ඕස්ටේ්‍රලියාවට පිටුවහල් කිරීමට එරෙහි බ්‍රෙස්ගර්ඩල්ගේ ජයග්‍රාහී අරගලය


 

ඉතිහාසය යනු නැවත නැවතත් දක්නට ලැබෙන සිදුවීම් මාලාවකැයි කියමනක් තිබේ. එය නැවතත් සනාථ කරන සංසිද්ධියක් නොබෝදා අපට දක්නට ලැබුණි. එනම් පෙරටුගාමී පක්ෂයේ නායක මට්ටමේ ක්‍රියාධරයෙකු වන කුමාර් ගුණරත්නම් මහතාගේ පුරවැසි අයිතිය ඉල්ලා එම පක්ෂයේ අනුගාමිකයන් ගෙන ගිය අධිෂ්ඨානශීලී සහ ධෛර්යවන්ත අරගලය ජයග්‍රහණයෙන් නිමා වීමයි ඒ. 


එය මෙරට වමේ ඉතිහාසයේ එක්තරා සන්ධිස්ථානයක් සේ සටහන් වන බව මගේ වැටහීමයි. මා එසේ පවසනුයේ මෙයට හරියටම වසර අසූවකට පෙර ඇති වූ පුරවැසියාගේ අයිතිය පිළිබඳ වූ එක්තරා දේශපාලන අරගලයක් මෙරට වාමාංශික ව්‍යාපාරයේ සදානුස්මරණීය සිද්ධියක් ලෙස අදටත් පිළිගැනීම නිසාය. 


ලංකා සම සමාජ පක්ෂය ආරම්භ කළ යුගයේ මෙරට පැවති බි්‍රතාන්‍ය යටත්විජිත පාලනයට එරෙහිව සිදු කළ බ්‍රෙස්ගල්ඩල් සිද්ධිය නමින් ඉතිහාසයට එක්ව ඇති අරගලයයි. මෙම කරුණු දෙක බොහෝ සෙයින්ම එක හා සමානය. අපි එම කතාව මෙසේ යළි සිහියට නගමු. 


මාක් ඇන්ටනි ලිස්ටර් බ්‍රෙස්ගර්ඩල් බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර ආසන්නයේ ඩෙස්ලි නම් ප්‍රදේශයේ උපත ලැබීය. 1930 දශකයේ මුල් භාගයේදී ඇති වූ මහා ආර්ථික පරිහානිය හේතුවෙන් පීඩාවට පත් ලක්ෂ සංඛ්‍යාත පිරිස අතර වූ බ්‍රෙස්ගර්ඩල් ඔහුගේ මව එනා සමග ඕස්ටේ්‍රලියාවට සංක්‍රමණය විය. එහිදී රැකියාවක් සොයාගෙන යහපත් ජීවිතයක් ගොඩනගා ගැනීමට මෙම මව්පුතු දෙපළ සැලසුම් කළහ. ආර්ථික පරිහානියේ කටුක ප්‍රතිඵල ඕස්ටේ්‍රලියාවටද මේ වන විට දැනෙමින් තිබුණි. එම නිසා මෙම තරුණයාට එරටෙහිදීද රැකියාවක් සොයා ගැනීමේ අවස්ථාවක් ලැබුණේ නැත. 


එකල බොහෝ යුරෝපීයයෝ ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයට එක්වෙමින් සිටියහ. අක්කර දස දහස් ගණන්වල තේ වගා ආරම්භ කර තිබුණු අතර එම වතුවල පාලකයන් වූවේද බි්‍රතාන්‍යයෙන් පැමිණි සුදු ජාතිකයෝය. උඩරට පළාත්වල සිංහල ගැමි ජනතාව සුද්දන්ගේ වතුවල වැටුපට සේවය කිරීම ප්‍රතික්ෂේප කළ නිසා වතුවල සේවය සඳහා කම්කරුවන් ගෙනෙන්නට සිදු වූයේ දකුණු ඉන්දියාවෙනි. ඉන්දියාවේ තැරැව්කරුවන් මගින් දහස් ගණන් ඉන්දියානුවෝ මෙරටට ගෙන එනු ලැබුවේ සතුන් මෙනි. සිය ගණන් ගැහැනු සහ මිනිස්සු දුම් නැව්වල පටවා උතුරේ සහ කොළඹ වරායට ගෙන එන ලද මොවුන් එතැන් පටන් මධ්‍යම කඳුකරයට දක්කා ගෙන එන ලදහ. නම ගම ලියාපදිංචි කරන ලද ලේඛනයක් ඔවුන් වෙනුවෙන් නොතිබුණි. 


