ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිබාහිරව, සෝල්බරි කොමිසන් සභාවෙන් ස්ථාපිත වූ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය යටතේ ලංකාවේ පළමුවැනි පාර්ලිමේන්තු මැතිවරණය 1947 දී මෙරට ඡන්ද දායකයාට හඳුන්වා දෙනු ලැබූ අතර වසර 9 ක් වැනි සුළු කාලයකදී ඡන්ද ක්‍රමය පිළිබඳව මුහුකුරා නොගිය අවබෝධයක සිටිද්දීම ආණ්ඩුවක් පෙරළා අලුත් ආණ්ඩුවක් බිහිකර ගැනීමේ දේශපාලන පෙරළියක් සඳහා ඡන්දදායකයාට ක්‍රම සහ විධි හඳුන්වාදීමද ඉතිහාස ගතවන සිද්ධියකි.
එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ, ප්‍රථම අගමැති ඩී. ඇස්. සේනානායකගේ පුත් ඩඞ්ලි සේනානායක, පියාගේ ඇවෑමෙන් අගමැතිව සිටිද්දී මුළු රටම හෙල්ලුම් කෑ 1953 මහා හර්තාලයෙන්, ජීවිත 09ක් බිලිවූ තැන ඇතිවූ බලවත් කම්පනයෙන් ධුරය අතහැර ගියේය.
ඩඞ්ලිගේ අනුප්‍රාප්තිකයා වශයෙන්, එම පක්ෂයේම සර් ජෝන් කොතලාවල අගමැති වෙමින් කරන ලද පාලනයේ ඇතැම් නොපනත්කම් මුල් කරගෙන වාමාංශික මෙන්ම මධ්‍යස්ථ මතධාරීන් පමණක් නොව විවිධ ක්ෂේත්‍රගත බහුතරයක් ඒකරාශීවී විපක්ෂ නායක එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක වටා රොක්වී ප්‍රබල ආණ්ඩුවකට එරෙහිව අති ප්‍රබල හඬක් නගා අල්ප දේශපාලන දැනුමකින් හෙබි ජනතාව උසිගන්වා අලුත් ආණ්ඩුවක් බිහිකර ගත්තේ මුළු ආසියාකරය පමණක් නොව ලොවම විස්මිත කරවමිනි.
අනපේක්ෂිත පරාජයකින්, එජාප නායක කාරකාදීන් හා පාක්ෂිකයන්ගේ දෙනෙත් කඳුළින් තෙත් වෙද්දී ජයග්‍රාහක මහජන එක්සත් පෙරමුණු නායක කාරකාදීන් හා පාක්ෂිකයන් ජයග්‍රහණය භුක්ති වින්දේ සතුටු කඳුළින් දෙනෙත් තෙත් කරගනිමිනි.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ද අහිමිව, ඉතා කුඩා කණ්ඩායමක් බවට පත්වූ එක්සත් ජාතික පක්ෂය ඩඞ්ලි ඉවත්වීමෙන් පසු අප්පා නැති දරු පවුලකගේ අවාසනාවන්ත තත්ත්වයට පත්ව තිබීම නිසාත්, දෙවැනි තුන්වැනි පෙළේ නායකයන් කරකියා ගත හැකි දෙයක් නොමැතිව තම පාක්ෂිකයන්ටද මුහුණ දිය නොහැකි අසරණ තත්ත්වයට වැටී තිබීම නිසාත් විපක්ෂයේ පැවැත්ම අඩාළ විය.
