මීට කලකට ඉහත කොළඹ ඇතුළු ප්‍රධාන නගරයන්හි කරාටේ, කුංෆු සහ වුෂු වැනි විවිධ නම්වලින් හැඳින්වුණු ආත්මාරක්ෂක සටන් ශිල්ප ක්‍රම ඉගැන්වෙන පන්ති බහුල වශයෙන් පැවැත්විණි. එම පාඨමාලා පවත්වනු ලැබුවේද අදාළ සටන් ශිල්පයන් හි කෙළ පැමිණි ඔස්තාර්ලා විසින් බවද අපට මතකය.
එකල සති අන්තයේ නිකුත් වූ බොහොමයක් පුවත්පත්වල එවැනි කරාටේ හෝ කුංෆු මාස්ටර්ලාගේ පන්ති පිළිබඳව දැක්වුණු දැන්වීම් බහුල වශයෙන් පළ වී තිබුණේය.
එකල නගරබද පෙදෙස්වල විසූ ඇතැම් තරුණයන්ට පමණක් නොව තරුණියන්ටද එවැනි සටන් ක්‍රම හැදෑරීම සඳහා බලවත් උනන්දුවක් පැවැති බව ප්‍රකට කරුණක් විය. එහෙත් මේ වන විට තරුණ තරුණියන් අතර පැවැති එම උන්මාදය බොහෝ දුරට තුනී වී ඇති බවක් පෙනෙන්නට තිබේ.
කෙසේ වෙතත් මීට වසර පනහකට හෝ හැටකට පමණ ඉහත කාලයකදී කොළඹ ප්‍රදේශයේ විසූ ඇතැම් කෙළිලොල් තරුණ පිරිස් අතරද එවැනිම සටන් ශිල්ප හැදෑරීමේ උන්මාදයක් පැවැති බව පැරැන්නන්ට මතකය. එකල පැවැති එවැනි එක් සටන් ශිල්පයක් ජනතාව අතර ප්‍රසිද්ධව තිබුණේ චීනඩි නමිනි. ඊට අමතරව “සිරංබරන්” නමැති පොලු සටන් ක්‍රමයක්ද එකල තරුණ පෙළ අතර අතිශය ජනප්‍රිය වී තිබුණේය. එම ශිල්ප ක්‍රමයේ පැවැති විශේෂත්වය වූයේ සටන්කරුවා අත තිබෙන කිතුල් පොල්ල තමන් වටා භ්‍රමණය කරමින් සතුරන්ට පහර දෙනවිට ඔහු වෙත එල්ල කෙරෙන ගල් පහරවල් පවා ඉවතට විසි වී යාමයි.
“ඉස්සර මටත් තිබුණා චීනඩි ඉගෙන ගන්න ලොකු උනන්දුවක්. මට ඒ උනන්දුව ඇති වුණේ ඒ දවස්වල මුළු මරදානම හොල්ලා ගෙන හිටපු චොප්පෙ අයියා බොරැල්ලේ කානිවල් එකකදී නන්දිසේන කුරේ එක්ක ඔට්ටුවට චීනඩි ගහගත්තු හැටි දැකපු දවසෙ ඉඳලයි. හැබැයි ඒ දෙන්නා ගහ ගත්තේ තරහකට නෙවි. ඔට්ටුවට. දෙන්නා හති වැටෙනකං ගහගන්නවා. පිටින් ඉන්න අය ඔට්ටු අල්ලනවා. වතාවක් ඒ විදියේ “චැලේන්ජ් ෆයිට්” එකක් දැකපු දා ඉඳල මම හොය හොයා ගිහින් චොප්පෙගේ චැලෙන්ජ් ෆයිට් බැලුවා”යි කියමින් තමන්ට චීනඩි සටන් ක්‍රමය ගැන උනන්දුවක් ඇති වූ ආකාරය ගැන ආවර්ජනය කරන කඩුවෙල හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ එකල ආමර් වීදියේ විසූ නාටාමි සෝමේ, මරිය කඬේ ජුවාන් නානා සහ තොටළඟ හෙන්දිරික් බාස් වැනි අය හොඳ චීනඩිකාරයන් වුවද චොප්පෙ අයියාගේ චීනඩි තරම් ඔවුන් තමන්ගේ සිතට නෑල්ලූ බවයි.
එකල ජී. එච්. බුද්ධදාස හෙවත් බුද්දෙ තමන්ගේ ඥතියෙකු විසින් පංචිකාවත්තේ පවත්වා ගෙන ගිය සිසිර හෝටලයේ නතර වී ලෝරන්ස් විද්‍යාලයේ ඉගෙනුම ලැබුවේය. එකල එම විද්‍යාලයේ ඉගෙනුම ලැබූ තරමක උස මහත කොල්ලෙකු සමග ඇතිකරගත් ගැටුමක් මුල් කරගෙන තමන්ට චීනඩි ඉගෙනීමට උනන්දුවක් හටගෙන තිබුණු බව හෙතෙම පවසයි. ගැටුමට මුල් වී තිබුණේ ගෑනු පරාණයකි.
“දවසක් ඒ හාදයා මට හොඳටම ගැහුවා. එදා ඉඳලා තමයි හිටපංකෝ උඩට හොඳ වැඩක් කරන්න කියලා චීනඩි ඉගෙන ගන්න හිතුණේ. මොකද චොප්පෙ අයියා සමහරදාට අපේ කඬේටත් එනවා යනවා. ඒ නිසා අපේ නෑයා මිනිහ හොඳට අඳුනනවා. ඉතින් ඒ මාර්ගයෙන් තමයි මමත් චොප්පෙගෙන් චීනඩි ඉගෙන ගන්න හිතුවේ”.
ඔහු කියන අන්දමට චොප්පෙ අයියා තරමක් උස, හීන්දෑරි අයෙකි. අත් දිගට දැමූ කමිසයක් හා සරමකින් සැරසී රබර් සෙරෙප්පු යුවළක් පයේ දමාගෙන බුද්දෙලාගේ හෝටලයට ආ චොප්පේ රෝස්පාන් ගෙඩියක් කා වැඩි සීනි දැමූ කිරිතේ එකක් බොන අයුරු ඔහු බොහෝවිට දැක තිබුණේය. ඉන්පසු උඩ සාක්කුවෙන් සත විසිපහක් ගෙන කැෂියර් මේසය උඩට දමන චොප්පෙ අයියා ඉතිරි සතදහය පවා නොගෙන ඉක්මන් ගමනින් ආපසු ගියේය.
“පේමේ අයියෙ, චොප්පෙට කියන්න මට චීනඩි ටිකක් උගන්වන්න කියල”.
දිනක් බුද්දෙ තම නෑයාට එසේ කීවිට “උඹ මොනවටද යකෝ චීනඩි ඉගෙනගන්නේ? ගමේ ගිහින් චණ්ඩි පාට් දමන්නද? යි ඇසූ පේමෙ, අයියා “ඔන්න ඔය විභාගෙ පාස් වෙලා රස්සාවකට පලයන්” යි කියමින් ඔහුට අම්ම මෝ නැතිව බැණ වැදුණේය.
අන්තිමේදී බුද්දෙට චොප්පෙගෙන් චීනඩි ඉගෙනීම සඳහා සැබෑවටම උදවු කළේ එකල පංචිකාවත්ත උපතැපැල් කාර්යාලයේ තැපැල් මහත්තයා වූ නැපෝලියන් ප්‍රනාන්දුය. නැපෝලියන් මහත්තයා එකල ශ්‍රීල.නි.ප යට බැඳගෙන වැඩ කළේය. එහෙත් චොප්පෙ අයියා ජේ. ආර්. ජයවර්ධන මහතා පවා දැන හඳුනා ගෙන සිටි නොම්මර එකේ යූ.ඇන්.පී කාරයෙකු විය.
කෙසේ වෙතත් අනේ චොප්පෙ මෙන්න මේ කොල්ලට උඹ දන්න චීනඩි සාස්තරේ ටිකක් කියල දීපං යි නැපෝලියන් තැපැල් මහත්තයා කී විට බුද්දෙගේ ඉස්මුදුනේ සිට පා දක්වා බැලූ චොප්පෙ අයියා “ඉරිදා හවසට අපේ දිහාවෙ වරෙන්”යි කියමින් ඊට එකඟත්වය පළ කළේය. ඒ අනුව ඊළඟ ඉරිදා බුලත් අතක්ද රැගෙන චොප්පෙ හමුවීමට ගිය බුද්දෙ එදින සිට හය මාසයකටත් වැඩි කාලයක් ඔහුගෙන් චීනඩි ඉගෙන ගත්තේය.
චොප්පෙ අයියා මට මුල දවසෙම කියපු දෙයක් තමයි බුද්දෙ උඹ චීනඩි ඉගෙන ගත්තට කමක් නැහැ. හැබැයි කාගෙවත් තරහ පිරිමහගන්න නං යන්න එපා කියලා. ඒ නිසා අර ලෝරන්ස් විද්‍යාලයේ කොල්ලත් එක්ක තිබුණු කෝන්තරය මම හිතෙන් අයින් කරගත්තා.
බුද්දෙ හෙවත් ජී. එච්. බුද්ධදාස එසේ කියන්නේ සිනාසෙමිනි. මේ අතර හැම ඉරිදාවකම පැයක් පමණ චොප්පෙ අයියාගෙන් චීනඩි ඉගෙන ගනිමින් සිටි බුද්දෙට ඊට මාස හයකට හෝ අටකට පමණ පසු ස.තො.ස ආයතනයේ රැකියාවක් ලැබුණේය. ඔහුට තම ප්‍රථම පත්වීම ලැබී තිබුණේ වලස්මුල්ල ස.තො.ස වෙළෙඳසලටය. එහෙයින් බලවත් අකැමැත්තකින් වුවද චීනඩි පාඩම නතර කළ බුද්දෙ වලස්මුල්ලේ රැකියාවට ගියේය.
කෙසේ වෙතත් ඉඳහිට ඉරිදා දවසක කොළඹ ආ ඔහු චොප්පෙගෙන් තවදුරටත් චීනඩි ඉගෙන ගැනීමට ගියද එම වැඩපිළිවෙළ බොහෝ සෙයින් අසාර්ථක විය. ඊට හේතු වූයේ චෝප්පේ ඒ දිනවල වෙනත් වැඩ කටයුතු යොදාගෙන තිබූ බැවිණි.
ඒ අනුව බුද්ධදාසට සිදුවූයේ තමන් බාගෙට ඉගෙන ගෙන තිබූ චීනඩි ශිල්පය තනිවම හුරුපුරුදු වීමටය.
මේ අතර බුද්දෙටද වලස්මුල්ල ස.තො.ස ශාඛාවෙන් කදුරුවෙලට මාරුවක් ලැබී තිබුණේය. එලෙස පොළොන්නරුවේ කදුරුවෙල ශාඛාවට ගිය බුද්දෙට නතර වීමට සිදුවූයේ ස.තො.ස බිල්ඩිමේ උඩ තට්ටුවේ එහි සේවකයන් විසින් පවත්වාගෙන ගිය චමරියකය.
ඒ දවස්වල කදුරුවෙල ටවුමේ චණ්ඩි වැහි වැහැලා. උන් කඩවලින් විතරක් නෙවි ස.තො.සෙනුත් කප්පම් ගත්තා. හැබැයි උන් කවුරුවත් අපෙන් සල්ලි ඉල්ලුවේ නැහැ. ඒ වෙනුවට සීනි, සැමන් ටින්, සබන් කැට, කරවල වගේ දේවල් අරගෙන සල්ලි නොදී යනවා. මම කදුරුවෙල ස.තො.සෙ වැඩට ආපු මුල් දවසෙම අපේ මැනේජර් මහත්තයා මට ඔය ගැන කියලා තිබුණා. එතන වැඩ කරපු සේරමලා පිටින් ගිය අය නිසා ඒ ගැන ඉවසගෙන ඉන්නයි සිද්ධ වෙලා තිබුණේයි කියන බුද්දෙ වැඩි දුරටත් සඳහන් කරන්නේ තමන් එහි සේවයට ගොස් සතියක් පමණ ගතවනතුරු සාමාන්‍ය පරිදි දෛනික වැඩ කටයුතු සිදු වූ බවය.
මේ අතර දිනක් උදේ 10.00ට පමණ හයයි, හතර ප්‍රමාණයේ මැදිවියේ මිනිස්සු දෙදෙනෙක් පැමිණ ඒ කාලයේ හැටියට රුපියල් තිස් හතළිස් ගණනක බඩු මල්ලක් ගෙන මුදල් නොදී යාමට තැත් කළහ.
“මේ මේ මහත්තයලා සල්ලි ගෙවල යන්න”යි ඒ දුටු බුද්දෙ කියද්දී “පස්සෙ දෙන්නම්”යි කී ඔවුන් තම බඩු මල්ලත් ඔසවාගෙන පිට වී යාමට සූදානම් වූයේ කැෂියර් කවුන්ටරයේ සිටි බුද්දෙ දෙස සමච්චල් බැල්මක් හෙළමිනි.
“එතකොට ඔහෙල ගත්තු බඩුවලට සල්ලි ගෙවන්නේ මමද? යි දකුණේ ඌරුවට විමසූ ඔහු චණ්ඩින් අත තිබූ බඩුමල්ල උදුරා ගැනීමට තැත් කළේය. ඒ අතර එක් අයකු අත දිග හැර බුද්දෙගේ කනට ගැසුවෙ අවට සිටි පාරිභෝගිකයන් ගැනද කිසිදු තැකීමක් නොකරය. එම කනේ පාරට හිසින් දුම් පිට වෙද්දී බුද්දෙට උන්හිටිතැන් පවා අමතක විය.
එසැණින් චණ්ඩින් දෙදනා තමන් වෙතට ඇදගත් බුද්දෙ ඔවුන්ගේ මුහුණටත්, හිසටත් දෙපාවලටත් පහරපිට පහර දුන්නේ චොප්පෙ අයියාත්, නන්දිසේන කුරේත් අතර පැවැති චැලේන්ජ් ෆයිට් එකක් මතකයට නගා ගනිමිනි.
ඊළඟ මොහොතේ දකින්නට ලැබුණේ එම හතර රියන් චණ්ඩින් දෙදෙනා වැටි වැටී දිවයන අයුරුය. හැබැයි අපි නං හිතුවෙ එදා කොයි වෙලාවක හරි උන් කට්ටියම ඇවිත් වටකරලා අපිට ගහයි කියලයි. ඒත් ඒ කිසි කෙනෙක් ආවෙ නෑ, කොහොම හරි ඊට පස්සෙ සතියක් විතර යනකං අපේ අය තනිපංගලමේ ටවුමෙ ඇවිදින්න ගියෙත් නෑ. උන් ඇවිත් අපට ගහයි කියල අපි හිතුවත් සිද්ධ වුණේ ඒ චණ්ඩි ටික ඊට පස්සේ කදුරුවෙල ටවුමෙ කඩවලින් කප්පම් ගන්න නෑවිත් ඇරිය එකයි.
බුද්දෙ මීට වසර පනහකට හෝ හැටකට පමණ ඉහත දී තමන් අත්දුටු එම සිද්ධිය ගැන ආවර්ජනය කරන්නේ සිනාසෙමිනි. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ කදුරුවෙල ස.තො.ස ශාඛාවට වැලිගම සිට පැමිණි අලුත් හාදයා නොම්මර එකේ චණ්ඩියෙකු ලෙස ටවුමේ කඩකාරයන් අතර ප්‍රසිද්ධවීමය. කදුරුවෙල ප්‍රදේශයේ පැරැන්නන් බුද්දෙ ගැන තවමත් සිතන්නේ එලෙසිනි.
නිහාල් ජගත් චන්ද්‍ර