කැස්බෑවේ කිවිඳු ගැන මැති සබේ තුළින් , සොව පළ වුණේ මෙහෙමයි කවි කතා වලින්


සෝමවීර චන්ද්‍රසිරි යනු මෙරටේ පොදු ජනතාව අතර ද සිංහල භාෂා ප්‍රේමීන් අතර ද විශිෂ්ට චරිතයකි. සම සමාජ පක්ෂයේ අපේක්ෂකයා ලෙස 1947 මැතිවරණයේදී මොරටුව ආසනය ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු එවකට කතානායකවරයාව සිටි ශ්‍රීමත් ප්‍රැන්සිස් මොලමුරේ මහතාගේ දැඩි විරෝධය මැද ප්‍රථම වරට සිංහල කවි කීපයක් තාලයට අනුව හඬ නඟා ගායනය කොට ජනතා ප්‍රසාදය දිනා ගත්තේය. 
 
1952 මැතිවරණයේදී යළිත් මොරටුව ආසනයට තේරී පත්වූ ඔහු 1956 මැතිවරණයේදී මෙරිල් ප්‍රනාන්දුට පරාජය විය. 1960 මාර්තු සහ ජුලි මහ මැතිවරණවලදී කැස්බෑව ජයග්‍රහණය කොට සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමතිවරයා විය. 
 
1971 දී අභාවප්‍රාප්ත වූ සෝමවීර චන්ද්‍රසිරි මහතා පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැති ශෝක ප්‍රකාශ යෝජනාවේ දී ප්‍රථම කතාව සිදු කළ සමාජ සේවා ඇමැති ටී. බී. තෙන්නකෝන් මහතා පහත සඳහන් කවි දෙකින් සිය කතාව අවසන් කළේය. 
 
කැස්බෑවේ කිවිඳු ගැන මැති සබා තුළින් සොව පළ වුණේ මෙහෙමයි. කවි බණවලින් 
 
රස කවි මුලින් කී මේ මැති සබය මැද 
කැස්බෑවේ නිදයි අද මරු මුවට වැද 
හදවත දැවෙන නොනිවෙන ගිනි කඳට තද 
ඇල් දිය දහර වෙයි අප මෙහි කියන පද 
වැටුණා වගේ හිටි හැටියේ ගහින් කොළේ 
ඔබ මරණයෙන් අප දුක් සයුරකට කොළේ 
කවි බැහැ වැඩිය කඳුළැලි දෑසින්ම හැලේ 
අඩුවක් වෙතොත් එය පුරවයි මිහින් තලේ 
 
 
ආර්. ප්‍රේමදාස මහතාගෙන් පසුව උඩුප්පිඩි මන්ත්‍රී ජේ. ජයකොඩි කිලිනොච්චි මන්ත්‍රී වී. ආනන්ද සාගරි සහ ගාල්ල මන්ත්‍රී ආචාර්ය විජයානන්ද දහනායක යන මහත්වරු ශෝක ප්‍රකාශ ඉදිරිපත් කළහ.
 
සෝමවීර චන්ද්‍රසිරි මහතාගේ කවි සගයෙකු වූ මිහින්තලේ මන්ත්‍රී පතිරාජ තෙන්නකෝන් මහතා පහත සඳහන් කවි පෙළ ඉදිරිපත් කොට සහෝදර කවියා වෙනුවෙන් සිය බලවත් ශෝකය පළ කළේය. 
 
ඉතිහාසයේ මට මෙන් අයත් නිසි බර 
හොබවන මැති අසුන ජයවඩන පුර වර 
හිතවත් කතානායක තුමා ද ගරු තර 
කවි සොව මෙහිදී දක්වනු පිණිස අව සර 
මේ මැති සබේ සිංහල කවි හඬෙහි රස 
දැක්වූ මුල් වරට ගැමි සුරතලකු ලෙස 
කිවිඳකු ගැන කියන්නට මට උරුම යස 
නොදනිති වෙනත් අය මිය ගිය ඔහුම මිස 
ගැමි පෙදෙසින් නව සිය තිස් ගණන් වල 
අරඹා ගැමි දිවිය එනිසා සටන් කළ 
කිවියා කොළඹ කවි දිවියේ මුදුන් මුල 
ගිලිහි ගියා අපගේ හද දනන් තුළ 
පතළ උතුම් කරුණාවෙන් කවිය න්ට 
නිතර සේවයක් ඉටු කළ නොමැරෙ න්ට 
සෝමවීර චන්ද්‍රසිරි කිවිඳු න්ට 
පපුව මිසක් කිසිවක් නැත පුද දෙ න්ට 
ගැමි පැල්පතක හෝ පොල් අතු වහල උඩ 
තිබුණා එදා සිටි ඔහුගේ මිහිරි හඬ 
නැගුණා ජන දිවිය හා එහි නියම හැඩ 
පොදු ජනයා සමඟ විය ඔහු සියලු වැඩ 
සිංහල බසට එරවිලි ගෙරවිලි ද කර 
පැවතුණ කලෙක අපගේ කිවිඳුන් වී තර 
පෙරමුණ සටන් කළ ඒ අතුරෙන් අ තර 
ජය ලැබු කෙනකු නැත දිවියක දුරක තර 
ඔහුගේ ලැබු නව පණ සිංහල කවිය 
තවමත් දනිති හඳුනන අය කවි දිරිය 
ඔහුගේ කවිය ඔහුගේ තියුණුම අවිය 
එය බිම හළ පසුව කුමට ද සර සවිය 
ජී. එච්. රාජකරුණා හා තිහා රියේ 
ඔහු මිය යන්ට පෙරදීම නැසී ගියේ 
ඒ පාඩු මැකූ කිවිඳුනි වියෝ ගයේ 
මහ ගිනි කඳක් අද ඇවිළෙයි අපේ ළයේ 
මුළු රට පුරා සිටි කවියන් එකතු කොට 
කවි සමුළුව එදා එක බල මුළුව කට 
එක් කළ අපේ කවියා මළ දිනයෙ සිට 
තාමත් කඳුළු වගුරන අය සිටිති රට 
හතළිස් හතේ දී සිර බත් කකා සිට 
මැතිවරණය දිනේ දී මුල් වතා වට 
මොරටුව දිනාගෙන ජන ආදරේ පිට 
සිර කූඩුවෙනි ආවේ මෙම සභා වට 
ජීවන ආත්මය වී පොදු මිනිසා ගේ 
ලැබගෙන සදාදරණීය දන සගයෝ ගේ 
නිදහස් සටන් කරළියෙ ඔහු ගිය වේ ගේ 
දුටුවෙමි පැළෙන මැති සබයේ එක වා ගේ 
සිරගෙය දිළඳු බව වාපිත් කිපෙන ගතේ 
ගැන වේදනාවක් ඔහු තුළ තිබුණේ නැතේ 
දෙස බස රැසට රාවය දෙනු පිණිස නැතේ 
තැබු වේදනා සොහොනෙන් දුම් වලද ඇතේ 
කවියට කලාවට හෙළ සැබෑසියට රටේ 
පණ දුන් විනා විරුවෙකි කවි බඳුරු ගටේ 
සරසා සරස් වතියෙගෙ ගෙල පබළු මිටේ 
කවුරුන් සමඟ යන්නද රට හතර වටේ 
කඳුහෙල් කටු පඳුරු අතරෙයි ලැබුණ දිවි 
පොදු මිනිසාට කැප කළ මුළු දිවිය හිමි 
කවියට කලාවට නව ජීවනය දෙමි 
ඔහු ජීවිතය හැර වෙන කුමකට ද කවි 
විපතෙදි දුකේදි ඔහු මුව තඹර පෑ සිනා 
විස්කම් කලා මදනල සමඟ භාවනා 
ඔහුගේ වියොව පොදු විය රටට වේදනා 
ගමනෙහි අතර මඟ මරු කතර රෑවුනා 
අවි ගත් ජාති වාදය ඉවතටම දමා 
වැඩ කළ කිවිඳු කැස්බෑ උප ඇමති තුමා 
උතුරට පවා ගොස් බැති බව සිරස නමා 
ජන ආදරය දිනුවා තුටු කඳුළු තෙමා 
සමහරු පාවහන් තැනුවට දෙමළ හමෙන් 
තනනා වීරයන් වන විට සිහල කමෙන් 
හෙළ බස නැගු කැස්බෑවේ කිවිඳු එමෙන් 
බොරු වීරයෙකු වූයේ නැත ඔහුගෙ නමෙන් 
ඔහු මැති සබෙත් ඉන් පිටදීත් නැගුව හඬ 
තවමත් දෝංකාරය දෙයි දෙකන මට 
ඒ හඬ සදහටම මේ මැති අසුන උඩ 
රඳවනු පිණිස සලසා දිය යුතුය ඉඩ 
ජනතා සටන් බිම කවි රණ බිම ඔස්සේ 
ඔහු නොපැරදුණු ජය මාවතටය බැස්සේ 
අඩ සිය වසකටක් වැඩි කාලය තිස්සේ 
ඔහු නෑ කිසිවෙකුගෙ පා දුවිලි පිස්සේ 
සිංහලයන් සහ සිංහල කවියා ගේ 
උරුමය රකින්නට  බිහි කළ කවි වේගේ 
ඔහුගෙන් පසුව රැක ගන්නට අනු රාගේ 
ඇති හද මඩුල ඇත්තේ කොතන ද කාගේ 
දහදිය මුගුරු කඳුළැලි හිර ගෙදර බත 
අදිරද පොලිස් පොලු නිතියෙ කුරිරු අත 
මොන පීඩා කළත් පස වා නොගෙන හිත 
ඔහු මිස එසින් ජය ගත් වෙන කෙනෙකු නැත 
කවියට බසට සවනට කවියෙකු පරිදි 
එළඹි පසුව මැති අසුනකට ද බර දී 
ගරු උප ඇමති පදවියකට උරදී 
ඔහු නොවෙනස් වුණ කවියා මෙන් මුලදී 
හිංසක කුහකකම හදවත නොදුටු ඉම 
හැඩි දැඩි මිනිස් කම යුතුකම සුරැකී ලැම 
එක්කොට ගත් සේය “සඳසිරි” කියන නම 
ඒ නම ඇසෙන සැම මොහොතක හඬමි මම 
බේදෙන් තොරව ගරු මැති සබයෙ හිත දිනා 
සිටි කැස්බෑවෙ මැති සඳ කිරණ නැති වුණා
රස මංජුසාවකි ඔහු මිහිර මෙහි ගෙනා 
ඉර සඳ සමඟ නාමය ඔහුගෙ නැව තුනා 
කැස්බෑවේ කිවිඳු දැන් අප අතර නැත 
කුරහං සුවඳ මෙන් ඔහු ගුණ සුවඳ ඇත 
ඔහුගේ නමින් කවි ලෝකය අපරී මිත 
බැති කවි කුසුම් තබනෙමි මැති සබය වෙත
 
 
 
 
 
 
 
 
 
 
 
උපාලි රූපසිංහ