අගමැති බණ්ඩාරනායකගේ නායකත්වයෙන් රට පාලනයෙහි යෙදුණු මහජන එක්සත් පෙරමුණු රජයේ ආකර්ෂණීයත්වය ගෑරුප්පුවෙන් කිරිබත් කෑම, 365 දවසේම කම්කරු වැඩ වර්ජන, 2500 බුද්ධ ජයන්ති සැමරුමට පැමිණ සංචාරයේ යෙදුණු නේපාල රජකුමරුගේ මුව දඩයම, සමහර මැති ඇමතීන් අල්ලස් දඬුවම් ලැබීම, ශ්‍රී අකුරෙන් සිංහල දෙමළ මාරාන්තික ඝට්ටන ඇතුළුව පාලනමය දුර්වලතා මෙන්ම පොරොන්දු ඉෂ්ට නොකිරීම වැනි කරුණු උඩ ගිලිහී යෑමට පටන් ගැනීම නිසා, රජය කෙරෙහි ජනතා අප්‍රසාදය ඇතිවීමත් අතරතුර මාධ්‍ය හා වේදිකාවෙන් විවේචනද නැගෙන්නට පටන් ගති.
වැහැරුණ අලියෙකු මෙන් ජනතා අවධානයකින් තොරව, මුළුගැන්වී තිබූ එක්සත් ජාතික පක්ෂය මේ අතර කැලඹුණ දියේ මාළු බෑමක යෙදෙමින් අවස්ථාවෝචිතව හුදකලාව සිටි ඩඞ්ලි සේනානායකට නායකත්වය භාරගන්නා ලෙසට ඇරයුම් කළේ, ජනතා ප්‍රසාදය ද ඉලක්ක කරගෙන, කළල ගිළුණු මත වරණිඳු ගොඩ ගැනීමට සුදුසු තුමුල බලැති ගිජිදාම ඔහු බව නිසැකවම අවබෝධ කර ගනිමිනි.
මේ අනුව 1956 දී අන්ත පරාජයට පත් එක්සත් ජාතික පක්ෂය යළි ජනතාව හමුවට ගෙන යෑමේ පළමු වෙඩිල්ල 1957 දී වත්තේගම නගරයෙන් ආරම්භ විය. මේ සඳහා මන්දෝත්සාහී භාවයෙන් සිටි කථිකයන්ට නව පණක් එන්නත් කරමින්, ගෙන්වා ගැනීමට සිදුවූයේ බලාපොරොත්තු ඇති කරවමිනි.
නැගී එන තරුණ කථිකයෙකු මෙන් එක්සත් ජාතික පක්ෂය විසින් හඳුන්වා දෙනු ලැබූ ආර්. ප්‍රේමදාස තරුණයා ද ආරාධිතයෙකු මෙන් පාරේ බසයෙන් මහනුවරට ළඟා වී ඇත්තේ රැස්වීමට පෙර දින සන්ධ්‍යා සමයේය.
1956 මහ මැතිවරණයෙන් වත්තේගම ආසනයෙන් පරාජයට පත් හිටපු ඇමතිවරයෙකු වූ ඒ. රත්නායකට, මුල් කාලයේ අයත්ව තිබූ මහනුවර ඩී. ඇස්. සේනානායක වීදියේ හොඳහිත කාර්යාලයේ ඉහළ මාලයේ පක්ෂ නියෝජිතයන් සඳහා ලැගුම් පහසුකම් සලසා තිබුණු අතර බූරු ඇඳන් කිහිපයක් සයනය සඳහා වෙන් කෙරිණ.
ආර්. ප්‍රේමදාස ද මෙම කාර්යාලයට එදින පැමිණි අතර එදින රාත්‍රිය ගත කර ඇත්තේ යට කී හොඳහිත ඉහළ මාලයේ බව මෙම ලියුම්කරු වෙත පවසා සිටියේ, ඒ. රත්නායකගේ දෙටු පුත් මහජන බැංකුවේ කළමනාකරුවකුව සිටි ලක්ෂ්මන් රත්නායකය.
එක්සත් ජාතික පක්ෂයේ වත්තේගම රැස්වීමට පැමිණ සිටි අති විශාල ජනකාය අනුව අපරාජිත මුහුණුවරක් ගත් අතර සෙසු නායක කාරකාදීන් පිරිවරාගෙන පැමිණි නායක ඩඞ්ලි සේනානායකට ජනතාවගෙන් ලැබුණේ මුළු නගරයම ගිගුම් දෙවූ ප්‍රීති ඝෝෂාවකි.
