පුරාණ ජන සමාජයේ මුල් බැස ගෙන තිබු එක් බමුණු මතයක් වූයේ කාන්තා පක්ෂය එතරම් දුරදිග නොසිතන සහ සිහිනුවණින් අඩු පිරිසක් බවයි. එකල එම මතය දැරූ පිරිස් කාන්තාවන් සතු නුවණ හැඳිමිටේ දිගට සීමා කර ගෙන සිටියහ. එම පිරිස කොතරම් මුග්ධයන් දැයි කිව හොත් තමන් මහා ප්‍රාඥයන් ලෙස සිතා සිටියහ. එවැනි පුරුෂයන්ට පවා උපත ලබා දෙන්නේ කාන්තා පක්ෂය විසින් බව ඔවුහු සිතා මතාම අමතක කළහ.
මේ වන විට එම දුර්මතය බොහෝ දුරට පහව ගොස් ඇතත් 1960 දශකයේ ආරම්භක යුගය තුළ කාන්තාවන් ගැනත්, ඔවුන් සතු හැඳි මිටේ නුවණ ගැනත් මෙරට ජන සමාජයේ ඊට පෙර කිසි දිනෙක සිදු නොවු අන්දමේ කතා බහක් ඇති වී තිබුණේය. ඊට හේතු වූයේ දිවංගත අග්‍රාමත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ බිරිඳ වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1960 ජුලි මහ මැතිවරණයේ දී ශ්‍රී.ල.නි.ප.යට නායකත්වය දීමට ඉදිරිපත් වීමය. විශේෂයෙන්ම ශ්‍රී.ල.නි.ප.ය.ට බණ්ඩාර නායක මැතිනියගේ අවශ්‍යතාව තදින්ම දැනී තිබුණේ 1960 මාර්තු මාසයේ පැවැති මහ මැතිවරණයෙන් පක්ෂය පරාජයට පත්ව සිටි බැවිනි. කෙසේ වෙතත් එවර බලයට පත් වූ ඩඞ්ලි සේනානායක මහතාගේ එ.ජා.ප. ආණ්ඩුවේ රාජාසන කතාව දින 30ක් වැනි කෙටි කාලයක් තුළ පරාජයට පත් වූ බැවින් 1960 ජුලි මාසයේ දී යළි මහ මැතිවරණයක් කැඳවීමට එවකට පැවති මැතිවරණ දෙපාර්තමේන්තුවට සිදු වී තිබුණි.
“මෙදා සැරෙත් සී. පී. ඉදිරියට දමාගෙන ඡන්දෙ කරන්න ගියොත් අපි පරදිනවා. ඒ නිසා වෙන කෙනෙකුට පක්ෂ නායකත්වය බාර දෙමු”යි පැවසූ ශ්‍රී.ල.නි.පයේ. ප්‍රබලයන්ට ඊළඟට මුහුණ පෑමට සිදු වූ ලොකුම බාධකය වූයේ ඒ සඳහා රටම පිළිගත් නායකයෙකු පක්ෂය තුළින්ම සොයා ගැනීමය.
බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී.ල.නි.ප.යේ. නායකත්වයට පත් කර ගත්තොත් නරක ද? යන අදහස පක්ෂයේ ප්‍රබලයන් තුළ ඇති වී තිබුණේ ඊට පිළිතුරක් වශයෙනි.
“ගහක් ගලක් වගේ හිටපු අගමැතිතුමා නැති වුණෙත් ඔය දේශපාලනේ නිසා තමයි. ඒ නිසා මගේ ළමයි තුන් දෙනා හදාගෙන මම පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා”යි කී සිරිමාවෝ මැතිනිය තමන් වෙත ඉදිරිපත්වූ එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළාය. ඇයගේ අදහස වූයේ දේශපාලනය ගැන හසරක් නොදත් තමන්ට වඩා හැම අතින්ම සුදුසු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පක්ෂය තුළින්ම සොයා ගත හැකි බවය.
