1950 දශකය ආරම්භයේ දී මෙරට තරුණ පෙළ අතර සිගරැට් බීම බොහෝ සෙයින් ඉහළ නැග තිබුණේය. ඒ සඳහා මුල්වූ එක් හේතුවක් වූයේ විවිධ නම්වලින් හැඳින්වූ සිගරැට් වර්ග ඉතා අඩුමිලට කුඩා පෙට්ටි කඩවලින් පවා ලබාගත හැකිවීමය. එකල ‘පීකොක්’ යන නමින් හැඳින්වූ සිගරැට්ටුවක මිල ශත දෙකක් වූ අතර එම වර්ගයේ සිගරැට් පැකැට්ටුවක් ශත විස්සකට ලබාගත හැකි විය.
එලෙස ශත විස්සක් දී ලබාගත් සිගරැට් පැකට්ටුවක් තම කමිසයේ උඩ සාක්කුවේ දමාගෙන යන ජේත්තුකාර ගැටවරයන් එකල මගතොටදි ඕනෑ තරම් දකින්න ලැබුණු බව පැරැන්නන්ට තවමත් මතක ඇතුවාට සැක නැත. එවැනි ඇතැම් ගැටවරයන් දල්වා ගත් සිගරැට්ටුවක් උරමින් මගතොටේ ගැවසුණේ බලවත් උජාරුවකිනි.
වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා එකල කොළඹ ආනන්ද විද්‍යාලයේ හයවැනි හෝ හත්වැනි පන්තියේ ඉගෙනුම ලබමින් සිටියේය. දැල්වෙන සිගරැට්ටුවක් උරමින් තම විද්‍යාලය ඉදිරිපිට මහ පාරේ සැරිසරන තරුණයන් තමන් වැනි කුඩා සිසුන්ගේ නෙතට රසඳුනක් වූ බව හෙතෙම පවසයි.
“අනේ අපටත් ඇත්නම් අරවගේ සිගරැට් එකක් බීල බලන්න” යි සිතූ ඔවුන් ඒ සඳහා කොතෙකුත් උත්සාහ ගෙන තිබුණද පාසලේ විවේක කාලයේදී නම් ඒ සඳහා කිසිදු ඉඩ ප්‍රස්ථාවයක් නොලැබිණි. එසේ වූයේ විවේක කාලයේදී කොතැනක හෝ අස්සක මුල්ලකට ගොස් සිගරැට් ඉරුවද ගුරුවරුන්ගේ හෝ ශිෂ්‍ය නායකයන්ගේ අතට අසුවීමේ අවදානමක් පැවතුණ බැවිනි.
අනෙක් අතට කරුලාගේ පන්තියේ සිටි සිසුන් වැඩි දෙනෙක්ම ශිෂ්‍ය නේවාසිකාගාරයේ නතරවී සිටි බැවින් පාසල ඇරුණු විගස තම නේවාසිකාගාරය වෙත යාමට ඔවුන්ට අනිවාර්යෙන්ම සිදුවී තිබුණේය.
“අපට බැරිද සිගරැට් පැකට් එකක් හොස්ටල් එකට අරගෙන ගිහින් තියාගෙන රෑට බොන්න....!” යි කරුලා සමග ශිෂ්‍ය නේවාසිකගාරයේ නතර වී සිටි එක් සිසුවකු අලුත් අදහසක් ඉදිරිපත් කර තිබුණේ මේ අතරතුරය.
“ඒ දවස්වල අපේ හොස්ටල් එකේ වෝඩන් හැටියට සිටියේ රාජපක්‍ෂ සර්. එයාගේ ක්වාටස් තිබුණේ හොස්ටල් එකට ටිකක් එහායින්. රෑ නමයට හොස්ටල් එකේ ලයිට් නිවනවා. ඉතින් ඊට පස්සේ එයා හොස්ටල් එක පැත්තෙ එන්නෙ නෑ කියලයි අපි හිතුවේ...” යි කියන කරු ජයසූරිය ඇතුළු සිසුන් කීපදෙනෙකු සැලසුම් කළේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ විදුලි පහන් නිවාදැමූ පසු සිත් සේ සිගරැට් ඉරීමටය.
“ඒ කාලයේ අපේ හෝල් එකේ ළමයි දහ දෙනෙක් විතර හිටියා. දැන් ඒ වැඬේට අපේ කට්ටිය සේරමලා වගේ කැමතියි. ඒ සැරේ අපි විවේක කාලයේදි මකන කෑල්ලක් ගේන්න කඬේට යනවයි කියලා ගේට්ටුව ළඟ හිටපු ප්‍රිපෙට් කෙනෙකුට පොඩි බොරුවකුත් කරලා කඬේකින් සිගරැට් පැකට් එකකුයි ගිනි පෙට්ටියකුයි ගත්තා. ඒක පොත් බෑග් එකේ හංගගෙන ඉඳලා කොහොම හරි හොස්ටල් එකට අරගෙන ගියා....”
කරු ජයසූරිය එසේ කියන්නේ තමන් ඇතුළු පන්තියේ කොලු නඩය ගුරුවරුන්ගේ සහ ශිෂ්‍ය නායකයින්ගේද ඇස් වසා මිලට ගත් සිගරැට් පැකට්ටුව සහ ගිනි පෙට්ටිය ශිෂ්‍ය නේවාසිකාගාරය තුළට ගෙනගිය ආකාරය ගැනය.
‘කෝ... මේ අද රෑ වෙන්නෙත් නැහැනේ. වෙනද නං මෙලහකට කළුවරත් වැටිලා.....!’
ඔවුන් එදිනට සවස බාස්කට් බෝල් සෙල්ලම් කරන අතරතුර පවා එකිනෙකා සමග රහසින් කතා කර ගත්තේ ඒ ගැනය. කරුලා සවස ක්‍රීඩා පිටියේ සිට ආපසු නේවාසිකාගාරයට පැමිණ මුහුණ කට සෝදාගෙන පාඩම් කරනු ලැබුවේද තවත් ටික වේලාවකින් උජාරුවට සිගරැට් උරන අයුරු සිතෙන් මවා ගනිමිනි.
‘හැබැයි ඉතින් වැරදිලාවත් රාජපක්‍ෂ සර්ට අහුවුණොත් එහෙම මොනවගේ දෙයක් සිද්ධ වෙයිද කියන සැකය අපි හැමෝගෙම හිතේ තිබුණත් කවුරුත් ඒ ගැන කතා කෙරුවේ නෑ’
කරු එසේ කියන්නේ තමන් හයවැනි හෝ හත්වැනි පන්තියේ ඉගෙනුම ලබසින් සිටියදි අත්දුටු සිද්ධියක් ගැන ආවර්ජනය කරමිනි.
‘දැන් ඔන්න රෑ 9.00 වෙනකොට වෙනදා වගේම අපේ හොස්ටල් එකේ ලයිට් නිවා දැම්මා. දැන් අපි ඔක්කොමලා ඇඳන් උඩ... හැමෝගෙම සාක්කුවල සිගරැට් තියෙනවා. හැබැයි ගිනි පෙට්ටිය තියෙන්නේ එක්කෙනෙක් ළඟ.....”
කරු ජයසූරියට මතක ඇති අන්දමට මැදින් තිබූ ඇඳක සිටි හදිසි කාරයෙක් කළුවරේම හිස ඔසවා සගයන් පිරිස දෙස බැලුවේය.
“දැන් පටන් ගනිමුද....?”
‘එපා...! රාජපක්‍ෂ සර්ලා තාම නිදි නෑ. අර ලයිට් එළිය පේන්නේ....” යි අනෙකා පහත් හඬින් කොඳුරා කියද්දී කොලු පිරිසගේ නෙත් එක්වරම යොමුවූයේ ජනෙල් විදුරුව තුළින් පෙනුණු රාජපක්‍ෂ සර්ලා ගේ නිල නිවස දෙසින් නික්මුණු විදුලි පහන් එළිය දෙසටය. ඒ අනුව තවත් විනාඩි දහයක පමණ කාලයක් නිහඬවම ගෙවී ගියේය.
‘දැන් හරි, අපි පත්තු කර ගමු.!’ යි කී ගිනිපෙට්ටිය සාක්කුවේ දමාගෙන සිටි ශිෂ්‍යයා ගිනිකූරක් ගසා තම සිගරැට්ටුව දල්වාගෙන දැල්වෙමින් තිබු ගිනිකූර කරු අතට දුන්නේය. ඔහු තමන්ගේ සිගරැට්ටුව දල්වාගෙන දුම් උගුරක් ඉහළට ඇද ගනිත්ම දුම ඉස්පොල්ලේ ගොස් ඉවසිය නොහැකි කැස්සක් ආවේය.
ඔහු නොනවත්වා කහින අතර සෙසු කොල්ලන් සිටියේ දුම් වළළු අහසට යවමිනි. ඔවුන් ගේ ශාලාවේ විදුලි පහන් නිවා දමා තිබුණෙන් ඔවුනොවුන්ට දැකගත හැකිවූයේ තම තමන්ගේ මුවඟෙහි දැල්වුණු සිගරැට්වලින් නික්මුණු ගිනිදැල්ල පමණි එහෙත් එම සිගරැට් දුම ඒ අවට සිසාරා පැතිරෙමින් තිබූ බව කිසිවකුට හෝ නොවැටහිණි.