මොවුන් එක් එක් අය හඳුනා ගනු ලැබුවේ බෙල්ලේ ගැට ගසා තිබුණු බෙලෙක් තහඩු කැබැල්ලක සටහන් කර තිබුණු අංකයක් මගිනි. මෙම අසරණයන් “ලයින් කාමර” නම් වූ පේළි ගෙවල්වල පිහිටි කුඩා කොටස්වල ගාල් කරනු ලැබ තිබුණි. ඉතා අපිරිසිදු වූ මෙම කාමරවල දහ දොළොස් දෙනා ජීවත් වූහ. ඒවායේ කිසිදු පහසුකමක් නොතිබුණි. ඔවුන්ගේ සමහර කාර්යයන්හිදී නෑදෑකමක් සැලකිල්ලට නොගත් බව කියවුණේ මෙම සමාජ පරිසරය නිසාවෙනි. මෙසේ දුක්ඛිත අසරණ ජීවතයක් ගත කරමින් මධ්‍යම කඳුකරයේ තද ශීතලයද දරා ගනිමින් පැය ගණනක කාල නියමයක් නොමැතිව සමහර විට දිවා රෑ දෙකෙහිත් ඔව්හු වත්තේ වැඩ කළහ. 


එම යුගයේ රට පුරා පැතිර ගිය මැලේරියා වසංගතයට ගොදුරු වූ සමහරු මැසි මදුරුවන් මෙන් සිය ගණනින් මරණයට පත් වූහ. නිසි ප්‍රතිකාරයක් ලබා දී ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට සුදු ජාතික වතු පාලකයන්ට කිසිම අවශ්‍යතාවක් නොවිණි. ඔවුන්ට අවශ්‍ය වූවේ වැඩි වැඩියෙන් සේවය ලබාගෙන වතු  යායේ ආදායම් වැඩිකර ගැනීමට පමණි. මෙසේ දිවි පරදුවට තබා වැඩ කළ පිරිමි කම්කරුවෙකුගේ දිනක වැටුප ශත තිහක් හෝ තිස් පහක් වූ අතර සේවිකාවගේ වැටුප දිනකට ශත විස්සක් හෝ විසි පහක් විය. එම යුගයේ වුවද එය ජීවත් වීමට කිසිසේත්ම ප්‍රමාණවත් මුදලක් නොවූවේය. මෙම දුක් දොම්සන් විඳින කම්කරු ජනතාව වෙනුවෙන් පෙනීසිටීමට හෝ කථා කිරීමට කිසිවෙකු සිටියේ නැත. නතේස අයියර් නම් වූ කොළඹ පුවත්පත් කලාවේදියෙකු වතු කම්කරුවන්ගේ වෘත්තීය සමිතියක් ආරම්භ කර තිබුණත් වතු අධිරාජ්‍යයේ පාලකයන්ගේ බල පරාක්‍රමය හමුවේ ඔහුට කළ හැකි යමක් තිබුණේ නම් ඒ ඉතා සීමිතවය. නතේස අයියර් පසුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හැටන් ආසනයේ මන්ත්‍රීවරයා ලෙස පත්වීම් ලැබීය. වතු කම්කරුවෙකුට පහර දීම, අත පය බිඳ දැමීම හෝ මරා දැමීම වතු හිමියෙකුට හෝ පාලකයෙකුට හෝ එරෙහිව අධිකරණයට යාමට නඩු නිමිත්තක් ලෙස එකල සැලකුණේ නැත. 


මව් රට හැර ගොස් ඕස්ටේ්‍රලියාවේදී සැබෑ කරගත නොහුණු රැකියා සිහිනය සැබෑ කර ගනුවස් බ්‍රෙස්ගර්ඩල් තරුණයා ලංකාවට පැමිණියේ මෙවැනි පසුබිමක් පවතිද්දීය. ඒ උපවතු අධිකාරියෙකු ලෙස සේවය කිරීම පිණිසය. ඔහුට රැකියාව ලැබුණේ කඳුකරයේ මඩොල් කැලේ රෙලුගස් වතු යායටය. එම වත්තේ ප්‍රධාන අධිකාරී ධුරය දැරුවේ තෝමස් නමැති බි්‍රතාන්‍ය ජාතිකයෙකි. ඔහු අහංකාර පරවශ මානයෙන් ඉදිමුණු හිසක් ඇති නරුමයෙකි. මිනිසුන් තලා පෙළා වැඩ ගැනීමට මිස ළතෙත් බවක් තිබුණේම නැත. එහෙත් අලුත් පැමිණි උපඅධිකාරි මාක් ඇන්ටනි ලෙස්ටර් බ්‍රෙස්ගර්ඩල් කම්කරු ජනයා විඳින දුක සහ පාලකයන් ලබන සැප අහසට පොළව මෙන් සුවිශාල බවක් ටික දිනකින්ම අවබෝධ කර ගත්තේය. එනිසා තමා සේවය කරන වත්තේ සේවක පිරිස කෙරෙහි සානුකම්පිතව බැලීමට හැකියාවක් ඇති ප්‍රගතිශීලී මත දරණ සුද්දෙකු වූවේය. සමකාලීන වාර්තාවන්හි දැක්වෙන අන්දමට බ්‍රෙස්ගර්ඩල්ගේ මව එනා බි්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ ක්‍රියාකාරිනියක් වූ නිසා එම ආභාසය මත ඇයගේ පුත්‍රයාද සුදු හමට උරුම වූ අනුන් තළා පෙළා සතුටු වීමේ ගතියෙන් තොරවුණු මානවවාදී ගුණයෙන් යුතු පුද්ගලයෙක් වුවේය. ඔහු තමා යටතේ සේවය කරන සේවකයන්ට හැකි අයුරින් සහන සලස්වා දුන් අතර ඒ අයද බ්‍රෙස්ගර්ඩල්ට පෙරළා ආදරය කළහ. මෙම සුහදතාව දුටු වතු අධිකාරි තෝමස් තම සඟයා ගැන කිපුණේය. මෙහෙම ගියොත් සේවකයන් අපේ කරට නගිනවා සිකුරුයි. ඒ නිසා කම්කරුවන් සමග පවත්වන පයිරුපාසනය නතර කර දමා පිළිගත් ක්‍රමවේදයට පාලනය ගෙන යන ලෙස දැඩිව අවවාද කළේය. එහෙත් උප වතුඅධිකාරිවරයා තම මානවවාදී ප්‍රතිපත්තිය අත හැර දැමීමට එකඟ නොවීය. මේ අනුව බ්‍රෙස්ගර්ඩල් රැකියාවෙන් ඉවත් කර ආපසු ඕස්ටේ්‍රලියාව වෙත නෙරපා දැමීමට කුමන්ත්‍රණය කළේය. ඔහු එවකට පොලිස්පති බෑන්ක්ස් වෙත සියලු තොරතුරු දන්වා මෙවැනි ලිපියක් ලීවේ සැබැවිනි. 


රෙලුගස් වතුයාය, මඩුල්කැලේ, 1936 නොවැ. 24. 
පී. ඇන්. බෑන්ක්ස් මහතා 
පොලිස් මූලස්ථානය, කොළඹ.
හිතවත් මහත්මයාණනි, 

බ්‍රෙස්ගර්ඩල් හුටපටය නිසා ඔබ කරදරයට පත් කිරීම ගැන බලවත් ලෙස කණගාටු වෙමි. නමුත් මිත්‍ර ග්ලාස් මේ කටයුත්ත ඔබ අතට පත්කිරීම ගැන මම සතුටට පත් වූවෙමි. ඔහු (බ්‍රෙස්ගර්ඩල්) කොතනක සිටීදැයි මම නොදනිමි. 


වැවිලි කර්මාන්ත ඉගෙනීම සඳහා ඔහු මා වෙත එවීය. නමුත් හය මසකට පසුව, හොඳම දෙය ඔහු ඕස්ටේ්‍රලියාවට යැවීම යයි මම තීරණයකට පැමිණියෙමි. 


ඔහු උග්‍ර කොමියුනිස්ට් මත දරන්නෙකි. 


ඔහු පසුගිය ඉරිදා වත්තෙන් පිටව යන්නට ගිය අතර එය අවසානයකැයි මම සිතීමි. ඔහුගේ අදහස කිසියම් ලාංකිකයන් පිරිසක් සමග ජීවත් වීම නම් එය එතරම් සතුටු දායක නැත. ගමනට අවශ්‍ය ගාස්තු සඳහා මම ඔහුට මුදල් දුනිමි. එය ඔහුට නතර වීම සඳහා අනුබලයක් වීම වඩාත් නරකය.  ඔබ කළ සියල්ලටම ස්තූතිවන්ත වෙමි. ඔහු දෙසැම්බර් 12 වැනිදා රටින් පිට කර දමනු ඇතැයි බලාපොරොත්තු  වෙමි. 


ඔහු රටින් පිට කර යැවීමේ ගමන් ගාස්තුව දැරීමේ වගකීම ඔහු නතර කරගෙන සිටින මිනිසුන් වෙත පටවන්නට බැරිද? මම ඔහුට මුදල් දුන්නේ නොවැම්බර් 24 වැනිදා පිටව යාමටයි. මගේ අනුදැනීමක් නැතිව යම් කිසිවෙකු ඔහු නතර කරගෙන සිටින බැවින් ඔවුන් ඒ වගකීම දැරිය යුතුය. එය ඔවුන් බියවැද්දීමකද යෙදිය හැක. 


ඔහු සමග සිටින අයගේ නම් මට දැන්විය හැකිද? මට හානිකර නොවන වැදගත් මිනිසුන් සමග ඔහු ජීවත්වේ නම් මට කාරියක් නැත. 


ඔබ ඉටුකර තිබෙන කටයුතු ගැන නැවතත් ස්තූති වන්ත වෙමි. ඔහු සිටින තැනක් දැන ගන්නට හැකි නම් යහපති. 
මේ ඔබේ අවංක, තෝමස්.


එයට පිළිතුරු සපයමින් පොලිස්පති එවන ලද ලිපියෙන් ඔවුන් දෙපාර්ශ්වය අතර පැවති කුමන්ත්‍රණය මනාව හෙළිදරව් විය. කෙසේ හෝ එකී සැම දෙනාටම අවශ්‍යව තිබුණේ අසරණ සහ පීඩිත වතු කම්කරුවන් කෙරෙහි මානවවාදීව කාරුණිකව බැලූ සුදු තරුණයා මෙරටින් පිටුවහල් කර දැමීමය. මේ වන විට කලකිරීමට පත්ව සිටි බ්‍රෙස්ගර්ඩල් තරුණයා එවකට සම සමාජ පක්ෂයේ ලේකම්ව සිටි වර්නන් ගුණසේකර මහතා හමු වී ඔවුන් සමග එක්ව සිටියේය. මේ දිනවලම සංචාරයක් සඳහා ලංකාවට පැමිණ ජාතික නිදහස ලබා ගැනීම උදෙසා දේශන මාලාවක් පවත්වමින් සිටි ඉන්දීය නිදහස් සටනේ මුල් පෙළේ නායිකාවක වූ කමලා දේවි චට්ටෝපධ්‍යාය මැතිනිය සමග එම රැස්වීම්වලට සහභාගී වීමට බ්‍රෙස්ගර්ඩල් ක්‍රියා කළේය. මෙසේ නාවලපිටියේ පැවති රැස්වීමේදී ලංකාවට නිදහස ලබා ගැනීම ඉක්මන් කිරීමට නම් ඉන්දියාවේ මෙන් අරගල කළ යුතු බව කීවේය. එසේම වතු කම්කරු ජනයා විඳින අප්‍රමාණ දුක් ගැහැට අවසන් කිරීම පිළිබඳවත් ඔහු ජනයා දැනුම්වත් කළේය. 


මෙම සිදුවීම් නිසා සුද්දෝ මාරාවේෂ වතුකාරයන්ගේ සාමාජිකයෝ ආණ්ඩුකාර ස්ටබ්ස් හමු වී තම ජාතියට වින කරන ජාතිකයා ලංකාවෙන් පිට කරන ලෙස ඔහුට මහත් බලපෑමක් ඇති කළේය. මෙය ඉටු කළ යුතුම දෙයක් බව වටහා ගත් ආණ්ඩුකාරවරයා 1937 අප්‍රේල් විසි වෙනි දින පහත සඳහන් නිවේදනය නිකුත් කළේය. 


අපවත් වූ වික්ටෝරියා මහා රාජිණීන් වහන්සේ විසින් 1896 දී ඔක්තෝම්බර් 26 වැනිදා රාජ සභාවේදී කරනු ලැබුවා වූ නියෝගයෙහි තුන්වැනි කොටසේ තුන්වන වගන්තිය පරිදි මා හට ලැබී තිබෙන බලතල අනුව මාක් ඇන්ටනි ලිස්ටර් බ්‍රෙස්ගර්ඞ් නමැති නුඹට 1937 අප්‍රේල් 24 දින සවස 6.00 පෙර ලංකාද්වීපයෙන් පිට වන ලෙස ලංකාණ්ඩුකාර වශයෙන් මම නියෝග කරමි. නුවරඑළියේදී මගේ අත්සන තැබුවේ 1937 අප්‍රියෙල් 20 වැනිදාය. 


මෙම නියෝගය නීති විරෝධී බවත් එය කඩ කර යටත් විජිත පාලනයට අභියෝග කළ යුතු බවටත් ලංකා සම සමාජ පක්ෂය තීරණය කළාය. අප්‍රේල් 24 වැනිදා සවස 6.00 ට කොළඹ වරායෙන් පිටත් වී ඕස්ටේ්‍රලියාව බලා පිටත්ව යාමට නියමිත මුල්ට්‍රාර් නම් නැවෙන් බ්‍රෙස්ගර්ඞ්ල් පිට විය යුතු විය. බොහෝ වතු සුද්දෝ වරාය අසල හෝටල්වල උඩු මහල්වල රැස් වී තම සතුරා දිවයිනෙන් සදහටම පිටව යනු දැකීමේ සතුට විඳ දරා ගැනීමට සූදානමින් සිටියහ. 


කොළඹ වරායේ ජැටියේද සිය ගණනක පිරිසක් රැස්ව සිටියහ. ඒ සම සමාජ අනුගාමිකයන්ය. සවස 6.00 වීමට විනාඩි කීපයක් තිබියදී රුවන්වැල්ල මන්ත්‍රී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සහ පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි ගුණවර්ධන යන දෙදෙනා එතනට පැමිණියහ. දැන් බෙස්ගර්ඩල් එතනට එන බවට පොලිසියට සැකයක් නැත. එහෙත් ඔහු තවමත් නැත. 6.00ට සංඥා නිකුත් කළ මුල්ට්‍රාර් නැව බෙස්ගර්ඩල් නොමැතිවම වරායෙන් පිටත් විය. උද්වේගකාරී ලෙස සිය දෙඅත් අහසට යොමු කළ ඇන්. ඇම්. ආණ්ඩුකාරයාගේ නීති විරෝධී දුෂ්ට නියෝගය කඩ කළ බ්‍රෙස්ගර්ඩල් සහෝදරයාට ජය වේවායි මහ හඬින් කෑ ගැසීය. ඉන් පසු බොහෝ වේලාවක් ඇසුණේ මුළු වරාය පෙදෙසම ගිඟුම් දෙන ජයවේවා යන හඬ පමණි. පොලිසිය අන්ද මන්ද වූවේය. මුළු රටම පීරා බ්‍රෙස්ගල්ඞ් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයා තම පොලිසියට අණ කළේය. එයට ප්‍රතිචාර දැක්වූ සම සමාජ පක්ෂය, පෙරමුණු දෙකකින් ආණ්ඩුකාරවරයාගේ හිතුවක්කාර නියෝගයට අභියෝග කිරීමට තීරණය කළාය. එකක් නීතිය පැත්තෙනි. අනෙක දේශපාලන මට්ටමෙනි. එනිසා කොළඹ ගාලු මුවදොර පිටියේ පවත්වන ලද රැස්වීමට පනස් දහසකට අධික පිරිසක් සහභාගී වූ බව වාර්තා විය. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී පළාත් පාලන ඇමති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, මහනුවර මන්ත්‍රී ජෝර්ජ් ඊ. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, ඒ. ඊ. ගුණසිංහ, සිරිපාල සමරක්කොඩි ආදී රාජ්‍ය මන්ත්‍රීවරු ද කතා කළහ. එම රැලියේ මූලික අරමුණ වූයේ ආණ්ඩුකාරවරයාගේ නියෝගය හෙළා දැකීමය. ඉතා හදිසියේ මෙම රැස්වීමට පැමිණි බ්‍රෙස්ගර්ඩල් විනාඩි කීපයක් රැස්වීම අමතා පොලිසියේ ඇසට වැලි ගසමින් අතුරුදහන් වීමෙන් සැවොම මවිතයට පත් වූහ. 


රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ද මේ ගැන විවාදයක් පවත් වන ලද අතර එහිදී ආණ්ඩුකාරවරයාගේ ක්‍රියාව හෙළාදැකිය යුතු යැයි මාතලේ මන්ත්‍රී බර්නාඞ් අලුවිහාරේ මහතා ඉදිරිපත් කළ යෝජනාව සංශෝධනය කරමින් නාරම්මල රාජ්‍ය මන්ත්‍රී සිරිපාල සමරක්කොඩි මහතා පහත සඳහන් යෝජනාව ඉදිරිපත් කළේය. 


පොලිසියත් සමග එක් වී මෙවැනි හිතුවක්කාරී ලෙස ආණ්ඩුකාරවරයා විසින් කරන ලද ක්‍රියාව ඉතාමත් පිළිකුල් සහගතය. බ්‍රෙස්ගර්ඞ්ල් මහතාව නෙරපා හැරීම සඳහා කරනු ලැබූ ආඥාව අවලංගු කිරීමට ඇමති මණ්ඩලය ආණ්ඩුකාර තැනට දැන්විය යුතුය. තවද මෙම නීතිය සහමුලින්ම අවලංගු කිරීමට වහාම විධි විධාන යෙදිය යුතුය. 


රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරුන් තිස් හතර දෙනෙකු පක්ෂවත් හය දෙනෙකු විපක්ෂවත් ඡන්දය දීමෙන් නාරම්මල මන්ත්‍රීවරයාගේ යෝජනාව සම්මත විය. ඒ දේශපාලන පෙරමුණේ සටන විය. 


සම සමාජ පක්ෂය සැලසුම් කළ පරිදි 1937 මැයි 7 වැනි දින සවස ලේකම් වර්නන් ගුණසේකර මහතාගේ කාර්යාලයේදී පොලිසිය විසින් බ්‍රෙස්ගර්ඞ්ල් අත්අඩංගුවට ගනු ලැබීය. මේ වන විට ආණ්ඩුකාර ස්ටබ්ස්ගේ නියෝගයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේ කටයුතු සියල්ලම නිමා කර සූදානමින් තිබුණි. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් සුළු වේලාවකට පසු ඇන්. ඇම්. කොටුව පොලිසියට ගොස් ඔහු මුණගැසුණේය. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, සර් ෆ්‍රැන්සින් ද සොයිසා හා වර්නන් ගුණසේකර යන නීතිඥ පිරිස අග්‍ර විනිශ්චයකාර සර්. සිඞ්නි ඒබ්‍රහම්ස්ගේ නිවසට ගොස් පෙත්සමක් ඉදිරිපත් කළහ. 


සර් සිඞ්නි ඒබ්‍රහම්ස් අග විනිසුරු තුමාගේ සභාපතිත්වයෙන් යුතුව මාටිනස් සහ ෂූට්ස් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලාගෙන් යුතු රජනුන් කට්ටුවක් ඉදිරියේ මෙම නඩුව විභාගය අවසානයේ 1937 මැයි 18 වැනිදා ප්‍රකාශයට පත් කරන ලදී. මාර්ක් ඇන්ටනි ලිස්ටර් බ්‍රෙස්ගල්ඞ් පිටුවහල් කිරීම සඳහා දෙන ලද ආණ්ඩුකාරවයාගේ නියෝගය නීති විරෝධී බවත් ඔහු පිටුවහල් කිරීමට උපයෝගී කරගත් නීතිය අනුව ආණ්ඩුකාරවරයාට බලය පාවිච්චි කළ හැක්කේ යුද්ධාවස්ථාවක හෝ මුළු රට පුරා කැරලි කෝලාහල පවත්නා අවස්ථාවකදී හෝ පමණක් බවත් රජතුන් කට්ටුවේ ඒකමතික තීරණය වූවේය. 


මෙම තීරණය වගඋත්තරකරුට දැනුම් දෙන ලෙස අගවිනිසුරු තුමා ශේ්්‍රෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්ට නියෝග කළේය. 
දේශපාලන පෙරමුණේදී මෙන්ම නීති සටනෙන්ද ජය ගත් බ්‍රෙස්ගර්ඩල් නිදහස ලැබීය. මෙම නඩුවේ පැමිණිලිකරු වූ ලංකා සම සමාජ පක්ෂයේ ලේකම් වර්නන් ගුණසේකර මහතා වෙනුවෙන් නෝබට් ජයවර්ධන මහතාගේ උපදෙස් පිට රාජ නීතිඥ එච්. වී. පෙරේරා, ඇම්. ටී. ද ඇස්. අමරසේකර, ජේ. ආර්. ජයවර්ධන, බී. එච්. අලුවිහාරේ, රාජනීතීඥ සර්. ෆ්‍රැන්සින් ද සොයිසා යන මහත්වරු සමග ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා පෙනී සිටියේය. 


ඉහත කී නීති විරෝධී නීතිය ගැන අදහස් දැක්වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා මෙසේ ප්‍රකාශ කර තිබුනි. මේ නීතියේ හැටියට ආණ්ඩුකාරවරයාගේ බලය පෑමට ඔහු විසින් කිසිම හේතුවක් කියා පෑමට අවශ්‍යතාවක් නැත. ඇත්තෙන්ම මේ ආකාරයෙන් සලකා බලන කල ආණ්ඩුකාර තැනට යම් කෙනෙක් නුරුස්සනවා නම් ඒ අය ඔහුට උවමනා ආකාරයට ලංකාවෙන් පිටුවහල් කිරීමට බලය තිබෙන බව පෙනේ. මෙබඳු භයානක අවස්ථාවක සිය නිදහස ගැන බලාපොරොත්තුවක් ඇති කිසිම කෙනෙකුට නිසොල්මන්ව බලා සිටිය නොහැකිය. ආත්ම ගෞරවය ඇති මනුෂ්‍යයන් හැටියට මෙය අප විසින් කළ යුතුමය. එකක් නම් ලංකා මහජනයාගේ හිත මිත්‍ර, සහෝදර බ්‍රෙස්ගර්ඩල් පිටුවහල් කිරීමේ නියෝගය අවලංගු කරන ලෙස එකහඬින් සටන් කිරීමයි. ලාංකික දුප්පතා කෙරෙහි දැක්වූ අනුකම්පාව නිසා සිය ජාතිකයන්ගේම වෛරයට ගොදුරු වී සිටින කෙනෙකුට කෘතගුණ සලකන මනුෂ්‍යයන් හැටියට මෙය අප විසින් කළ යුතුමය. අපේ දෙවැනි යුතුකම ලංකාණ්ඩුකාර තැනගේ හිතුවක්කාර බලයට මුළු ලංකාවම කැප කරන මේ දරුණු, සාහසික වනචර නීතිය වහාම නීති පෙතෙන් ඉවත් කිරීමට විශාල උද්ඝෝසණයක් ඇති කිරීමයි. 


එංගලන්තයේදී මේ ගැන විශේෂයෙන්ම ක්‍රියා කරන්නට අවශ්‍ය බව අපි මතක් කරමු. 1896 නියෝගය නීත්‍යානුකූලව අවලංගු කරන්නට පුළුවන් වන්නේ එංගලන්තයේ පාර්ලිමේන්තුව මගිනි. රාජ්‍ය මන්ත්‍රණ සභාවටවත් ආණ්ඩුකාරවරයාටවත් ඒ සඳහා බලයක් නැත. වික්ටෝරියා මහේෂිකාව විසින් පනවන ලද නියෝගය අවලංගු කරන්නට පුළුවන් වන්නේ හයවැනි ජෝර්ජ් රජතුමාට පමණය. ඒ නිසා මෙම කාරණය ගැන එංගලන්තයේත් උද්ඝෝෂණයක් ඇති කිරීම අත්‍යවශ්‍යය. මෙම සියලු අපේක්ෂාවන් සාර්ථක කරමින් 1937 ජුනි 29 වැනිදා ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයෙහි පහත සඳහන් නිවේදනය පළ වී තිබුණි. 


ලක්දිව වැසියෙකු පැය විසි හතරක් ඇතුළත දී පිටුවහල් කිරීමට ආණ්ඩුකාර තැනට බලය දී වික්ටෝරියා මහේෂිකාව විසින් පැන වූ නියෝගය මෙයින් මෙම දිවයිනෙහි අවලංගු කරනු ලැබේ. 


මේසා විශාල ආරවුලක් නිර්මාණය කළ එඞ්වඞ් ස්ටම්ස් ආණ්ඩුකාරවරයා ආපසු කැඳවූ බි්‍රතාන්‍ය මව් රජය ඒ වෙනුවට ඇන්ඩෲ කොල්ඞ්කොට් එම තනතුරට පත් කර එවීය. 


පිටුවහල් කිරීම යන පොදු තේමාව යටතේ නීතිමය සහ දේශපාලන පෙරමුණු දෙකේදීම දැඩි සටනක් ගෙන ගිය කුමාර් ගුණරත්නම් සහ බ්‍රෙස්ග්ල්ඞ් යන දෙදෙනාටම ජය අත් විය. බ්‍රෙස්ගල්ඞ්ල්ගේ සටනේ ඓතිහාසික සටනේ ජයග්‍රහණයන් මෙසේ හුවා දැක්වූවත් ගුණරත්නම්ගේ අරගලයේ ප්‍රතිඵල ශ්‍රී ලංකාවට දැනෙනුයේ තව ඉදිරියටය. ඒ ගැන අනාවැකි කීමට ඉක්මන් නොවිය යුතුය. මක්නිසාද යත් එය අනාගතයට භාර කටයුත්තක් වන බැවිනි.

සෝමසිරි වික්‍රමසිංහ