කතානායක අසුන මතම මියගිය කතානායකවරයා


පසුගිය සතියේ පුවත්පත්වල පිටු පිරී තිබුණේ කතානායකවරයාට අදාළ ප්‍රවෘත්තිවලිනි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධතා, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට සතියක් සභාවේ කටයුතු තහනම් කිරීම අතීතයේ එවැනි සිදුවීම්, මෙවැනි අවස්ථාවලදී කතානායකවරුන්ගේ ක්‍රියාකාරකම් ආදිය ඒ අතර විය. පසුව වාර්තා වූ විරල සිදුවීමක් වන්නේ පාර්ලිමේන්තුවේ සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී පිරිසක් කතානායකවරයාගේ යම්කිසි ක්‍රියාවකට විරෝධය පළ කිරීමක් වශයෙන් සභාවෙන් පිටව යාමයි.


පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ යථාර්ථය අනුව නිරන්තරයෙන්ම දක්නට ලැබෙන්නේ කතානායකවරයා සහ සභානායකවරයා එකඟත්වයෙන් සහ අවබෝධයෙන් යුතුව කටයුතු කරන ආකාරයකි. ඒ නිසා මෙය විරල සිදුවීමක් ලෙස හැඳින්වූවත්, එහි අප නොදන්නා අරුතක් තිබෙන්නට ඇති ඉඩකඩද බැහැර කළ නොහැක. මැති සබයේ සහ කතානායක පදවියට අදාළව සිදුවන කතාබහ මෙසේ පවතිද්දී රටට අමතකව ගොස් ඇති සිදුවීමක් පාඨක අවධානය සඳහා යොමු කරවන්නේ එයද කතානායකවරයෙකුට සම්බන්ධ වන නිසාය. එනම් මැතිසබේ මුලසුන හොබවමින් සභාවේ කටයුතුවල නිරතව සිටියදී මියගිය කතානායකවරයා ගැනය. එවැනි අවස්ථාවක් වෙනත් කිසිදු රටකින් වාර්තා වන්නේදැයි මම නොදනිමි.


එක්දහස් නවසිය තිස් එකේදී මෙරට ජනතාවට සර්වජන ඡන්ද බලය හිමිවීම ලංකාවාසී ජනතාවගේ දේශපාලන සංවර්ධනයේ ප්‍රබලම අවස්ථාවක් විය. එහිදී ඩොනමෝර් කොමිසමේ නිර්දේශ අනුව රාජ්‍ය මන්ත්‍රණ සභාව නම් වූ ආයතනයක් ව්‍යවස්ථාදායකය ලෙස සංස්ථාපනය කරන ලදී. ඒ සඳහා මෙරට බි්‍රතාන්‍ය පාලනයේ මහ ලේකම්, මුදල් ලේකම් සහ නීති ලේකම් යන නිලධාරින් තිදෙනාගෙන්ද මැතිවරණ කොට්ඨාස අනුව පත්වන නිලධාරින් පනස් දෙනෙකුගෙන්ද බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා විසින් පත්කරනු ලබන මන්ත්‍රීවරුන් අටදෙනෙකුගෙන්ද සැදුම් ලද්දේය. මෙම තෝරා පත්කරගන්නා මන්ත්‍රීවරුන් පනස් දෙනා සඳහා මැතිවරණය 1931 ජූනි මාසයේදී පැවැත්වුණි. විධිමත් දේශපාලන පක්ෂ ක්‍රමයක් ගොඩනැගී නොතිබුණු මෙම යුගයේ පුද්ගල ජනප්‍රියතාව සහ පවුල්බලය මත ඒ ඒ ප්‍රදේශවලට නියෝජිතයෝ තේරී පත්වූහ. නාමයෝජනා භාර ගැනීමේදීම ආසන නවයක් සඳහා මන්ත්‍රීවරුන් නව දෙනෙක් නිතරගයෙන් පත්වූහ. ඒ අය නම් මිනුවන්ගොඩට ඩී. ඇස්. සේනානායක මහතා, කැලණියට සර් ඩී. බී. ජයතිලක මහතා, වේයන්ගොඩට ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා, හැටන් ආසනයට පෙරි සුන්දරම් මහතා, බදුල්ලට හෙන්රි කොතලාවල මහතා, බිබිලෙ ජේ. සී. රඹුක්පොත මහතා, බළන්ගොඩ ජේ. සී. රත්වත්ත මහතා, රුවන්වැල්ල ජෝන් හෙන්රි මීදෙණිය අදිකාරම්තුමා සහ දැදිගම ආසනයට ඒ. ඇෆ්. මොලමුරේ මහතාද යනාදී වශයෙනි. මෙයට පෙර ව්‍යවස්ථාදායකයේ මූලාසනය හොබවන ලද්දේ ආණ්ඩුකාරවරයා විසින් වන අතර එම තනතුර හඳුන්වන ලද්දේ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සභාපති යන නාමයෙනි. එහෙත් රාජ්‍ය මන්ත්‍රණ සභාව පත්වීමෙන් පසු එහි ව්‍යවස්ථා ප්‍රතිපාදනයන්ට අනුව තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් අතරින් සුදුස්සෙකු එහි මුලසුනට තෝරාගත යුතු වූවේය. ඔහු කතානායක නම් විය.


ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කනතානායක ධුරය සඳහා නම් දෙකක් යෝජනා විය. එක් පාර්ශ්වයකින් දැදිගම රාජ්‍ය මන්ත්‍රී ඇලෙක්සැන්ඩර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා ඉදිරිපත් කරන ලදී. අනෙක් පාර්ශවයෙන් ආණ්ඩුකාරවරයා විසින් නම් කරනු ලැබ පත්ව සිටි බි්‍රතාන්‍ය ජාතික මන්ත්‍රී සර් ස්ටුවට් ස්නයිදර් මහතාගේ නම යෝජනා විය. මේ දෙදෙනා අතර තරගයෙන් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාට ඡන්ද 35ක්ද ස්නයිදර් මහතාට ඡන්ද දහ අටක්ද ලැබීමෙන් ලංකාවේ ප්‍රථම කතානායකවරයා ලෙස පත්වීමේ භාග්‍යය උදාකර ගනු ලැබුවේ ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාය.


මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් වන්නේ රුවන්වැල්ල ආසනය නියෝජනය කළ ජෝන් හෙන්රි මීදෙණිය අදිකාරම් තුමා මොලමුරේ මහතාගේ මාමණ්ඩිය වීමයි. මොලමුරේ මහතා විවාහ වූවේ මීදෙණිය අදිකාරම්තුමාගේ වැඩිමහල් දියණිය වූ ඩොරති ඇඞ්ලින් මීදෙණිය කුමාරිහාමි සමගය. මේ නිසා මාමණ්ඩිය සහ බෑනා එකවිට ව්‍යවස්ථාදායකය නියෝජනය කරන ඉතා විරල අත්දැකීමටද මෙම මන්ත්‍රීවරු දෙදෙනා මුහුණ දුන්හ.


ටික කලකින්ම මීදෙණිය අදිකාරම්තුමා පරලෝ සැපත් වූයෙන් රුවන්වැල්ල ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට සිදුවිය. එයට ඉදිරිපත්ව ජයග්‍රහණය ලැබුවේ සර් ෆ්‍රැන්සිස්ගේ බිරිඳ වූ ඇඞ්ලින් මොලමුරේ කුමාරිහාමි විසිනි. එයද වාර්තාවක් සටහන් කරන සිද්ධියක් වන්නේ අපේ රටේ ව්‍යවස්ථාදායකයට පත්වූ ප්‍රථම කාන්තාව ලෙස සටහන්වන්නේ ඇයගේ නාමය වන නිසාය.


ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය අවස්ථාවේදී 1947 දී බළන්ගොඩ බහු මන්ත්‍රී ආසනයේ පළමු මන්ත්‍රීවරයා ලෙස විශාල වැඩි ඡන්දයකින් සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා නැවතත් මැති සබයට පැමිණියේය. එම පාර්ලිමේන්තුවේ මුල්ම රැස්වීමේදී කතානායක ධුරය සඳහා නැවතත් ඒ මහතාගේ නම යෝජනා කරන ලදුව ඒ පදවියට තේරී පත්විය.


සිංහල රාජධානිය පැවැති අවධියේ එම රාජ්‍ය සභාවේ මෙන්ම කන්ද උඩරට රාජ්‍යයේ ප්‍රාදේශීය බලවතුන් වූ සම්භාවනීය ප්‍රභූ පරපුරක එක් පුරුතක් වූ මොලමුරේවරු සබරගමුවේ අනෙකුත් සෑම රදල පෙළපතක් සමගම පාහේ ඥාතිත්වයෙන් බැදී සිටියහ. කතානායක ධුරය වැනි උසස් තනතුරකට යෝජනා කිරීම සඳහා එකී උසස් සම්භවයද සැලකිල්ලට ගන්නට ඇතිවා නිසැකය. කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ලබන ලද අධ්‍යාපනයෙන් පසු ඔහු නීතිඥවරයෙකු වශයෙන් දිවුරුම් දී එම වෘත්තියේ යෙදීම ඇරඹීය. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වශයෙන් නමක් දිනාගෙන සිටි එතුමා ශාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා බවටද පත්වූවේය.


1924 දී කෑගල්ල ආසනය සඳහා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට තෝරා පත්කර ගැනුණි. එවකට ජාතික නිදහස සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඉල්ලා සටන් වැදුණු ලංකා ජාතික සංගමය නම් දේශපාලන ව්‍යාපාරයේ ප්‍රබලයෙකු බවට පත් විය. එවකට මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ බැබළෙන තරු බවට පත්ව සිටි සර්. ඩී. බී. ජයතිලක, ඩී. ඇස්. සේනානායක, ඊ. ඒ. පී. විජේරත්න, සර් ක්ලෝඞ් කොරෙයා ආදී නායකයන් සමග සම මට්ටමේ කටයුතු කළේය.


බි්‍රතාන්‍ය යටත් විජිත යුගයේ සබරගමුවේ දිසාවෙ පදවියක් දැරූ කීර්තිමත් ප්‍රාදේශීය නායකයෙකු වූ මඩුවන්වෙල මහ දිසාවගේ ඥාති පුත්‍රයෙකු වූ ෆ්‍රැන්සිස්, මහ දිසාවගේ අභාවයෙන් පසු අක්කර දස දහස් ගණනක් විශාල වූ මඩුවන්වෙල බූදලයේ භාරකරුවා වූවේය. මඩුවන්වල බූදලයයැයි කියූ සැණෙකින් කෙනෙකුගේ මතකයට නැගෙන්නේ සුප්‍රසිද්ධ පනාමුරේ ඇත් ගාලයි. අලි ඇතුන් බහුලව වෙසෙන මහ වනාන්තරයෙන් යුතු එම ඉඩම් සියල්ල අයත් වූවේ මඩුවන්වෙල නින්දගමටය. වැඩිහිටි කවුරුත් අසා ඇති පනාමුරේ ඇත් රාජා ගැන පබැඳුණු ගීතයට මුල් වූවේ පනාමුරේ ඇත් ගාල බැඳ වන අලි ඇතුන් ඇල්ලීමේ ක්‍රියාදාමයේදී තම වර්ගයාගේ නිදහස වෙනුවෙන් ජීවිතය පූජා කළ ඇත් රජෙකු පිළිබඳ කතාවයි. විදේශීය රජවරුන් වැනි රාජකීය අමුත්තන් රටෙහි සංචාරය කරන අවස්ථාවලදී මෙවැනි ඇත්ගාල් සංවිධානය කිරීම එකල පැවැති සිරිතක් විය. මෙම කාර්ය සඳහා අයිතිය තිබුණේ මඩුවන්වෙල දිසාවටය.


එතුමාගේ අභාවයෙන් පසු මඩුවන්වෙල බූදලයේ භාරකරු වශයෙන් එම බලය පැවරුණේ ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාටය. පනාමුරේ හස්ති රාජයා ඝාතනය කිරීමේ සිද්ධිය මෙරට ජනතාව අතර කෙතරම් කතාබහට ලක්වූයේද යත් 1950 වසරේදී සර් ෆ්‍රැන්සිස් මොලමුරේ විසින් එය පැවැත්වීම අතහැර දමන ලදී. බි්‍රතාන්‍ය රජය වෙනුවෙන් එහි අධිරාජයා විසින් ප්‍රදානය කරනු ලබන නයිට් නාමයක්ද 1949 වසරේදී ෆ්‍රැන්සිස් මොලමුරේ වෙත පිරිනමා ගෞරව දක්වන ලදී.


එතුමාගේ බිරිඳ වූ ඇඞ්ලින් මොලමුරේ කුමාරිහාමි 1931 දෙසැම්බරයේ සිය පියාගෙන් පසුව රුවන්වැල්ල ආසනය ජයගැනීමෙන් පසු ලංකාවේ ව්‍යවස්ථාදායකයට පත්වූ ප්‍රථම කාන්තාව ලෙස වාර්ත තැබු බව පෙර සඳහන් කළෙමි. 1947 දී ලංකා පාර්ලිමේන්තුවේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය පිහිටුවන අවස්ථාවේදී එහි මන්ත්‍රීධුරයකට මොලමුරේ මහත්මියද පත්කරනු ලැබුවාය. සෙනෙට් මන්ත්‍රී ධුරයකට පත්වීම් ලැබූ ප්‍රථම කාන්තාව වීමේ ගෞරවයට හිමිකම් කියන්නේ ද එතුමියයි. 1955 දී එම සභාවේ උප සභාපති තනතුරටද ඇය පත්වූ අතර 1961 දක්වා සෙනෙට් සභාවේ සේවය කළාය.


මෙම යුවළගේ එකම දියණිය වූ දේශබන්දු සීතා මොලමුරේ සෙනෙවිරත්න මහත්මියද මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ නම රැන්දූ චරිතයක් වූ අතර 1967 දී සෙනෙට් සභාවට පත්කරනු ලැබුවාය. මව සහ දුව යන දෙදෙනා විසින්ම සෙනෙට් සභාව නියෝජනය කළ එකම අවස්ථාව ලෙසද මෙය දක්වා තිබේ.


ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ මූලාරම්භය බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමයේ ආකෘතියකැයි වරප්‍රසාද හා බලතල පනතේ සඳහන් වේ. එමෙන්ම අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය  පෝෂණය කිරීම උදෙසා මුල්ම පූර්වාදර්ශ බිහිකිරීමේ ලා ප්‍රථම කතානායක වශයෙන් සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා අතින් සුවිශේෂි සේවයක් ඉටු වූ බව කියනු ලැබේ. මෙසේ දීර්ඝ කාලයක් මෙරට ව්‍යවස්ථාදායකයට විශාල මෙහෙයක් ඉටුකළ සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා කතානායක අසුනේ වාඩි වී සභාව මෙහෙයවමින් සිටියදී 1951 ජනවාරි මස 25 වැනිදා හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් එම අසුන මතම දිවංගත වූවේය. උපන් සියලු සත්වයන් මරණය පෙරදැරි කොට ජීවත්වන බව දහමේ කියැවේ. කුමන මොහොතක හෝ එළඹෙන මරණයට නොබියව මුහුණ දිය හැකි වන්නේ යුක්තියට, සාධාරණත්වයට අනුව කටයුතු කිරීමෙනි. මිහිමත ජීවත්වන මිනිසුන් අතර සුළු හෝ වරදක් නෙකෙරුණ අයෙකු සොයා ගැනීම විරල අත්දැකීමක් වනවා සේම පුහුදුන් මිනිසාගේ වගකීම හා යුතුකම වන්නේ එවැන්නක්වත් සිදු නොවීමට වගබලා ගනිමින් මැරෙන බව දැනගෙන ජීවත්වීම යැයි සිතමි.

සෝමසිරි වික්‍රමසිංහ