- ඉතිහාසයේ ප්‍රථම වරට තුනෙන් දෙකක බලයක් සහිතව පාලනය අත්කර ගෙන සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, පීටර් කේනමන් වැනි ප්‍රබලයෝ මැතිසබේ ඉදිරි පෙළ ඇමැතිධුර දැරූහ. අධි නීතිඥ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක යනු තවත් එවැන්නෙකි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය නැවතත් කරළියට පැමිණ තිබේ. නොයෙක් චෝදනා ප්‍රතිචෝදනා එල්ල වෙමින් තිබේ. දෙපාර්ශ්වයක් අතර හුවමාරු වෙන ඇනුම් පද සහ චෝදනා ගැන පමණක් සැලකුව ද තත්ත්වය අතිශයින්ම බරපතළය. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසුව ඒ මහතා සහ ඔහුගේ සමීප හිතවතුන්ගෙන් ඇසෙන කියුම් කෙරුම් සහ ඇනුම් පද ගැන සිතා බලන විට පෙනී යන්නේ ශක්තිමත් පවුරක් මෙන් පැවතිය යුතු එක්සත් ජාතික පක්ෂයේ සමගිය පුපුරා යන ආකාරයයි. කකුලෙන් ඇද්දා, බැඳුම්කර හොරු, සිරිකොතේ ගේට්ටුව, පක්ෂ අරමුදල් ආදී වශයෙන් කියැවෙන වචන මාත්‍රයන් පවා එල්ල වෙන්නේ කොතනටදැයි ජනතාව දනිති.
එය යහපත් තත්ත්වයක් නොවේ. විශේෂයෙන්ම මාස තුන හතරක් ඇතුළත මහා මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබිය දී මෙසේ සිදුවීම කිසිසේත්ම සුදුසු නැත. එක්සත් ජාතික පක්ෂය මේ මැතිවරණයේ දී සිටින්නේ අවාසි සහගත පාර්ශ්වයේ බව එම පාක්ෂිකයන් සහ හිතවතුන් අමතක කළ යුතු නොවේ. පනස්පන් ලක්ෂයක් එ.ජා. පාක්ෂිකයන් ගැන ඔවුහු කතා කරති. එය තමන් විසින් තමන් නොමග යවා ගැනීමකි. එපමණ පිරිසක් හංසයාට ඡන්දය දුන් බව සත්‍යයකි. එහෙත් ඒ සියල්ල එජාප ඡන්ද නොවේ. ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙද්දී එක දිගට ගලා ආ යාපනය, වන්නි, වව්නියා යන දිස්ත්‍රික්ක කොළ පාටින් වැසී ගියේ දෙමළ සන්ධානයේ ඡන්දවලිනි. එසේම නැගෙනහිර ත්‍රිකුණාමලය, මඩකළපුව සහ දිගාමඩුල්ලේ, පොතුවිල්, සමන්තුරේ, නිත්තවුර් ආදී ප්‍රදේශවලින් ගලා ආ ඡන්දවලින් අති බහුතරය මුස්ලිම් කොංග්‍රසයේ දායකත්වයයි.
සමස්ත ලංකාවම එකම ඡන්ද කොට්ඨාසයක් වශයෙන් සලකා පැවැත්වෙන ජනාධිපතිවරණයක දී මිටි පිටින් එසේ හංසයාට ඡන්ද ලැබුණත් දිස්ත්‍රික්ක මට්ටමින් මන්ත්‍රී ධුර බෙදී යන මනාප ක්‍රමය තුළ එවැන්නක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැක. මධ්‍යම කඳුකරයේ වතු ඡන්දවල හැසිරීමද එබඳුය. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා කීවාක් මෙන් එකිනෙකාට චෝදනා කර ගැනීමෙන් වැළකී සමගියෙන් යුතුව මහා මැතිවරණයට මුහුණ දිය යුතුය. අපි රනිල්වාදීන් හෝ සජිත් වාදීන් නොවෙමු. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සම්ප්‍රදායේ ජීව ගුණය හඳුනන එයට ගරු කරන ඒ සඳහා කැපවෙන මාධ්‍යවේදීන් වෙමු. මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ නිරෝගී බව රැකගැනීම සඳහා ප්‍රබල විපක්ෂයක් අවශ්‍ය බව අපි පිළිගන්නෙමු. එම කාර්යය තවමත් රැඳී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය අතේය. එහෙත් එම පක්ෂය අභ්‍යන්තර ගැටුම් මත දුර්වල වීම් කුමන පක්ෂයකට අයත් වුවත් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන බහුතර ජනතාව අනුමත කරන්නේ නැත. මෙයට පෙර නායකත්ව මට්ටමේ ගැටුම් නිසා පක්ෂය කැඩී බිඳී ගිය අයුරු මෙයට පෙර සිහිපත් කර දුනිමි. මෙවර මා උත්සාහ කරන්නේ එය නොකැඩී මතභේද නිරාකරණය කරගෙන පෙරට ගිය අවස්ථාවකි.
