කළු ජූලියට වසර 36 යි දෙමළ ජනයා පැටලුණු යුද උගුලේ උපත


1983 කළු ජූලිය

චෙල්වනායගම් ප්‍රමුඛ ෆෙඩරල් පක්‍ෂ සාමාජිකයන් ගාලු මුවදොර සත්‍යග්‍රහයේ - 1956

1983 කඩ සාප්පු ගිනි තබා ඇති අයුරු.

 

 

1983 ජූලියේ සිදු වූ දෙමළ ජන පීඩනය හැඳින්වීමට බහුලව යෙදෙන වචනය කළු ජූලිය යන්නයි. ඒ අනුව ශ්‍රී ලාංකේය ඉතිහාසයේ දරුණුතම මිනිස් සංහාරයක් සිදු වූයේ 1983 ජුලි 24 සිට ජුලි 30 දක්වා කාලය තුළදී වන අතර, එය සිදු වී 2019 ජුලි 24 වැනිදාට වසර 36 කි. 


1983 ජූලි දෙමළ ජනසංහාරය නිසා ලක්ෂයකට අධික දෙමළ ජනතාවක් සරණාගතයන් වශයෙන් ඉන්දියාවට පලා ගියහ. රජයේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව මරණයට පත් වූ සංඛ්‍යාව 471කි. නිල නොවන සංඛ්‍යා ලේඛන අනුව මිය ගිය සංඛ්‍යාව 1500ක් පමණ වූ බව සඳහන් වේ. තුවාලවලට ලක් වූ අයගේ සංඛ්‍යාව 3769ක් වන අතර සිදු වූ මංකොල්ල කෑම් සංඛ්‍යාව 3835 කි. නිවාස 8000ක් ද සාප්පු 5000ක් ද පමණ විනාශ විය. 


83 කළු ජූලියේ සිදු වූයේ කුමක් දැයි සැබෑ වැටහීමක් ලබා ගැනීමට නම් දෙමළ ජනයාට එරෙහිව සිංහල අධිපතිවාදී රාජ්‍යයේ ආයතන ගත අගතීන් හා විෂම ලෙස සැලකීම් ද සහ ජන සංහාරක ප්‍රතිපත්තීන්ගේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය මඟ හැර යා නොහැකිය. මෙරටේ දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රීයාවන්ගේ ආරම්භයට 1983 දී යාපනයේ සිංහල හමුදා සෙබළුන් 13ක් මරණයට පත් වීමේ සිදුවීමට එහා ගිය ඉතිහාසයක් තිබේ. එකී ඉතිහාසයේ දෙමළ ජනයා සිංහල ආධිපත්‍යයට නතු වූ රාජ්‍යයේ පීඩාකාරී ප්‍රතිපත්තීන් හා වෙන් කළ නොහැකි ලෙසින් සම්බන්ධය. 


කලෙක දෙමළ ජනයාගේ භාෂා හා සිවිල් දේශපාලන අයිතීන් අහිමි කිරීමේ අණපනත් ලෙස සිංහල පාලක බහුතරයේ ප්‍රජාතාන්ත්‍රික තීරණ මත පාර්ලිමේන්තුව හරහා ගෙන ආ අණ පනත් මගින් ද තවත් විටෙක මැරයන් උසිගන්වමින් දෙමළ ජනයාගේ ජීවිත සහ දේපළ විනාශ කිරීම මගින් ද ගෙන එනු ලැබුවේ එකම ප්‍රතිපත්තියකි. 1983 කළු ජූලිය ද ඊට පෙර 56, 58, 77 සහ 81 ආදී වසරවල සිදු වූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන් ද ඒ එකම ප්‍රතිපත්තියේ පියවරයන්ය. 


දෙමළ ජනයාගේ භාෂා අයිතීන් අහිමි කිරීම


ඉන්දියානු දෙමළ ජනයාගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කිරීමේ සිද්ධියෙන් පසු දෙමළ ජනතාවගේ භාෂා අයිතීන් අහිමි කැරෙන ආකාරයට 1956 දී ක්‍රියාත්මක කළ සිංහල රාජ්‍ය භාෂා නීතිය සුළු ජන වර්ගයක් බලවත් ලෙස පීඩාවට ලක් කෙරුණු දෙවැනි අවස්ථාව ලෙස සැලකිය හැකිය. 


එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා බලයට පැමිණ පැය 24 කින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කරන්නේ යැයි මැතිවරණ පොරොන්දුවක් ලබා දුන්නද, 1956 අප්‍රේල් මාසයේ පැවති මහ මැතිවරණයෙන් බලයට පත් බණ්ඩාරනායක සිංහල පමණයි. කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ජුනි මස 05 දින දක්වා ප්‍රමාද කළේය. මේ කාලය තුළ දෙමළ ජනතාව මුළුමනින්ම කොන් කිරීමට ලක් නොකර දෙමළ දේශපාලන නායකත්වය සමග යම් සම්මුතියක් ඇති කර ගැනීමට ඔහුට අවශ්‍ය විය. සිංහල භාෂාව පැය 24 කින් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ බණ්ඩාරනායක පෙරොන්දුව ඉටු වීම ප්‍රමාදයට පත් වන විට සිංහල අන්තවාදී බලවේග නොසන්සුන් බවට පත් වූ අතර ඔවුහු අගමැතිවරයා ප්‍රසිද්ධියේ විවේචනය කිරීමටත්, දෙමළ විරෝධී ප්‍රචාරයක් ඇරඹූහ. අවසානයේ බණ්ඩාරනායක නැගී එන සියලු ස්වෝත්තමවාදී රැල්ල හමුවේ යටත් වෙමින් තමන්ගේ භාෂා පනත් කෙටුම්පතේ දෙමළ ජනයාට සහනයක් ලෙස තිබූ වගන්ති දෙක එනම් පරිපාලන කටයුතුවලදී ප්‍රාදේශීය වශයෙනුත් රජයේ නිලධාරීන් සඳහා වන විභාගවලදීත් දෙමළ භාෂාව ද භාවිත කිරීමට ඉඩ හැරීම සඳහා වන වගන්ති මකා දැමුවේය. 


සිංහල දැඩි මතධාරීන් හා ප්‍රබල බෞද්ධ පූජකයන් තමන් වෙත දිනා ගැනීමට බණ්ඩාරනායකට වුවමනා විය. ඔහු ශ්‍රී ලංකාව තුළ සියලුම මෝටර් රථ වාහන අංක තහඩුවලින් මුලින් ශ්‍රී යන්න සිංහලෙන් යෙදීම අනිවාර්ය කළේය. මේ සම්බන්ධයෙන් දෙමළ ප්‍රදේශවල විරෝධතා පැන නැගුණු අතර දෙමළ දේශපාලනඥයෝ සිංහල ශ්‍රී අකුර වෙනුවට දෙමළ බසින් ශ්‍රී අකුර යොදන ලෙස මෝටර් රථ වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටියෝය. 


බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම 


සිංහල පමණයි පනත සම්මත කිරීමත් සමග ඇස්. ජේ. වී. චෙල්වනායගම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගත් ෆෙඩරල් පක්ෂය විසින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල සත්‍යග්‍රහයක් සහ හර්තාලයක් කැඳවනු ලැබිණි. වර්ධනය වන දෙමළ ආවේගය පාලනය කිරීම පිණිස බණ්ඩාරනායක ඇගමැතිවරයා 1957 අප්‍රේල් 25 වැනි දින දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චිය සඳහා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ආණ්ඩුක්‍රම වෙනසක් සඳහා කරුණු සොයා බලා වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද පත් කළේය. එය දෙමළ නායකයන්ට දෙන ලද සංඥාවක් විය. අනතුරුව ෆෙඩරල් පක්ෂයේ නායකයන් සමග සාකච්ඡා කරන තැනට යමින්, දෙමළ භාෂාව උතුරු සහ නැගෙනහිර පළාත්වල පරිපාලන ආයතන පිහිටුවා බලය විමධ්‍යගතකරණය කිරීමක් පිළිබඳ වැඩපිළිවෙළක් සඳහා ෆෙඩරල් පක්ෂයේ නායක චෙල්වනායගම් සමග 1957 ජූලි 26 වැනිදා ගිවිසුමක් ඇති කරගත්තේය. 


මෙම බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම සිංහල ජාතිය සහ රට පාවාදීමකැයි කියමින් එක්සත් ජාතික පක්ෂය විසින් රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළේ මේ අතරේදීය. ජේ. ආර්. ජයවර්ධන ගිවිසුමට විරෝධය පළ කිරීම සඳහා කොළඹ සිට මහනුවර ශ්‍රී දළදා මාළිගාව බලා ගමන් ගන්නා පා ගමනක් සංවිධානය කළේය. 


1958 අප්‍රේල් මස 09 වැනි දින බණ්ඩාරනායකගේ රොස්මිඞ් මන්දිරයට පැමිණි බෞද්ධ භික්ෂූන් 200ක් පමණ පිරිසක් බණ්ඩාරනායකට එම ගිවිසුම අහෝසි කරන ලෙස බල කළහ. 
සිය කැබිනට් ඇමතිවරු කීප දෙනෙකු සමග සාකච්ඡා කළ අගමැති බණ්ඩාරනායක එකඟතා ගිවිසුම ප්‍රසිද්ධියේ ඉරා දැමුවේය. එමෙන්ම ගිවිසුම අහෝසි කළ බවට ලිඛිත ප්‍රකාශයක් ද ඔහු විසින් භික්ෂූන්ට ලබා දුන්නේය. මෙම තත්ත්වය චෙල්වනායගම් ඇතුළු දෙමළ නායකයන්ට ප්‍රසිද්ධියේ එල්ල කළ අතුල් පහරක් විය. නැවතත් තමන්ගේ අයිතීන් වෙනුවෙන් සාමකාමී උදඝෝෂණ හා සත්‍යග්‍රහ ව්‍යාපාරය ඇරඹීම හැර ෆෙඩරල් නායකත්වය හමුවේ අන් විකල්පයක් නොවිණි. 


1958 ජාතිවාදී කෝලාහලය 


58 ජාතිවාදී කෝලාහලය ආරම්භ වන්නේ, වවුනියාවේ පැවති ෆෙඩරල් පක්ෂයේ පස් වැනි සම්මේලනයට ගොස් ආපසු මඩකලපුව බලා එන දෙමළ නියෝජිතයන් රැගත් දුම්රියට පොළොන්නරුවේදී ජාතිවාදී මැරයන් විසින් එල්ල කරන ලද පහරදීමකිනි. මෙම පහර දීමෙන් දෙමළ ජාතිකයින් දෙදෙනකු මරා දැමුණි. 1958 මැයි 25 වැනි දින හිඟුරක්ගොඩ සිදු වූ මෙම සිදුවීම පිළිබඳව ප්‍රවීණ පුවත් පත් කලාවේදියකු වූ ටාසි විට්ටච්චි විසින් වාර්තා කර තිබුණේ මෙසේය. 


මැයි 25 වැනි දින ලංකා ඉතිහාසයේ ඉතාමත් නින්දිත අපරාධවලින් එකක් සිදු කරන ලදී. පොළොන්නරුවේත්, හිඟුරක්ගොඩත් රජයේ ගොවිපොළවල් දෙකකට මැරවරයෝ එකම වේලාවට වගේ කඩා පැන්නෝය. පොළොන්නරුවේ ද්‍රවිඩ කම්කරුවෝ සතුරන් එනු දැක උක් කොටුවකට රිංගා සැඟවුණාහ. මැරවරයෝ එවලේම උක් ගස්වලට ගිනි තැබූහ. මිනිසුන් ගැහැනුන් හා ළමුන් සැඟවුණු තැන්වලින් එළියට දුවන විට කඩු කැති පොරෝ ආදියෙන් ඔවුන් කොටා මැරූහ. 


පොළොන්නරුවේ වියරුව පසු දින වන විට මඩකළපුවට ද පැතිර ගියේය. එහිදී පහරදීම්වලට ලක් වූයේ දෙමළුන් නොව සිංහලුන්ය. රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මඩකළපුව දිස්ත්‍රික්කයේ සිදු වූ ගිනි තැබීම් ගණන 56 කි. මැයි මාසයේ 26 සහ 27 වන දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් භයානක තත්ත්වයක් පෙන්නුම් කළේය. ඒ අනුව ගිනි තැබීම් හා මිනිසුන් පණ පිටින් පිලිස්සීම් වැනි මෘග ක්‍රියාවන් කිහිපයක් සිදු වී තිබේ. 


යාපනය හර්තාලය 


අගමැති බණ්ඩාරනායක ඝාතනයෙන් පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති ධුරයට පත් වූවාය. ඒ අනුව 1961 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිංහල භාෂාව රටේ පරිපාලන භාෂාව බවට පත් කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළේය. ඊට විරෝධය පළ කිරීම සඳහා ෆෙඩරල් පක්ෂය 1961 ජනවාරි 02 වැනි දින උතුරු නැගෙනහිර ප්‍රදේශවල සත්‍යග්‍රහ ව්‍යාපාරයක් දියත් කරන ලදී. 


1961 ජනවාරි 21 වැනි දින යාපනයේ පවත්වන ලද ෆෙඩරල් පක්ෂයේ හත් වැනි සම්මේලනයේ දී රටේ ක්‍රියාත්මක වන රාජ්‍ය භාෂා විධි විධානවලට එරෙහිව පෙබරවාරි 20 වැනි දින සිට සිවිල් නීති කඩ කිරීම් ව්‍යාපාරයක් දියත් කිරීමට තීන්දු කෙරිණි. 20 වැනිදා සිට බලපාන ආකාරයට උතුරු නැගෙනහිර ප්‍රදේශවල දියත් වූ සිවිල් නීති කඩකිරී ව්‍යාපාරය නිසා උතුරු නැගෙනහිර පාලනය මුළුමනින්ම අඩපණ විය. 


පරිපාලනය සම්පූර්ණයෙන් සිංහලට හැරවීමේ ක්‍රියාමාර්ගය 1964 වන විට අවසන් කිරීම සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ බලාපොරොත්තුව විය. නමුත් එවකට ක්‍රියාත්මක වූ වෙළෙඳපොළ ධනේෂ්වරය ඇති කළ අර්බුදය තුළ සභාග රජය බිඳ වැටී 1965 දී එක්සත් ජාතික පක්ෂය ෆෙඩරල් පක්ෂය සමග එකඟතාවකට පත්ව හවුල් ආණ්ඩුවක් ස්ථාපනය විය. 


ඩඞ්ලි - චෙල්වනායගම් ගිවිසුම 


1965 මාර්තු 24 වැනි දින ඩඞ්ලි චෙල්වනායගම් ගිවිසුම අනුව 1966 දෙමළ භාෂා විශේෂ විධි විධාන පනත් සකස් වුණි. මෙම ගිවිසුම අනුව සියලුම ව්‍යාපාරික ගනුදෙනු කිරීම සඳහා ද උතුරු හා නැගෙනහිර පළාත්වල රජයේ නීතිගත සංස්ථාවල සහ ව්‍යවස්ථාපිත ආයතනවල හෝ පොදු වාර්තා පවත්වාගෙන යෑම සඳහා ද රජයේ නීතිගත සංස්ථා විසින් සහ ව්‍යවස්ථාපිත ආයතයන් විසින් සිංහල පළාත්වල නිකුත් කරන සියලුම නිල ප්‍රකාශක චක්‍ර ලේඛන හා ආකෘති පත්‍ර දෙමළ භාෂාවෙන් ද නිකුත් කළ යුතු යැයි නීති පැනවුණි. එසේම දෙමළ භාෂාව කතා කරන පුද්ගලයකුට දිවයිනේ ඕනෑම ස්ථානයක දෙමළ භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය ලැබෙන අයුරු නීති පැනවුණි. 