පළමු පෙළේ කථිකයන් කිහිපදෙනෙකු රැස්වීම අමතනු ලැබීමෙන් පසු නායකතුමාගේ කතාවට ප්‍රථම අවස්ථාව ලැබුණේ ආර්. ප්‍රේමදාසටය. ඇද හැලෙන දිය ඇල්ලක් මෙන් බණ්ඩාරනායක ආණ්ඩුව දැඩි සේ විවේචනයට ලක් කරමින් කෙරුණු වාග් සංග්‍රාමය අතරතුර වරින්වර ඔල්වරසන් දෙමින් ජනතාව ප්‍රීතිඝෝෂා නැගුවේ පරාජය අමතක කර ජයග්‍රාහී ස්වරයකිනි.
බණ්ඩාරනායක රජය මෙසේ අපහාසයට හා උපහාසයට ද ලක් කරමින් කතා කළ ආර්. ප්‍රේමදාස මහත්වරුනි, යම්හෙයකින් බණ්ඩාරනායක අගමැතිවරයා අහසින් හරි පැමිණ මෙහි පැමිණ සිටින ජන ගඟ දුටුවහොත් ඔහුට කඳුළු වැටෙනවා ඒකාන්තයි යනුවෙන් සඳහන් කරද්දී, ප්‍රේක්ෂක ජනතාව පමණක් නොව වේදිකාවේ හුන් සම්භාවනීය පිරිස ද අත්පොළසන් දුන්නේ, දෑත් ඉහළට ඔසවමිනි.
මෙයට මාසයකට පමණ පසු මහජන එක්සත් පෙරමුණු රජය විසින් මහත් ආන්දෝලනයකට තුඩු දුන් පිලිප් ගුණවර්ධන ගේ කුඹුරු පනත ගොවීන් ප්‍රමුඛ ජනතාවට හඳුන්වාදීමේ ප්‍රචාරක රැලියක් මහනුවර නගරයේ ඔර්ලෝසු කණුව අසල පැවති අතර, පිලිප්ගේ කතාවෙන් පසු වාරය එළඹියේ අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකටය.
උරමින් සිටි දුම් පයිප්පය මේසය මත තබමින්, මදක් ඉදිරියට නැමුණු සිරුර කෙළින් කරගෙන ශබ්දවාහිනිය අසලට ගිය අගමැති බණ්ඩාරනායක, කුඹුරු පනත පිළිබඳ පිලිප්ගේ දැනුම්වත් කිරීම තවදුරටත් පැහැදිලි කරමින් කතා කිරීමෙන් අනතුරුව, ඊළඟ අවස්ථාව කරගත්තේ, වත්තේගම දී ආර්. ප්‍රේමදාසගේ කඳුළු කතාවට පිළිතුරු සැපයීමටය.
මිත්‍රවරුනි මගේ මිත්‍ර ආර්. ප්‍රේමදාස උන්නැහේ වත්තේගම එක්සත් ජාතික පක්‍ෂ රැස්වීමේ දී කියා තිබෙනවා උන්නැහේලාගේ රැස්වීම යම් හෙයකින් මං දුටුවා නම් කඳුළු වැටෙනවා කියා. මහත්වරුනි මං කියන්න කැමතියි, අපේ මෙම රැස්වීමට පැමිණ සිටින ජනතාව මොන හේතුවකින් හෝ ප්‍රේමදාස උන්නැහේ දැක්කොත් හෙම ඔහුට කඳුළු වැටෙන්නේ ඉහළින් නොව පහළිනුයි කියා පෑවේ මහනුවර එකම කාහලනාදයක් වන ලෙසට අත්පොළසන් දෙමින්, ඔල්වරසන් දුන් ජනතාව කුල්මත් කරමිනි.
එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර