කළු ජූලියේ අමතක නොවන මතක


 

මේ රටේ තිස්වසරක යුද්ධයක් ආරම්භ කරමින් ඇති වූ කළු ජූලියට මේ වන විට තිස් හය වසරක් සපිරෙන්නේය. බිම් බෝම්බයකට යුද හමුදා සෙබළුන් ගමන් ගත් ට්‍රක් රථයක් පසුකරමින් හමුදා සෙබළුන් දහතුන් දෙනෙකු මරණයට පත් කිරීමෙන් පසු රට පුරා ඇති වූ යුද ගිනි දැල් නිම වූයේ වසර තිහක් පුරා පැතිරී ගිය මහා යුද්ධයකට මුල පුරමිනි.


1983 ජූලි මස 22 වැනි දින යාපනයේ දී ඇතිවූ අමිහිරි සිද්ධිය තවමත් රටේ බොහෝ ජනතාවගේ ජන හදවත් තුළින් මැකී ගොස් නොමැත. රට දැය වෙනුවෙන් දිවිදුන් වීර සෙබළුන් වෙනුවෙන් සටන් කොට රැකියාව ද අහිමිකරගත් යුද සෙබළෙකු හමුවිය. ඔහු අම්බලන්ගොඩ ඌරුවත්තේ, මහා කවි ආනන්ද රාජකරුණා මාවතේ පදිංචි ඩබ්ලිව්. පද්මසිරි ද සිල්වා (69) මහතාය. 


1983 ජූලි විසි දෙවැනි දින දිවි පිදූ වීර සෙබළුන්ගේ වියෝවෙන් මහත් කම්පාවට පත්වූ අමිහිරි මතකය ඔහු යළි ආවර්ජනය කරනු ලැබුවේ මේ අයුරින්ය. මම අම්බලන්ගොඩ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයෙන් ද උසස් පෙළ අධ්‍යාපනය අම්බලන්ගොඩ විද්‍යාලෝක පිරිවෙනෙන් ද ලැබුවා. 


1979 ජනවාරි පළමුවැනි දින සාමාන්‍ය සෙබළෙක් හැටියට හමුදා සේවාවට බැඳුණා. යුද හමුදාවේ තුන්වැනි ගැමුණු හේවා බළකායේ මාතර සේවය කර පළමුවැනි ශ්‍රී ලංකා පාබල හමුදා පනාගොඩ කඳවුරට ආවා. මාස හයක් වැනි කෙටි කාලයක් සිටින විට දී යාපනය කඳවුරට සේවා මාරුවක් ලැබුණා. යාපනය, පලාලි, වැල්වැටිතුරේ මාදගල් කඳවුරුවල වරින් වර සේවය කළා. යාපනයේ ගුවන් විදුලි සංස්ථාවේ උප විකාශන මධ්‍යස්ථානයක් තිබුණා. එහි සේවයටත් රාත්‍රි මුර සංචාරයටත් යනවා. 


මීට අමතරව මුහුදු මුර සේවාවටත් යනවා. අපට කුඩා කාලයේ ඉඳලම මුහුද පුරුදු නිසාත් මුහුදේ පිහිණුම් කටයුතු කර තිබෙන නිසාත් ඒ ගමනට එකතු වෙන්නේ බොහොම සතුටිනි. උනන්දුවෙන් කිලෝ මීටර් හතරක් පහක් දියඹට යනවා බෝට්ටුවෙන්. ඉන්දියාවෙන් ගෙනෙන හොර බඩු අල්ලන්නයි අපි එහෙම මුහුදු සංචාරයේ යන්නේ. කල්ලතෝනි අල්ලන්නෙත් ඒ යන ගමනේ දී.


මුහුදු සංචාරය යන විට නිලධාරියකු සමග අපි හතර පස් දෙනෙක් යනවා. මෙසේ මුහුදු සංචාරයේ යන අතරතුරේ දී දවසක් බෝට්ටු හතක් එකවර අල්ල ගත්තා. එහි තිබී රෙදිපිළි, මිරිස්, කුළුබඩු ආදිය අත්අඩංගුවට ගත්තා. එසේ අල්ලන බඩු සියල්ලම රේගුවට බාර දෙනවා. 


මුහුදේ මුර සංචාරය යන ගමන්වල දී වැඩිපුරම යන නිලධාරියා වන්නේ ලුතිනන් අන්ද්‍රවාස් පටබැඳි නිශ්ශංක චන්ද්‍රසිරි ද සිල්වා වාස් ගුණවර්ධන මහතායි. ඔහු පානදුරේ පදිංචි වුණත් මුල්ගම වුණේ අම්බලන්ගොඩයි. මමත් අම්බලන්ගොඩ ඌරවත්තෙ නිසාත් පිහිණුම්වලට දක්ෂතා තිබෙන නිසාත් ඔහු නිතරම මාව සම්බන්ධ කර ගන්නවා. මට මුලින්ම වාස් ගුණවර්ධන මහතා හමුවන්නේ වැල්වැටිතුරේ කඳවුරේ දී. 


මට පලාලි කඳවුරට යන්න සිදු වුණා. රථ වාහන ගොඩබිම මුර සංචාරයේ යෙදුණේ. අපි පලාලි සිටිද්දී වාස් ගුණවර්ධන මහත්තයා මාදගල් කඳවුරේ හිටියා. ඒ නිසයි අපට ටික කලකට වෙන් වෙන්න සිදුවුණේ. 


1983 ජූලි විසි දෙවැනිදා ගුවන් විදුලි සංස්ථාවේ යාපනය විකාශන මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටියේ. එතැන සේවය නිමවී කඳවුරට එන විට සවස හතර පමණ වුණා. නැවත රාත්‍රී මුර සංචාරයක යෙදීමත් තවත් රාජකාරියේ කොටසක්. තරුණ වියේ පසු වූ අපි මේ රාජකාරිවල යෙදෙන්නේ බොහොම කැමැත්තෙන්. හැම කඳවුරකින්ම මෙසේ රාත්‍රි මුර සංචාරයේ යෙදීම සිරිතක්. 


වාස් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසට මුර සංචාරයේ යෙදීමට තිබුණේ තිරුණවේලි ප්‍රදේශයේ. අපේ කණ්ඩායම වෙනත් පාරක සංචාරයේ යෙදුණේ. එදා මහා මූසල දවසක්. දවස පුරාම තද වර්ෂාවක් තිබුණා. විදුලි අකුණු බෝම්බ පුපුරනවා වගේ මහා ශබ්දයෙන් ඇතිවෙනවා. කිසිම කෙනෙක් එළියට බහින්නෙ නැහැ. සවස 6.00 සිට පමණ යාපනය නගර බල ප්‍රදේශයේ විදුලිය අත්හිටුවා තිබුණා. මේ නිසා නගරයම අන්ධකාරයෙන් වෙළී තිබුණා. මාසේ පොහෝය දවස වගේ හැම පැත්තම කළුවරයි. ඉඳහිට ඇතිවන අකුණුවල එළියෙන් තමයි යම් එළියක් දකින්න තිබුණේ. 


හැම ගෙදරකම කුප්පිලාම්පු පත්තුකරගෙන දොර ජනෙල් වහගෙන බල්ලෙක්වත් පාරේ දකින්නට හිටියේ නැහැ. වාස් ගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායම ගිය ට්‍රක් රථය බිම් බෝම්බයකට ගොදුරු වුණේ මේ අතර වාරයේ දී බිම් බෝම්බය සකස් කර රැක සිට පහර දීමක් ත්‍රස්තවාදීන් සූදානම් කර තිබුණේ. 