මෙම පනතට එරෙහිව ශ්‍රී ලංකා සමසමාජ කොමියුනිස්ට් සන්ධානය විහාර මහා දේවි උද්‍යානයේ සංවිධානය කළ විරෝධතා පෙළපාළියකට එල්ල කරන ලද පොලිස් වෙඩි පහරකින් බෞද්ධ හිමි නමක් වූ දඹරාවේ රතනසාර හිමි මරණයට පත් වූහ. 


1966 ජනවාරි 08 වැනිදා සිදු වූ මේ භික්ෂු ඝාතනයෙන් පසුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් නැවතත් දේශප්‍රේමී බලවේග සංවිධානය වූ අතර 1970 සමගි පෙරමුණ රජයේ ඓතිහාසික ජයග්‍රහණයන්ට මූලික වූයේ මේ සිද්ධි මාලාවයි. මේ අනුව ප්‍රතිවිරෝධී ව්‍යාපාරයත් මගින් එල්ල කරන ලද ප්‍රබල විරෝධතා හේතුවෙන් එම ගිවිසුම ද අසාර්ථකත්වයට පත් විය. 


දෙමළ එක්සත් පෙරමුණ පිහිටුවා ගැනීම


1972 මැයි මස 14 වැනි දින ත්‍රිකුණාමලයේදී රැස් වූ ෆෙඩරල් පක්ෂය, ද්‍රවිඩ කොංග්‍රසය, ලංකා කම්කරු සංගමය හා සමස්ත ලංකා ද්‍රවිඩ සම්මේලනය යන සංවිධාන එකට ඒකාබද්ධ වී දෙමළ එක්සත් පෙරමුණ පිහිටුවා ගත්තේය. 1972 මැයි 22 වැනි දින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගන්නා ලද අතර දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයෝ බහුතරයක් ඒ සඳහා එදින නව නගර සභාවේ පැවති නිල උත්සවය වර්ජනය කළෝය. 


නව ව්‍යවස්ථාවට විරෝධය පළ කිරීම සඳහා එදින උතුරු නැගෙනහිර පළාත්වල කළු කොඩි ඔසවා විරෝධතා ව්‍යාපාර පවත්වන ලදී. ෆෙඩරල් පක්ෂයේ නායක චෙල්වනායගම් 1972 ඔක්තෝබර් 02 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස් විය. 


විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණ පනතට විරෝධය


මෙරට ජන වාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම දේශපාලනික සමාජය විසින් ආරම්භ කර පැවතිය ද ඒ අතරතුර ජනවාර්ගිකමය බෙදීම්වලට තුඩු දෙන්නා වූ විවිධ පරිපාලනමය නෛතික තීරණ ගැනීම් ද සිදු වූ බව සඳහන් කළ යුතුය. 1972 දී හඳුන්වා දෙන ලද විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සම්බන්ධ ප්‍රමිතිකරණ පනත මෙරට පරිපාලනමය වශයෙන් දෙමළ සුළුතරය පැහැදිලිවම නොසලකා හැරීම්වලට ලක් කිරීම සඳහා ගන්නා ලද තීන්දු අතර ප්‍රමුඛ එක් තීරණයක් ලෙස දැක්විය හැකිය. 


විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇති කර තිබූ දිස්ත්‍රික් කෝටා ක්‍රමයට හා ප්‍රමිතිකරණ ක්‍රියාවලියට අදාළව ආණ්ඩුව පාර්ලිමේන්තුවට නිල වාර්තාවක් ඉදිරිපත් කළේය. 


දිස්ත්‍රික් කෝටා ක්‍රමය හා ප්‍රමිතිකරණ වැඩපිළිවෙළ නිසා විශ්වවිද්‍යාලවල විද්‍යා අංශවල දෙමළ සහභාගීත්වය ශීඝ්‍ර ලෙස පහත වැටී තිබුණු අතර එම තත්ත්වය දෙමළ ශිෂ්‍යයින්ගේ දැඩි විරෝධයට හේතු විය. 


තවද 1974 ජනවාරි 03 වැනිදා සිට 09 වැනිදා දක්වා යාපනයේ පැවති අන්තර් ජාතික දෙමළ සම්මේලනය අවසානයේ පැවති ප්‍රසිද්ධ රැස්වීමේදී පොලිසිය එල්ල කළ වෙඩි පහරින් දෙමළ මිනිසුන් 09 දෙනෙක් මරණයට පත් වූහ. ආණ්ඩුව මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් හෝ නොපැවැත්වීම උතුරේ දෙමළ ජනයාගේ කෝපයට හේතු වී තිබුණි. 


1956, 58 කාලය තුළ ද්‍රවිඩ විරෝධී කෝලාහලයන්ගේ පිබිදීම අනුව යමින් පසුකාලීනව රාජ්‍ය අනුග්‍රහය ලත් සිංහල බෞද්ධ උග්‍ර ජාතිවාදී පාලකයන්ගේ නොසලකා හැරීම් ද, ශ්‍රී ලංකා පොලිසිය හා හමුදාව විසින් සිදු කරන ලද වධ හිංසා හේතු කොට ගෙන දෙමළ සුළු සන්නද්ධ කණ්ඩායම් සෙමින් නමුත් ස්ථිරවම මතු වෙමින් පැවතියේය. මෙම සන්නද්ධ කණ්ඩායම් ඉතා කෙටි කාලයක් තුළ අතිශය ප්‍රබල ස්වරූපයකින් පෙනෙන අතර 1975 ජූලි 27 වැනි දින පමණ වන විට යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඞ් දුරෙයිඅප්පා ඝාතනය වැනි සුවිශේෂී ඝාතනය සිදු කිරීමට ද පසු බට නොවූහ. 

 

බණ්ඩාරනායක -- චෙල්වනායගම් ගිවිසුම

 


1977 මහ මැතිවරණය


‘ධර්මිෂ්ඨ සමාජයක් ඇති කර ගන්නෙමු.’ යන සටන් පාඨය යටතේ තරග කළ එජාපය 1977 ජූලි 22 වැනිදා පැවති මැතිවරණයෙන් පාර්ලිමේන්තු ආසන 168 කින් 140ක් ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගත්තේය. වෙනම දෙමළ ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් තරග කළ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 18ක් ලබා ගන්නා විට ශ්‍රීලනිප හිමි කර ගත්තේ ආසන 08ක් පමණය. එජාපයේ මැතිවරණ ජයග්‍රහණයත් සමග ඇති වූ ජාතිවාදී කෝලාහල නිසා ජේ. ආර්. ජයවර්ධන අගමැති ලෙස දිවුරුම් දුන් දිනම රට පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීම සිදුවිය. ජාතිවාදී කෝලාහල නිසා මරණයට පත් වූ දෙමළ මිනිසුන්ගේ සංඛ්‍යාව 100 කට අඩු නොවූ අතර අනාථභාවයට පත් අයගේ සංඛ්‍යාව 50,000ක් පමණ විය. 1977 ඔක්තෝබර් 04 වැනි දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙවැනි සංශෝධනය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වූ අතර අගමැති ජේ. ආර්. ජයවර්ධන එම පදවියේ සියලු බලතල සමග විධායක ජනාධිපති බවට පත් විය. 


1977 මැතිවරණය වන විට ද්‍රවිඩ නායකයන් අතර සිටි පැසුණුම නායකයන් තිදෙනා ලෙස සැලකිය හැකි චෙල්වනායගම් ද, පොන්නම්බලම් ද තිරුචෙල්වම් ද මරණයට පත්ව සිටියහ. චෙල්වනායගම්ගේ අනුප්‍රාප්තිකයා වූයේ නීතීඥයෙකු සහ දක්ෂ කථිකයෙකු ද වූ ඒ. අමිර්තලිංගම්ය. වෙනම ද්‍රවිඩ රාජ්‍යයක් සඳහා තරුණ හදවත් කුල්මත් කළ පුද්ගලයා ලෙස සැලකෙන්නේ ඔහුය. 


1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේදී ප්ලොට් සංවිධානය මගින් එජාප අපේක්ෂකයෙකු වූ ඒ. තංගරාජා මැයි 24 වෙඩි තබා ඝාතනය කළ අතර මැයි 30 මැතිවරණ ප්‍රචාරක රැස්වීමක රාජකාරියේ යෙදී සිටි පොලිස් භටයින් දෙදෙනකු ද ඝාතනය කරන ලදී. ඉන් ප්‍රකෝපයට පත් ආණ්ඩු හිතවාදී පිරිස් 1981 දී ග්‍රන්ථ සහ අත්පිටපත් 97,000ක් පමණ තිබූ යාපනය සිව් මහල් පුස්තකාලය ගිනි තබා විනාශ කරන ලදී. 


1983 ආරම්භ වන විට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය හැකිළෙමින් ආයුධ අතට ගත් කල්ලිවල දේශපාලන බලය වර්ධනය වී තිබුණු අතර ඒවා අතරින් ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය ප්‍රධාන විය. කොටි සංවිධානයේ සාමාජිකයන් වැඩි පිරිසක් ඉන්දියාවේ සන්නද්ධ පුහුණුව ලැබූ අය වූහ. 


ජනමත විචාරණ ප්‍රෝඩාව නිසා ආණ්ඩුවට තිබුණු සුජාතභාවය අහිමි වී තිබුණු අතර කවර පක්ෂයක් හෝ ආණ්ඩුව සමග සහයෝගයෙන් වැඩ කිරීම වැරදි හා ලජ්ජා සහගත දෙයක් බවට පත්ව තිබුණි. 1983 මැයි මස පැවති පළාත් පාලන මැතිවරණය ආයුධ අතට ගෙන සිටි කල්ලිවල ශක්තිය උරගා බැලුණු ප්‍රධාන අවස්ථාවක් විය. පොයින්ට් පේදුරු නගර සභාවට තරග කළ එජාප අපේක්ෂක කණ්ඩායමේ ප්‍රධානියා වූ කේ. වෛරමුත්තු රත්නසිංහම් ගේ ඔළුවට වෙඩි තබා ඝාතනය කළ කොටි සංවිධානය ඝාතනයේ වගකීම භාර ගනිමින් ඉල්ලා අස් වන ලෙස සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේය. 


ඉන් පසු එකම දිනකදී චාවකච්චේරිය හා වැල්වැටිතුරෙයි එජාප සංවිධායකයන් දෙදෙනාට ද වෙඩි තබා ඝාතනය කරන ලදී. අවසානයේ දෙමළ කොංග්‍රසයේ සියලු අපේක්ෂකයෝ ඉල්ලා අස් වූ අතර පසුව යාපනයේ නගර සභාවට තරග කළ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සියලු අපේක්ෂකයෝ ද ඉල්ලා අස්වූහ. දිගින් දිගටම අසන්නට ලැබෙන උතුරේ පහරදීම් ගිනි තැබීම් සිදු වීම් නිසා උතුරේ දෙමළ ජනයා පමණක් නොව දකුණේ සිංහල ජනයා ද අන්ද මන්ද කිරීමට හේතු වී තිබිණි. මහජනතාවගේ මනසෙහි ගොඩනැගී තිබූ මෙම අසහනය හෝ ආතතිය කෙරෙහි උතුරෙත් දිනපතා අසන්නට ලැබෙන සිදුවීම් පමණක් නොව පාර්ලිමේන්තු මැතිවරණයක් මගින් සමාජයට ලැබෙන දේශපාලන විරේකය ජනමත විචාරණයක් මගින් අහිමි කිරීමේ සාධකය ද බලපා තිබුණේ යැයි කිව හැකිය. 

 

 

 

 


මතු සම්බන්ධයි.

 


ඡායාරූප සහ සටහන : 
එම්. තාරික්