපතිවරයා වශයෙන් ජෝන් කොතලාවල මහතාත් පත් කරන ලද ප්‍රචාරක කමිටුවේ සභාපතිවරයා වශයෙන් ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාත් පත්වීම් ලැබූහ.

 


දොස්තර වී. ආර්. ෂොක්මන් මහතා පැමිණි පිරිස වෙත ස්තුතිය පළකිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය ද විරෝධතාවකින් තොරව සම්මත විය. එදිනට නියමිත කටයුතු එතෙකින් නිමාවට පත් විය.


පක්‍ෂය සඳහා සම්මත කර ගන්නා ලද පළමු ව්‍යවස්ථා මාලාවේ ප්‍රථම වගන්තියේ මෙසේ සඳහන් විය.


1. නම :- මෙම පක්‍ෂය (ඒ) එක්සත් ජාතික පක්‍ෂය (බී) අයික්කිය දේශිය කච්චි (සී) යුනයිටඞ් නැෂනල් පාටි යන නම්වලින් හඳුන්වනු ලැබේ.


2. සාමාජිකත්වය :- මෙම පක්‍ෂය ජාතිභේදයෙන් සහ ආගම් භේදයෙන් තොරය. එහි සාමාජික ධුර 3 වැනි ව්‍යවස්ථාවෙන් දැක්වෙන සාමාජික ධුරය පිළිබඳ කොන්දේසි පිළිගන්නා ඡන්ද හිමියන් වන සියලු දෙනාටම ලබාගත හැක. ආදී වශයෙනි.


එසේ ආරම්භ වූ එක්සත් ජාතික පක්‍ෂය 1947 සිට 1956 දක්වා වසර නවයක් ද 1960 මාර්තුවේ කෙටි කාලයක් ද 1965 සිට 1970 දක්වා වසර පහක් ද 1977 සිට 1994 දක්වා කෙළින්ම දාහත් වසරක් ද විවිධ නායකයන් යටතේ මේ රට පාලය කර ඇත. අනෙක් කාල සීමාවන් තුළ බොහෝ විට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක පදවිය දරමින් එම නායකයෝ තම ජාතික වගකීම ඉටු කළහ. ඩී. ඇස්. සේනානායක, ඩඞ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග සහ රනිල් වික්‍රමසිංහ යන නායකයෝ මෙම දැවැන්ත ජනතා බලවේගය මෙහෙවීමේ භාග්‍යය අත්කර ගත්හ.


වර්තමානයේ පවතින්නේ එක්සත් ජාතික පක්‍ෂයේ හා එයට ප්‍රතිවිරුද්ධ මත දරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ද හවුල් ආණ්ඩුවකි. රටේ අග්‍රාමාත්‍ය ධුරය දරන්නේ ද එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කුමන පක්‍ෂයකට අයත් වුවද ඔහු එම තනතුර දක්වා වූ දුෂ්කර ගමන පැමිණියේ එක්සත් ජාතික පක්‍ෂයේ ශක්තිය මතින් බව පිළිගත යුතු සත්‍යය වේ. 


2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී තමන්ගේම පක්‍ෂයේ ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට කටයුතු කරන බවට එක්සත් ජාතික පාක්‍ෂිකයෝ දිවුරා ප්‍රකාශ කරති. එසේ නම් සම්මුතිවාදී යහපාලන රජය තුළ එකට ක්‍රියා කරන ප්‍රධාන පක්‍ෂ දෙක අනුගමනය කරන ප්‍රතිපත්තිය තරමක් අපැහැදිලිය. කෙසේවුවත් වර්ෂ හැත්තෑ දෙකක් තරම් වූ දීර්ඝ කාලයක් සුපරීක්‍ෂාකාරීව පක්‍ෂය ආරක්‍ෂා කිරීමට පූර්වාදර්ශ සැපයූ අතීත පූර්වගාමීන් මෙන්ම වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා ද තම පරිණත දැනුම හා අත්දැකීම් උපයෝගී කර ගෙන පක්‍ෂය ඉදිරියට මෙහෙයවනු ඇත. අනාගතයේ බිහිවන අනුප්‍රාප්තිකයන් ද එසේම කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු. 
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රික දේශපාලනයේ නිරෝගී බව උදෙසාත් සමාජ සංවර්ධනය පිණිසත් එක්සත් ජාතික පක්‍ෂය තීරණාත්මක සාධකයක් බව සලකන බොහෝ දෙනෙක් මේ රටේ සිටිති. ඔවුන්ගේ පැතුම් ඉටුවේවායි මෙම ප්‍රීතිමත් සංවත්සරයේ දී අපිදු සුබ පතමු.

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : චතුර එස්. කොඩිකාර