කම්කරු නායකයෙක් මැති සබයට


ආණ්ඩු ගිනියම් කළ  අතුරු මැතිවරණ-12 

1947 ප්‍රථම මහා මැතිවරණයේ දී උඩරට ආසන අටක්ම දෙමළ භාෂාව කතාකරණ අපේක්‍ෂකයන් විසින් දිනාගනු ලැබීම ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂි සිදුවීමක් ලෙස සටහන්ව ඇත. (අළුත්නුවර, ඩී. රාමනුජම්) (ලාම්පුව) , 76 - බදුල්ල - (බහුමන්ත්‍රී ආසනය) ඇස්. ඇම්. සුබ්බයියා (කරත්ත රෝදය , පළමුවන මන්ත්‍රී) 77 - බණ්ඩාරවෙල, කේ. වී. නඩරාජා (අත), කොටගල කේ. කුමාර වේළු (අලියා),  - නාවලපිටිය, කේ. රාජලිංගම්) කරත්ත රෝදය), මස්කෙළිය - ජී. ආර්. මෝතා (කන්නාඩි කූට්ටම), නුවරඑළිය වී. ඊ. කේ. ආර්. එස්. තොන්ඩමාන් (තරුව) තලවාකැලේ සී. ඊ. වේළුපිල්ලේ (අත ) එසේ දිනාගත් මන්ත්‍රී කොට්ඨාසයන්ය.

මෙයින් නුවරඑළිය ආසනය ජයග්‍රහණය කළ වී. ඊ. කේ. ආර්. ඇස්. තොන්ඩමාන් මහතා ලංකා ඉන්දියානු කම්කරු සංගමය නියෝජනය කළ අතර, කොටගල ආසනයට තේරී පත් වු කේ. කුමාරවේලු මහතා ස්වාධීන අපේක්‍ෂකයෙක් විය. ඉතිරි සියලු දෙනාම ලංකා ඉන්දියානු ජාතික සංගමයට අයත් වූහ. හපුතලේ ආසනය ඉන්දියානුවෙකුට දිනාගත නොහැකි වුයේ. ඉන්දියානු ද්‍රවිඩ ජන්ද අපේක්‍ෂකයින් තිදෙනෙකු අතර බෙදී යාම (ඒ. ඩී. සෙන්ගමාලෙයි, ගෙය - 1753, ආර්. ඒ. නඬේසන් (කූඩය - 1337,) ඒ. පච්චමුත්තු - (අලියා - 1229) හේතුවෙනි. මෙම කාරණාව නිසා, හපුතලේ ආසනය ජේ. ඒ. රඹුක්පොත (යතුර - 2124) මහතාට දිනාගත හැකි විය. 

මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙණ මස්කෙළිය ආසනයේ අතුරු මැතිවරණයේ තොරතුරුවලට අදාළ 1947 ප්‍රථම මහා මැතිවරණය දිනාගෙන තිබු ආකාරය මෙසේය.


ජී. ආර්. මෝතා (කන්ණාඩි කුට්ටම 9080) බී. ඩී. ඩබ්ලිව්. ගුණපාල (ගෙය - 3949) කේ. නඬේස අයියර්  (කුඩය - 918) ටී. ඇම්. සොලමන් (අත - 598) වැඩි ඡන්ද සංඛ්‍යාව 5131, ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකා ගණන 569, ඡන්දය දුන් මුළු ගණන් 15,120, ලියා පදිංචි ඡන්දදායකයින්ගේ මුළු සංඛ්‍යාව 24,427 පරාජිත අපේක්‍ෂකයින් අතර, 1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී මුළු ඡන්ද 16,324 ද වැඩි ඡන්ද 12,689 ද ලබා ගෙන අංක: 20 - හැටන් ආසනයට තේරි පත් වූ කේ. නාඬේස අයියර් මහතා ද සිටීම විශේෂ සිදුවිමක් විය. එහෙත්, ජී. ආර්. මෝතා මහතාට මන්ත්‍රීධුරය දැරිය හැකි වුයේ වර්ෂ දෙකකට මඳක් වැඩි කාලයක් පමණකි. ඔහු හදිසියේම මිය ගිය හෙයින් මස්කෙළිය ආසනය පුරප්පාඩු වූ අතර 1950 මාර්තු මස 11 වැනි දින අතුරු මැතිවරණයක් පවත්වන්නට සිදුවිය. මෙය ප්‍රථම පාර්ලිමේන්තු මහාමැතිවරණයෙන් පසු පැවැත්වූ හත්වැනි අතුරු මැතිවරණය ද මන්ත්‍රීවරයා මිය යාමේ හේතුවෙන් පැවැත් වූ තුන්වැනි අතුරු මැතිවරණය ද විය.


