ජේ.ආර්. කොමියුනිස්ට් පක්‍ෂය සමඟ එක්ව මැයි රැළියක් තිබ්බා
කොළඹ අගනගරයේ ඉපැරණි මංසන්දි අතර බොරැල්ල හන්දිය බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ ජනාකීර්ණ පස්මංහන්දියකි.
ඕනෑම අයකු මෙලොවට බිහිවීමත් මෙලොවින් සමුගැනීමත් යන ජීවිතයේ තීරණාත්මක මංසන්දි දෙකම බොරැල්ලේ දී දැක ගැනීමට හැකිය. ඒ අනුව කෙනකුගේ උපත සිදුවන කාසල් වීදියේ කාන්තා රෝහල මෙන්ම කෙනෙකුගේ මරණයෙන් පසු අවසන් කටයුතු සිදුකරන කොළඹ කනත්ත ද බොරැල්ලේ පිහිටා ඇත. මේ අනුව උපත මෙන්ම විපත ද බොරැල්ලෙන් සිදුවන්නේය. වර්තමානයේ බොරැල්ල ගැන කවර කතා කීවත් අතීතයේ විසූ දැවැන්ත චරිත රැසකට ජීවය දුන් ප්‍රදේශයක් ලෙස බොරැල්ල ඉතිහාසගත වී හමාරය.
අතීතයේ දකුෙණන් කොළඹට වෙළෙඳාමේ එන කරත්තකරුවන් පිටුපස පැමිණි තරුණයන් පසුව මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් බවට පත් වූයේ බොරැල්ල නගරයෙනි. රටට නිදහස ලබා ගැනීමට මූලික වුූ සේනානායක පරපුරේ ‘‘වුඩ්ලන්ඩ් මන්දිරය’’ පිහිටා ඇත්ෙත්ද බොරැල්ලේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිධූරය දැරූ ජේ.ආර්. ජයවර්ධන මහතා මිය යන තුරුම පදිංචි වී සිටියේ බොරැල්ල වෝඩ් පෙදෙසේ බව බොහෝ දෙනාට නොරහසකි.
වමේ ව්‍යාපාරයේ නායකයන් වූ ලංකා සමා සමාජ පක්‍ෂයේ නායක ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා කොටා පාරේ නිවසකද ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයන් වූ සුගීශ්වර වික්‍රමසිංහ මහතා බාවා ප්‍රදේශයේද, පීටර් ෙකනමන් මහතා කලක් කොටා පාරේ නිවසකද ජීවත්වූ වමේ දේශපාලනඥයෝ වෙති.
රාජනීතීඥ සිරි පෙරේරා සහ ජනාධිපති නීතීඥ බන්ටි සොයිසා යන ප්‍රසිද්ධ නීතිඥවරුන් දෙදෙනා ද එකල කොටා පාරේ ජීවත් වූ ප්‍රභූවරුන් අතර වූහ. බොරැල්ල යන නම සෑදී ඇත්ෙත් බොරලුවැල්ල බොරැල්ල වූ නිසා බව බොරැල්ලේ ජීවත් වෙන පැරැන්නෝ පවසති. බොරැල්ලේ අතීතය සොයායෑමේ දී බොරැල්ල තිලකරත්නාරාමාධිකාරී ශාස්ත්‍රපති රත්ගම උපනන්ද හිමියන් පැවසුවේ අපූරු අතීත ේදශපාලන සිදුවීම් පෙළකි.
1978 අවුරුද්දේ බොරැල්ලේ තිලකරත්නාරාමයේ දෙමහල් සංඝාවාසය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ එවකට ජනාධිපති ධූරය දැරූ අප විහාරස්ථානයේ ප්‍රධාන දායකයකු වූ ජේ.ආර්. ජයවර්ධන මහත්තයයි. එතුමා අපේ පන්සල සමඟ පැවැති අතීත දේශපාලන සිදුවීමක් ද ඒ මොහොතේ සිහිපත් කළා.
දෙවන ලෝක යුද සමයේ 1943 සිට 1945 දක්වා කොළඹ නගරය ඇතුළු නගර රාශියක රැස්වීම් පැවැත්වීම තහනම් කරලයි තිබිලා තියෙන්නේ. ෙපාලිස් අධිකාරිවරයකුගේ අවසර නැතුව රැස්වීමක් පවත්වන්න පුළුවන් වූයේ රාජ්‍ය මන්ත්‍රීවරයකුගේ ප්‍රධානත්වයෙන් පමණයි.
සම සමාජ නායකයන් බෝගම්බර හිරගෙදරින් පැනලා ගිහින් ඉන්දියාවේ හැංගිලා ඉන්න කාලේ, සෝවියට් රුසියාව යුද්ධයට පක්‍ෂපාතී වුණත් කොමිනියුස්ට් පක්‍ෂයේ නායකයන්ටද තහනම් ප්‍රදේශවල රැස්වීම් පැවැත්වීම දුෂ්කර කටයුත්තක් වුණා.1943 දී කොළඹ මැයි දිනය සමරන්න පුළුවන් කම ලැබිලා තියෙන්නේ රාජ්‍යමන්ත්‍රීවරයකු වූ කම්කරු පක්‍ෂයේ නායක ඒ.ඊ. ගුණසිංහ මහත්තයාට විතරයි. කොමිනියුස්ට් පක්‍ෂයට මැයි රැළියක් පැවැත්වීමට මූලාසනය හොබවන්න රාජ්‍ය මන්ත්‍රීවරයකු සොයා ගැනීමට අසීරු වූ අවස්ථාවක 1943 අප්‍රියෙල් 17 වැනි දින පැවැති අතුරු මැතිවරණයකින් ජයගෙන ෙවා්ඩ් පෙදෙසේ සිය නිවසට පැමිණ ලංකා ජාතික සංගමයේ සම ලේකම් ජේ.ආර්. ජයවර්ධන මහතා හමුවීමට කොමියුනිස්ට් පක්‍ෂයේ නියෝජිත පිරිසක් ඇවිල්ලා තිබෙනවා. ඔවුන්ගේ ඉල්ලීම වෙලා තියෙන්නේ මැයි පළමුවැනිදා කම්කරු රැළියක් පවත්වන්න ඒ සඳහා රාජ්‍ය මන්ත්‍රීවරයා වශයෙන් එහි මූලාසනය ගන්න පුළුවන්ද කියා දැන ගැනීමටය.
තරුණ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඒකට කැමැති වෙලා තියෙනවා. නමුත් මේ මැයි රැළිය පැවැත්වීමට සුදුසු ස්ථානයක් සොයා ගැනීම කොමිනියුස්ට් පක්‍ෂයට දුෂ්කර කටයුත්තක් වෙලා තියෙනවා. මේ බව ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට දැනුම් දුන්නාම ජේ.ආර්. මහත්තයා අපේ පන්සලේ නායක හාමුදුරුවෝ වශයෙන් සිටි රත්ගම පඤ්ඤසේකර නායක හාමුදුරුවෝ මුණ ගැසිලා අපේ පන්සලේ මැයි දින රැළිය පවත්වන්න අවසර අරගෙන තියෙනවා. කොමිනියුස්ට් පක්‍ෂය සමග ජයග්‍රාහී මැයි රැළියක් තිලකරත්නාරාමයේ දී එදා පවත්වපු බව ජේ.ආර්. ජයවර්ධන මහතා සිහිපත් කළ ආකාරය මට හොඳින් මතක බව උන්වහන්සේ පැවසූහ.අපේ විහාරස්ථානය සතු ඔප්පු තිරප්පුවලට අනුව ඈත අතීතයේ මේ ප්‍රදේශයේ ඉතා සරුවට පොල් වගාව මෙන්ම කුරුඳු වගාවත් පැවැති බවට සාක්‍ෂි තිබෙනවා යැයි උන්වහන්සේ අවසන් වශයෙන් පැවසූහ.
බොරැල්ල හන්දියේ ජීවත්වෙන සිරිල් කරුණාරත්න (අවු. 92) බොරැල්ල හන්දියේ අතීතය ගැන කරුණු පැහැදිලි කළේ මෙසේය.
අද කොළඹ නගර සභාවෙන් පාලනය වන බොරැල්ල සුපිරි වෙළෙඳ සංකීර්ණය තියෙන ස්ථානයට ඒ කාලේ කිව්වේ ගාල මාර්කට් එක කියලා. ගාල මාර්කට් එකට හොඳ ඉතිහාසයක් තියෙනවා. ඉස්සර වෙළෙඳාම් කටයුතු කළේ කරත්තවලින් ලොරි ආදි මෝටර් වාහන නොමැති එම යුගයේ කරත්තකරුවෝ බඩු පටවගෙන කෝට්ටේ වැනි ප්‍රදේශවලට ගෙන යන්නේ බොරැල්ලෙන් තමයි. ඒකාලෙ බොරැල්ල කියන්නේ ගැල්කරුවන්ගේ හොඳ මධ්‍යස්ථානයක්.
ගොනුන් ලිහලා දාලා උන්ට කන්න බොන්න දීලා, පොඩි විවේකයක් ගන්න තැනක් තමයි බොරැල්ල කියලා කියන්නේ. රාත්‍රියට මේ ගොනුන් ගාලකට දාලා බඳිනවා. ඒ ගාල තිබුණේ මේ මාර්කට් භූමියේ නිසා ගාල මාර්කට් කියලා මේකට නම වැටුණා.
ගාල ළඟම වෙළෙඳපොළත් තිබුණා. මාළු වෙළෙඳසල වගේම මස් වෙළෙඳසලත් ඒ කාලේ ඉඳලම මේ ස්ථානයේ තිබුණා. සිල්ලර එළවළු ආදියත් මේ වෙළෙඳපොළේ තිබුණා. වෝඩ් පෙදෙසට හෑරෙන තැන වත්ත අයිතිවෙලා තිබුණේ විජේවර්ධන වලව්වට. අද කොළඹ තරුණ බෞද්ධ සංගමය (Y.M.B.A) එක තියෙන තැන දක්වා ඉඩම්වල අයිතිකරුවා වුණේ දොස්තර විග්නරාජා මහත්තයා. ඒ මහත්තයාට සල්ලි දීලා, කොළඹ තරුණ බෞද්ධ සංගමයට ඒ ඉඩම සර් සිරිල් ද සොයිසා මහත්තයා ඒ කාලේ අරගෙන තියෙනවා.
ඒ කාලේ කොළඹ තරුණ බෞද්ධ සංගමය තනි සොල්දරයක් එක්ක පුංචි ගොඩනැගිල්ලක තමයි තිබුණේ ඒ කාලේ ගාල මර්කට් එක ළඟ සමුපකාරයකුත් තිබුණා.
බොරැල්ල කිව්වම විශාල ප්‍රදේශයක්. එක පැත්තකින් කොළඹ කනත්ත ගොල්ෆ් පිටිය දක්වාත් තවත් පැත්තකින් රාජගිරිය ආයුර්වේද හන්දිය දක්වාත් බේස්ලයින් පාරේ දුම්රිය ක්‍රීඩාංගණය දක්වා බොරැල්ල නගරයට අයිති වෙනවා. ඒ කාලේ හරිම සුන්දර නගරයක් තමයි බොරැල්ල කියලා තියන්නේ්. ඩඩ්ලි හාමු වුඩ්ලන්ඩ් මන්දිරයේ හිටියට අගමැති වෙලත් ආරක්‍ෂාවට හිටියේ එක පොලිස් නිලධාරියයි. ඩඩ්ලි හාමුයි. ඇන්.එම් පෙරේරා මහත්තයයි. හොඳ මිත්‍රයන් බව දැනගත්තේ පාර්ලිමේන්තුවේ මොන වාද විවාද තිබුණත් සවසට බොරැල්ලේ ගෝල්ෆ් පිටියේ එකට ගෝල්ෆ් ගහන නිසයි.
එහේම තමයි ඒ අය ඒ දවස්වල දේශපාලනය කළේ:
ඒ කාලේ බොරැල්ල නගරයේ ට්‍රෑම් කාර් තිබුණා. 1948 විතර ට්‍රොලිබස් තිබුණා. ඒ දවස්වල බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහල තනි තට්ටුවේ ගොඩනැගිල්ලක තමයි තිබුණේ. කොමිනියුස්ට් පක්‍ෂ කාර්යාලය කොටාපාරේ පොඩියට තිබුණා මතකයි. ඇත්ත පත්තරෙත් ඒකේ ගැහුවා. කොමිනියුස්ට් පක්‍ෂයේ වැඩ කළ උඩකැන්දවල සිරි සරණංකර හමුදුරුවෝ බොරැල්ලේ ඉඳලා කොටාපාරේ කොමිනියුස්ට් කාර්යාලයට පයින් වඩිනවා. මම දැකලා තිබෙනවා. යැයි අවසන් වශයෙන් සිරිල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ කොමිනියුස්ට් පක්‍ෂයට බොරැල්ල කොටාපාරේ අක්කරයයි පර්චස් 8ක් ඇති වටිනා ඉඩම ගත් ආකාරය එම පක්‍ෂයේ නියෝජ්‍ය ලේකම් එස්. සුදසිංහ මහතා මෙසේ විස්තර කළේය.
කොමිනියුස්ට් පක්‍ෂයේ මූලස්ථානයට සුදුසු ඉඩමක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතා සොයමින් සිටින විට ඒ මහතා විසූ නිවස ආසන්නයේම කැලෑවට ගොස් තිබෙන මේ ඉඩම ගැන තොරතුරක් එතුමට පවසා ඇත්තේ එකල ඇත්ත පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් වැඩ කළ එච්.ජී.එස්. රත්නවීර මහත්තයා තමයි.
නුවර ව්‍යාපාරිකයකුට අයිති මේ ඉඩම ඒ කාලේ රුපියල් 17,500කට තමයි අරගෙන තියෙන්නේ. දොස්තර වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික මුදලින් රුපියල් දාහක් මේ ඉඩමට දීලා තිබෙනවා. ඉතිරි හත්දාහස් පන්සීය පක්‍ෂයේ අරමුදල් වලින් සොයාගෙන තමයි මේ ඉඩම ඒ කාලේ අරගෙන තියෙන්නේ. අද එ්ක පර්චස් එකක් කෝටියකට වඩා වටිනවා. බොරැල්ලේ දිවිගෙවන අසූඑක් හැවිරිදි ජී. ඥානවතී මහත්මිය බොරැල්ලේ අතීතය පැවසුවේ මේ අයුරිනි.
ඒ කාලේ ෙවා්ඩ් පෙදෙසට වෙන්න කැලෑ මාර්කට් එක කියලා මාර්කට් එකක් තිබුණා. ඒකට ගොඩක් මිනිස්සු බඩු ගන්න එනවා. එළවළු හරිම ලාභයි. මුකුණුවැන්න මිටියේ ඉඳලා සෑම දෙයක්ම මේ කැලෑ මාර්කට් එකේ තිබුණා. අපි ජීවත් වෙන වෝඩ් පෙදෙසවත්ත 184 වත්ත තිබුණේ කැලෑ මාර්කට් එකට පිටිපස්ෙස් තමයි. දැන් අපේ වත්තට ‘ටයිප් වත්ත’ කියලා කිව්වට ඒ කාලේ කිව්වේ 184 වත්ත කියලයි. මේ වත්ත ඒ කාලේ අයිතිවෙලා තිබුණේ. විජේවර්ධන වලව්වටයි. ඒ කාලේ මේ ගෙවල්වල මාසික කුලිය ශත 15යි. වත්ත බලාගන්න මුරකාරයකුත් හිටියා. ඒ දවස්වල මේ වත්තේ පිරිසිදු නාන ළිඳක් තිබුණා. මුළු බොරැල්ලෙම හෝටල් කඩ සාප්පුවල වැඩ කරපු මිනිස්සු නෑවේ මේ ළිඳෙන් තමයි. මිනිස්සුන්ට නාන්න පහසු වෙන්න බක්කි පෙළක්ද මේ ළිඳ වටේට හදලා තිබුණා. අපේ කාලේ හරිම සාමකාමී පරිසරයක් තමයි බොරැල්ලේ තිබුණේ.
ටී.එම්. කිත්සිරි බණ්ඩාර බොරැල්ලේ. ඉපදී හැදී වැඩී තවමත් එහිම ජීවත්වෙන අයෙකි. ඔහු බොරැල්ල ගැන මෙසේ කියයි:
අපි පුංචි කාලේ බොරැල්ලේ රික්ෂෝ හරියට තිබුණා. ට්‍රෑම් කාර්, ට්‍රොලි බස් යුගයක් පසු කරලා ඊළඟට ආව මයිනර් ටැක්සි යුගයක් මට හොඳට මතකයි. ඒ කාලේ මයිනර් ටැක්සියට නගරයේ හොඳ ඉල්ලුමක් තිබුණා. ගායන ශිල්පී එම්.එස්. ප්‍රනාන්දු ගායනා කළ ‘‘මම ටැක්සිකාරයා- මම කොළඹ හාදයා’’ කියන සිංදුවත් ඒ කාලේ හරිම ජනප්‍රියයි. ඒ කාලේ බොරැල්ල පොලීසිය තිබුණේ ලොකු ඉඩමක ඒක අද ගොඩක් පුංචි වෙලා.
කැම්බල් උද්‍යානය ඉස්සර හරිම විශාල උද්‍යානයක් තමයි. ඒ කාලේ කැම්බල් පාක් එකේ විශාල ගහක් තිබුණා. මේ ගහ හෙවණට සෑම හැන්දෑවකටම බොරැල්ලේ වැඩිහිටියෝ එකතු වෙනවා. එකතු වෙලා දේශපාලනය, ක්‍රීඩාව වැනි සමාජයේ නොයෙක් දේවල් පිළිබඳ අල්ලාප සල්ලාපයේ යෙදෙනවා. ඒ නිසා ඒ කාලේ මේ ගසට කිව්වේ ‘පච ගහ’ කියලා. කැම්බල් පාක් එකේ පචගහ කිව්වාම ඒ කාලේ බොහෝම ප්‍රසිද්ධයි. කැම්බල් පාක් එකේ ඒ දවස්වල ‘රාග බෝල’ සෙල්ලමත් සෑම දිනකම වගේ තිබුණා.
බොරැල්ලෙන් බිහි වූ ව්‍යාපාරිකයන් ගැන මතක් කළොත් මාතර, තලල්ලෙන් කොළඹට ආපු ඇස්.ඩී. ගුණදාස (දාස) මුදලාලි බොරැල්ල නගරයේ හිටපු උත්සාහයෙන් දියුණු වූ හොඳ රෙදිපිළි ව්‍යාපාරිකයෙක්. මුලින්ම බොරැල්ල නගරයේ විශාල තට්ටු ගොඩනැගිල්ලක් හැදුවේ ඔහු තමයි. ඊ.ඒ.පී එදිරිසිංහ මුදලාලිත් බොරැල්ලෙන් පුංචියට ආරම්භ කළ උගස් බඩු ගන්න ස්ථානය. දියුණු වී අද සාර්ථක ව්‍යාපාර ජාලයක් එදිරිසිංහ සමාගමට තිබෙනවා. මාතර ගුණදාස මුදලාලිත් බොරැල්ල නගරයේ උත්සහයෙන් දියුණු වූ තවත් ව්‍යාපාරිකයෙක් තමයි. ඒ දවස්වල මුළු බොරැල්ලටම පාන් බෙදුවේ ඉම්පිරියල් බේකරියෙන්. ඉම්පිරියල් බේකරියේ පෝරණු පාන් සුවඳ මුළු බොරැල්ල නගරයටම දැනෙනවා. ඒවගේම පාන් හරිම රසයි. මාළුපිනි නැතුව වුණත් ඒ පාන් කන්න පුළුවන්. එදා බොරැල්ල නගරයේ දෙමළ මුදලාලිලා ගොඩක් හිටියා. ඒ අයට අයිති සුරුට්ටු කඩ තිබුණා. කෙසෙල් කැන් කඩ තිබුණා. අද වගේ මහල් ගොඩනැගිලි නොතිබුණාට තනි තට්ටුවේ කඩපේළි හරිම ලස්සනයි. ගරාදි වගේ ලෑලිවලින් වහන්න පුළුවන් කඩ තමයි තිබුණේ.
බොරැල්ලේ ජීවත් වූ කලාකරුවන් ගැන සිහිපත් කරද්දී විවියන් ද සිල්වා බොරැලැස්ස ගැයූ ‘‘දොළ ළඟ ගුරු පාර දිගේ ඒවී සිනා පපා ටිකිරි නගා’’ යන ගීතය ලියූ පණ්ඩිත විමල් අබේසුන්දර මහතා ජීවත් වූයේ බොරැල්ල කුරුප්පු පටුමගේය.
‘ටයි මහත්තයා’ යනුවෙන් හැඳින් වූ ටයිටස් තොටවත්ත මහතා ජීවත් වූයේ බොරැල්ලේ කොටා පාරේ නිවසකයි. නැටුම් ශිල්පියකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ කාලිංග ඔබේවංශ ගායන ශිල්පී රෝහණ සිරිවර්ධන, ජනප්‍රිය නිළි ජීවරාණි කුරු කුලසූරිය වැනි කලාකරුවන් හා කලාකාරිණියන් බොරැල්ලේ ජීවත් වූ කලාකරුවන් අතර සිටියා.
විද්වතුන් රැසක් බිහිකළ සුසමය වර්ධන, කන්නන්ගර, ඩී.එස්. දේවි බාලිකා, රත්නාවලී, සංඝමිත්තා, වෙස්ලි වැනි උසස් විදුහල් ද බොරැල්ල නගරය කේන්ද්‍ර කරගෙන බිහිවූණා.
අපි පුංචි කාලේ ඉදලා බොරැල්ලේ වෙසක් තොරණ තිබුණා මතකයි. ගොඩක් උස ගොඩනැගිලි නැතිවුණාට ඒ කාලේ තිබුණ බොරැල්ල නගරය හරිම ලස්සනයි. යනුවෙන් කිත්සිරි බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
සටහන සහ ඡායාරූප
මහින්ද ආරියවංශ