මානව සමාජය වෙනුවෙන් සදා නොමැකෙන මෙහෙවරක් ඉටුකොට දිවියෙන් සමුගත් මානව හිතවාදීන් අතර කන්ද උඩරටින් බිහිවූ ටිකිරි බණ්ඩාර ඉලංගරත්නයන් විශිෂ්ට දේශපාලනඥයෙකි. මහනුවර ‘තුන්පනේ’ යන ගම සිහියට නැගෙද්දී මතකයට එන තවත් සුවිශේෂී චරිතයක් ඇත. ඒ මෙරට ශාසනික පුනරුදය වෙනුවෙන් අසීමිත සේවාවක් ඉටුකළ වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර සඟරාජ මාහිමියන්ය. උන්වහන්සේගේ මෙන්ම දක්ෂ ලේඛකයෙක්, නාට්‍ය රචකයෙක්, නළුවෙක් මෙන්ම ඇමතිවරයෙක් හා විශිෂ්ට දේශපාලනඥයෙකු වූ ටී. බී. ඉලංගරත්න ශූරීන්ගේ ගමත් තුන්පනය නමැති ගමවීම දෛවෝපගත සිදුවීමකි.
තුන්පනේ, හතරලියද්දේ පදිංචිව සිටි බෝමලුවේ වෙද නිලමෙතුමාගේ බිරිඳ ඉලංග දමුන්ඩ මුදියන්සේලාගේ ලොකු මැණිකේ සිය සැමියාගේ සමාජ සේවා කටයුතුවලටත් පන්සලේ දියුණුවටත් අතහිත දෙමින් කටයුතු කළ ත්‍යාගශීලී කාන්තාවකි.
මේ ආදර්ශමත් පවුලේ හතරවැනියාව ටී. බී. ඉලංගරත්න මෙලොව එළිය දුටුවේ 1913 පෙබරවාරි 27 වැනිදාය.
සිවු හැවිරිදි වියේදී හතරලියද්ද පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ටිකිරි බණ්ඩාර 1924 දී ගලගෙදර මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන්නට විය. ඉලංගරත්න සිසුවාගේ සහජ දක්ෂතා මැනවින් හඳුනාගත් එවකට ගලගෙදර විදුහලේ දක්ෂ ගුරුවරයෙකුවූ ජේ. වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම් යටතේ ඉලංගරත්නට නාට්‍ය සහ සාහිත්‍ය වැනි විෂයන්වලින් සිය හැකියාවන් ඔප මට්ටම් කර ගැනීමට හැකිවිය.
කෑගල්ල ශාන්ත මරියා විදුහලේ කෙටි කලක් අධ්‍යාපනය ලැබූ ඉලංගරත්න සිසුවා සිය දැනුම පෝෂණය කරගැනීම සඳහා කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට ඇතුළත් විය.
සිය පාසල් ජීවිතයේදී අකීකරු පුතා, හෙමින් හෙමින් හා අන්ධ නැන්දා යනුවෙන් නාට්‍ය 3 ක් රචනා කිරීමට ඉලංගරත්නයන්ට හැකිවිය.
1934 ජනවාරි මාසයේ ලන්ඩන් මැට්රිකි්‍යුලේෂන් විභාගයෙන් දිවයිනෙන්ම ගෞරව සාමාර්ථ ලැබූ අටදෙනා අතරට ඉලංගරත්නගේ නමද එක්විය.
පාසල් කාලයෙන් පසු නාට්‍ය කිහිපයක නළුවකු ලෙස රඟපෑ ඉලංගරත්නයන් ධාතුසේන රජතුමාගේ චරිතයට පණපොවා ඇත. ලිපිකරුවෙකු ලෙස පත්වීමක් ලබාගන්නේ 1934 මැයි මාසයේ සිටය. කොළඹ ආදායම් පාලක දෙපාර්තමේන්තුවේ ලිපිකරු වශයෙන් ඔහුගේ මාසික වැටුප වී ඇත්තේ රුපියල් 35 කි. පිටකොටුව විජේසිරි හෝටලය ඔහුගේ නවාතැන විය. එහි නේවාසික ගාස්තුව රුපියල් 25 කි. මාසික වැටුපවූ රුපියල් 35 න් රුපියල් 25 ක් බෝඩිම් ගාස්තු වශයෙන් ගෙවූ කල ඉතිරිවන රුපියල් 10 වියදම් කොට ඇත්තේ ඔහුගේ නාට්‍ය නිර්මාණ රඟ දැක්වීම සඳහාය. රැකියා ස්ථානයට පයින්ම යෑමට ඉලංගරත්න මහතා පුරුදු වී ඇත්තේ එකල පැවැති මුදල් අගහිඟකම් නිසාය.
මහනුවර කච්චේරියට ස්ථාන මාරුවක් ලබාගත් ඉලංගරත්න මහතා ගම්පොළ තමරා කුමාරි අළුදෙණිය මෙනෙවිය සමග විවාහ දිවියට ඇතුළත්වූයේ 1944 සැප්තැම්බර් 4 වැනිදාය.
සිව්දරු පියෙකු වූ ඉලංගරත්න මහතා සිය වෘත්තියේ අයිතිවාසිකම් වෙනුවෙන් විවිධ අරගලවලට නායකත්වය ලබාදීමට පසුබට වූයේ නැත.
1947 ලිපිකරු සේවය අහිමිවීමෙන් පසු ඉලංගරත්න මහතා පූර්ණකාලීන දේශපාලනයේ නිරතවන්නට විය.
ස්වාධීන සමාජවාදී අපේක්ෂකයෙකු ලෙස මහනුවර අසුනට තරග කොට ජයලබා 1948 මැයි 18 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේය.