අතුරු මැතිවරණය සඳහා නාමයෝජනාපත්‍ර භාරගත් දිනයේ දී අබ්දුල් අසීස් (ලංකා ඉන්දියානු ජාතික සංගමය) - (කොන්ග්‍රස්) සහ ජී. ආර්. රාජප්‍රියර් (ස්වාධින) යන දෙදෙනා නාමයෝජනා භාරදුන්නේය. අබ්දුල් අසීස් මහතා උඩරට වතුකම්කරු ජනතාවගේ අභිවෘද්ධිය පතා විවිධ බාධකමැද සුවිශාල සේවයක් ඉටුකළ වෘත්තීය සමිති නායකයෙකු විය. 1912 ඔක්තෝබර් මස 08 වැනිදා ඉන්දියානු නිදහස් සටනේ වීරවරයෙකු වූ මහත්මා ගාන්ධිතුමා උපතලැබූ “පොරොන්බන්දුර්” නගරයේදී ජන්මලාභය ලැබු අසීස් මහතාගේ පියා වූ ගුලාන් හුසේන් රෙයිමු ප්‍රකට ව්‍යාපාරියෙකු විය. කලක් මෙරට කීර්තීමත් නාමයක් හිමිකරගෙන සිටි. “රෙයිමු සන්ස්” ව්‍යාපාරය ඔහුට අයත්ව තිබුණේය. එකල බෙහෙවින් ජනප්‍රියව තිබූ “ඌෂා” මහන මැෂීන්, විදුලි පංකා සහ තවත් උපාංග රාශියක් නිෂ්පාදනය කර අලෙවි කරණු ලැබුවේ. “රෙයිමු සන්ස්” ව්‍යාපාරය මඟින්ය. කරච්චියේදී සහ බොම්බායේ දී උසස් අධ්‍යාපනය හදාරා ඉන්දියාවේ ..ඊගජදප.. උපාධිය ලබා සිටි අබ්දුල් අසීස් මහතා ව්‍යාපාර කටයුතු පාලනය කිරීම සඳහා ලංකාවට පැමිණියේය. පසුව අධිරාජ්‍යවාදී පාලනය යටතේ සූරාකෑමට සහ තාඩන පීඩනවලට යටත්ව ඉතා පහත් ජීවන මට්ටමක සිටි ඉන්දීයානු දෙමළ කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට ද අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමටද පුරෝගාමීව කටයුතු කිරීමට තරම් නිහතමානී විය. 


පාර්ලිමේන්තුවෙන් පිටතදී දෙමළ කම්කරු ජනතාව වෙනුවෙන් වැඩියෙන් සේවයකළ හැකියැයි විශ්වාස කළ අබ්දුල් අසීස් මහතා 1947 ප්‍රථම මහා මැතිවරණයේදී ආසනයක් තරගකිරීම ප්‍රතික්ෂෙප කළේය. 1939 දී ලංකා ඉන්දියානු සංගමය පිහිටුවීමට පෙර ඔහු කොළඹ ඉන්දියානු සංගමයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. පසුව ආරම්භ කෙරුණු ලංකා ඉන්දියානු ජාතික සංගමයේ පළමු සමලේකම් ධුරයට ඔහු පත්වූයේ දේසායි මහතා සමඟය. අනතුරුව අසීස් මහතා තුන් වර්ෂයක් එහි සභාපති ධුරය ඉසිලීය. ඉන්දියානු වතු කම්කරුවන්ගේ ප්‍රශ්න පිළිබඳව ඉන්දීය රජය සමඟ පැවැත් වූ සාකච්ඡා කීපයකදී සංගමයේ නියෝජිතයා වශයෙන් සහභාගී විමේ අවස්ථාවන් අසීස් මහතාට හිමිවිය. මේවා අතරින් සුවිශේෂි එකක් ලෙස සටහන් වනුයේ එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහර්ලාල් නේරු සමඟ පැවැත් වූ පුරවැසිභාවය සහ සර්වජන ඡන්දබලය පිළිබඳව වූ කතිකාවයි. මෙම තීරණාත්මක සාකච්ඡාවෙන් පසු නේරු - කොතලාවල ගිවිසුම 1954 දී අත්සන් කෙරිණි. එම ගිවිසුම මගින් පුරවැසිභාවය ඉල්ලා තිබූ අයදුම්පත්‍ර ගැන කටයුතු කිරිම කඩිනම්කෙරිණි. ලංකා කම්කරු සංගමය සමඟ අසිස් මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමය 1960-01-18 දින ඒකාබද්ධකිරීමෙන් අනතුරුව කෘත්‍යාධිකාරී කාරක සභාවටද පත් වූ අතර, තේ සහ රබර් පඩිපාලක සභාවේ සාමාජිකයකු වශයෙන්ද කටයුතු කළේය. 1950 වර්ෂයේදී නුවරඑළියේ පැවැත්වූ ලෝක කම්කරු සංවිධානයේ රැස්වීමේදී කම්කරු නියෝජිතයා වශයෙන් සහභාගී වුයේ ද ඒ මහතාය.