“මට නම් උරන්න ලැබුණේ එකම එක දුම් උගුරයි. ඒත් එක්කම මට මහ දරුණු කැස්සක් හැදුණ නිසා සිගරැට් එක අතේ තියෙද්දිම නැගිටින්න හැදුවා වතුර ටිකක් බොන්න. මෙන්න එතකොටමත් රාජපක්‍ෂ සර් කොහේද ඉඳලා කඩා පාත්වෙලා හෝල් එකේ ලයිට් සේරම දැම්මා. දැන් අපේ යාළුවන්ට කරගන්න දෙයක් නෑ. ඇයි හැමෝගෙම අතේ සිගරැට් පත්තු වෙනවා. කලබලේට සමහරු සිගරැට් කොටේ බිමට විසිකර දැමුවත් ඒවා පත්තු වෙනවා. සර් දැකලා කලබල වුණ සැරේට මගේ කැස්සත් කොහෙන් ගියාද කියලා නැතිවුණා...........”
කරූ ජයසූරිය එසේ කියන්නේ එවකට ආනන්ද ශිෂ්‍ය නේවාසිකාගාරයේ මහ රෑ සිගරැට් උරා නේවාසිකාගාර පාලකවරයාගේ අතටම අසුවීමේ සිද්ධිය අකුරක් නෑර ආවර්ජනය කරමිනි. මේ අතර රාජපක්‍ෂ සර් දැක කලබලය වූ ඇතැම් සිසුන් දෙතොල් අතර තිබූ සිගරැට්ටුව කටේ දමා ගිලින්නට යාමෙන් ඔවුන්ගේ කටවල් පවා පිලිස්සී තිබුණේය.
සිසුන්ගේ අතින් බිම වැටි තිබූ සිගරැට් කොට සහ අළු ඔවුන් ලවාම පිරිසිදු කරවූ රාජපක්‍ෂ සර් නේවාසිකාගාරයෙන් නික්ම ගියේ දුම්බිමේ ආදීනව ගැන විනාඩි දහයක පමණ දේශනයක්ද පැවැත්වීමෙන් පසුවය.
“සර් දැන් හෙට උදේ මේ ගැන ප්‍රින්සිපල්ටත් කියාවි. එහෙම වුණොත් ප්‍රින්සිපල් අපිව ඉස්කෝලෙන් අස්කරල දාන්නත් බැරි නෑ.....!’ ආදි වශයෙන් නපුරු සිහින දකිමින් නින්දට වැටුණු කරුලාට අදහා ගැනීමට පවා නොහැකි වූයේ ඊට පසුදා පාසල ඇරෙනතුරු විදුහල්පතිවරයාගෙන් හෝ විනය පාලකවරයාගෙන් තමන්ට කිසිදු කැඳවීමක් නොලැබීම ගැනය.
කෙසේ වෙතත් එදින සවස් කාලයේ තමන් සියලු දෙනාම පුංචි බොරැල්ල හන්දියේ තිබූ බාබර් සාප්පුවකට කැඳවාගෙන ගිය රාජපක්‍ෂ සර් ඒ හැම සිසුවකුගේම ඔළුවේ හිස් කෙස් බූ ගා දැමූ බව කරු ජයසූරිය පවසයි.
“පස්සෙ බලනකොට සිද්ධ වෙලා තියෙන්නේ අපි හත් අට දෙනාගේ සිගරැට් දුම රාජපක්‍ෂ සර්ගේ නිල නිවාසෙටත් දැනිලා ඒ සිගරැට් දුම හොයාගෙන තමයි සර් හොස්ටල් එකට ඇවිත් තියෙන්නේ. ඇයි ඉතින් හත් අට දෙනෙක් ගෙ සිගරැට් දුමත් පොඩිපහේ එකක් වෙන්න බැහැනේ. හැබැයි අපට සර් ඒ විදියේ මතක හිටින දඬුවමක් දුන්නට අපි කරපු වැරැද්ද ගැන තව කිසිම කෙනෙකුට කියල නෑ.....!” යි කියන කරු ජයසූරිය වැඩි දුරටත් සඳහන් කරන්නේ එම සිද්ධියෙන් පසු තමන් අද වන තුරු සිගරැට්ටුවක් උරා නැති බව ය.
නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය : අන්තර්ජාලයෙනි