ජයග්‍රහණයට පියවරුන් සියයකි. එහෙත් පරාජය අවජාතක යැයි සුලබව භාවිත වන ජනප්‍රිය කියමනක් තිබේ. ඕනෑම පරාජයට පත්වන පක්ෂයක නායකයෙකුට මුහුණ දීමට සිදුවන ඉරණම මෙය වේ. 1956 දී සර් ජෝන් කොතලාවල, 1970දී ඩඞ්ලි සේනානායක, 1977 දී සිරිමාවෝ බණ්ඩාරනායක එතැන් සිට රනිල් වික්‍රමසිංහ යන නායකයෝ මෙම තත්ත්වයට මුහුණ දුන්හ. 1970 මහා මැතිවරණයේ දී පස් වසරක් බලයේ සිටි ඩඞ්ලි සේනානායක මහතාගේ රජය අන්ත පරාජයකට පත් වී අසරණ වූවේය. මන්ත්‍රීවරුන් 151 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ එජාපයට හිමි වූයේ ආසන 17ක් පමණී. තමාට නීත්‍යානුකූලව හිමිකම තිබුණු විපක්ෂනායක ධුරය එතුමා ප්‍රතික්ෂේප කළේ පරාජයේ වගකීම භාර ගනිමිනි. ඩඞ්ලි සේනානායක මහතාට නායකත්වයෙන් ඉවත්වන ලෙස බලපෑම් නොකළ නමුදු පරාජය ගැන චෝදනා එල්ල වෙමින් තිබුණි. ඔහු වහාම පක්ෂයේ දෙවැන්නා ලෙස සිටි ජේ. ආර්. ජයවර්ධන මහතාට විරුද්ධ පක්ෂයේ නායකත්වය භාර දුන්නේය. ඉතා දක්ෂ හා ප්‍රවීන දේශපාලකයෙකු වූ ජේ. ආර්. වහාම වැඩට බැස්සේය.
ඉතිහාසයේ ප්‍රථම වරට තුනෙන් දෙකක බලයක් සහිතව පාලනය අත්කර ගෙන සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, පීටර් කේනමන් වැනි ප්‍රබලයෝ මැතිසබේ ඉදිරි පෙළ ඇමැතිධුර දැරූහ. අධි නීතිඥ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක යනු තවත් එවැන්නෙකි. එවර ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පැමිණි ගම්පොළ දි. මු. ජයරත්න, කිරිඇල්ලේ වාසුදේව නානායක්කාර, බෙලිඅත්තේ මහින්ද රාජපක්ෂ, රත්නපුරේ නන්ද එල්ලාවල, කලවානේ සරත් මුත්තෙට්ටුවගම වැනි සටන්කාමී නවකයෝ නිතරම පාහේ එජාප සුළු පිරිසට නොයෙකුත් බාධා එල්ල කළහ. ආණ්ඩු පක්ෂයේ ආසන සියල්ලත් විපක්ෂයේ පසුපස ආසන සියල්ලත් පිරී තිබුණේ රජයේ මන්ත්‍රීවරුන්ගෙනි. ෆෙඩරල් පක්ෂයෙන් පැමිණි දෙමළ මන්ත්‍රීවරු ද මුල් කාලයේ අනුගමනය කළේ රජයට දැඩි ලෙස විරුද්ධ නොවන ස්ථාවරයකි. ඒ නිසා එජාප මන්ත්‍රීවරුන් දාහත් දෙනාට කටයුතු කිරීමට සිදුවූවේ දත් තිස්දෙකට මැදි වූ දිව මෙනි. තත්ත්වය කොතරම් බරපතළ ද යත් හිරියාල එජාප මන්ත්‍රී එස්. බී. හේරත් මහතා මැති සබයේ තම කථාව පැවැත්වූවේ හෙල්මටයකින් හිස ආවරණය කරගෙනය. ඔහු එයින් සංකේවත්වත් කළේ මැති සබය තුළ සිදුවන අවහිර බාධාවන්ය. එහෙත් විපක්ෂ නායක ධුරය භාරගත් ජේ. ආර්. ජයවර්ධන මහතා බිය වූවේවත් පසු බැස්සේවත් නැත. තම කටයුතු නොබියව හා පසු නොබැස නිසි පරිදි ඉටුකරමින් සිටියේය.
හැත්තෑවේ අනපේක්ෂිත මැතිවරණ පරාජයෙන් වික්ෂිප්තව සිටි ඩඞ්ලි සේනානායක මහතා හැසිරුණේ පක්ෂ නායකත්වය ද නොබෝ දිනකින්ම අතහරින බවට ඉඟි කරමිනි. අනෙකුත් ඕනෑම දේශපාලනඥයෙකු මෙන්ම අනාගතයේ බලය අපේක්ෂා කරන්නෙකු වූ ජේ. ආර්. ද එජා පක්ෂයේ නායක ධුරය ද තමා සතු වේ යැයි සිතුවේය. එහෙත් සති කීපයක් ගතවන විට ඩඞ්ලිගේ අදහස වෙනස් වී තිබුණි. එයට මැදිහත්ව තිබුණේ ඩඞ්ලි මහතාගේ මිතුරන් සහ ජේ. ආර්. ගේ සතුරන්ය. බොහෝ විට සිදුවන්නක් මෙන් නායකයාගේ හිස තුළට නව මතවාදයක් ගිල්ලවා තිබුණි. එනම් ජේ. ආර්. ට ගැමි බොදු ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීමට නොහැකි බවය. ඒ සඳහා ගැළපෙන අය ලෙස හුවා දක්වා තිබුණේ ගාමණී ජයසූරිය සහ ඇම්. බී. බණ්ඩා යන මහතුන්ගේ නම්ය. එහෙත් ඔවුන් දෙදෙනාම පසුගිය මැතිවරණයේ දී තම ආසනවලින් පරාජයට පත්ව සිටියහ. 1975 දී පැවැත්වීමට නියමිත මැතිවරණයේ දී මෙයින් එක් අයෙකු පත්ව එන තුරු නායකත්වයේ රැඳී සිටින ලෙස මෙම ගතු කියන්නෝ ඩඞ්ලි සේනානායකයන් පොලඹවා ගෙන තිබුණි. එයට තවත් සාධකයක් පෙන්වා දී තිබුණි. “ඩඞ්ලි සේනානායක ඉවත්ව යන්නේ නම් ඔහුගේ අනුප්‍රාප්තිකයා වන ජේ. ආර්. ඔහුටත් වඩා අවුරුදු හයකින් වැඩිමහල් වීම පිළිගත නොහැකි තත්ත්වයකි.” යනු එම තර්කයයි. මේ සියල්ල සමාලෝචනය කර ඉදිරි අනාගතයේ දී පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් සුදුසු තීරණයක් ගනු ඇතැයි නායකයා පැවැසීය. එය වටහා ගැනීමට ජේ. ආර්. සමත් විය. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරය නිරන්තරයෙන්ම පවතින්නේ නායකයාට පක්ෂවය. ඒ නිසා එහි තීරණයක් දෙවැන්නෙකුට පක්ෂව සම්මත වන්නක් වීමට කිසිසේත්ම ඉඩක් නැත. මෙම තත්ත්වය ජේ. ආර්. ගේ සිතෙහි කනස්සල්ලක් බිහි කිරීමට හේතු විය.
ලැබූ පරාජය ජයග්‍රහණයක් දක්වා ගමන් කිරීමට නම් පක්ෂය තුළ විශාල ප්‍රති සංවිධානයක් සිදුවිය යුතු යැයි ජේ. ආර්. අදහස් කළේය. එහෙත් පක්ෂ නායකයා අදහස් කළේ එය තම හිතවාදීන්ට රිදවීමක් වශයෙනි. විශාල ප්‍රතිසංවිධානයකට යාමේ දී තම හිතවතුන්ට අගතියක් සිදුවනු ඇතැයි ඩඞ්ලි උපකල්පනය කළේය. ජනමතය රැල්ලක් බවට පත්ව මැතිවරණයේ දී ආසන පැරදුණා වුවත් එම පරාජිත සැවොම අදක්ෂයන් ලෙස හංවඩු ගැසීම අසාධාරණ යයි ඔහු ඇදහුවේය. එහෙත් පක්ෂයත් එහි ප්‍රතිපත්තිත් ක්‍රියාමාර්ගත් එහි සටන් උපක්‍රමත් නවීකරණය විය යුතු යැයි ජේ.ආර්. තදින්ම විශ්වාස කළේය. එම මතය අනුමත කළ බොහෝ දෙනෙක් ඔහු වටා රොක් වූහ. අනාගත නායකයාට ප්‍රථමයෙන්ම සමීපවීම තම දේශපාලන අනාගතයට යහපතක් වන්නේ යැයි සිතන පුද්ගලයෝ කවදත් එම ක්ෂේත්‍රයේ බහුලව සිටිති. තමන්ට අවශ්‍ය දේ නායකයාගෙන් නොලැබීමෙන් සිත් රිදුණු අය එම ව්‍යාපාරවල දී මුල්තැන ගනිති. ප්‍රතිසංස්කරණයවාදී පිලක් ඉක්මනින්ම ජේ. ආර්. වටා ගොඩ නැගුණි. ජේ. ආර්. ජයවර්ධන මහතා ද එවැන්නන් ආදරයෙන් භාර ගත්තේය. එම කණ්ඩායම පක්ෂයක් තුළ තවත් පක්ෂයක් බවට පත්වීම නොවැළැක්විය හැකි සිද්ධියකි.
ප්‍රබල ආණ්ඩු පක්ෂයේ පසුපෙළට අයත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීන් මෙන්ම සමසමාජ පාක්ෂිකයෝ ද ඩඞ්ලිට මහත් හිසරදයක් වූහ. මැතිසබය තුළ දී මෙම ප්‍රතිවාදීහු ඩඞ්ලිට කතා කිරීමට පවා ඉඩ නොදී බාධා කළහ. ඔවුන් එය කළේ සැලසුම් සහගතවය. මෙසේ කිරීමෙන් ඩඞ්ලිව අධෛර්ය වේ යැයි ඔව්හු අනුමාන කළහ. එසේ වුවහොත් 1953 දී මෙන් පක්ෂය හැර යාමත් එමගින් ජනප්‍රිය නොවන හා දැඩි මතධාරී ජේ. ආර්. නායකත්වයට ඒම තුළින් එජාපයට යළි ජය ගැනීමට නොහැකි වාතාවරණයක් ගොඩනැගෙනු ඇතැයි මෙම පසුපෙළ මන්ත්‍රීවරු වැරදි තක්සේරුවක යෙදුණහ. පාර්ලිමේන්තුව තුළ තම මතය ප්‍රකාශ කිරීමට ඉඩ නොලද ඩඞ්ලි සේනානායකයන්ට අවශ්‍ය වූයේ රට පුරා රැස්වීම් මාලාවක් පවත්වා ජනතාව ඇමතීමටය. අවාසනාවකට මෙන් ජේ. ආර්. එයට එකඟ නොවීය. එයට හේතුව වශයෙන් ඔහු දැක්වූ මතය වූවේ මෙතරම් ජනප්‍රිය අලුත් ආණ්ඩුවට විරුද්ධව රැස්වීම් තැබීමට තවම කල් වැඩි බවයි.
සෝල්බරි ආණ්ඩු ක්‍රමය වෙනස් කර නව ව්‍යවස්ථාවක් සම්මත කර පනවා ප්‍රතිස්ථාපනය කරන බවට සමගි පෙරමුණ සිය මැතිවරණ ප්‍රකාශනය මගින් ප්‍රතිඥා දී තිබුණි. 1970 මැයි 27 වැනි දින ඡන්දයෙන් ලැබුණු තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් ලැබීම එයට ලැබුණු අනුමැතියක් ලෙස සලකා නව පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් වශයෙන් රැස්විය යුතු බවට අගමැතිනිය සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනය කළාය. මේ පිළිබඳව නායකයන් දෙදෙනාගේ ස්ථාවරය දෙආකාර විය. ඩඞ්ලිගේ මතය වූවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කටයුතුවලට සම්බන්ධ නොවිය යුතු බවයි. එහෙත් ජේ. ආර්. යෝජනා කළේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට සහභාගි වී එයට විරුද්ධ වීමටය. බැලූ බැල්මට එහි මත දෙකක් පෙනුණත් ඇත්තෙන්ම දෙදෙනාම කීවේ නව ව්‍යවස්ථාවකට විරුද්ධ වීමයි. එහෙත් ගැඹුරෙන් සලකා බලද්දී ජේ. ආර්. ගේ මතය වඩාත් උපක්‍රමශීලී බවක් තිබුණි. එහි තර්කානුකූල බව බොහෝ මන්ත්‍රීවරු පැවැසූහ. එවිට තවත් අයට මෙමගින් බලපෑමක් කළ හැකි වෙතැයි ඔව්හු විශ්වාස කළහ.
මෙම සියලු කරුණු එක් වූ විට මත ගැටුමක් නිර්මාණය වී තිබුණි. නායකයා සහ දෙවැන්නා අතර පරතරයක් ඇති වී ඇති බව පෙනෙන්නට තිබුණු සත්‍යය විය. එම පරතරය අතට තමාට අවස්ථාවක් සාදා ගැනීමට හැකියාවක් ඇතැයි සිතූ අවස්ථාවාදීහු ඇවිළෙන ගින්නට පිදුරු දැමූහ. මෙම මතභේදයේ මූලික අරමුණ පක්ෂය ජයග්‍රහණය කරවීමම බව වටහා ගත හැකි වූවෝ අල්ප වූහ. “කිරෙන් බැද්දත් කොබෙයියා, තෙලෙන් බැද්දත් කොබෙයියා” යනුවෙන් සිතා හිත හදා ගැනීමට බොහෝ දෙනා අසමත් වූහ. මෑත යුගයේ ප්‍රකට කියමනකින් දැක්වුහොත් හැටන් පාරෙන් ආවත් කුරුවිට පාරෙන් ආවත් මහගිරිදඹය තරණය කොට ශ්‍රීපාද පද්මය වන්දනා කිරීමේ අරමුණ ජයගැනීම දෙදෙනගේම අපේක්ෂාව බව වටහා ගත්තා නම් මෙම අර්බුදය මතු නොවන බවට සැකයක් ඇති නොවන බව මෙහි පැහැදිලි සත්‍යය වූවේය.
ජේ. ආර්. ජයවර්ධන මහතා දිගු කලක් තිස්සේ එජාප නායකත්වය ලබාගැනීම උදෙසා පුල පුල බලා සිටි බව ඇත්තකි. 1956 මහා පරාජයෙන් පසු පක්ෂය නැගිටුවා ගැනීමට පුරෝගාමී වූවේ ජේ.ආර්. බව නොරහසකි. එහෙත් සර් ජෝන්ගේ නික්ම යාමෙන් පසුව නායකත්වයට ඩඞ්ලි කැඳවාගෙන ආවේ දේශපාලන කරළිය අතහැර ආගමික කටයුතු කෙරෙහි පූර්ණකාලීනව යෙදී සිටියදීය. ක්‍රීඩා ඇඳුම් ආයිත්තම්වලින් සැරසී පිත්ත ද අතේ ඇතිව පිති ප්‍රහාරයට සූදානම්ව පිටියට යාමට බලා සිටින ක්‍රිකට් ක්‍රීඩකයෙකුට දිග සෙවණැලි මැවෙන සවස් යාමයේ දී දැනෙන නොයිවසිල්ල නායකත්වය අරඹයා ජේ. ආර්. තුළත් නොතිබුණා වන්නට බැරිය. එහෙත් ඔහු කඩාකප්පල්කාරයකු නොවීය. ක්‍රීඩාකරන පිතිකරු වූ ඩඞ්ලි සේනානායකයන් වහාම දැවී යත්වායි ඔහු ප්‍රාර්ථනය නොකළේය. ඔහුගේ පැතුම වූවේ කණ්ඩායමේ ජයග්‍රහණයයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් 1971 අප්‍රේල් මාසයේ දියත් වුණු කැරැල්ල නිසා සමස්ත ශ්‍රී ලංකාවම කම්පනයට පත් විය. සාමාන්‍ය ජන ජීවිතය අඩාළ විය. ජේ. ආර්. තම පක්ෂයට යෝජනා කළේ සම්ප්‍රදායික විපක්ෂ දේශපාලනයෙන් මිදිය යුතු බවත් අභියෝගයට ලක්ව ඇති ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රටාව ආරක්ෂා කරගැනීම සඳහා සියලු දෙනා මෙම අවස්ථාවේ දී කොන්දේසි විරහිත සහාය රජයට දිය යුතු බවය. එය පුළුල් සංකල්පයක් මත සිදු කළ ප්‍රකාශයක් විය. එහෙත් තවත් පාර්ශ්වයක් එහිදී අදහස් පළ කළේ රජය මුහුණ පා ඇති අසීරුවෙන් ප්‍රයෝජන ගෙන ඡන්ද ගරා ගැනීමේ බාල උපක්‍රමයකටය. ජේ. ආර්. එයට එකඟ නොවුවේය. එය ද මතභේදයට කරුණක් බවට පත් විය. ජේ. ආර්. ගේ අදහස් පක්ෂය වෙතින් නොපිළිගැනෙන තත්ත්වයක් උදා වෙමින් තිබුණි. ඔහුගේ යේාජනාවක් කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ස්ථීර කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබුණි. ප්‍රධාන පෙළේ සාමාජිකයෝ ඔහු හැර ගියහ. වරක් කෘත්‍යාධිකාරි මණ්ඩලය්දී ජේ. ආර්. ගේ යෝජනාව ස්ථීර කළේ අකුරණ මන්ත්‍රී ඒ.සී.ඇස්. හමීඞ්ය. පක්ෂය තුළ ජේ. ආර්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව සලකන විට එය නිගරුවක් ලෙස සැලකීමට පවා සමහරු පෙලඹුණහ.
සිලෝන් ඔබ්සර්වර් පත්‍රයට 1972 ජනවරි 23 වැනිදා ජේ. ආර්. සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේය. එහිදී “රජයට සහාය ලබා දීම” පිළිබඳ තම අදහස සවිස්තරව දක්වා තිබුණි. ඉන් දින කීපයකට පසු කොළඹ යෝනක ඉස්ලාම් සංස්කෘතික නිකේතනයේදී පැවැත් වූ දේශනයක් නිසා දෙබරයකට ගල් ගැසුවාක් වැනි තත්ත්වයක් එජාපය තුළ ඇති විය. එම දේශනයේ මාතෘකාව වූවේ “රජය සහ විපක්ෂය” යන්නය. ඔහු තමාගේ අදහස සෘජුව ප්‍රකාශ කර තිබුණි. පත්‍රයෙන් විමසා තිබුණේ “දිවයින ඉතා උග්‍ර අර්බුදයකට මුහුණ දී සිටින මෙවැනි අවස්ථාවක ඔබ හෝ ඔබගේ පක්ෂය රජයත් සමග එක්ව කටයුතු කිරීමට ඇති ඉඩකඩ කවරේදැයි?” කියාය. ඇසූ ප්‍රශ්නයට ජේ. ආර්. පිළිතුරු දුන්නේ අග්‍රාමාත්‍යවරිය රජයට සහාය දක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් නැණවත් ලෙස ඉල්ලා සිටියහොත් පක්ෂය එම ආරාධනාව පිළිගත යුතු යැයි මම අදහස් කරමි යනුවෙනි. ඊළඟ ප්‍රශ්නය වූවේ “ඔබ රජයට බැඳුනහොත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳෙන බවත් අදහස් කෙරෙන්නේ ද? නැතිනම් දිගටම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ලෙස දිගටම කටයුතු කරන්නේ ද යන්නය. ජේ. ආර්. උපාය දන්නෙකි. ඔහු සෘජු පිළිතුරක් නොදුන්නේය. “එවැනි ආරාධනාවක් පිළිගැනීමට පක්ෂයේ වැඩි දෙනා නොකැමැති නම් රටේ යහපත සඳහා කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු ද යන්න ආරාධනාව පිළිගත යුතු යැයි සිතන අය විසින් තීරණය කරනු ලැබිය යුතුය. එම තීරණය අග්‍රාමාත්‍යවරියගේත් පාලක පක්ෂයේත් අදහස මත රඳා පවතිනු ඇත.” සම්මුඛ සාකච්ඡාව දිගටම ඇදී ගියේය.
ඉතිරි කොටස ලබන සතියේ...
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි