කතානායක අසුන මත අවසන් ගමන් ගිය කතානායක


සෝල්බරි ව්‍යවස්ථාව යටතේ සබරගමුව පළාතට වෙන් කෙරුණ එකම බහු මන්ත්‍රී කොට්ඨාසය වන අංක 89 බළංගොඩ ආසනයට පාර්ලිමේන්තු ඉතිහාසය තුළ වැදගත් ස්ථානයක් හිමි වන්නේය. ඊට හේතුව 1947 ප්‍රථම පාර්ලිමේන්තුවේ පළමුවැනි කතානායකවරයා වශයෙන් බළංගොඩ ආසනයේ පළමුවැනි මන්ත්‍රී සර් ෆ÷්‍රැන්සිස් (ඒ. ඇෆ්.) මොලමුරේ මහතා තේරී පත් වීමයි.


එතුමා සම්බන්ධයෙන් සටහන් කළ යුතු තවත් විශේෂත්වයක් වන්නේ 1931 ඩොනොමෝර් කොමිසම යටතේ ස්ථාපනය කළ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවට අංක 48 දැදිගම ආසනයට ඉදිරිපත් වී නිතරඟයෙන් තේරී පත්වී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කතානායක (සභාපති) පදවියට ද වැඩි ඡන්දයෙන් තෝරා ගනු ලැබීමයි. ඒ සඳහා තරගයකට මුහුණ පෑමට ඒ. ඇෆ්. මොලමුරේ මහතාට සිදුවිය. ඔහු සමග තරගයට පිවිසියේ රාජ නීතිඥ සර්. ස්ටවුට් ස්නයිදර් මහතාය. එවකට ඔහු වැඩබලන ඇටෝර්නි ජනරාල් පදවියේ සිටිය ද රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්කළ මන්ත්‍රීවරයෙකු විය.


රහස් ඡන්දය විමසීමේදී සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාට ඡන්ද 35 ද සර් ස්ටුවට් ස්නයිදර් මහතාට ඡන්ද 17 ද ලැබී තිබුණේය. එහෙත් වර්ෂ 1934 දී පෞද්ගලික ගැටලුවකට මුහුණ පාන්නට සිදුවීමේ හේතුවෙන් කතානායක (සභාපති) ධුරයෙන් ද දැදිගම ආසනයේ මන්ත්‍රී ධුරයෙන් ද ඒ. ඇෆ්. මොලමුරේ මහතා ඉල්ලා අස්විය. 1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට ඉදිරිපත් නොවූ මොලමුරේ මහතා දීර්ඝ නිහැඬියාවකින් පසු නැවතත් කරළියට පැමිණියේ 1943-10-03 දින බලංගොඩ ඡන්ද කොට්ඨාසය වෙනුවෙන් පැවති අතුරු මැතිවරණයට ඉදිරිපත් වීමෙනි. එවර හෙතෙම ඡන්ද 24,526 ක් ලබාගෙන සිය ප්‍රතිවාදියා වූ බාන්ස් රත්වත්තේ මහතා (7075) පරාජය කොට වැඩි ඡන්ද 1751 ක දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගත්තේය. ඉක්බිති වර්ෂ හතරක පමණ කාලයක් දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ මොලමුරේ මහතා සෝල්බරි ව්‍යවස්ථාවට අනුකූලව ස්ථාපනය කළ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට පැවැත් වූ 1947 මැතිවරණයේදී අංක 89 බළංගොඩ බහු මන්ත්‍රී කොට්ඨාසයට තරග කර පළමුවැනි මන්ත්‍රීවරයා ලෙස තේරී පත් විය. එම මැතිවරණයේ බලංගොඩ ආසනයේ සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵලය මෙසේය. ඒ. ඇෆ්. මොලමුරේ (ගෙය 23,076) ඊ. ඩබ්ලිව්. මැතිව් (අලියා 13,767) ඩබ්ලිව්. ඒ. පී. ජයතිලක (අත 9833) එම්. රාජේන්ද්‍රම් (තරාදිය 7329) ඩබ්ලිව්. එස්. තුරෙයිරාජා (පුටුව 3870) වැඩි ඡන්ද ගණන පළමුවැනි මන්ත්‍රී 9309 දෙවැනි මන්ත්‍රී 3934 ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකා ගණන 2899 ඡන්දය දුන් මුළු ගණන 61,744 ලියා පදිංචි ඡන්ද දායක සංඛ්‍යාව 63,438 කි.
ප්‍රථම කතානායක : ප්‍රථම පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම යෙදී තිබුණේ 1947 ඔක්තෝබර් මස 14 වැනි දිනයටය. එදිනට නියමිත ප්‍රධාන කර්තව්‍යය වූයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා කතානායකවරයෙකු තෝරා පත්කර ගැනීමයි. ආණ්ඩුකාරයා නිකුත් කළ පාර්ලිමේන්තුව කැඳවීමේ නිවේදනය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ලිපිකරු (ක්‍කැරන එද එයැ ්‍යදමිැ දf ඍැිචරුිැබඒඑසඩැි) (පසු කාලීනව පාර්ලිමේන්තු මහ ලේකම් යන තනතුර එදා හැඳින්වූයේ එපරිදිය.) සැන්ටි ආර්. පී. දැරණියගල (ඕ. බී. ඊ.) මහතා විසින් කියවනු ලැබීමෙන් අනතුරුව ප්‍රථම කතානායකවරයා තෝරා ගැනීමේ කටයුතු ආරම්භ විය. ඒ සඳහා ද රහස් ඡන්දයක් පැවැත්වීමට සිදුවූයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා වීමේ හේතුවෙනි. තැපැල් සහ විදුලි සංදේශ ඇමැති සී. සිත්තම්පලම් මහතා (මන්නාම මන්ත්‍රී) සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාගේ නම යෝජනා කළ අතර ඇස්. යූ. එදිරිමාන්න සිංහම් මහතා (පදිරිප්පු මන්ත්‍රී) එම යෝජනාව ස්ථිර කළේය.


ඒ අවස්ථාවේ දී මතුගම මන්ත්‍රී විල්මට් ඒ. පෙරේරා මහතා කුරුණෑගල ආසනයට තේරී පත්ව සිටි රාජනීතිඥ එච්. ශ්‍රී නිස්සංක මහතාගේ නම කතානායක පදවිය සඳහා යෝජනා කළ අතර එය ස්ථිර කරණු ලැබුයේ කයිට්ස් මන්ත්‍රී ඒ. ඇල්. තම්බයියා මහතා විසිනි. රහස් ඡන්දය විමසීමේදී සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාට ඡන්ද 58 ද එච්. ශ්‍රී නිස්සංක මහතාට ඡන්ද 44 ද ලැබී තිබුණි. මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඒ අනුව සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා ප්‍රථම පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායකවරයා වීමේ ගෞරවය හිමිකර ගත්තේය.


හදිසි අභාවය : එහෙත් ප්‍රථම කතානායකවරයාට පළමු පාර්ලිමේන්තුවේ සම්පූර්ණ නිල කාලය අවසන් වනතුරු කටයුතු කිරීමට හැකි වූයේ නැත. 1951 ජනවාරි මස 23 දින ස්වකීය නිල ආසනයේ දීම හදිසියේ රෝගාතුර වූ කතානායකවරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළේය. අතිශය සංවේගදායි මෙම පුවත 1951-04-24 ‘ලංකාදීප’ පත්‍රය වාර්තා කර තිබුණේ මේ අයුරෙනි. “ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී ලංකා ගුවන් සේවා (ඒකාබද්ධ) පනත පිළිබඳ විවාදය කරගෙන යන අතර වාරයේ දී කතානායක සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා හදිසියේ අසනීප විය. ඒ අවස්ථාවේදී වේගවත් කථාවක් පවත්වමින් සිටි වවුනියාව මන්ත්‍රී සී. සුන්දරලිංගම් මහතාට කථාව නතර කිරීමට සංඥාවක් දුන් කතානායකවරයා පැත්තකට ඇලව ගියේය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ලිපිකරු සැන්ටි ආර්. පී. දැරණියගල නියෝජ්‍ය කථානායක සර් ඇල්බට් ඇෆ්. පීරිස් හා මතුගම මන්ත්‍රී විල්මට් පෙරේරා යන මහත්වරු කතානායකවරයාට සභා ගර්භයෙන් පිටව යාමට ආධාර කළහ. සිටගෙන සිටීමට අපහසු බවක් දැක්වූ එතුමා සභා ගර්භයෙන් පිටතට කැඳවාගෙන යන විට මද සිනා පාමින් මැතිසබය දෙසට හැරී ආචාරයක්ද කළේය. මැතිසබය තුළ සිටි දොස්තර වී. ආර්. ෂොක්මන් සහ ඇම්. සී. ඇම්. කලීල් (මැද කොළඹ - 2 මන්ත්‍රී) යන දෙදෙනා වහාම එතුමා පරීක්‍ෂා කළ අතර රෝහල්ගත කිරීමට උපදෙස් දුන්නේය.”


දකුණු ඇලය පණ නැතිව ගිය කතානායකවරයා ඉන් දෙදිනකට පසු 1951-01-25 වැනිදා රාත්‍රී 7.05ට අභාවප්‍රාප්ත වූයේය. කතානායක දේහය පිළිබඳ ආදාහන උත්සවය 1951.01.29 පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ කනත්තේ සුසාන භූමියේදී සිදු කෙරිණ.


අතුරු මැතිවරණ නාම යෝජනා : ඉන් පසු බළංගොඩ ආසනයේ පළමුවැනි මන්ත්‍රීවරයා තෝරා ගැනීම සඳහා අතුරු මැතිවරණයක් ප්‍රකාශයට පත් කෙරිණ. 1951-04-28 දින අතුරු මැතිවරණය පවත්වන බව ආණ්ඩුකාර කාර්යාලය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් විය. නාම යෝජනා පත්‍ර භාර ගැනීම 1951.03.22 දින සබරගමුව පළාතේ ආණ්ඩුවේ ඒජන්ත ඇන්. ක්‍යු ඩයස් මහතා ඉදිරියේ රත්නපුර කච්චේරියේ දී සිදු කෙරිණ. ත්‍රිකෝණ තරගයක් ඇති කරමින් එදා නාම යෝජනා පත්‍ර භාර දුන් අපේක්‍ෂකයින් සහ ඔවුන්ට හිමි වූ ඡන්ද සලකුණු මෙසේය. ජයවීර කුරුප්පු (එජාප - ගෙය), ඇම්.පී. ජෝතිපාල (ල.ස.ස.ප - ලාම්පුව), සින්නතම්බි ශ්‍රී කන්දම් (ස්වාධීන - අත) මේ තිදෙනා අතරින් ජයවීර කුරුප්පු මහතා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් විය. ඔහු 1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ දී රත්නපුර ආසනයට තරග වැදුණේය. මුළු ඡන්ද 16,655 ක් ලබා ගත් ජයවීර කුරුප්පු මහතා වැඩි ඡන්ද 7790 න් ජයග්‍රහණය කළේය. පරාජිත අපේක්‍ෂකයා වූයේ 1931 පළමුවන රාජ්‍ය මන්ත්‍රණ සභාවට රත්නපුර ආසනයෙන් තේරී පත්වුණ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකු වූ කීර්තිමත් විදුලි ඉංජිනේරු ඩී. ජේ. විමලසුරේන්ද්‍ර මහතාය. ඔහු මෙරට ජල විදුලි ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ද විය. එහෙත් 1947 ප්‍රථම මැතිවරණයේදී ජයවීර කුරුප්පු මහතාට මැති සබයට පිවිසීමේ වරම ‘නූලෙන්’ වැළකී ගියේය. එවර ඔහු තරග කළේ නිවිතිගල ආසනයටය. ජයග්‍රාහී අපේක්‍ෂක ඩී. ඇෆ්. හෙට්ටිආරච්චි මහතා (අලියා) ඡන්ද 5626 ක් ලබාගත් අතර ජයවීර කුරුප්පු මහතා හිමිකර ගත් ඡන්ද සංඛ්‍යාව 5602ක් විය. වැඩි ඡන්ද ගණන 24කි. හෙතෙම අතුරු මැතිවරණයට ඉදිරිපත්ව සිටියේ සිව් වසරක නිහැඬියාවකින් පසුවය.


ඇම්.පී. ජෝතිපාල මහතා ජාතික දේශපාලනයට පිවිසියේ මෙම අතුරු මැතිවරණය හරහා ය. ල.ස.ප.යේ ප්‍රබල ක්‍රියා කාරිකයෙකු වූ ඔහු දිගින් දිගටම බළංගොඩ ආසනයට තරග කරමින් සිය ඡන්ද පදනම ආරක්‍ෂා කරගෙන 1956 තෙවැනි මහා මැතිවරණයේ දී ඡන්ද 20,023 ක් ලබාගෙන වැඩි ඡන්ද 4264 කින් දෙවැනි මන්ත්‍රී ධුරයට පත්විය. තෙවැනි අපේක්‍ෂකයා වූ හින්න තම්බි ශ්‍රී කන්දම් බළංගොඩ ඡන්ද දායකයන් ගේ විශේෂ කථාබහට ලක් වූ තැනැත්තෙකු විය. හතළිස් වියේ පසු වූ හෙතෙම ඒ වනවිටත් අවිවාහකයෙකි. උගත්කමෙන් සහ බුද්ධි මට්ටමෙන් ඉහළ තලයක සිටි එස්. ශ්‍රී කන්දම් මහතා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ විද්‍යාවන් පිළිබඳ උපාධිධරයෙකු වූ අතර පෙට්ටිගල වත්තේ සුපිරින්ටෙන්ඩන්ට් වරයා ලෙස සේවය කරමින් සිටියේය. මේ සියලු දෙයටම වඩා ඕනෑම තැනකදී ඔහු කැපී පෙනෙන අයෙකු වූයේ අඩි දෙකක් පමණ දිගට වවා තිබූ අලංකාර යටි රැවුල නිසාය.
බහු මන්ත්‍රී කොට්ඨාසයක් වුවද තෝරා ගත යුතුව තිබුණේ පළමුවන මන්ත්‍රීවරයා බැවින් අතුරු ඡන්දයේදී ඡන්දදාකයෙකුට දිය හැකිව තිබුණේ එක් ඡන්දයක් පමණකි. අතුරු මැතිවරණය නිමාවට පත්වූයේ බළංගොඩ ආසනයේ පළමුවැනි මන්ත්‍රීධුරය යළිත් වරක් එක්සත් ජාතික පක්ෂයට හිමිකර දෙමිනි. 


සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵලය මෙසේය. 


ජයවීර කුරුප්පු (එජාප - ගෙය 22165), ඇම්. පී. ජෝතිපාල (ල.ස.සප 13,440) එස්. ශ්‍රී කන්දම් (ස්වාධීන - අත 956) වැඩි ඡන්ද සංඛ්‍යාව 8725 ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රකා ගණන 598 ඡන්දය දුන් මුළු ගණන 37,159 ලියා පදිංචි ඡන්ද දායකයින්ගේ මුළු සංඛ්‍යාව 69,408. 

 

 

 


ජී. ආර්. ඩී. බණ්ඩාර