අබ්දුල් අසීස් මහතා සමඟ මස්කෙළිය අතුරු මැතිවරණයට නාමයෝජනාපත්‍ර භාරදුන් ජී. ආර්. රාජප්‍රියර් මහතාද ලංකා ඉන්දියානු සංගමයේ සාමාජිකයෙකු වශයෙන් ක්‍රියා කළ අයෙකි. 
ඔහු 1947 මහාමැතිවරණයේදී ගලහ ආසනයට ස්වාධින අපේක්‍ෂකයෙකු වශයෙන් තරගකර තිබුණේය “කරත්ත රෝදය” සළකුණ යටතේ තරග වැඳුන හෙතෙම පසුකාලීනව ප්‍රකට දේශපාලනඥයෙකු වූ සී. ඒ. ඇස්. මරික්කාර් මහතා (1952 මැතිවරණය - කඩුගන්නාව (තරුව 26,837 දෙවැනි මන්ත්‍රී, 1956 මැතිවරණය (අත 42,982 - පළමුවැනි මන්ත්‍රී 1960 මාර්තු 39  - ගලගෙදර (අත - 4493) හතරවැනි ස්ථානයට පත්කරමින් ඡන්ද 5143 ක් ලබාගත්තේය.


එහෙත්, මස්කෙළිය අතුරු මැතිවරණයේදී අබ්දුල් අසීස් මහතාට එරෙහිව කිසිදු අභියෝගයක් එල්ලකිරීමට රාජප්‍රියර් මහතාට හැකිවූයේ නැත. වතුකරයේ ජනතාවගේ ඉහළම ප්‍රතිචාරය ලැබීතිබුණේ අසීස් මහතාටය. 


අවංකව ජනසේවයට කැපවූ ඔහුට කෘතගුණ දැක්වීමට ඡන්දදායකයින් මෙය කදිම අවස්ථාවක් කරගත්බව පැහැදිලිවම පෙනෙන්නට තිබුනි. ඡන්ද සටනේ තරඟකාරී ස්වරූපයක් තිබුණේම නැති තරම්ය.


එය අවසානයේදී ප්‍රකාශයට පත්කළ ඡන්ද ප්‍රතිඵලයෙන් මනාව පැහැදිලි විය. සම්පුර්ණ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය.


ඒ. අසීස් (අත) 11,343, ජී. ආර්. රාජප්‍රියර් (කරත්ත රෝදය) 1301, වැඩි ඡන්ද සංඛ්‍යාව 10,042, ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකා ගණන 278, ඡන්දය දුන් මුළු ගණන ඃ 12,942 ලියාපදිංචි ඡන්දදායකයන්ගේ මුළු සංඛ්‍යාව ඃ 22,303. මෙම ප්‍රතිඵලයට අනුව ජී. ආර්. රාජප්‍රියර් මහතාගේ ඇපමුදලද රාජසන්තක විය. කෙසේ වුවද, දේශපාලන පොරපිටියට නැඹුරු නොවූ අසීස් මහතා ඉන්පසු ඡන්දයකට ඉදිරිපත් නොවීය. පාර්ලිමේන්තුවෙන් පිටතසිට වතුකම්කරු ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම් සහ ඔවුන්ගේ සුභ සාධනය සඳහා අපමණ මෙහෙවරක් ඉටුකළහැකි බව තරයේ විශ්වාස කළ අසීස් මහතා ඒ අරමුණ සඳහා කැපවීමෙන් යුතුව දිගටම ක්‍රියා කළේය. ඔහුගේ මෙම දීර්ඝකාලීන ජන මෙහෙවරට ගරුකිරීමක් වශයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජයේ (1970 - 1977) පත්කළ මන්ත්‍රී තනතුරකට අබ්දුල් අසීස් මහතා නම් කළේය.

 

 

 

 

 


ජී. ආර්. ඩී. බණ්ඩාර