ඉලංගරත්න මහතාගේ දේශපාලන ගුරුවරයා වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ රාජනීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතාය.
නව කථාවෙන් කෙටි කථාවෙන් හා නාට්‍ය වලින් රසඥතාවයෙන් පිරිපුන් ජනතාවක් නිර්මාණය කළ අතර සිය දේශපාලන භාවිතයෙන් වැඩකරන ජනතාව සුරක්ෂිත කිරීමට පියවර ගැනීම ඉලංගරත්නයන්ගේ දේශපාලනයෙන් උගත හැකි පාඩම්ය.
එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් 1956 පිහිටවූ මහජන එක්සත් පෙරමුණු රජයේ කම්කරු ඇමතිවරයා වශයෙන් වැඩකරන ජනතාවට අත්පත්කරදුන් ඓතිහාසික ජයග්‍රහණ රැසකි.
ලෝක කම්කරු දිනය සමරණ මැයි මාසේ පළමුවැනිදා ශ්‍රී ලංකාවාසී කම්කරු ජනතාව වෙනුවෙන් නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කළ කම්කරු ඇමතිවරයා වූයේ ඉලංගරත්න මහතාය. මෙය කිසිදු කම්කරු ඇමතිවරයෙකුගෙන් ඉටුනොවූ ජනතා අයිතිවාසිකමකි. සෑම මැයි දිනයක ඉලංගරත්න මහතා සැමරිය යුත්තේ ඒ නිසාය.
පෞද්ගලික අංශයේ සේවකයන්ට එකල හාම්පුතුන්ගෙන් පැවැතියේ වහල් සමාජයේ ගති ලක්ෂණයන්ය. “දත් මැදලා දමන දැහැටි දඬුමෙන්” පෞද්ගලික අංශයේ සේවකයා වියපත්වූ කල්හි කිසිදු පිළිසරණක් පැවැතියේ නැත. ලක්ෂ සංඛ්‍යාත පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් ඇති කළ සේවක අර්ථ සාධක අරමුදලේ (ෑඡත්) නිර්මාතෘවරයා වූයේ ටී. බී. ඉලංගරත්නයන්ය. මේ සමාජ මෙහෙවර ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අමතක නොවන මතක සටහනක් ලෙස සඳහන් කළ හැක.
පෞද්ගලික බ්‍රෝකර් සමාගම්වලින් පාලනය වූ රක්ෂණය දුප්පත් ජනතාවට සෙත සලසන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආරම්භ කිරීම වෙළෙඳ ඇමතිවරයා වශයෙන් ගත් තවත් ප්‍රගතිශීලී පියවරකි. මෙයින් නොනැවතී පෞද්ගලික සමාගම් ඒකාධිකාරියක් කරගෙන සිටි තෙල් වෙළෙඳාම ජනසතු කිරීම ඉලංගරත්න මහතා ගත් ඉතා නිර්භීත ක්‍රියාමාර්ගයකි. තෙල් ජාවාරම්කරුවන්ට නොබියව මුහුණදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා ජනතාවට තෙල් ලබාදීමට පියවර ගත්තේය.
මේ රටේ කරවල වෙළෙඳාමත් එක්තරා පිරිසක් නතුකරගෙන සිටි වෙළෙඳාමකි.
එයත් සමුපකාරය හා සතොස හරහා සහන මිලට ලබාදීමට පියවර ගත්තේය. මෙයින් කිපුනු ජාවාරම්කාර සමාගම්කරුවෝ කරවල කුමාරයා යනුවෙන් ඉලංගරත්න මහතාට නම් පටබැන්දත් කිසිදා ජනතාව වෙනුවෙන් කරන සේවය අඩු කළේ නැත. සාමාන්‍ය ජනතාවට ණයක් ගැනීමට නොහැකි අන්දමට තිබූ බැංකු ක්‍රමය තුළ මහජන බැංකුව ඇති කිරීම ඉලංගරත්නයන් අතින් ඉටුවූ තවත් ජනතා මෙහෙවරකි. සිංහල භාෂාවෙන් අයවැය ලේඛනය ඉදිරිපත් කළ මුල්ම මුදල් ඇමැතිවරයා වූයේද ඉලංගරත්න මහතාය. ඒ 1963 අගෝස්තු 1 වැනිදාය.
1977 ජූලි මැතිවරණයෙන් පරාජයට පත් වුවද ඉන්පසු සක්‍රීය දේශපාලනයේ නිරතවූ ඉලංගරත්න මහතා 1984 ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවීමට පියවර ගත්තේය.
මහජන පක්ෂයේ සභාපතිවරයාවූ ඉලංගරත්න මහතා සිය අත්දැකීම් සමග මුසුවූ දේශපාලනය තුළ දුර දක්නා නුවණ සමග මහජන පක්ෂයෙන් ඉවත්වූ අයුරු මා මතකයේ ඇත. රටට, සමාජයට දැනෙන අමිල සමාජ මෙහෙවරක් ඉටුකළ මේ උතුම් මිනිසා 1992 මැයි මස 21 වැනිදා ජාතියෙන් සමුගත් නමුත් එතුමා ඉටුකළ ජනතා මෙහෙවර සදා අමරණීයයි. අවසන් වශයෙන් ඉලංගරත්නයන් කියූ කියමනක් මා මතකයේ ඇත. එය නම් “සාධාරණ රජයක පරම යුතුකම තොටිල්ලේ සිට සොහොන දක්වා මිනිසාට සැනසිලිදායක ජීවිතයක් ගතකිරීමට අවස්ථාව ලබාදීමයි.”
මහින්ද ආරියවංශ