1. දෙවන ලුතිනන් (නි/50954) නිශ්ශංක චන්ද්‍රසිරි ද සිල්වා වාස් ගුණවර්ධන 
2. (සෙ/10859) වර්ණ සැරයන් වේලකරත්ත එස්. ඒ. 
3. (සෙ/11000) සැරයන් පෙරේරා පී. ජී.
4. (සෙ/11401) කෝප්‍රල් පෙරේරා ජී. පී.
5. (සෙ/10627) ලාන්ස් කෝප්‍රල් ප්‍රනාන්දු ඒ. ජේ. ආර්.
6. (සෙ/11451) ලාන්ස් කෝප්‍රල් මානාපිටිය ඩී. එම්. ඒ. ඩී.
7. (සෙ/11467) ලාන්ස් කෝප්‍රල් කරුණාරත්න කේ. ඩී.
8. (සෙ/11473) ලාන්ස් කෝප්‍රල් රොබට් බී.
9. (සෙ/11541) ලාන්ස් කෝප්‍රල් අමරසිංහ එස්. එස්.
10. (සෙ/11573) ලාන්ස් කෝප්‍රල් සුනිල් එම්. බී.
11. (සෙ/11637) ලාන්ස් කෝප්‍රල් විජේසිරි ඒ. ටී.
12. (සෙ/11664) ලාන්ස් කෝප්‍රල් රාජතිලක එස්. පී. ජී.
13. (සෙ/82274) ලාන්ස් කෝප්‍රල් මනතුංග ඇම්. ඒ. ජේ.


මේ පිරිස ඉතා අවාසනාවන්ත ලෙස බිම් බෝම්බයට ගොදුරු වුණේ. මෙයින් දෙදෙනෙක් තුවාල සිදු වී ජීවිත බේරුණා. සෙබළ පෙරේරාගේ කකුලට වෙඩි පහරක් වැදී තුවාල සිදුවී තිබුණේ. ඔහු ඒ අසල තිබූ ලංගම ඩිපෝවට බඩගාගෙන ගොස් පලාලි කඳවුරට දැනුම් දුන් පසුවයි කවුරුත් දැන ගත්තේ. 


මේ සිද්ධිය අපට ආරංචි වනවිට පාන්දර තුනට හතරට පමණ ඇති. ඒ සැණින්ම අපි කණ්ඩායමක් එතැනට ගියා. වාහනය හිතා ගන්න බැරි විදියට සුනු විසුනු වෙලා තිබුණා. හැම තැනම සිරුරු විසිරී තිබුණා. තුවාලකරුවන් දෙදෙනා පළමුවෙන් රෝහලට බාර දුන් අතර මෘත ශරීර එකොළහක් යාපනය මහ රෝහලට බාරදුන්නා. නැවත කඳවුරට එන විට උදේ හය පසුවී තිබුණා. 


මම ආදරය කළ, ගරු කළ වාස් ගුණවර්ධන මහතා ජීවිතක්‍ෂයට පත් වීම මට දරාගන්න බැරි වුණා. හිතේ වේදනාවත් කෝපයත් එකවර ඇති වුණා. ආවේ කඳුළු පිරි නෙතින් යුතුවයි. මේ තරම් සාමයෙන් පිරි රටට වුණේ කුමක් දැයි දස අතේ කල්පනා කරන්න වුණා. මෙය මහා යුද්ධයක ආරම්භයක් කියලා හීනෙන්වත් සිතුවේ නැහැ. මේ ත්‍රස්තවාදීන් කොහොමහරි මට්ටු කළ යුතුයි යන්න සිත නැගි නැගී ආ වාර අනන්තයි. තම සහෝදර සෙබළුන්ගේ සිරුරු කොටස් එකතු කරන්න වීම කොහොම දරාගන්නද? ඇයි මේ තරම් විනාශයක් වුණේ. මොවුන් ජීවිතයෙන් වන්දි ගෙවන්න කළ පාප කර්මය කුමක්ද?


රෑ නිදිවරා ගෙන සහෝදර පිරිසකගේ සිරුරු ඉවත් කර වෙහෙස මහන්සි වී පැමිණි විටදී උදේ ආහාර වේල වෙනුවෙන් සකස් කර තිබුණේ කිරිබත් සහ සීනි සම්බල්ය. කිරිබත් දුටු සැණින් වේදනාවකුත් කෝපයකුත් ඇති වූයේ සිතේ බුර බුරා තිබූ වේදනාව කෝපය දෙගුණ තෙගුණ කරමිනි. 


සුබ දිනයක දී සුබ වෙලාවක දී හෙළයන්ගේ කෑම වූයේ කිරිබත්ය. එහෙත් දුකක දී කරදරයක දී කිරිබත් කෑවේ වෛරක්කාරයෙක් මිස ඥාතියෙක්, හිතවතෙක් නොවේ. මේ තරම් විපතක් වූ විටවත් කඳවුරේ අයට උදේ ආහාර වේල සකස් කිරීමේදී මීට වඩා සිතන්නට තිබුණ නේද? ඔෆිසර් වාස් ගේ මරණය දරා ගන්නේ කොහොමද? 


බඩගිනි තිබුණත් කෑමට ප්‍රියක් නොතිබිණි. දැන් අපටත් වෙන්නේ මේ වගේ සිදු වීමක් නේද? අපි මැරුණත් කඳවුරේ උන් කිරිබත් කාවි. කල්පනා සාගරයක ගිලී සිටින විටදී යුද හමුදාපති බි්‍රගේඩියර් තිස්ස ඉන්දික වීරතුංග කඳවුරට එන බව ආරංචි වුණා. ඊයේ රාත්‍රියේ වූ අනතුර දැක බලාගෙන මියගිය වීර සෙබළුන්ට උත්තමාචාරය පුද කිරීම හමුදාපතිවරයාගේ පැමිණීමේ අරමුණ විය. 


සියලු දෙනාම සූදානමින් සිටියේ හමුදාපතිවරයාගේ පැමිණීම බලාපොරොත්තුවෙනි. උදේ 8.00 වන විට හෙතෙම පැමිණියේය. සියලු සෙබළුන් පෝලිම් කොට හමුදාපතිවරයාට ඇමතීමට ඉඩ සලසා දුන්නේය. 


ඕනම රටක යුද හමුදාවල මෙවැනි සිද්ධි ඇති වෙනවා. මේ නොබෝදා රැජින සමග ගිය එංගලන්තය වගේ රටවලත් හමුදා සෙබළුන් කිහිප දෙනෙක් මැරුණා. මෙවැනි සිද්ධි මීට පසු වෙන්න ඉඩ තියන්න ඕනේ නැහැ. අපි මේක මෙතැනින්ම නතර කරමු. මේ සම්බන්ධව ඉදිරි රාජකාරි කටයුතු කරගෙන යන්න අධිෂ්ඨානයෙන් ඉන්න.


හමුදාපතිවරයාගේ දේශනයෙන් පසු පැයක් පමණ කඳවුරේ ගතකොට හෙතෙම කොළඹ යාමට පිටත්විය. 


අපි විසිනව දෙනෙක් සිටියේ කෝපයෙන්. හමුදාපතිවරයාගේ කතාවෙන් වුණේ කෝපය නිවීමක් නොව වැඩිවීමකි. මෙම ඝාතනය හමුදාපතිවරයා සුළු කොට තැකීම පද්මසිරි ඇතුළු බොහෝ පිරිස තුළ අප්‍රසාදය ඇතිවිය. 


සිද්ධිය වූ තැනට ගොස් මුහුණට මුහුණ සටන් කොට මේකට පළිගත යුතු යැයි සිතුවිල්ල පහළ වූයේ හමුදාපතිවරයා කළ මිනිස්සු වුණාම මැරෙනවා යන ප්‍රකාශය කළ විටය. 
අපි කඳවුරෙන් පිටවෙලා ගිහින් විනාශයක් කරමු යැයි එකට කතාකර ගත් විසිනව දෙනාම සිරුරු එකතු කර පැමිණි අයවූහ. ඔවුන් සියලු දෙනාම උදේ ආහාරවේල ද වර්ජනය කර තිබිණි. 


කඳවුරෙන් පිටට යාමට අවසර ඉල්ලුවත් අවසර නොලැබිණි. ඒ තුළින් මොවුන්ගේ ගමන නවතා දැමීමට නොහැකි විය. අපි අනවසරයෙන් හරි යමු යැයි තීරණය කළ පිරිස ට්‍රක් රථය කඳවුරෙන් පිටතට තල්ලු කරගෙන ආවේ ශබ්දයක් පිට නොවන ආකාරයටය.

 


මතු සම්බන්ධයි.

 


බළපිටියේ එස්. ඒ. වයි. ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි