දිනය 1977 ජූලි මස 03 දිනයි. ස්ථානය යටියන්තොට “ඉම්පීරියල්” සිනමාහල ඉදිරිපිටය.
1977 මහා මැතිවරණයට තව ඇත්තේ හරියටම දින දහඅටකි. ලංකා සමසමාජ පක්ෂයේ අපේක්ෂකයා ලෙස යටියන්තොට ආසනයට ඉදිරිපත් වී සිටින ල.ස.ස.ප. නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාට සහයෝගය දක්වන මහා රැලියකි.
1936 සිට 1960 දක්වා මහා මැතිවරණ හතරකදී රුවන්වැල්ල අසුන හා 1960 සිට 1977 දක්වා මහා මැතිවරණ හතරකදී යටියන්තොට අසුන ජයගනිමින් අපරාජිතව සිටි ඇන්. ඇම්. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිට ජාතික රාජ්‍ය සභාව දක්වා මැතිසබය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨතම මහජන නියෝජිතයා විය. පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍යයන් තුළද සිටි ජ්‍යෙෂ්ඨතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විය.
1977 මහා මැතිවරණය සඳහා යටියන්තොට ආසනය වෙනුවෙන් ල.ස.ස.ප. යෙන් ඉදිරිපත් වූ ආචාර්ය ඇන්. ඇම්.ට අමතරව එක්සත් ජාතික පක්ෂයෙන් කේ. වින්සන්ට් පෙරේරා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ධර්මසිරි මුතුතන්ත්‍රිගේ, මහජන එක්සත් පෙරමුණෙන් විජය රත්නායක සහ තවත් ස්වාධීන අපේක්ෂකයින් දෙදෙනකුද නාමයෝජනා භාරදී තිබුණි.
ල.ස.ස.ප. නායක ආචාර්ය ඇන්. ඇම්.ට සහය දක්වන මෙම මහා රැලියට දින කීපයකට පෙර යටියන්තොට පැවැති එ.ජා.ප. රැළියේදී සහ රුවන්වැල්ල, අඟුරුවැල්ලේ පැවැති එ.ජා.ප. රැලියේදී එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ. ආර්. ජයවර්ධන මහතා කළ ආන්දෝලනාත්මක කතා දෙකක් නිසාම ල.ස.ස.ප. පාක්ෂිකයන්ගේ හා ආධාරකරුවන්ගේ මානසික ශක්තිය ඉතා ඉහළම මට්ටමක තිබුණි.
යටියන්තොට දී පැවැති එ.ජා.ප. රැලිය අමතමින් ජේ. ආර්. ජයවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කළේය.
“මිත්‍රවරුනි, දේශපාලනය කොරන්න උගත්කම තියෙන්න ඕන. බුද්ධිය තියෙන්න ඕන. අත්දැකීම් හා පළපුරුද්ද තියෙන්න ඕන. හොර මැරකම්වලින් තොරවෙන්න ඕන, මේ මැතිවරණයේදී යටියන්තොට ආසනයට පෙරේරලා දෙන්නෙක් තරග කොරනවා. මෙයින් මම කියාපු සුදුසුකම් ඇති පෙරේරා පත්කොර ගන්නා ලෙස මම යටියන්තොට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”
රුවන්වැල්ල ආසනයේ අඟුරුවැල්ලේ දී එදිනම පැවැති එ.ජා.ප. රැලිය ඇමතූ ජේ. ආර්. ජයවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කළේය.
“පාර්ලිමේන්තුවේ කුමන පක්ෂයක් වැඩි ආසන ලබාගෙන රට ආණ්ඩු කළත් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මැතිතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයකු ලෙස මම සලකනවා.”
යටියන්තොට ල.ස.ස.ප. රැලිය අමතමින් එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ජේ. ආර්. ගේ මෙම ප්‍රකාශයන්ද උදාහරණයට ගනිමින් ජනතාව ඇමතීය.
“සහෝදරවරුනි, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සහෝදරයා දිනවන්න කියලා මම අමුතුවෙන් යටියන්තොට ජනතාවට කියන්න ඕනෑ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ. ආර්. ජයවර්ධන මහත්තයා රුවන්වැල්ලේ දී කෙළින්ම කිව්වෙත්, යටියන්තොට දී නොකියා කිව්වෙත් ඇන්. ඇම්. ඉහළින්ම දිනවන ලෙස නේද?”
“අද එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය ගැන කතා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. අද සමාජවාදය ගැන කතා නොකරන දේශපාලන පක්ෂයක් නැහැ. එදා වමේ නායකයින් “සහෝදරයා” කියලා ජනතාවට කතා කරන විට සමසමාජකාරයන් අම්මා - තාත්තාටත් “සහෝදරයා, කියන අමුතුම මිනිස්සු ජාතියක් ලෙස රට වටේ කිය කියා ගිය එක්සත් ජාතික පක්ෂයක් අද විලිලැජ්ජා නැතිව, රෙදිත් ඇඳගෙන “සමාජවාදය” ගැන කතා කරනවා. “සහෝදරවරුනි” කියලා රැස්වීම් අමතනවා. සමාජවාදය ගැන කතා කරන මේ විලිලැජ්ජා නොමැති එක්සත් ජාතික පක්ෂ නායකයන්ට වඩා 1936 දී සමාජවාදී අරගලයේ ප්‍රතාපවත් නායකයකු මැතිසබයට තෝරා යැවූ තුන් කෝරළයේ යටියන්තොට ජනතාවට සමාජවාදය ගැන තිබෙන අයිතිය අන් කිසිවකුටත් නැහැ.”
“ප්‍රතිගාමීත්වයේ වුවමනාවන් ඉටු කරමින් සිරිමා බණ්ඩාරනායක මහත්මිය සමගි පෙරමුණ බිඳ දැම්මා. ඒ ආනන්තරීය පාප කර්මයෙන් ගැලවෙන්න එතුමියට කවදාවත් බැහැ. අපේ රටේ දුප්පත්කම ඉහළ ගිහින් පාසල් නොයන දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගිහින්. දහතුන් ලක්ෂයක් තරුණ තරුණියන්ට රැකියා නැහැ. උපාධිය සමතුන්ට රැකියා නැහැ. අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට පහළොවක් මන්දපෝෂණයෙන් පෙලෙනවා. අපේ රට ආහාර අතින් ස්වයංපෝෂිත බව සලකා ලෝක ආහාර සංවිධානය අගමැතිනියට “සෝරෝස්” රන් පදක්කම පිරිනමලා. ඒ පුෂ්ටිමත් කාන්තාව දෙස බැලූ විට අපේ රටේ ආහාර හිඟයක් ඇති බව ලෝකයා පිළිගනියිද?
ආචාර්ය කාලෝගේ හාස්‍ය උපදවන, ළයාන්විත ස්වරයෙන් කරන වේගවත් කතාවට අත්පොළොසන් දෙමින් ජනතාව ප්‍රතිචාර දක්වති.
ආචාර්ය කාලෝ ඉතාම සෙමෙන් යළිත් සිය හඬ අවදි කරයි.
“සහෝදරවරුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍යය නම් දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය නිරෝධ සත්‍යය හා මාර්ග සත්‍යයයි.
“දුක්ඛ සත්‍යය යනු දුකක් ඇති බවයි. දුක තිබෙනවා. මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකියි. කුසගින්නට ආහාර නැහැ. ලෙඩට බෙහෙත් නැහැ. ඇඳීමට රෙදිපිළි නැහැ. දරුවන්ට හරි හමන් අධ්‍යාපනයක් ලබා දෙන්නට දෙමව්පියන්ට හැකියාවක් නැහැ. මේ නිසා ජනතාවට දුක තිබෙනවා. මෙය දුක්ඛ සත්‍යයයි.”
“සමුදය සත්‍යය යනු දුකට හේතුවයි. දුකට හේතුව “ධනවාදය”යි. ධනවාදී ක්‍රමය යටතේ අතළොස්සක් සුර සැප විඳිනවා. වැඩි කොටසක් අප්‍රමාණ දුක් විඳිනවා. ජාති, ආගම්, කුල අනුව ජනතාව බෙදනවා. මෙය දුකට හේතුවයි. නැත්නම් සමුදය සත්‍යයයි.”
“නිරෝධ සත්‍යය යනු දුක නැති තැනයි. දුක නැති තැන “සමාජවාදය”යි. සමාජවාදී ක්‍රමය යටතේ සියලු දෙනාටම සම අයිතිය ලැබෙනවා. සියලු දෙනාට සමව ආහාර, වස්ත්‍ර ලැබෙනවා. අධ්‍යාපනය සමව, පහසුකම් ඇතිව ලැබෙනවා. එනම් දුක නැති තැන හෙවත් නිරෝධ සත්‍යයයි.”
“මාර්ග සත්‍යය යනු දුක නැති කිරීමේ මාර්ගයයි. දුක නැති කිරීමේ මාර්ගය “සමාජවාදය” බිහි කිරීමයි. සමාජවාදී සමාජයක් බිහිකිරීමට ධනවාදී ප්‍රතිපත්ති රකින එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැහැ. සමාජවාදී සමාජයක් බිහි කළ හැක්කේ වාමාංශික එක්සත් පෙරමුණ මේ මැතිවරණයේදී බලයට පත් කිරීමෙන් පමණයි. මේක තමයි මාර්ග සත්‍යය.”
“සහෝදරවරුනි, දැන් මගේ කතාව අවසන් කිරීමට ප්‍රථම මා ඔබට විමුක්ති බණ දේශනා කරනවා. සියලුදෙනාම විමුක්ති බණ ඇසීමට සූදානම් වෙන්න.” ආචාර්ය කාලෝගේ හඬට ජනතාව වශීකෘතව සවන්දෙති. මුළු රැස්වීම් භූමිය පුරා ඇත්තේ දැඩි නිහඬතාවකි.
ආචාර්ය කාලෝ යළිත් සිය හඬ අවදි කරයි.
තණ්හාවේ දෝසේ - දුටු බුදුන් වහන්සේ
විමුක්තිය පතා - තණ්හාව නසා
නිවන් මග මේ යැයි - පෙන්වා දුන් සේක.
එක්තරා දවසක් - ගෝලයෝ පිරිසක්
ඇසුවෝය හිමිගෙන් - එක්තරා පැණයක්
තණ්හාව හල විගස - සැණෙකින්ම අප දකින
ඔබ කියන ඔය නිවන - කෙබඳුඳැයි කියනු මැන?
එවිට අප සියලු දෙන - තණ්හාව නසනු ඇත.
බඹ ලොවට පිවිසීම - වාගේද නිවන් සැප?
ඉර මුදුන් වෙලාවේ - විලක් මැද තනිවෙලා
කුසීතව පාවෙමින් - සිටින්නා වාගේද?
නිදි ලොවට මගසොයා - අතරමංවූ අයෙකු
එක් සැණින් නිදිලොවට - පිවිසියා වාගේද?
ඔබ කියන ඔය නිවන - පැහැපත්ද? පියකරුද?
නො එසේ නම් එය - සිත නැති කය නැති
කිසිම දෙයක් නැති - දෙයක්ද? ස්වාමීනි
මෙය ඇසූ හිමි සඳ - හෝරා ගණනක්
ගත කර නිහඬව - පැවසීය මෙසේ
“ඔබ ඇසු පැනයට - පිළිතුරු නැත මට”
එහෙත් එම දිනයේ - සැන්දෑ සමයේ
පැන ඇසු සිය සිසු - පිරිස ගිය පසු
බෝරුක් සෙවණේ - වැඩ සිටි සමිඳා
එහි සිටි සෙසු - දන සැම අමතාලා
දෙසූහ මේ - සුළු කතාව උපමා.
දවසක් මම ගෙයක් දුටිමි
එය ගින්නට හසුව තිබුණි
රත් පැහැ ගත් ගිනි ජාලා
එහි පියසෙන් උසට නැගුණි
ගේ තුළ මම දනන් දුටිමි
දොර හැර ඔවුනට හඬගා
පිටවෙන්නැයි මම කීවෙමි
එහෙත් එදන සැලුණේ නැත
හදිසි බවක් පෙන්වුවෙ නැත
එක් අයෙකුගෙ රැවුල පවා
පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
ගෙයින් පිටත මීට හොඳද?
වැසි වසීද? සුළං තදද?
දැවෙන නිවස දමා ගොසින්
ඉන්නගෙයක් තිබෙනවාද?
මෙවැනි ප්‍රශ්න රාශියක්ය.
මම පිළිතුරු නොදී ඔහුට
නැවතවරක් වුනෙමි නිහඬ
මට සිතුණා මේ දරුවා
නගන ප්‍රශ්න නවත්වන්නෙ
ගින්නෙන් නැසුනාම කියා
සත්තකින්ම ප්‍රිය දරුවෙනි,
යම් මිනිසකු පොළෝතලේ
තැබූ දෙපා දැවෙන තුරා
වෙන තැනකට නොයාවි නම්
ඒ දනහට සරණ වෙන්න
බණක් නැතිය මට කියන්න
එලෙසයි අප හිමි ගෞතම
පිළිතුරු දුන්නේ පෙර කල
වහලුන් ලෙස තව දුරටත් නොම හිඳි
සුරාකන්නන් පලවා හරිමින
ධනපති රාමුව කුඩු පට්ටම් කොට
මෙලොව විමුක්තිය සොයන්න කියමින්
නිර්ධනයන්හට දිරි දෙන අපගෙන්
සමාජවාදී අරගලයෙන් පසු
කෙසේද? මේ දෙය
කෙසේද? අර දෙය
කුමක් වේද? මා රැස් කළ ගිණුමට
මා සතු අගනා පණ මෙන් රකිනා
අක්කර පනහේ කුමක්ද ඉරණම?
යනුවෙන් පෙරළා අසන දනන්හට
තොපට දෙසන්නට අපට බණක් නැත.
ඊ. එල්. ජයන්ත ද සොයිසා