කිරුළ අහිමි අගමැති පවුලේ පුත්‍රයා


අගමැති බණ්ඩාරනායක යුවළගේ එකම බලාපොරොත්තුව වූයේ තම එකම පුතු අනුර කෙදිනක හෝ මෙරට ඉහළම දේශපාලන තලයකට පත්වීම දකින්නටය. ශ්‍රීලනිප පාක්‍ෂිකයන්ගේද පැතුම වූයේද එයමය. එහෙත් දෛවයේ පෙරළියකින්දෝ අනුරට හැකිවූයේ මන්ත්‍රී, අමාත්‍ය, විපක්‍ෂ නායක හා කතානායක ධුරවලින් සෑහීමකට පත්වීමටය.

සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මුදලිගේ මුනුපුරා වූ අනුර අගමැති පියා සහ මව සමග දෙස් විදෙස් සංචාරවලට සහභාගී විය. මව පියා සොයුරියන් ඇතුළු ඥාතීන් අතර මෙන්ම පොදු ජනතාව අතරද ඔහු සුරතලෙකු වූයේය.


1960 ජූලි මහ මැතිවරණය ජයගෙන බණ්ඩාරනායක මැතිනිය අගමැතිනිය වී ලන්ඩනයේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ගිය ගමන අනුරගේ දිවියට අපූරු අත්දැකීම් රැසක් එකතු කළේය. අල්ලපු රටේ අගමැති හා තම පියාගේ සමීපතමයා වූ ජවහර්ලාල් නේරුගේ රැකවරණය මැද ඔහු ලොව දැවැන්ත රාජ්‍ය නායකයන් සමග පෙළට සිටියේය. 


මව සමග සමුළු ශාලාවේත්, අමුත්තන්ගේ කුටියේත්, නගර සංචාරයේත්, කෞතුකාගාර ශාලාවේත්, වෙළෙඳ සංකීර්ණයේ සහ නෞකා තටාංගණයේත් ගැවසුණු අනුර පුතා හොරගොල්ලේ වලව්වේ දුටු තම මව ලොව දැවැන්තයන් අතර හැසිරෙන අයුරු විමතියෙන් බලා සිටියේය. විශේෂයෙන් අනිකුත් නායකයන් පිටපත් බලා කතා කරද්දී තම මව කිසිදු සටහනක් නොබලා පියාට නොදෙවෙනිව සභාව අමතන අයුරු ඔහුට පුදුම ඵළවන දසුනක් විය. 


පාසල් සමයේ පියා මුලසුනේ සිටියදී මව කිහිපවරක් තමාට ත්‍යාග පිරිනැමූ අවස්ථා අනුරට මතකය. 1960 දී මව අගමැති පදවියේ දිවුරුම් දීමට කොළඹ රජගෙදරට පැමිණි අවස්ථාව කුඩා අනුරට වැදගත් සිහිවටනයක් විය. 
ඒ 1960 ජූලි මස 23 වැනිදා දහවල් 1.25 ට යෙදුණු සුභ නැකතිනි. රොස්මිඞ් පෙදෙසේ සිට රජගෙදර දක්වා මග දෙපස ජනයාගෙන් අතුරු සිදුරු නොමැතිව පිරී තිබිණ. රජගෙදරට ඇතුළුවන්නට සැරසුණුවිට ජන ඝෝෂාව බලවත්විය. මැතිනිය යළි හැරී ගොස් ජනතාව අතර වැදී ඔවුන්ගේ ආසිරි ලැබූවාය.


“අපට මැතිනිය බලන්න ඕනෑ. අනේ ඇතුළට යන්න එපා” ජනතාව කෑගැසූහ. රජගෙදර තුළට තල්ලුවන ජනගඟ හැසිරවීමට පොලීසියට සිදුවිය. බැරිම තැන ඇය රජගෙදර පියගැට පෙළ නැග උඩුමහලට පැමිණ අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක සමග ජනතාවට ආචාර කළාය” ජනමාධ්‍ය එසේ පළ කර තිබිණ.


තම සැමියාගේ ඡායාරූපය දැක නතර වූ මැතිනිය ඒ අසළ දණින් වැටී ඉකිබිඳිමින් මොහොතක් හැඬුවාය. අගමැතිනිය රැගත් රිය පෙරහර කෙළින්ම ගියේ බම්බලපිටිය වජිරාරාමය වෙතය. වතාවත්වලින් පසු මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන්ගේ සුභාශිංසනය ලැබුවාය.


“ගැහැනියකට අගමැතිකම ඉසිලිය හැකිදැයි පසුගියදා නැගුණු ප්‍රශ්නය ඔන්න අද විසඳුණා. යහපත් කල්කිරියාවත්, ගුණගරුක කමත්, ස්ථිර අධිෂ්ඨානයත් ඇත්නම් කිසිම කටයුත්තකට ස්ත්‍රී - පුරුෂ භේද බලපාන්නේ නෑ. බුදු සමයේ විසූ සෝමා මෙහෙණියගේ කතාවත් හරියටම මේ වගෙයි” උන්වහන්සේ පැවසූහ. 


1970 මහ මැතිවරණය දිනනවිට මැතිනිය පරිණත නායිකාවක බවට පත්ව සිටියාය. මව වෙනුවෙන් රටපුරා යමින් අනුර ද ජනතාව ඇමැතීය. විශේෂයෙන් තරුණ පරපුරේ සහයෝගය ලබාගැනීමට අනුර නොපැකිළව කටයුතු කළ අතර කුලුපඟ මිතුරු කැලද ඔහු සමග වූහ.


“56 දී අපි යූ.ඇන්.පී. ය අටට බැස්සුවා. ආයෙත් 65 දී ඒගොල්ලො බලයට ආවා. මෙදා අපි එයාලව 17 ට බැස්සුවා. ඒත් යූ.ඇන්.පී.ය මළ පක්‍ෂයක් කියලා හිතන්න එපා. ප්‍රතිගාමී කඳවුර නොයෙක් විදිහට හිස ඔසවන්න බලනවා නම් අපි නිකම් නොසිට රට පුරාම ශ්‍රීලනිපය පාක්‍ෂිකයන් එකම ධජයක් යටතට ගෙන ආ යුතුයි” අනුර රුවන්වැල්ලේදී පැවසීය. 


තරුණ අනුරගේ සගයන් වූයේ බෙලිඅත්තේ මහින්ද රාජපක්‍ෂ හා මහනුවර අනුරුද්ධ රත්වත්තේ ඇතුළු පිරිසකි. 


අගමැති බණ්ඩාරනායක තම එකම පුතුට ආදරය සමග ආදර්ශයද ලබා දුන්නේය. ලොව කොහේ හිටියත් අගමැති නිවසේ සිංහල අවුරුදු චාරිත්‍ර සඳහා එකතුවන මව පියා සහ දරුවෝ එකට වාඩි වී කැවුම් කිරිබත් හා කැවිලි රස වින්ඳෝය. බණ්ඩාර නායක පවුල් ඡායාරූප එදා සෑම ගැමි ගෙදරකම දක්නට ලැබුණේ සිංහල සංස්කෘතියට නිදසුනක් ලෙසිනි. 


තම පුතාද සාහිත්‍ය රසාස්වාදය කෙරෙහි යොමු කිරීමට අගමැති බණ්ඩාරනායක උත්සාහ කළේය. අනුර පොත්පත් කියවීමෙහි රුසියකු වූ අතර අක්කලාද මවද නොයෙක් විට ඔහුගේ උපන් දිනයට දුන්නේ අලුත් පොත්පත්ය. 


වරක් අගමැතිගේ කෙටි කතාවක් ඇසුරින් වේදිකා ගත කළ “මහහේනේ රීරි යකා” නාට්‍ය නැරඹීමට පිය පුතු දොපොළ පානදුරේ නගර සභාවට ගියේ පානදුර කලාකවයේ ඇරයුම පරිදිය. නාට්‍යය ඉතා ඕනෑකමින් පුතු නරඹණු දුටු බණ්ඩානායක විමසුවේ කොහොමද අනුර සෙල්ලම ලස්සනද” කියාය. 


මරණ මංචකයේ දීද බණ්ඩාරනායක අගමැතිඳුන්ගේ අවසන් පැතුම වූයේ තම දරුවන් දැකීමය. අනුර පුතුට නොකියා අගමැති පියාණන් ගිය එකම ගමන එය විය. එම ශෝකය දරුවන් තුළ පැළපැදියම් වීමට ඉඩ නොදෙමින් සිරිමාවෝ මැතිනිය තවත් අගමැති කෙනෙක් ගෙදරින්ම බිහි කළාය.


ශ්‍රීලනිපයේ ඔටුන්න හිමි කුමාරයා ලෙස ඇතැමුන් හැඳින් වූ අතර එතුමා පියාගේ සහ මවගේ ව්‍යක්ත කතා විලාසය මැනවින් පිහිටා තිබිණ. 


අක්මීමන වලහන්දූවේ ශ්‍රී සුදර්ශනාරාමයේදී 1970.07.20 වැනිදා විදුලි ආලෝක ප්‍රජාව විවෘත කරමින් ගාල්ලේ මන්ත්‍රී සහ හිටපු අගමැති විජයානන්ද දහනායක අපූරු අනාවැකියක් කීවේය.

 

 

 

 

මතු සම්බන්ධයි

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි