1971 අප්‍රේල් අරගලයට ලබන 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයටත් 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිල මතය අවධාරණය කරනු පිණිසය.
1976 න් පසු දේශපාලනයේදී ජ.වි.පෙ ඉදිරියේ අභියෝග කීපයක්ම විය. එක් අතකින් 1971 මර්දනයේදී හානියට පත් පක්ෂය යළි ගොඩනැගිය යුතුවිය. නව කාඩර්වරු, සංවිධායකයන් ගොඩනගමින් පක්ෂ කේඩරය සවිමත් කළ යුතුවිය. ඒ අතරම පක්ෂය පොදු ජනතාවගේ පක්ෂය බවට බහුජන ව්‍යාපාරයක් බවට පත්කළ යුතු විය.
මෙම කාර්යයන් ඉටුකිරීමට ජ.වි.පෙට සිදුවූයේ සරල පහසු දේශපාලන වටපිටාවක නොවේ. 1977 බලයට පත් ජයවර්ධන පාලනය එක් අතකින් ආර්ථික ක්ෂේත්‍රයේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දෙමින් ඊට පෙර පැවැති සමගි පෙරමුණේ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදී ආර්ථිකයේ සීමා පුපුරුවා හරිමින් විශාල (එහෙත් තාවකාලික) ආර්ථික ප්‍රසාරණයකට මග පෑදීය. ඒ සමගම විවෘත ආර්ථිකයට ගැළපෙන සංස්කෘතික හා මතවාදී වෙනස්කම් ඇති කළේය. එය සමාජ පරිවර්තනයක් සඳහා විෂය මූලික සාධකයන්ගේ පරිණත වීමක් සඳහා හේතු සැපයුවද මනෝමූලික සාධකයේ වර්ධනයට බාධා කළේය. රට ඉදිරියේ, තරුණ පරපුර ඉදිරියේ ‘සිහින රාජ්‍යයක්’ පෙන්වීමට එ.ජා.ප ආණ්ඩුව වෙර දැරීය. ඒ අතරම තම දේශපාලන ගමන්මගට බාධාකරන බලවේගවලට මුහුණදීම සඳහා ඒවා මර්දනයෙන් යටපත් කිරීම සඳහා නීති රීති මෙන්ම ආයතනද පිහිටුවීය. ජ.වි.පෙට තම කටයුතු කරගෙන යාමට සිදුවූයේ එ.ජා.ප ආණ්ඩුව විසින් නිර්මාණය කළ මෙම අසීරු දේශපාලන තත්ත්වය තුළ එ.ජා.පයේ මර්දනකාරීත්වයටද මුහුණ දෙමින්ය.
1976 න් ඇරැඹි ජ.වි.පෙ නව දේශපාලන ගමනේ එක් වැදගත් සිදුවීමක් 1978 දී සනිටුහන් විය. ඒ ජ.වි.පෙ සිය ඉතිහාසයේ ප්‍රථම වරට ජාත්‍යන්තර දේශපාලන කාර්යයකට ආරාධනා ලැබ සහභාගි වීමය. දැනටත් ලෝකයේ පවතින ලෝක තරුණ හා ශිෂ්‍ය සංවිධානය එවකට පැවැති සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුරේ මෙහෙයවීම යටතේ විය. වසර 4 කට වරක් එකල පැවැත් වූ ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලේ බොහෝ වියදම් දරුවේ සෝවියට් දේශය විසිනි. 1978 දී ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙල පවත්වනු ලැබුයේ සමාජවාදී කියුබාවේ අගනුවර වූ හවානා නගරයේය. මේ සඳහා ජ.වි.පෙට ද ආරාධනා ලැබුණු අතර ජ.වි.පෙ නියෝජිතයන් 05 දෙනෙකුට ඒ සඳහා අවස්ථාව ලැබිණි. එකල සියලු ගමන් වියදම් දරුවේ සෝවියට් දේශය විසින් වීම නිසා ඊට බරපැන දැරීමට පක්ෂවලට සිදු නොවීය.
1978 හවානා වල පැවැති තරුණ හා ශිෂ්‍ය උළෙල සඳහා ජ.වි.පෙ නියෝජනය කරමින් සහභාගි වූ 05 දෙනා වූයේ රෝහණ විජේවීර, සෝමවංශ අමරසිංහ, වාස් තිලකරත්න, කෙලී සේනානායක හා සුනිලා අබේසේකර යන අයයි. සුනිලා අබේසේකර ඒ වන විට පක්ෂයට සම්බන්ධ වී සිටි අතර විමුක්ති ගී කණ්ඩායමේ ගායිකාවක් ද වූවාය. ඇය හවානා ගමනට එක්කර ගැනීමට හේතුව වූයේ විදේශ භාෂා පිළිබඳ ඇය සතුව කිසියම් දැනුමක් තිබීමය.
හවානාහි පැවැති තරුණ හා ශිෂ්‍ය සමුළුවට ජ.වි.පෙ සහභාගිවීම වැළැක්වීම සඳහා පැරණිවම, විශේෂයෙන්ම කොමියුනිස්ට් පක්ෂය විශාල උත්සාහයක් දැරීය. ඒ වන විට සෝවියට් පිලේ නිල නියෝජිතයා වූයේ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයයි. කෙසේ වෙතත් එය අසාර්ථක වූ විට හවානාහිදී ද පැරණි වම ජ.වි.පෙ ට එරෙහිව විවිධ කෙනෙහිලිකම් කිරීමටත් කුමන්ත්‍රණකාරී කටයුතු කිරීමටත් උත්සාහ දැරීය. ඉන් එක් සිදුවීමක් වූයේ ජ.වි.පෙ පක්ෂ බැනරය ඔවුන් විසින් හොරෙන් කපා දැමීමය. මෙම උළෙලට ගිය ජ.වි.පෙ නියෝජිතයන් නතරව සිටි හෝටලයේ සිය පක්ෂ බැනරය ප්‍රදර්ශනය වන ලෙස සවිකර තිබුණි. එවැන්නක් සඳහා තම පක්ෂ බැනරයක් පවා ගෙනයාමට අමතක කර තිබූ පැරණි වමේ පක්ෂවලට ජ.වි.පෙ බැනරය ‘ඇහේ කටු ඇනීමක්’ විය. එහිදී ඔවුන් කර තිබුණේ රාත්‍රියේදී ජ.වි.පෙ බැනරය කපා ඉවත් කිරීමය. කෙසේ වෙතත් හවානා ගමන ජ.වි.පෙ ට අලුත් අත්දැකීමක් වූ අතර එහිදී ජ.වි.පෙ නියෝජිතයන් විසින් විවිධ රටවල වමේ හා කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයන් මුණගැසී සබඳතා ගොඩනගා ගන්නා ලදී.
රෝහණ විජේවීර සහෝදරයා මෙම ගමනේදීම ලන්ඩනය, පෘතුගාලය, ඇතුළු තවත් රටවල් කිහිපයක සංචාරය කළ අතර ලන්ඩන් ශාඛාව පිහිටුවීම ද කරන ලදී.
පෘතුගාලයේ ඒකාධිපති ආණ්ඩුව පෙරළා දැමීමට ක්‍රියාත්මක වූ වමේ නායකයෙක් වූ ට්‍රැජිලෝ ද මුණගැසී තිබිණි.
මීළඟට අපට හමුවන වැදගත්ම දේශපාලන ක්‍රියාමාර්ගය වන්නේ, ජ.වි.පෙ මූලිකත්වයෙන් ගොඩනැගු වමේ එකමුතුවයි. එය වමේ පෙරමුණක් නොවූ අතර වමේ පක්ෂ සමග ආරම්භ කළ එක්සත් ක්‍රියාමාර්ගයක් විය. ජ.වි.පෙ මුල සිටම ප්‍රතිසංස්කරණවාදී සංශෝධනවාදී පංති සහයෝගිතාවාදී එක්සත් පෙරමුණු ප්‍රතික්ෂේප කළ අතර එය පන්ති සටන හා සමාජ විප්ලවය විශ්වාස කළ පක්ෂයක් විය. ජ.වි.පෙ ට වමේ එක්සත් ක්‍රියාමාර්ගයකට යාමට සිදුවූයේ ඒ වන විට ජයවර්ධන ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ ලෙස අහෝසි කිරීම සඳහා ගනු ලබමින් තිබූ ක්‍රියාමාර්ගයන්ය.
1979 එ.ජා.ප ආණ්ඩුව විශේෂ පනත් දෙකක් සම්මත කලේය. ඉන් එකක් ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ විශේෂ විධිවිධාන (තාවකාලික) පනත’ වූ අතර අනෙක ‘කොටි හා සමාන සංවිධාන තහනම් කිරීමේ පනත’ විය (ඉන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවමත් පවතී)ජයවර්ධන පාලනයේ මෙම ක්‍රියාමාර්ගය රටේ ප්‍රජාතන්ත්‍රවාද අහෝසි කිරීමේ හා විරුද්ධ දේශපාලන පක්ෂ මර්දනය කිරීමේ දිශාවට තබන බරපතළ පියවරක් ලෙස නිවැරදිවම වටහාගත් ජ.වි.පෙ ඊට එරෙහිව උද්ඝෝෂණයක් ආරම්භ කිරීමට තීරණය කළේය. එහිදී ජ.වි.පෙ ලෙස හුදකලාව තනිව සටන් කරනවා වෙනුවට ඒ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වමේ පක්ෂ හා එක්ව යම් අරගලයක් කළයුතු බව තීරණය කළ ජ.වි.පෙ ඊට මැදිහත් විය.
ජ.වි.පෙ මූලිකත්වයෙන්. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, නව සමසමාජ පක්ෂය හා බාලාතම්පෝගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය සමග සාකච්ඡා පැවැති අතර ඉහත පනත් දෙකට එරෙහිව ඒකාබද්ධ උද්ඝෝෂණයකට ඔවුහු ද එකඟ වූහ. ඒ අනුව 1979 දී මෙම පක්ෂ පහේ පළමු ඒකාබද්ධ උද්ඝෝෂණ රැලිය කොළඹ හයිඞ් පිටියේදී පවත්වන ලදී. මෙම එක්සත් ක්‍රියාමාර්ගයේ දී ඒ සඳහා මූලිකත්වය ගනු ලැබුවේ ජ.වි.පෙ විසින් වන නිසා මෙම පළමු රැලියේ මූලාසනය ජ.වි.පෙ ට ලබා දීමටත් ඉන්පසු එක් එක් රැලියේදී මූලාසනය එක් එක් පක්ෂවලට ලබාදීමටත් තීරණය විය. ඒ අනුව පළමු උද්ඝෝෂණ රැලියේ මූලාසනය ජ.වි.පෙ වෙනුවෙන් උපතිස්ස ගමනායක සහෝදරයා විසින් දරන ලදී. මෙම රැලියේදී මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් බාලාතම්පෝ, නව සමසමාජ පක්ෂය වෙනුවෙන් වාසුදේව නානායක්කාර, සම සමාජ පක්ෂය වෙනුවෙන් අතාවුද සෙනෙවිරත්න, කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් පීටර් කෙනමන් හා ජ.වි.පෙ වෙනුවෙන් රෝහණ විජේවීර සහෝදරයා ද කථා කළහ.
පක්ෂ පහේ එක්සත් ක්‍රියාමාර්ගය ආරම්භ වන විට කලබල වූ එ.ජා.ප ආණ්ඩුව විවිධ අවලාද පතුරුවන්නට විය. ජේ. ආර්. ජයවර්ධන එහිදී ප්‍රකාශ කර තිබුණේ, මේ වමේ පක්ෂ එකතු කිරීම පිටුපස සෝවියට් රුසියාව සිටින බවය. හයිඞ්පාක් රැලියේදී ඊට පිළිතුරු දුන් විජේවීර සහෝදරයා පැවැසුවේ විවිධ වෙනස්කම් සහිතව සිටි වමේ පක්ෂ එක වේදිකාවකට ගෙනාවේ රුසියාව විසින් නොව ජේ. ආර්. ජයවර්ධන විසින්ම බවය. ඒ ඔහු ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමට ගන්නා ක්‍රියාමාර්ග විසින් බවය.
වමේ එක්සත් ක්‍රියාමාර්ග තුළ පළමු රැලියේ සිටම විවිධ ගැටලු මතුවිය. පැරණි වමේ කුහක ප්‍රතිපත්ති දිගු ගමනකට බාධාකාරී විය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සීමිත එක්සත් ක්‍රියාමාර්ගයක් ලෙස පටන්ගත් මෙය වමේ එක්සත් පෙරමුණක් බවට වහාම පත්කිරීමට වාසුදේවලාට, කො.ප.යට අවශ්‍ය විය. එහෙත් ජ.වි.පෙ කටයුතු කළේ එක්සත් පෙරමුණු ඇටවීම සඳහා නොව නිශ්චිත මර්දනකාරී පනත් වලට එරෙහිව එක්සත් ක්‍රියාමාර්ගයන් දියත්කිරීම සඳහාය. එවිට ඔවුහු ජ.වි.පෙ කට්ටිවාදී බවට ප්‍රසිද්ධියේම චෝදනා කිරීමට ද ඉදිරිපත් වූහ. පක්ෂ පහේ දෙවැනි උද්ඝෝෂණ රැලිය මහනුවර බෝගම්බර පිටියේදී පැවැති අතර එහිදී මේ ප්‍රතිවිරෝධතා මතුවිය. එම බෝගම්බර රැලියෙන්ම පක්ෂ පහේ එක්සත් ක්‍රියාමාර්ගය අවසන් විය.
සකස් කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්