“නෑ... නෑ... මැතිනියම තමයි පක්ෂයේ නායකත්වය ගන්න ඕනෑ”යැයි තරයේ කියා සිටි ටී. බී. ඉලංගරත්න, බද්උද්දීන් මහමුද්, ඒ. පී. ජයසූරිය වැනි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දෝන්පිටගෙදර ඥානසීහ වැනි හිමිවරුන් ද කැඳවා ගෙන ගොස් මැතිනිය ඒ සඳහා කැමැති කරවා ගෙන තිබුණේ සෑහෙන උත්සාහයක් දැරීමෙන් පසුවය.
එදින සිරිමාවෝ මැතිනිය ශ්‍රී.ල.නි.ප.යේ. නායකත්වය ගැනීමට එකඟත්වය පළ කිරීමට පෙර එක්තරා කොන්දේසියක් ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත් ශ්‍රී.ල.නි.ප.යේ. නායකත්වයට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පත්වූ බව ඇසූ මුළු රටේම ජනතාව දෙබරයකට ගල් ගැසුවාක් මෙන් ඇවිස්සුණේය.
ගෑනු කෙනෙක් කොහොමද රටක් පාලනය කරන්නේ. යි ඇසු ඇතැම් පිරිස් පුන පුනා කියා සිටියේ ගැහැනුන්ගේ හැඳි මිටේ නුවණින් රටක් පාලනය කරන්නට ගොස් මුළු රටේම අනාගතය අඳුරු වී යාමට ඉඩ තිබෙන බවය.
එකල පැවැති සති අන්ත පුවත්පත්වලද ගැහැනුන්ගේ හැඳි මිටේ නුවණ ගැන නොයෙකුත් ලිපි පළ වී තිබුණේය. එවැනි ඇතැම් ලිපි සහ විශේෂාංග පළ කර තිබුණේ ආරූඪ නම් වලිනි.
මේ අතර තවත් පිරිසකගේ පිළි ගැනීම වී තිබුණේ එම වසරේ මාර්තු මාසයේ පැවැති මහමැතිවරණයේ දී යන්තමින් ජාම බේරාගෙන පාර්ලිමේන්තුවට ගිය ශ්‍රී.ල.නි.ප.යේ. ජ්‍යෙෂ්ඨයන්ගේ ඇප මුදල් පවා එවර රාජසන්තක වීමට ඉඩ තිබෙන බවය. තම ආදරණීය ස්වාමි පුරුෂයාගේ අකල් මරණයෙන් කම්පිතව කොළඹ රොස්මිඞ් මැදුරට වී කල් ගත කළ සිරිමාවෝ මැතිනිය මෙලෙස දේශපාලන ක්ෂේත්‍රයට ගෙන ඒමට පුරෝගාමී වූ ටී. බී. ඉලංගරත්න, ඒ. පී. ජයසූරිය සහ මෛත්‍රීපාල සේනානායක වැනි ශ්‍රී.ල.නි.ප.යේ ජ්‍යෙෂ්ඨයන්ට පස් පඩංගුවේ බැණ වැදුණ ඇතැමුන් එම සිද්ධිය හැඳින්වූයේ තනිකරම යු.ඇන්.පී. කාරයන්ගේ උගුලක් වශයෙනි.
ඕවා මේ සර් ජෝන්ලගේ, ජේ. ආර්. ලගේ උප්පරවැට්ටි. සර් ජෝන් තමන්ගේ දොඩංගස්ලන්ද ආසනේත් අතහැර දාලා එංගලන්තෙට පැන ගත්තට මිනිහගෙ නූල් සූත්තර මෙහෙ වැඩ කරනවා. ඒකට අපේ සමහර හාමුදුරුවරුන් යට වුණා, යි කී එම පිරිස අනාවැකි පළ කර තිබුණේ ළඟ එන මහමැතිවරණයෙන් එ.ජා.ප.ය ආසන 100 කටත් වැඩියෙන් ජයග්‍රහණය කරන බවය.
මේ අතර 1960 ජුලි මහ මැතිවරණයේදී ශ්‍රී.ල.නි.ප. නායකත්වය පිළිගැනීමට පෙර සිරිමාවෝ මැතිනිය විසින් ඉදිරිපත් කර තිබු කිසිම ඡන්ද කොට්ඨාසයක් සඳහා හෝ තරග නොකිරීමේ කොන්දේසියක් ගැන පවා ඇතැම් ගොඩ පෙරකදෝරුවන් කරුණු දක්වා තිබුණේ උපහාස මුඛයෙනි.
ඒක හරි කතාවක්නේ... හොඳයි යම් විදියකින් මැතිනිය දිනුවයි කියමුකෝ. එතකොට කවුද අගමැති වෙන්නේ යි ? අසමින් සිනාසුණු එම පිරිසගේ අදහස වූයේ බණ්ඩාරනායක මැතිනියගේ කඳුළුවලට ලැබෙන අනුකම්පාව මත ශ්‍රී.ල.නි.ප.ය. ජයග්‍රහණය කළ ද එතුමියට මැතිසබයට ඇතුළු වීමටත් ඉඩක් නොලැබෙන බවය.
හැබැයි බණ්ඩාරනායක මහත්තයගෙ නෑයෙක් ඉන්නවා. පීලික්ස් ඩයස් කියලා බැරිස්ටර් කෙනෙක්. ඉතින් වැරදිලා හරි. ශ්‍රී.ල.නි.ප.ය. දිනුවොත් එහෙම සිරිමාවෝට කුද ගහන්න කියලා ඒ මනුස්සයා රටේ පාලන බලය අතට ගන්නත් බැරි නෑ, යි කියවෙන කතා බහක් ද එකල ඇතැම් පළාත්වල පැතිරෙමින් තිබුණේය. විශේෂයෙන්ම එවැනි අමනෝඥ මතවාදවලට තටු මවමින් අති විශාල ප්‍රචාරයක් ලබා දෙනු ලැබුවේ සමහර ආයතන මගිනි. එහෙත් ලංකාදීප සමූහයේ කර්තෘ ඩී. බී. ධනපාල මහතා පමණක් තම අනන්‍යතාව රැකගෙන මධ්‍යස්ථව කටයුතු කිරීමට සෑහෙන කැපවීමක් කර තිබුණේය.
ලංකාදීපයේ ජී. එස්. ප්‍රනාන්දු තම කාටූන් චිත්‍ර මගින් හැඳි මිට මඟ හැර කුස්සියට වැඩි අවධානයක් යොමු කර තිබුණේය.
ඊටත් අමතරව මහ මැතිවරණ්‍ය නිමිත්තෙන් පැවැති එ.ජා.ප.ය. ප්‍රචාරණ රැස්වීම්වල ද වැඩි ඉඩ කඩක් ලැබී තිබුණේ හැඳි මිටට සම්බන්ධව ඉළ ඇදෙන කතා කියන කථිකයන්ටය. මේ අතර හැඳි මිට උඩින්ම පැරදෙන බවට රුපියල් දහස් ගණනින් ඔට්ටු ඇල්ලූ බව කියන දළකාර මුදලාලිලා ගැන ද නොයෙක් විට අසන්නට ලැබුණේය. එහෙත් අන්තිමේදී සිදු වූයේ 1960 මාර්තු මැතිවරණයේ දී ආසන 46 කට පමණක් සීමා වී සිටි ශ්‍රී.ල.නි.ප. 1960 ජුලි මහ මැතිවරණයේදී ආසන 75 ක් ලබා ගෙන ආණ්ඩු බලය ද පහසුවෙන්ම හිමි කර ගැනීමයි. එවර හැඳිමිටේ නුවණින් ශ්‍රී.ල.නි.ප.ය.ට නායකත්වය දුන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සෙනෙට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට පත්ව ලෝකයේ පළමු වැනි අගමැතිනිය වශයෙන් තේරී පත්වීම එහි ඊළඟ ප්‍රතිඵලය විය.
රුක්මණී ජයතිලක
ඡායාරූප අන්තර්ජාලයෙනි